ගමේ රස­කතා

අබරන් සීයාගේ තනිමැකිල්ල

අනුර ජයවීර

බදුල්ල

මෙය දැනට අවුරුදු හතළිස් පහකට පෙර බණ්ඩාරවෙල පිටිසර ගමක් වූ ලියදිපිටිය ග‍ෙම් සිදු වූ සත්‍ය සිද්ධියකි. ගුණරත්න තමා රාජකාරි කරන කොළඹ ප්‍රදේශයේ සිට ගමට පැමිණියේ කොළඹ බදුල්ල ලංගම බස් ර‍ථයෙනි. එකල අද මෙන් නොව ගුණරත්නලා ගේ ගමට යෑමට හරි හමං මාර්ගයක් නොවීය. එමනිසා බස් රථයක් ද ධාවනය කෙරුණේ නැත. බණ්ඩාරවෙල නගරයේ සිට ඔහු ගේ ගමට සැතපුම් හතරක් පමණ පයින් ආ යුතු විය.

ගුණරත්න බණ්ඩාරවෙල නැවතුමෙන් බසින විට රාත්‍රී දහයාමාර පමණ වී තිබුණේය. ගමන් මහන්සිය නිසා රෑ කඩයකට ගොඩ වූ හෙතෙම උණු උණු ආප්පයක් කා ඉඟුරු තේ එකක් බී පයින්ම ගමට යෑමට පටන් ගත්තේය. එදින මඳ වැසි සහිත අඳුරු දවසකි. කරේ රැඳුණු ලොකු ගමන් මල්ලේ බර ඔහු ගේ ගත වෙහෙස කරවන්නේය. බණ්ඩාරවෙල සීතල පළාතක් වුවත් ගුණරත්නට දාඩිය දැමුවේය. ගුණරත්න ගේ පියා ජීවතුන් අතර නැත. වෙනදාට නම් මව ආත්තම්මා සහෝදරයා සහ සහෝදරිය කලකට පසු දැක බලා ගැනීමට වෙහෙස අමතක කර දමා පහන් සිතින් පැමිණියත් අද මොහු ගේ සිත සසලය. සිතට සතුටක් නැත. අසනීප තත්ත්වයක් නො වූවත් සිත අසහනකාරීය. ඒ මදිවාට අමාවක පෝය දිනයක් නිසා පරිසරය දැඩි අඳුර ගිල ගෙන තිබුණේය. හමා යන සුළඟ ද හඬ නැගුවේ මූසල ශබ්දයක්ය. සැතපුම් තුනක් පමණ ගෑටු ගුණරත්න පිවිසියේ ගං මණ්ඩියට යන දෙපසින් ටර්පන්ටයින් ගස් පිරි අඩි පාරටය. බිම ගොඩ ගැසී තිබුණු වියැළුණු ටර්පන්ටයින් කොළ පෑගී රැව් දෙන සර සර ශබ්දයට ඔහුටම බයක් සිතුණේය. අඩි පාරේ සෙමින් සෙමින් ඇවිද ආ ගුණරත්නට කිව නො හැකි සතුටක් ඇති වූයේ අසල අර්තාපල් කොටුවේ පැල් කොටෙන් දක්නට ලැබුණු මඳ ආලෝකයක් නිසාය. ඒ අබරන් සීයා වෙනෙකෙකු ගේ අර්තාපල් වගාව කුලියට මුර කිරීමට රැඳී සිටින පැල් කොටයයි. ඒ අසලින් යන ඔහුට පැදුරේ වාඩි වී බුලත් විටක් ඒදන අබරන් සීයා දැක ඇති වූ සතුට තවත් වැඩි වුණේය.

“අබරන් සීයේ. මොකද කරන්නේ.”

ඒ හඬින් හිස හරවා බැලූ අබරන් සීයා ගේ මුහුණ දුටු ගුණරත්නට පුදුමයක් මෙන්ම බියක් ද දැන‍ුණේය. ඒ ගුණරත්න ගිය වතාවේ ගමට පැමිණි විට දුටු සීයාට වඩා බොහෝ වෙනස් ස්වරූපයක් ගෙන තිබුණු හෙයිනි. අබරන් සීයා සුරා සො‍ෙඬක් මෙන්ම සත්ව ඝාතකයෙකි. සොරෙකි. බොරුකාරයෙකි. එසේම සල්ලාලයෙකි. පස් පව් සියල්ලම කළ තැනැත්තෙකි. සීයා ගේ කොණ්ඩය අවුල් වී අඟල් හයක් පමණ වැඩී කැරලි ගැසී තිබුණේ බිය උපදවන ලෙසය. මුහුණ කාල වර්ණයක් ගෙන රැලි වැටී තිබුණේය.

“ආ කොල්ලෝ මේ යක්කු ගස් යන ජාමේ කොහේ ගියාද. තනිපංගලමෙ යන්නේ මොකක් හරි එක්කහු කර ගෙන යන්ඩ එපැයි.”

“මං කොළඹ ඉඳලා එන ගමං. රෑ වුණා සීයෙ.”

“උඹට පුළුවන්ද මේ රෑ ජාමෙ ඉතුරු ටික යා ගන්ඩ. අමනුස්සයෝ කරක් ගහන වෙලාව මේක. මං එන්ඩද ගොහින් ඇරලවන්ඩ.”

ඒ කතාව ඇසූ ගුණරත්නට මහත් ප්‍රීතියක් දැනුණේය. එසේ ප්‍රීතියක් ඇති වීමට විශේෂ හේතුව වූයේ ඔහු යන පාරේ ඉදිරියෙන් ඇත්තේ ගමේ සුසාන භූමිය නිසාය.

“සීයෙ මට උණ හැදෙන්ඩ වගේ. ඒ මදිවට තෙමුණා. හරි මාන්සියි. පාර පේන්නෙත් නෑ කළුවරේ. සීයට කරදරයක් නැත්තං.”

“හා යමං යමං” කී සීයා පැලේ එල්ලා තිබුණු ලන්තෑරුම අතට ගෙන ඉස්සර වුණේය.

දැන් දෙදෙනා ගමන් කරන්නේ සුසාන භූමිය අසලින්ය. අලුත ව දැමුවා යැයි සිතිය හැකි සොහොනක මල්වඩමක් සහ සුදු පාට ඉටි රෙදි සුළඟට සර සර අනුකරණයෙන් සෙලවෙමින් තිබුණේය. ඒ අතරම දැඩි සුළඟක් හමාවිත් අහස ගුගුරන්නට විය. මොකෙක්දෝ වල් සතෙක් පඳුරු බිඳ ගෙන දුවන හඬ ඇසුණේය. සොහොන පසු කර මඳ දුරක් පැමිණි සීයා ගුණරත්න ගේ ගෙදරට හැරෙන පාර ළඟ නැවතුණේය.

“ඔය ටික උඹට යන්ඩ පුළුවන්නේ.”

එසේ කී අබරන් සීයා පසු පසට වූයේය. සීයාට ස්තුති කරන්නට ආ පසු හැරී බැලූ ගුණරත්නට සීයා ගේ මුහුණ දුටු ගමන් ක්ලාන්ත වන්නට වූයේ සීයා ගේ ඇස් දෙක ගොරකා මද මෙන් රතු වී මඳක් එළියට පැන තිබුණු නිසාත් ඉස්සරහ හනුවේ මැද දත් වැටී දෙපසේ දත් දෙකක් අගල් බාගයක් පමණ වැඩී තිබෙනු දුටු නිසාත්ය. ක්ෂණයකින් සීයා අතුරුදහන් වුණේය.

සිහි එලවා ගෙන ගෙදර ගිය ගුණරත්න දොරට තඩි බෑවේය. මඳ වේලාවකින් දොර විවර කළ ගුණරත්න ගේ මෑණියන් පුදුම වුණේය.

“මේ මහ රෑ මොහොකට ආවද පුතා. දවාලක එන්න එපැයි” කියමින් වහා ගේ ඇතුළට ඇද ගත්තාය. ඒ සමඟම ආත්තම්මා ද පැමිණියාය. ගුණරත්නට හොඳටම උණ ගැනී තිබුණේය.

“මං තනියම නෙමෙයි ආවෙ අම්මා. කොරටුව ළඟ දි අබරන් සීයා හම්බ වුණා. එයා මාව දෙවැටට ගෙනත් ඇරලුවා.”

මේ කතාව ඇසූ ගුණරත්න ගේ මෑණියන් තම මව දෙස බැලුවාය. ආත්තම්මා වහා ගෙට ගොස් පිරිත් වතුර බෝතලය ගෙනැවුත් ගුණරත්න ගේ හිසේ ගැල්වූවාය. ඉන්පසු එළිවෙන තෙක් ගුණරත්න විකාරෙන් දොඩවන්නට වූයේය.

පසු දා පාන්දර අසල්වැසියෙක් අතේ යැවූ පණිවිඩයකින් ගෙන්වා ගත් එහා ගමේ තේගිරිස් ගුරුන්නාන්සේ දෙහි මතුරා ජප කර ගුණරත්නට ශාන්ති කර්මයක් කළේය. ඔහු සැබෑ සුවය ලැබුවේ සතියකින් පමණය.

නැවත දින දහයකින් පමණ ගුණරත්න රාජකාරියට කොළඹ ඒමට මවගෙන් සමු ගන්නා මොහොතේ ඇය පැවසුවේ මෙවන් දෙයකි.

“පුතාට දැන් සනීපනේ. ආයෙනං රෑ වෙලා ගෙදර එන්ඩ එපා. එන්න වුණොත් ටව‍ුමෙ යාළුවෙකු ගේ ගෙදර නැවතිලා උදේට එන්න. ඔයා දන්නවද. එදා ඔහු ගෙදර ආපු දවසට කලින් දවසෙ තමයි අබරන් ගොයියා කොරටුවේ පැලේ මැරිලා ඉඳලා වළේ දැම්මේ. දළ ඌරා ඇනලා දින තුනක් ගියාට පස්සේ කොරටුවේ පැලෙන් දුර්ගන්ධයක් එනකොටලු මිනිය හොයාගෙන තියෙන්නේ. තුනුරුවන් ගේ සරණින් ගිහින් එන්ඩ පුතේ.”

(මෙහි නම් ගම් මනඃකල්පිතය.)


 

කණා බල්ලට ගැසූ හැටි

ගුණරත්න දොඩන්වල

හුණුපිටිය

තෙපානිස් ගමේ කාගෙත් හොඳ හිත දිනාගෙන සිටින ගොඩ මඩ ගොවිතැන් කරමින් සිය බිරින්දෑ සමඟින් සුහදව දිවි ගෙවන අතර හදිස‍ියේම වැලඳුණු රෝගයක් උත්සන්න වීම නිසා බිරින්දෑ අකාලයේ මිය ගියේය. බිරින්දෑගේ වියෝ වීම නිසා තෙපානිස්ගේ අනාගත බලා‍පොරොත්තු සුනු විසුනු වී හුදකලා විය. මෙසේ ටික දවසක් ගෙවී යත්ම තම නැගණියගේ බලවත් ඉල්ලීම මත අල්ලපු ගමෙන් යළි තරුණියක් විවාහ කරගෙන තම නිවහනට කැන්දාගෙන ආවේය.

ඇය තෙපානිස්ට වඩා අඩක් අඩු වයස වූ තරමක් රූමතියකි. පළමු බිරින්දෑ මෙන් තෙපානිස්ට ඉතාමත් ළෙන්ගතුව සියලුම වැඩ කිසිම අඩු පාඩුවක් නැතිව කරගෙන ගියේය. මෙසේ කලක් ගෙවීයත්ම එම තරුණිය තම පළමු‍ පෙම්වතා සමඟ හොර රහසේ ඇසුර පවත්වාගෙන ගියේය. මෙම ඇසුර ක්‍රමයෙන් ගම පුරාද පැතිරුණි. තෙපානිස්ගේ කනට ද කීපවරක් මෙය ඇසුණත් එය එතරම් ගණන් නොගෙන තෙපානිස් මෙය කෙසේ හෝ තම අතටම අල්ලා ගත යුතු ක්‍රමයක් තීක්ෂණව කල්පනා කර තම නැගණිය මුණ ගැසී සියල්ල ඇයට පවසා ඇයගේ සහය පැතීය. නැගණිය ද තමා දිය යුතු උපරිම සහය දෙන බවට පොරොන්දු විය.

බිරිය තෙපානිස්ට කිසිම අමුත්තක් නොපෙන්වා කපටිකමෙන් පෙරටත් වඩා තෙපානිස්ට ළෙන්ගතුව වැඩපල කරයි.

තෙපානිස්ට හිටි හැටියේම “අයියෝ මගේ ඇස් දෙක දනවෝ, මට කිසි දෙයක් පේන්නෑ, හරිම අන්ධකාරයි. අනේ දෙයියනේ මට මොකද වුණේ මම සදහටම අන්ධයෙක් වුණා” යැයි මරළ‍තෝනි දෙන්නට විය. අහල පහල අය ද නැගණිය ද දුවගෙන විත් විපරම් කළහ.

“උඹලා කලබල වෙන්න එපා මෙය මාගේ පෙර කරුමයක්. දැන් ඉතින් කරන්නට දෙයක් නෑ. මැරෙන කම් මෙහෙම ජීවත් වෙන්නම්.”

“අයියේ බයවෙන්න එපා උඹට මගේ කොලුවා කණවැල අල්ලයි” කියා නැගණිය ඔහුව සනසාලීය.

දැන් තෙපානිස් සැරයටියක් ගෙන නැගණියගේ කොලුවාගේ සහයෙන් කණවැල අල්ලාගෙන ගමන් බිමන් යයි.

මෙසේ හිටි අස්සේ තෙපානිස්ගේ ඇස් දෙක අන්ධ වීම නිසා අලුත් බිරිය සිත යටින් සතුටු වී පෙම්වතා සමඟ සුපුරුදු ලෙස ඇසුර පවත්වා ගෙන යන්නීය.

දිනක් සුපුරුදු ලෙස තෙපානිස් තම සැරයටිය ද අතට ගෙන කොලුවාගේ අත අල්ලාගෙන අද ටිකක් සුනංගු වේවී ප්‍රවේශමෙන් ඉන්න කියා ඔහු නිවෙසින් පිටත් විය. එසේ කියා නැගණියගේ නිවෙසට ගොස් “නංගි ඔන්න බලපන් අද බඩුත් සමඟ හොරු අල්ලන හැටි” කියා නැගෙණියට පවසා යළි ආපසු හැරී කොලුවාද සමඟින් තම නිවෙස වෙත ආවේය. එම අවස්ථාවේ ගෙයි සිටි පෙම්වතාට කර කියා ගැනීමට දෙයක් නොමැතිව ඇඳ යටට රිංගුවේය. තෙපානිස් සෙමින් සෙමින් ගොස් ඇඳ උඩ වාඩි විය. ඔහුට හුස්ම ගන්නා ශබ්දයක් ඇසී “ඈ බොල මොකාද මේ ඇඳ යට කුරු කුරු ගාන්නේ?”

“ඔය බල්ලා වෙන්න ඇති” යි බිරිය ගණන් නොගෙන පැවැසීය.

“අනේ අම්මප මේ ගෙරියට ඉන්න තැනක් නැද්ද බොල මේ ඇඳයට රිංගුවේ” කියා හොඳ හැටි එබී බලා යකඩ සැරයටියෙන් දෑත බදා පහරක් ගැසීය. ඇඳයට සිටි ඔහු පහර කමින් “බුදු අම්මෝ මාව ඉවරයි” කියමින් පැන දුවන්නට විය. තෙපානිස් කොක්හඬලා සිනාසී කොහොමද කණාගේ බල්ලට ගැසීම. තෝත් ඒ බල්ලා එක්කම පල කියා බිරියට ද පහර දී එළවා දැමීය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.