නෙළුම් විල

ගුරු වරුණ

ඒ මා ඉගෙන ගත් හයේ පන්තියයි. හයේ ‘ඊ’ පන්තියයි.

උදෑසන ම තිබුණේ සිංහල සහ බුද්ධාගම ය. ඒවා අපට ඉගැන්නුවේ පන්තිය භාර ගුරුතුමිය ය.

ඇය පැමිණ නොසිටි බැවින් කාලපරිච්ඡේද දෙකම අපට හොඳ විවේක කාලයක් විය.

අපේ පන්තිය පැවැත්වුණේ සෙසු පන්ති පැවැත්වුණු ශාලාවලින් වෙන් වූ හුදෙකලා වූවක ය. එහි පන්ති දෙකකට ඉඩ කඩ තිබුණ ද පැවැත්වුණේ අපේ පන්තිය පමණි. එහෙයින් අමතර පන්තියක හිස් ඉඩක් අපටම සින්න විය.

මේ දිගු විවේකයෙන් උපරිම ප්‍රයෝජන ගත් අපේ සිසු ගැටයන්ගෙන් පිරිසක් අර හිස් ඉඩට පැන ක්‍රිකට් ගසන්නට වූහ. තවත් පිරිසක් පන්තියේ ම ටකර ගසන්නට පටන් ගත් හ. සෙස්සො’ තම තමන්ට කැමති කැමති දෙයක් කරන්නට වූ හ. එහෙයින් පන්තිය එක ම ගාලගෝට්ටියක් විය.

හදිසියේ ම පන්තියට කඩා වැදුණේ අමුත්තෙකි.

උසට සරිලන මහතකි. සුදු කලිසමකින්, සුදු අත්දිගු කමිසයකින්, ටයි පටියකින් සැරසුණු සිරුරකි. රැවුල මුළුමනින් ම කපා කොණ්ඩය ලස්සනට පීරූ පසන් මුහුණකි.

හිටි ඉරියව්වලම ගල්ගැසුණු අපි අනතුරුව හෙමි හෙමිහිට අපේ සීමාවලට ආවෙමු.

මේ රුව ඊ‍ට පෙර දැක තිබුණා මට මතක ය. එහෙත් ඇස්පනාපිට හරියට ම පෙනුණේ දැන් ය.

මේ අපේ විදුහල්පතිතුමා ය.

අපි මීයට පිම්බාක් මෙන් සිටියෙමු.

‘මොනවද දැන් ඔය ළමයින්ට තියෙන‍්නෙ?’

කට හඬ සැර නැත. ඒත් සුරතේ වේවැලකි.

‘සිංහලයි, බුද්ධාගමයි සර්. මිස් ඇවිල්ල නෑ’ අපි අපේ දැඟලිල්ලේ වැරැද්ද ඇයට පැටවීමු.

‘එහෙමද? එහෙම නං මිස් කර කර හිටිය පාඩම නැවත බලාගන්ඩ!’ ඔහු පිටවීමට අඩි කීපයක් තැබුවේ ය. එහෙත් නතර වී ආපසු හැරුණේ ය.

‘දැන් තියෙන්නෙ මොන විෂය ද?’

‘සිංහල සර්’

පන්තිය භාර මිස් ඒ වන විටත් අපට උගන්වමින් සිටියේ කේයස් ගේ හෙවත් සාගර පළන්සූරිය කවියා ගේ ‘සුදෝ සුදු’ කවි පන්තිය ය. ඉන් කවි විස්සක් පමණ අපට නියමිතව තිබිණ.

‘මිස් මොනවද කර කර හිටියෙ?’

‘කේයස්ගෙ ‘සුදෝ සුදු’

‘කවුද කේයස් කියන්නෙ?’ එසේ අසමින් ම ඔහු නැවත අප අසලට ආවේ ය. අපි ගොළු වීමු.

වේවැල මේසය මත තබා අප වාඩි ගැන් වූ ඔහු කේයස් කවුදැයි පැහැදිලි කරන්නට පටන් ගත්තේ ය.

‘..... කේයස් කියන්නෙ අපේ කවියෙක්. කේයස් කියන නම හැදිල තියෙන්නෙ කවියගෙ නම කෙටි කරලයි. කේයස්ගෙ සම්පූර්ණ නම කලල්ඇල්ලේ ආනන්ද සාගර. කලල්ඇල්ලේ කියන කොටසින් K අරගෙන, ආනන්ද කියන කොටසින් A අරගෙන, සාගර කියන කොටසින් S අරගෙන එකට ලියපුහම KAS වෙනව. ඒක එකවර ශබ්ද කරන කොට ‘කේයස්’ වෙනව. අන්න එහෙම තමයි ඒ නම කෙටිකරල හදාගෙන තියන්නෙ.’

අප සිතා සිටියේ සිංහල විෂය ගැන දන්නේ සිංහල ගුරුතුමිය පමණක් බව ය. මේවා විදුහල්පතිතුමා දන්නේ කෙසේ ද? ගුරුතුමියටත් වැඩිය හොඳින් ඔහු ඒවා විස්තර කරන්නට දැන ගත්තේ කොහොම ද? අපි විස්මයෙන් ඔහු දෙස බලා සිටියෙමු.

අනතුරුව ඔහු කේයස් කවියා හඳුන්වා දී කවියා ලියූ වෙනත් කවි පොත් ගැන ද කීවේ ය.

‘කාටද කියන්ඩ පුළුවන් ‘සුදෝ සුදු’ කවි පන්තියෙ මුල් ම කවිය? හැබැයි පොත බලාගෙන නෙමේ. කටපාඩමින්’ ඔහු ප්‍රශ්න කළේ ය.

කටපාඩමින් තබා පොත පෙරළාගෙන කීමටවත් අපට ශක්තියක් නොවී ය .

‘එහෙමද? එහෙම නං මං කියන්නං’ ඔහු උගුර පාදාගෙන කවිය හඬ නගා කියන්නට වූයේ ය.

‘.... ගොඩමඩ දෙක ම සරුසාරය පලබරය

කටුරොද ගම්මාන තරමක පිටිසරය

ඒ ගම මැදින් ගලනා ගඟ මනහරය

කඩමණ්ඩිය පිහිටියේ ගම කෙළවරය...’

ඉන් නොනැවතී මතකයෙන් ම තවත් කවි කිහිපයක් ද කියූ ඔහු ඒවා අපට රස වින්දවා ඉන්ද නොනැවතී කවියෙන් චිත්‍රණය කෙරෙන ගම්මානය කළුලෑල්ලේ ඇඳ පෙන්නුවේ ය. සාහිත්‍යය යනු ඈතක ඇති දෙයක් නොව අප තුළ ම සැඟවී තිබෙන සම්පතක් බව අපට අවබෝධ වූයේ ඒ අවස්ථාවේ ය. අප ජීවිතයේ මුල් වතාවට සාහිත්‍යය රස වින්දා නම් එසේ රසවින්දේ එදා ය.

මුල් කාල පරිච්ඡේදය අවසන් කෙරෙන සීනුව නාද වුවද එය ගණන් නොගත් විදුහල්පතිවරයා දෙවන කාල පරිච්ඡේදයේ වැඩි කාලයක් ද අපේ සාහිත්‍ය පාඩම වෙනුවෙන් ගත කළේ ය.

ඒ වන විට අපි මානසිකව ඔහුට ඇදී බැඳී ගොස් සිටියෙමු. ඔහු තව දුරටත් අපට විදුහල්පතිවරයෙක් නොවී ය. ආදරණීය පියකු හෝ මාමා කෙනකු වැනි විය.

ඔහු සාහිත්‍ය පාඩම රසට කියා දුන්නේ විටින් විට අප හැමෝගේ ම මුහුණ දෙස බලමිනි. ඒ අනුව ඔහු පොදුවේ පන්තියට නොව තනිතනිව අප සියලු දෙනාට ම ඉගැන්නුවේ ය.

‘හොඳයි දැන් ඔය දරුවන්ට කේයස් කවියා ගැනයි සුදෝසුදු කවි පන්තිය ගැනයි හොඳ අවබෝධයක් ඇති වුණා ද?’ අවසානයේ ඔහු ඇසුවේ ය.

‘ඔව්’ අපි හැමෝ ම හඬ නඟා කීවෙමු.

‘කවි ටික හොඳට පාඩම් කර ගන්ඩ ඕනැ. ඕව විභාගෙට විතරක් නෙමේ මුළු ජීවිත කාලෙට ම වටිනව. කවි රස විඳින දරුවන්ගෙ හිත් මොළොක් වෙනව. මොළොක් හිත්වලට අන්‍යයන්ගෙ දුක වේදනාව දැනෙනව. එතකොට හැ‍මෝම තමන් වගේ කියල දැනෙනව. එහෙම දැනෙන කොට ලෝකෙ ලස්සන වෙනව. සාහිත්‍යයෙ වටිනාකම ඒකයි. කේයස්ගෙ විතරක් නෙමේ අපේ රටේ අනිත් කවියන්ගෙත් හොඳ නිර්මාණ තියනව. අපි ඒව රස විඳින්න ඕනෑ. මේ රටේ විතරක් නෙමේ ලෝකෙ කොයි රටෙත් කවියො කවි ලියනව. ඒව රස විඳින්න නං අපි වෙනත් භාෂාවල් දැන ගන්න ඕනැ. ඒ නිසා ඔය දරුවො කවද හරි ලෝකෙ වෙනත් භාෂාවලුත් හැකි පමණ ඉගෙන ගෙන හොඳ සාහිත්‍යය රස විඳින්න පිරිච්ච මිනිස්සු වෙන්ඩ අදිෂ්ඨාන කර ගන්ඩ!’

එතෙක් අප තුළ පැවති ලෝකය කෙමෙන් පුළුල්ව යන හැටි අපට දැනෙන්නට විය.

සාහිත්‍ය පාඩම අවසන් කළ ඔහු අප අතර සිටි සිසුවකු පන්තිය ඉදිරියට කැඳවා ගත්තේ ය. සිසුවාගේ හිස අවුල්ව තිබිණ.

හිස පීරීම, ඇඳුම් ඇඳීම වැනි දේ පිළිවෙළකට කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ඔහු සිය සාක්කුවක වූ පනාව ගෙන සිසුවා ගේ හිස ගානට පීරුවේ ය. මේ සියල්ල කෙරෙද්දී වෙනත් ගුරුවරුත් අවට පන්තිවල සිසුවෝත් විටින් විට අප පන්තිය දෙස බැලූ හ.

වෙනත් පන්තිවලට ඉගැන්නුවේ ගුරුවරුන් ය. අපට උගන්වමින් සිටියේ විදුහල්පතිතුමා ය. අපට ආඩම්බරයක් දැනිණ. ඔහු අපේ පන්තියෙන් පිටව යෑමට වේවැල අතට ගත්තේ ය. අපි වැඳ ඔහුට සමුදුන්නෙමු. මොහොතකින් ඔහු නොපෙනී ගියේ ය.

මේ සිද්ධියට අවුරුදු තිහක පමණ ඉතිහාසයක් තිබේ.

අද මම ජනමාධ්‍යවේදියෙක්මි. බොහෝ පතපොත ද කියැවීම පුරුද්දක් කර ගත්තෙක්මි.

මා නමැති පුරවැසියා බිහි කිරීමට මගේ මාපියන්ගෙනුත්, සෙසු ගුරු භවතුන්ගෙනුත් වූ සේවාව කිසිදා අමතක නොකරමි. එහෙත් ඊට සවිබල අත්තිවාරම දැම්මේ අර විදුහල්පතිතුමන් බව මම නිහතමානීව කියමි. අද ද හොඳ කවියක් වෙනත් සාහිත්‍යාංගයක් රස විඳින විට මට ඔහු සිහිපත් වෙයි. ඔහු මා හද පතුලේ නිදන්ව ඇත්තේ හොඳ විදුහල්පතිවරයකු, ගුරුවරයකු ලෙස පමණක් නොව සිසු දරුවනට සෙනෙහස පෑ උදාර මිනිසකු ද ලෙස ය. පසුගිය දිනෙක මම මා හා අකුරු කළ හරිත මිතුරාගේ පියාණන් ගේ අවමඟුලට සහභාගි වීමි. එපියාණන් ද අපට අකුරු කළ ගුරුතුමෙකි. ‍‍‍කලකට පසු අර විදුහල්පතිතුමන් මට දැකගත හැකි වූයේ ඒ අවමඟුලෙහි දී ය. දුටු හැටියේ ම කාන්දමකට ඇදෙන්නා සේ ළඟට ගිය මම ‘සර්’ කියා දණ නමා වැන්දෙමි.

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ විදුහල්පති සේවාවෙන් සමුගෙන දැන් විශ්‍රාම සුවයෙන් පසු වන ප්‍රේමසේන උඩුගම්පළ මහතාණනි, ඔබට නිරෝගී සුව පතමි.

ගම්පහ, පහළගම, භාරත මලවරආරච්චි මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

නෙළුම්විල, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.