පුරාණ බමුණන් කේන්දරයෙන් දුටු ස්ත්‍රීන් සහ පුරුෂයන් පිළිබඳ පුදුම කතා | Page 2 | සිළුමිණ

පුරාණ බමුණන් කේන්දරයෙන් දුටු ස්ත්‍රීන් සහ පුරුෂයන් පිළිබඳ පුදුම කතා

" දාව සංස්ථාව සිත සිතෞ පරස්පරාංශේ

ශෞක්‍රවා යදි ඝට රාශි සම්භවොංශක්

ස්ත්‍රිභික් මදන විෂානල ප්‍රදීප්තං

සංශාංතිං නයති නරාකෘති ස්ථිතාභික් "

 

1. සෙනසුරු සහ සිකුරු එකිනෙකාගේ නවාම්ශ මාරු කොට ගෙන සිටියදී එකිනෙකා දකින්නේ ද

2. වෘෂභ හෝ තුලාව ලග්නය වී කුම්භ නවාම්ශය උදා වන්නේ ද

මේ පිහිටීම් දෙකෙන් කුමක් හෝ තිබියදී උපන් ස්ත්‍රිය නාරි මෛථූනයට නැඹුරුවන අතර එහිදී ඇය පිරිමි භූමිකාවට අවතීර්ණ වන්නීය.

3. ලග්නයෙන් හෝ සඳු ගෙන් 7 වැන්නේ කිසිදු ග්‍රහයෙක් නොවන්නේ ද 7 වැන්න දුබල වන්නේ ද 7 වැන්න සෞම්‍ය ග්‍රහයන් විසින් නො දකිනු ලබන්නේ ද එකී ස්ත්‍රියට උරුම වන්නේ නපුරු සැමියෙකි.

4. සත්වැන්නේ ශනි සහ බුධ සිටින්නේ ද ඇයට හිමි වන්නේ නපුංසක හෝ ස්ත්‍රියක බඳු දුබල පිරිමියෙකි.

5. සත්වැන්නට වැටෙන චර තිර උභය ආදී රාශිය අනුව ඇගේ සැමියා ගෘහයේ වසන ආකාරය තීරණය වේ.

6. සත්වැන්නේ රවි සිටියේ නම් ඇගේ සැමියා ඈ හැර යයි.

7. හත්වැන්නේ කුජ සිටියදී පාප ග්‍රහයන්ගේ දෘෂ්ටියට ගොදුරු වුවහොත් ඇය විවාහ වී නොබෝ කලකින් වැන්දඹු වන්නීය.

8. හත්වැන්නේ සෙනසුරු සිටියදී පාප ග්‍රහ දෘෂ්ටිය ලද්දේ නම් ඇය විවාහ නොවන සුළුය.

*** මෙහිදී ලග්නය සහ සඳු ගෙන් වඩා බලවත් තැන සිට 7 වැන්න බලා ප්‍රතිඵල විමසිය යුතු ය.

9. මකර කුම්භ මේෂ වෘශ්චික යන ඒවායින් කුමක් හෝ ලග්නය වී පාප ග්‍රහ දෘෂ්ටිය ලත් සඳු හෝ සිකුරු හෝ එහි සිටින්නේ නම් ඇය සහ ඇගේ මව යන දෙදෙනා ම බහු පුරුෂ සේවනයේ යෙදේ.

10. සෙනසුරුට අයත් රාශියක් හෝ නවාම්ශයක් 7 වැන්න වූයේ නම් ඇයට හිමිවන සැමියා මහල්ලෙක් සහ මුග්ධයෙක් වේ.

11. කුජට අයත් රාශියක් හෝ නවාම්ශයක් 7 වැන්න වූයේ නම් ඇයට ලැබෙන්නේ ස්ත්‍රීන් කෙරෙහි ලොල් වූ නපුරු සැමියෙකි.

12. සිකුරුට අයත් රාශියක් හෝ නවාම්ශයක් 7 වැන්න වූයේ නම් ඇයට හිමි වන්නේ රූමත් යස ඉසුරින් පිරි සැමියෙකි.

13. බුධට අයත් රාශියක් හෝ නවාම්ශයක් 7 වැන්න වූයේ නම් ඇයට උරුම වන්නේ උගත් දක්ෂ සැමියෙකි.

14. කටකය 7 වැන්න හෝ නවාම්ශය වුවහොත් ඇගේ සැමියා කාමුකයෙක් වන අතර ම මොළොක් ගති ඇත්තෙක් වේ.

15. ගුරුට අයත් රාශියක් හෝ නවාම්ශයක් 7 වැන්න වූ විට ඇගේ සැමියා නුවණැති සංවරශීලී ගුණවතෙකු වේ.

16. සිංහ රාශිය හෝ සිංහ නවාම්ශය 7 වැන්න වූ විට ඇගේ සැමියා බොහෝ කර්මාන්තයන් හි යෙදෙන්නෙකි.

*** රාශිය සහ නවාම්ශය අයත් ග්‍රහයන් අතරින් වඩා බලවත් තැන බලා ඵලාපල විමසිය යුතු ය. ලග්නයේ සහ 7 වැන්නේ එක් පාප ග්‍රහයෙක් බැගින් සිටියදී 9 වැන්නේ ග්‍රහයකු සිටියොත් පෙර කී ඵල නිශේධනය වන්නා සේම 9 වැන්නේ ග්‍රහයාට හිමි බලය ක්‍රියාත්මක වී බ්‍රහ්ම චර්යාව හෝ පැවිදි බව පෙරටුවට එයි.

17. සඳු සහ සිකුරු ලග්නයේ සිටී නම් ඇය සැප විඳින්නියකි.ඊර්ෂ්‍යාකාරියකි.

18. සඳු සහ බුධ ලග්නයේ වෙත්නම් ඇය ශිල්ප කලාවෙහි නිපුණ ය. නිරෝගි ය. ගුණවත්ය.

19. සිකුරු සහ බුධ ලග්නයේ නම් ඇය ආකර්ශනීය වේ.සැමියාට සෙනෙහසින් යුක්ත ය .ශිල්ප කලාවෙහි නිපුණ ය.මේ සමඟ ගුරු සහ සඳුත් සිටියොත් ධනය ගුණය සහ සැපය ආදියෙන් බොහෝ පොහොසත් වේ.

20. පාප ග්‍රහයෙක් 8 වැන්නේ සිටින්නේ නම් ඇය වැන්දඹු වේ. ඒ ග්‍රහයා සිටින නවාම්ශාධිපති ග්‍රහයාගේ මහ දසා හෝ අතුරු දශාවකදී සැමියාගේ මරණය වේ.

21. අටවැන්න අධිපතියා සිටින නවාම්ශාධිපති ග්‍රහයාගේ දසා අතුරු දසා කාලයේ ඇගේ සැමියා මරණයට පත්වේ.

22. පාප ග්‍රහයකු 8 වැන්නේ සිටියදී සෞම්‍ය ග්‍රහයන් දෙවැන්නේ සිටියදී ඇගේ සැමියා සිය දිවි නසා ගනී.

23. වෘෂභ සිංහ කන්‍යා වෘශ්චික රාශියක සඳු සිටී නම් ඇයට දරු සම්පත් අල්ප වේ.

24. තේජෝ හෝ වායෝ රාශියක් ලග්නය වී සෙනසුරු මධ්‍යම බලයෙන් ද සඳු සිකුරු බුධ බල රහිතව ද රවි කුජ ගුරු බලවත්ව ද සිටියදී උපන් ස්ත්‍රිය පුරුෂ ගති ඇතිව ක්‍රියා කරයි. නො එසේ නම් බහු පුරුෂ සේවනය කරන්නීය. කොයි හැටියෙන් නමුත් බලවත් ව සමාජයේ ප්‍රසිද්ධිය ලබයි.

25. පඨවි හෝ ආපෝ රාශියක් ලග්නය වී ගුරු සිකුරු කුජ බුධ බලවත් ව සිටින්නේ ද එම ස්ත්‍රිය දර්ශන ශාස්ත්‍ර කලා ආදියෙන් නිපුණව ශාන්තුවරියක ලෙස මහත් ප්‍රසිද්ධියක් ලබන්නීය.

මී ළඟට ත්‍රීංසාම්ශ සම්බන්ධයෙන් එන පොදු ඵලාපල කථනය විමසමු. මෙය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයට ම පොදු වේ.

පොදු ඵලාපල

1. කුජ ස්වකීය ත්‍රීංසාම්ශයේ සිටියදී උපන්නේ නම් උත්සහවන්ත ය එඩිතර ය තේජවන්තය . සැඩ පරුෂය.අලංකාර ය.

2. සෙනසුරු ස්වකීය ත්‍රීංසාම්ශයේ සිටියදී උපන්නේ නම් රෝගියෙකි. වැන්දඹු වන්නෙකි.නපුරු ය කරදරකාර ය දුක් විඳින්නෙකි. නිවාස වස්ත්‍ර සහ පිරිවර අපිරිසුදු වේ.

3. ගුරු ස්වකීය ත්‍රීංසාම්ශයේ සිටියදී උපන්නේ නම් වස්තුව ද කීර්තිය ද ප්‍රඥාව ද සැපය ද තේජස ද සහිත උත්සාහවන්තයෙකි. ගරු බුහුමන් ලබන්නෙකි.

4. බුධ ස්වකීය ත්‍රීංසාම්ශයේ සිටියදී උපන්නේ නම් ශිල්ප කලා උගත් නැණවත් ප්‍රයෝගකාරයෙකි. වාදයෙහි සමතෙකි. ගෞරවය නම්බුව සොයන්නෙකි.

5. සිකුරු ස්වකීය ත්‍රීංසාම්ශයේ සිටියදී උපන්නේ නම් අධික සැප විඳින දරු සම්පතින් හා ස්වාමි හෝ භාර්‍යා බහුල නිරෝගී තැනැත්තෙකි. ධනවත් ය .රූමත් ය.බොහෝ කම්සුව විඳින අයෙකි. ස්ත්‍රී ලෝලියෙකි. ජනප්‍රිය වේ.

6.කුජගේ ත්‍රීංසාම්ශයේ සිකුරු සිටියදී උපන්නේ නම් ශූරයෙකි. එහි සඳු සිටියේ නම් තිර ගති ඇත්තෙකි.

7. ශනිගේ ත්‍රීංසාම්ශයේ රවි සිටියොත් කෲර වේ. එහි සඳු සිටියොත් පරපීඩකයෙකි.

8. ගුරුගේ ත්‍රීංසාම්ශයේ රවි සිටියොත් සත්පුරුෂ වේ. එහි සඳු සිටියොත් ඉසුරුමත් වේ.

9. බුධගේ ත්‍රීංසාම්ශයේ රවි සිටියොත් සැප විඳින්නෙකි. එහි සඳු සිටියොත් පණ්ඩිතයෙක් වේ.

10. සිකුරුගේ ත්‍රීංසාම්ශයේ රවි සිටියොත් රූමත් වේ. එහි සඳු සිටියොත් සමාජයේ ජනප්‍රිය වේ.

Comments