පොලිස් ආර­ක්ෂක රථ පිරි­වරා යේම­නය හරහා

 ඩිලන්ගේ මෙතෙක් ආ ගමනේ තොරතුරු

ඩිලන්ගේ දේශනයක් කොළඹ දී

අපේ කතානායකයා වන ඩිලන් සමරවික්‍රම මේ දිනවල බෲස් වැනිම යතුරුපැදියකින් ලංකාවේ සැරිසරයි. ඔහු කළ සංචාර අළලා ලෝ වටා පවත්වන දේශන මාලාවේ තවත් එක් දේශනයක් 18 වැනිදා (අඟහරුවාදා) සවස 3.00 ට බම්බලපිටිය ඊසොෆ්ට් මෙට්‍රො කැම්පස්හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඒ සඳහා ඕනෑම අයෙකුට සහභාගි විය හැක.

ස්විට්සර්ලන්තයේ වෙසෙන ලාංකිකයකු වන ඩිලන් සමරවික්‍රම වික්‍රමාන්විත ක්‍රියාදාමයක් කරමින් ‘බෲස්’ නමැති යතුරුපැදියෙන් මිනිස් වාසය සහිත මහද්වීප පහ හරහා ලෝ වටා සංචාරයක නිරත වූයේය. 2010 ජූලි 28 වැනිදා ස්විට්සර්ලන්තයේ ග්ලාරූස්වලින් ගමන් ඇරැඹු ඩිලන් යුරෝපයේ රටවල් රැසක කරක් ගැසීමෙන් පසුව සිරියාව හරහා අප්‍රිකාවට සේන්දු විය. පසුව ඊජිප්තුවේ නසාර් විල තරණය කරමින් සුඩානය, දකුණු සුඩානය, උගන්ඩාව, කෙන්යාව හා ඉතියෝපියාව ආදි රටවල් හරහා අතිදුෂ්කර ගමනක යෙදෙමින් ජිබුටියට පැමිණියේය. අද එතැන් සිට.....

ඩිලන්ගේ මීළඟ අරමුණ වූයේ ඉතියෝපියාවේ දී මිතුරු වූ ජර්මානු ජාතික මාටින්ද සමඟ යේමනයට යෑමය. යේමනයට ඇතුළුවීම සඳහා මාටින්ටද වීසා නොතිබුණෙන් ඔවුහූ ජිබුටි හෝටල් හිමිකරුවාගේ සහායෙන් මාටින්ට ද වීසා ලබා ගත්හ. එහෙත් මාටින්ට අවශ්‍ය වූයේ යේමනය හරහා නොගොස් ජිබුටියේ සිට ඉන්දියාවට ගුවන්ගත වීමටයි.

“මාටින්නම් කොහෙත්ම කැමැති වුණේ නෑ යේමනයේ තිබුණු දරුණු තත්ත්වයත් එක්ක එරට හරහා යන්න. මාටින් ජිබුටියට ආවෙත් මං නිසයි. අන්තිමට මං මාටින්ව කොහොමහරි කැමැති කරවගත්තා යේමනය හරහා යන්න. ඇත්තටම මාටින් කියන්නෙ හරිම අහිංසක බියගුලු චරිතයක්.”

ඉන්පසුව ඔවුන් ඉදිරියේ වූ ගැටලුව වූයේ සයිකල් දෙකත් රැගෙන රතු මුහුද තරණයකොට යේමනයට යෑමයි. ඊට ජිබුටියේ වෙසෙන ශ්‍රී ලාංකික පිරිසගෙන් ඔවුන් දෙපළට යම් හෝඩුවාවක් ලැබුණේය.

“ලාංකික පිරිස කිව්වා, ‘වරාය පැත්තට ගිහින් බලන්න. ඔය යේමනය, අරාබිකරයට වෙළෙඳාමට නොයෙකුත් බඩු භාණ්ඩ අරගෙන බෝට්ටු, පාරු ඕනෑතරම් යනවා. කතා කරලා සැලකිය යුතු ගාණක් දුන්නොත් සයිකල් දෙකත් පටවගෙන යේමනයට යන්න බැරි වෙන එකක් නෑ’ කියලා.”

ඒ අනුව ක්‍රියාත්මක වූ ඔවුන් දෙපළට යේමනයට යෑමට කුඩා බෝට්ටුවක සරණක් ලැබිණි. එහෙත් එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේ මහ මුහුදේ එවැනි බෝට්ටුවක සයිකල් දෙකකුත් පටවාගෙන යෑමේ තිබෙන අවදානම නිසයි.

“ඒක බෝට්ටුවක් වුණාට මහා පරණ එකක්. මොනව කරන්නද... වෙන දෙයක් කියලා සයිකල් දෙකත් පටවගෙන ගමනට සූදානම් වුණා. මාටින්නම් කැමැති වුණේම නෑ ඒකෙ යන්න...”

ජිබුටි වරායේ සිට යේමනයේ අදෙන් නගරය දක්වා රතු මුහුදේ පැය 17ක අවදානම් ගමනක යෙදුණු ඩිලන් සහ මාටින් රැගත් බෝට්ටුවට දරාගත නොහැකි අධික බර නිසාත් එදින මුහුදේ පැවැති රළු බව නිසාත් කීප වරක්ම පෙරළීමට ගියේය.

“අම්මෝ... ගොඩබිම දකිනකල් හැමෝම පණ බයේ හිටියේ. ඔක්කොම තිහක් විතර හිටියා. අපිත් මුලින් හිතුවේ නෑ එතරම් සෙනඟක් යයි කියලා. අන්තිමට සයිකල් දෙකයි, ඔවුන්ගේ ලට්ට-ලොට්ටයි වෙළෙඳාමට රැගෙන යන බඩුත් එක්ක බෝට්ටුවට උහුලන්න බැරි බරක් තිබුණේ. එතරම් සෙනඟක්, බරක් පටවගෙන යන්න පුළුවන් බෝට්ටුවක් නෙමේ ඒක. ඔවුන්ට ඕන සල්ලි විතරයි. අවදානමක් ගැන හිතන්නෙම නෑ. සයිකල් දෙක බෝට්ටුවේ බඳට අල්ලලා ගැටගහලා තිබුණේ. එදා මුහුදත් ටිකක් රළු දවසක්. බෝට්ටුව ගැස්සෙනකොට සයිකල් දෙක දඩ-බඩ ගාලා වදිනවා. මගේ බඩ-පපුව හෝස් ගාලා යනවා ඒ සද්දෙට. කොහොමහරි ඔය පැය 17ට දෙපාරක් තුන්පාරක් පෙරළෙන්න වගේත් ගියා.“

එම අවදානම් ගමනින් පසුව ඔවුහූ යේමනයට ගොඩ බැස්සහ. එකල ද යේමනය අද මෙන්ම ආයුධ සන්නද්ධ කල්ලි සැරිසරණ භයානක තත්තවයක් තිබූ රටකි. ගිනි ගහන රස්නයෙන් යුත් දූවිලි වැලි කතරක් වන යේමනය මිනිසුන් පැහැරගෙන ගොස් රජයෙන් කප්පම් ලබා ගැනීමට තැත් කරන කප්පම් කල්ලි විශාල ලෙස සැරි සරන රටක් ලෙස ප්‍රකටය.

එසේම නොයෙකුත් වසංගත රෝග, බෝවන රෝගවලින් අඩුවක් නැති යේමනය කෙනෙකුට සංචාරයට තියා හැරී බැලීමටවත් අවදානම් සහිත රටක් ලෙස ප්‍රකටය. එහෙත් ඩිලන් එම අවදානම නොතකා එහි සංචාරය කළේය.

“මං ඒ රටේ ඉන්න දවස්වල යේමන කැරලිකරුවන් ඇමෙරිකානු තානාපති කාර්යාලයටත් පහර දුන්නා. සංචාරකයන් කීප දෙනෙක්ම කප්පම් ගන්න අල්ලා ගත්තා. ඔවුන්ට පස්සෙ නොයෙකුත් වධ හිංසා කර මරා දාලා කියා අපට ආරංචි වුණා. ඒ රටට වීසා දෙන්නෙ නැත්තෙ ඔය ප්‍රශ්න නිසා. මොකද රජයට විදේශිකයන් ගැන වගකීමක් ගන්න අමාරුයි.

හැම අතින්ම පුදුමාකාර අරාජික රටක්. රටේ කුඩා ප්‍රදේශ පුංචි ගෝත්‍රවාදී කල්ලි මගින් පාලනය කිරීම එ් රටට තියෙන තවත් ලොකුම ප්‍රශ්නයක්. ඔවුන් තමයි පැහැර ගැනීම්, කප්පම් ගැනීම් කරන්නෙ... මගෙයි මාටින්ගෙයි අරමුණ වුණේ යේමනයේ ඇවිදීම නොවෙයි හැකි ඉක්මනින්ම රට හරහා ගොස් අපේ සවාරියේ ඉදිරියට යෑමයි. එ්ත් තිබුණු තත්ත්වය අනුව ඇවිදින්න තියා හිතන්නවත් බෑ. ඒත් මට පුංචි ආසාවක් තිබුණා යේමන් අගනුවර සානාවලට යන්න. මොකද සානා කියන්නෙත් ඓතිහාසික දේවල් බලන්න තියෙන හොඳ තැනක්.”

සිරියාවේ සිටියදී මුණගැසී කුලුපග වූ හිතවතකු සානාවල වෙසෙන බවක් සිහිපත් වී ඔහු මුණ ගැසීමට උත්සාහ කරද්දී එම හිතවතා ඩිලන්ට දැඩි ලෙස අවවාද කළේ සානා පැත්ත පළාතක නොඑන ලෙසටය.

“ඔහු ජෙෆ්රි කියලා ඇමෙරිකානු ජාතිකයෙක්. මගේ ගමන ගැන කිව්වම මාත් එක්ක හරිම හිතවත් වුණා. ඔහුත් සංචාරයට හරිම කැමතියි. ටිකක් කතා කරනකොට තමයි තේරුණේ... එතුමා කොහොම කෙනෙක්ද කියලා. පොඩිපහේ චරිතයක් නොවෙයි. අරාබිය සහ අප්‍රිකාව වෙනුවෙන් පත්කරලා හිටිය ඇමෙරිකානු නියෝජිතයා තමයි ජෙෆ්රි කියන්නෙ... ඒ වුණාට හරිම නිහතමානී චරිතයක්. එදා සිරියාවේදි එතුමා මට කිව්වා, ‘මං තව ටික දවසකින් යේමනයට යනවා. උඹ බැරි වෙලාවත් ඔය ගමන යද්දි යේමනය පැත්තෙන්නම් යන්න එන්න එපා.’ ඒ වගේම කිව්වා, ‘හැබැයි උඹ ආවොත් මං උඹට ඉඳුම්-හිටුම් දීලා හොඳට සලකනවා’ කියලත් කිව්වා.”

එහෙත් ඩිලන්ට ජෙෆ්රි මුණගැසීමට බාධා රැසකි. ඩිලන්ගේ ගමන්මඟ වැටි තිබුණේ යේමනයේ මුහුදු තීරයට සමාන්තරවයි. සානා යනු රට අභ්‍යන්තරයේ පිහිටි නගරයකි.

“මං අදෙන්වලට බැස්ස ගමන් ජෙෆ්රිට කෝල් කළා. ඔහු මට කිව්වේ ‘උඹ නම් මාර පිස්සෙක් ඩිලන්. දන්නව නේද මේ රටේ තත්ත්වෙ... උඹ ඔය වෙරළ තීරය දිගේ ඉක්මනින්ම ඕමානයට පලයන්... එන්නනම් එපා මේ පැත්ත පළාතක... හැබැයි මට හරි දුකයි උඹට සලකන්න නොලැබීම ගැන’ කියලයි.”

යේමනයේ උද්ගත වී තිබු තත්ත්වය අනුව සංචාරකයන්ට අනෙකුත් රටවල සේ ඇවිදීමට අවසරයක් නැත.

“එහෙ ඇවිදිනකොට අපේ වාහනේට ඉස්සරහිනුයි පස්සෙනුයි පොලිස් ආරක්ෂක රථ දෙකක් ගමන් කරනවා.” එය හරියට කිවහොත් මෙරට යුද සමයේදී ප්‍රභූන් ආරක්ෂක රථ පිරිවරා ගමන් ගත් අයුරු සිහි වනවා යැයි ඩිලන් පැහැදිලි පැවසීය.

“ඉතින් අපි දෙන්නා කළේ යේමනයේ වෙරළබඩට සමාන්තර මාර්ගයේ අදෙන් සිට කිලෝමීටර් එක්දහස් පන්සියයක් විතර දුර ගෙවා ඊළඟ රට වූ ඕමානයට යෑමයි. ඒක හරිම දුෂ්කර ගමනක්. මොකද ආරක්ෂක රථ පිරිවරාගෙන යනවා කියන්නෙ අපිට ඕන ඕන තැන නවතින්න බෑ. කොටින්ම මල-මුත්‍ර කරන්නවත් නිදහසක් නෑ.

ඊටත් වඩා භයානකම තත්ත්වෙ අපිට ආරක්ෂාව දීගෙන ගිය වාහනවලට වැදිලා තියෙන වෙඩි ප්‍රමාණය දැක්කම ඇඟ හිරි වැටෙනවා. කොයි වෙලාවෙ අපිටත් වෙඩි වදියිද කියන බයකුයි එන්නෙ.

ටික දුරක් යනකොට අපි දෙන්නට හිතුණා මේ ආරක්ෂාව නැතිව යන්න තිබුණනම් කොච්චර හොඳද කියලා. දකින දකින තැන හැමතැනම වගේ තුවක්කු තියාගෙන, දිග කිනිසි වගේ පිහි ඉණේ ගහගෙන ඉන්න පොඩි පොඩි කල්ලි. ඉතින් හදිසියේවත් අර ආරක්ෂක රථවලට වෙඩි තිබ්බොත් අපි දෙන්නත් ඉවරයි. පස්සෙදි එක තැනකදි මං පොලිසියේ අයගෙන් ඇහැව්වා අපි තනියම යන්නද කියලා. එ‍තකොට ආරක්ෂකයෝ කියනවා, ‘උඹලා තනියම යයි. ගිහින් කප්පම්කාරයෝ අල්ලගත්තම ඒ ප්‍රශ්නෙත් අපටම තමයි’ කියලා.”

එසේ යේමනය තුළ අවදානම් ගමනක යෙදුණු ඩිලන්ට සහ මාටින්ට පොලිස් ස්ථානවලදී දැඩි සේ රස්තියාදු වීමට සිදුවිය.

“ලංකාවේ වගේම පොලිස් බලප්‍රදේශ තමයි එහෙ තියෙන්නෙත්. ඉතින් උන් කරන්නෙ අපිව එකින් එක පොලිස් ස්ථානවලට ගිහින් බස්සන එක. පොලීසියට අපි ගිය ගමන් උන් සැදීපැහැදී ඉන්නෙ නෑ අපව එතැනින් ඊළඟ පොලීසියට ගෙනියන්න. මට මතකයි සමහර පොලිසීවල පැය හත-අට රස්තියාදු වුණා. මාර කට්ටක්. තියෙන රස්නෙට තවත් අමාරුයි. ඇඳුමක් ගලවලා පොඩ්ඩක් නිදහසේ ඉන්නත් බෑ පොලීසිවලනේ. කිසිම තැනක ඇවිදින්නත් බෑ. මාටින් කියනවා, ‘කෑවයින් කෑවෙ නෑ මෙහෙම කට්ටක් කියලා.’ ඇත්ත තමයි, අඩුම තරමේ රටේ අසිරිය විඳින්න-දකින්නවත් අවස්ථාවක් තිබුණනම්. ඒ මදිවට නිදහසේ රට හරහා යන්ඩවත් නෑ. ඔය විදිහට අපි දෙන්නා පොලිසි 10ක විතර ළතැවුණා.”

යේමනයේදී ගතකළ රාත්‍රී කීපයක් පොලීසියට කට්ටි පනිමින් කාන්තාරවල කූඩාරම අටවාගෙන රැය පහන් කළ බවද ඩිලන් පවසන්නට විය.

“ආරක්ෂක රථ පිරිවරාගෙන ගිහිල්ලා රෑ වුණාම ඔවුන් කරන්නේ අපව පොලීසියට ළඟපාතක ආරක්ෂා සහිත තැනක තියෙන හෝටලයකට යවන එක. මම නම් කොහෙත්ම කැමැති නෑ හෝටල්වල ඉන්න. මාටින්ට හරි ජොලි ආරක්ෂා සහිත හෝටල්වල ඉන්නවා කියනකොට. මං කළේ පොලීසියේ අයගෙන් හෝටලේ තියෙන තැන අහගෙන, ‘ආ එහෙනම් අපි හෝටලේට යන්නම්... ඔයාල ඉන්න...’ කියලා හිමින් සැරේ පොලීසියෙන් යනවා. ඇවිල්ලා මාටින්වත් කැමැති කරවගෙන ‘ශේප්’ එකේ කාන්තාර භූමියට ගිහින් කාටවත් ඇස නොගැටෙන ‍තැනක හොර රහසෙම කූඩාරම අටවගන්න එක. නැවතත් පාන්දර හිමින් සැරේ පොලීසියට එනව‍ා”

මාෆියා කල්ලිවලින් බේරී ගමන් කිරීමට තමන්ට එලෙස ආරක්ෂාව සපයද්දී පොලීසිය මඟ හරිමින් කළ එවැනි ක්‍රියාවන්හි අවදානම සිහිපත් වෙද්දී දැන් දැනෙන්නේ බියක් බවද ඩිලන් පවසයි. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.