බන්ධ­නා­ගාර රැඳ­වි­යන්ට යෝගී ව්‍යායාම | සිළුමිණ

බන්ධ­නා­ගාර රැඳ­වි­යන්ට යෝගී ව්‍යායාම

 කෑගල්ල බන්ධනාගාරය තැනීම සඳහා මුල් වී ඇත්තේ උතුවන් කන්දේ සරදියෙල් රඳවා තබා ගැනීමේ අවශ්‍යතාවය ය. සරදියෙල් රඳවාගෙන සිටි බව කියැවෙන විශේෂ කුටියේ ශේෂයන් තවමත් එහි වෙයි. පසුගිය ඇසළ පුන් පොහෝ දා අප එහි ගියේ බන්ධනාගාරයේ විශේෂ භාවනා වැඩසටහනක් සඳහා සහභාගි වන ලෙස ලද ආරාධනයෙනි‍. වසර 1891 යනුවෙන් සඳහන් විශාල ගල් බැම්මකින් වටකොට තැනූ සුවිසල් දොරෙන් අපි එහි පිවිසුණෙමු. පෝය දිනවලදී සාමාන්‍ය දිනයකට වඩා රැඳවියන් බැලීමට විශාල පිරිසක් පැමිණෙති. එලෙස පැමිණි පිරිස අතරින් අපි බන්ධනාගාරයේ මැද මිදුලක් වැනි වූ කොටසට ගියෙමු.

එම කොටසේ පසෙක වූයේ එදින සිල් සමාදන් වූ රැඳවියන් පිරිසකි. වෙනදා දකින නිල ඇඳුමෙන් නිදහස්වූ බන්ධනාගාර සහකාර අධිකාරි ආර්.ඩබ්ලිවි.ඩබ්ලිව්.යූ.ඩී.ඒ. සම්පායෝ මහතා රැඳවියන් පිරිසක් සමග බිම එළන ලද පැදුරක වාඩිවී සිටී. භාවනා වැඩසටහන මෙහෙයවීමට පැමිණි ස්වාමින් වහන්සේ සොයා මගේ නෙත ඔබ මොබ යොමුවිය.

රැඳවියන් ඉදිරියේ සිටි බන්ධනාගාර සහකාර අධිකාරි සම්පායෝ මහතා සුපුරුදු ගැඹුරු හඬින් වුවත් වෙනදා නොමැති ශාන්ත ස්වරයකින් රැඳවියන් අමතයි. සිරකරුවෝද මනුෂ්‍යයෝය යන්න සනාථ කරමින් ඔවුන් සමඟ පැදුරක වාඩිවූ ඔහුගේ මුවින් නික්මෙන්නේ සනාතන දහමකි.

“ඔබ බන්ධනාගාරගතව සිටින්නේ මනස තුළ හටගත් වැරැදි සිතුවිලිවලින් ගත් ක්ෂණික ක්‍රියාමාර්ග නිසා. ඒ මොහොතේ හැගීම්වලට වහල් නොවී තම සිරුර පාලනය කරගත්තා නම් ඔබට මෙවැනි අවාසනාවන්ත තත්ත්වයක් උදාවෙන්නේ නැහැ. පංචේන්ද්‍රිය පාලනය කර ගැනීම සදහා මනස පාලනය කරගැනීමට අවශ්‍යයි. ඒ සඳහා සුදුසුම දේ යෝගී භාවනාවේ යෙදීමයි.” සම්පායෝ මහතා තමා කරන කටයුත්ත ගැන රැඳවියන්ට යම් අවබෝධයක් ලබා දුන්නේය.

“ඉන්දියාවේ කිරාන් බේඩි බන්ධනාගාරය තුළ හින්දු ආගමානුකූලව යෝගී භාවනාවලට රැඳවියන් සම්බන්ධ කරගත්තා. ඕනෑම මනුෂ්‍යයකුගේ මනස හික්මවීම තුළින් සිත දමනය කළ හැකියි. මහා භාරතයේ යෝග ශාස්ත්‍රය අනුව මෙය පංචේන්ද්‍රිය දමනය කිරීම තුළින් මනස නිරවුල් කිරීමේ ක්‍රියාවලියයි.

මේ සදහා දීර්ඝකාලීන පුහුණුවක් අවශ්‍යයි. මා එම පුහුණුව මීට අවුරුදු කීපයකට පෙර ලබා තිබෙනවා. මා ප්‍රගුණ කරන ලද බෞද්ධ හා හින්දු ආගමානුකූල ක්‍රම මත අලුත් භාවනා ක්‍රමයක් ඔබට පුහුණු කිරීමට මම කැමතියි. මෙම යෝගී භාවනා ක්‍රම ශරීරයට තරමක වේදනාකාරී විය හැකියි. ඔබ බන්ධනාගාරගත වූවේ භෞතික ලෝකයේ චිත්ත රූප අල්ලා ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රතිළුලයක් ලෙසයි. මේ ක්‍රියාවලිය තුළ රටක අපරාධ වර්ධනය වෙනවා. මෙම යෝගී භාවනා තුළින් මනස පාලනය කිරීමේ සිතුවිලිවලට ප්‍රතිකර්මයක් ලබාදීමට උත්සාහ කරමු.යෝගී භාවනා සිදුකර භෞතික ශරීරය නිරෝගීකර ඒ තුළින් නිරෝගිමත් මනස ලෝකෝත්තර සිතුවිල්ලක රැඳවීම මගේ අදහසයි.”

කළුතර බන්ධනාගාරයේ සිට අධිකරණයට ගෙනයන අතරතුර පාතාල සාමාජිකයන් වෙඩි තබා ඝාතනය සිදුවී තවම වසරක්වත් ගතවී නැත.

එම සිදුවීම ඉවහල් කරගනිමින් පාතාල රැඳවියන් සඳහා වෙඩි නොවදින බස් රථයක් නිර්මාණය කළේ මෙම බන්ධනාගාර සහකාර අධිකාරිවරයාය. ඒ බන්ධනාගාර රැඳවියන්ගේ හා නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටය. මෙවර ඔහු තවත් සද් කාර්යයකට උරදී සිටී. එ් සැබැවින්ම රැඳවියා යහපත් පුද්ගලයකු ලෙස සමාජගත කිරීමේ අරමුණෙනි. 

 

 

Comments