හද­ව­තක් වෙනු­වෙන් තවත් හද­ව­තක් පණ ගැහුණු දා...

වසර පනහක් තිස්සේ අපේ රටට සිහිනයක්ව පැවැති හෘදය වස්තුව බද්ධ කිරිම යථාර්ථයක් බවට පත්කිරිමට මහනුවර මහ රෝහල සූදානමින් සිටින සුබ පණිවිඩය අපි පසුගිය දිනක සිළුමිණෙන් හෙළි කළෙමු.

ඒ සිහිනය සැබෑ කරමින් දෙදහස් දාහතේ හත්වෙනි මාසේ හත් වැනි දින හරියටම රාත්‍රී හතට මෙරට වෛද්‍ය ඉතිහාසයේ අමරණීය මොහොත සලකුණු කරමින් මොළය මිය ගිය අයෙකුගේ හෘදය වස්තුව පිටතට ගෙන හදවත අකර්මණ්‍ය රෝගියෙකුගේ ළයට තුරුලු කළේ වෛද්‍ය ක්ෂේත්‍රයේ කිරුළු දරණ විශේෂඥ වෛද්‍ය වරුන්ගේද හෘදය ස්පන්දනය වෙනසකට ලක්කරමිනි.

රාත්‍රී හතට ඇරැඹුණු මෙම සැත්කම පාන්දර එක හමාර දක්වා තත්පරයෙන් තත්පරය දශමයෙන් දශමය නිමාව දකිද්දී වෛද්‍ය කණ්ඩායම සුසුම් හෙළුවේ ඊළග තිරණාත්මක මොහොත අපේක්ෂාවෙනි. එංගලන්තය වැනි රටවලදි හෘදය වස්තු බද්ධ කරමින් තමන් ලත් අත් දැකිම් සමුදාය මෙරට වෛද්‍යවරුන් කණ්ඩායම එකතුව ගෙන හැර දැක්වුයේ මේ මවු රට තුළ ප්‍රථම වතාවටය. එක් අයෙකුගේ හදවතක් ආගන්තුක ශරිරයක් තුළ පණ ගැන්වීම සුළු පටු කටයුත්තක් නොවේ. වෛද්‍ය කණ්ඩායමේ එකම බලාපොරොත්තුව වුයේ සැත්කමේ නිමාවත් සමඟ ඊළග තත්පරයේ එම හදවත අලුත් සිරුර තුළ සාර්ථකව පණ ගැන්වෙනු දැකීමය. සියලු බලාපොරොත්තු සඵල කරමින් ඊළග නිමේෂයේදි සවිකළ හදවත ආගන්තුක ශරිරය තුළ පණ ගැන්වූයේ සියලු නෙත්වලට සතුටු කදුළු එක් කරමිනි.

මහනුවර වෙළම්බොඩ උඩුනුවර හෙක්ටයාර් විසිදෙක ජනපදයේ පදිංචිව සිටි විසි දෙහැවිරිදි ප්‍රදීප් කුමාර සම්පත් තරුණයා දායාද කළ හදවතින් අනුරාධපුරයේ තිස් හය හැවිරිදි එක් දරු මවක් මහනුවර මහරෝහලේදි මෙසේ ජිවය ලැබුවාය. මෙය ලංකාවේ ප්‍රථම හදවත් බද්ධය ලෙස ඉතිහාසයට එක්වන අතර එම වෛද්‍ය කණ්ඩායමත්, හදවත පරිත්‍යාග කළ ඔහුත් එම හදවත් බද්ධයට භාජනය වු ඇයත් එනිසාම ඉතිහාසගත වෙති.

ලෝකයේ ප්‍රථම වතාවට 1967 වසරේදි දකුණු අප්‍රිකාවේදි ප්‍රථම හදවත් බද්ධය සිදු විය. පසු කලෙක ලොව බොහෝ රටවල මෙම හදවත් බද්ධ සිදු වුවද වසර පනහක් යනතුරු අප රටට එය සිහිනයක් පමණක් විය. ලෝකයේ දියුණු රටවල කරන ඕනැම බැරෑරුම් සැත්කමක් වසර පහක් යන විට මෙරට වෛද්‍යවරුන්ගේ දෑතින් මෙරටදි සිදුවෙද්දී මේ සැත්කමට මෙතරම් කලක් බලා සිටීමට සිදු වුයේ මෙහි ඇති බැරෑරුම්කම නිසාමය.

මොළය මියගිය පුද්ගලයින්ගෙන් ලබාගත් වකුගඩු බද්ධය 2004 වසරේ සිට මෙරට සිදු කර ඇති අතර මේ වන විට එවැනි බද්ධයන් සිය ගණනක් සිදු කර ඇත. මොළය මිය ගිය පුද්ගලයෙකුගේ අවයවයකින් තවත් ජිවිතය අවදානම් සහගත තත්ත්වයේ සිටින පුද්ගලයෙකුට ජිවය දිය හැකි නමුදු එම අවයව ලබාගැනිමේ නෛතික හා විද්‍යාත්මක පදනමක්ද ඇත.

මෙම අවයව ගනු ලබන පුද්ගලයා අනිවාර්යයයෙන්ම රෝහලක දැඩි සත්කාර ඒකකයක යන්ත්‍රයක ආධාරයෙන් ජිවත්ව සිටින අයෙකු විය යුතු අතර ඔහුගේ මොළය මිය ගොස් ඇති බවත් තවදුරටත් ජිවත් කළ නොහැකි බවටත් නිගමනය වී තිබිය යතුය. මොළය ක්‍රියා විරහිත බවට පරික්ෂණ සියල්ලෙන්ම තහවුරු විය යුතුයි.

අවසරයකින් තොරව කිසිදු අවයවයක් ගැනිමේ අවකාශ නැත. මෙම රෝගිහූ දින කිහිපයකින් අනිවාර්යයයෙන්ම මරණයට පත් වෙති. නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ අවුරුදු පහක පළපුරුද්ද ළත් වෛද්‍යවරුන් දෙදෙනෙකු දෙවතාවක් පරික්ෂාවට ලක්කළ යුතු අතර පළමු පරික්ෂාව කර දිනකට පසු දෙවැනි පරික්ෂාව කරනු ලබයි. ස්ථිරව මොළය මියගොස් තව දුරටත් ජිවත් කළ නොහැකි බව තහවුරු වු පසු රෝගියාගේ ඥාතින් ඒ පිළිබදව දැනුම්වත් කරනු ලබයි. ඉන් පසු ඔවුන්ගේ කැමැත්ත මත පමණක් අවයව ලබා ගැනිම සිදු කරයි. ඉන්පසු අධිකරණ ක්‍රියා දාමයකට අනුව අධිකරණයේ අවසරය ඇතිව මෙම අවයව ලබාගනි.

මෙම ලබාගත් හෘදය බද්ධ කරනු ලබන රෝගියා ප්‍රකෘති තත්ත්වයට පත්කළ නොහැකි හෘදය රෝගියෙකු විය යුතුයි. හදවත් අකර්මන්‍යතාවට පත්වු මෙවැනි රෝගින් සඳහා වු එකම විකල්පය මෙලෙස හදවතක් බද්ධ කිරීම පමණි. අදවන විට මෙවැනි රෝගිහූ බොහෝ දෙනෙක් වෙති.

එසේ වුවද ඉන්ද්‍රියක් ලැබු පමණින්ම එය බද්ධ කිරිමේ හැකියාවක් නැත. අවයව දෙනු ලබන හා සැත්කමට භාජනය වන පුද්ගලයා අතර ගැළපීම් තිබිය යුතුය. රුධිර ගණ ගැළපීම් රුධිර සෛලවල ප්‍රතිජීවක ගැළපිම් ඇතුළු ගැළපීම් සමුදායක් තිබිය යුතුය. නොඑසේ නම් නොයෙක් අසාත්මිකතා ඇතිවිය හැකිය. එක් පුද්ගල අවයවයක් ආගන්තුක ශරිරයක් තුළට ඇතුළු විමේදි නොයෙක් ප්‍රතික්ෂේප කිරිම්වලට ලක්විය හැකිය. විෂ බීජ ඇතුළු විමේ දැඩි අවධානමක් ඇත.

මෙවැනි අවධානම් රැසකට මුහුණ දි මෙම අභියෝගය බාරගන්නා වෛද්‍ය වරුන්ට සැත්කමෙන් පසුවද ඇත්තේ භාරධූර ක්‍රියා පටිපාටියකි. එම අවදානම සියතට ගෙන අප වෛද්‍ය කණ්ඩායම මේ භාරධුර කාර්යයට අත ගැසුවේ මීට මාස හයකට පමණ පෙරය. මේ සඳහා වැය වන මුදල රුපියල් කෝටි ගණනකි. අවශ්‍ය උපකරණ එකින් එක සුදානම් කර ගනිමින් තිබෙන සම්පත් ප්‍රයෝජනයට ගෙන රජයටත් රෝගියාටත් බරක් නොවීමට වග බලා ගැනීම මේ වෛද්‍යවරුන්ගේ මානුෂිකත්වය පෙන්නුම් කරන්නකි.

හය මසක් පුරාවට මහනුවර මහ රෝහලේ ලක ලැස්ති වූ මෙම කටයුත්තට අවශ්‍ය මානව සම්පත් මෙන්ම භෞතික සම්පත්ද අංග සම්පුර්ණ විය. වැලිසර, ලේඩි රිජ්වේ, සිරිමාවෝ බණ්ඩාරනායක, කුරුණෑගල, අනුරාධපුර හා මහනුවර මහරෝහල ඇතුළු රෝහල් හතක සහභාගිත්වය මීට ලැබිණි. හය මසක් පුරාවට ලක සූදානම් වූ මෙම සැත්කමට රෝගීන් ලක ලැහැස්ති වුවද හදවතක් එනතුරු බලා සිටිය යුතුය. එය කොයි මොහොතේ ඒවිදැයි කිසිවෙක් නොදනිති. නමුත් සුදුසු අවස්ථාව ආ සැණින් එය ඉටු කිරිමට සියලු දෙනා එකඟව සිටියහ.

අනුරාධපුරයේ තිස්හය හැවිරිදි එක් දරු මවක මිට වසරකට පෙර අනුරාධපුර මහ රෝහලට ඇතුළත් වූයේ හුස්ම ගැනීමේ අපහසු තාවයෙන් පෙළුණ නිසාය. පරික්ෂා කිරීමේදි ඇගේ හෘදය වස්තුව ක්‍රියාත්මක වුයේ සියයට 45ක් පමණි. මුල් අවස්ථාවේ හේතුව හොයා ගැනිමට නොහැකි වුවත් දිගින් දිගට කරන ලද පරීක්ෂණවලදී තහවුරු වුයේ ඇගේ හෘදය එන්ට එන්ටම දුර්වල වන බවය. හෘදයක් බද්ධ කිරීම හැර ඇයට වෙන කළ හැකි පිළියමක් නොවීය. ඇය මරණය පෙනි පෙනි ජිවත් වූවාය. මෙම කාලය තුළ හෘදය අකර්මන්‍ය රෝගීහු විශාල සංඛ්‍යාවක් වෛද්‍යවරුන්ගේ පරික්ෂාවට ලක්වෙමින් සිටියහ.

මේ අතර තුර හදිසි රිය අනතුරකට ලක්ව මහනුවර වෙළම්බොඩ ප්‍රදේශයේ ප්‍රදිප් කුමාර සම්පත් නමැති තරුණයෙකු මහනුවර මහ රෝහලට ඇතුළත් කෙරිණි. එම තරුණයාගේ ජීවිතය දැඩි අවදානම් සහගත තත්ත්වයේ පසුවිය. ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබිය. වෛද්‍යවරුන් එම තරුණයාගේ ජිවිතය බේරා ගැනීමට නොගත් උත්සාහයක් නැත. සියල්ල නිෂ්ඵල විය. ඔහුගේ මොළය අක්‍රිය වී ඇති බව වෛද්‍යවරුන් සනාථ කර තිබූ අතර ඔහුගේ ජිවිතය දින දෙක තුනකට සීමා වී තිබිණි.

මොහුගේ අවයව මගින් තව කෙනෙකු ජීවත් කරවිමට හැකි බවත් මොවුන්ගේ මවුපියන් ඒ පිළිබඳ දැනුම්වත් කිරිමටත් වෛද්‍යවරු පියවර ගත්හ.මෙය දැඩි සංවේදී අවස්ථාවකි. රෝගියෙකුගේ ඥාතින් සිතන්නේ රෝගියා තව දුරටත් ජිවත් වනු ඇති බවය. තම දරුවා ඇඳක් උඩ වැතිර ජිවිත කාලයම සිටියත් සැපක් යැයි ඒ අවස්ථාවන්ට මුහුණ පාන අය සිතිම පුදුමයක් නොවේ . ඒය ලෝක ස්වභාවයයි. මේ පවුලේ උදවිය කරුණු අවබෝධ කර තම පුතණුවන්ගේ අවයව පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කර සිටියහ.

එම කැමැත්ත අනුව ක්‍රියාත්මක වු වෛද්‍යවරු එදිනම හවස ඔහුගේ අවයව රෝගින්ට බද්ධ කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කළහ. හෘදය බද්ධ කිරීමට අවශ්‍ය කටයුතු සියල්ල මාස ගණනක සිට ලක ලෑස්තිව තිබිණි. ක්ෂණයකින් වෛද්‍ය කණ්ඩායම ඇතුළු අනෙක් කාර්ය මණ්ඩලද සූදානම් විය. වකුගඩු දෙකද රෝගීන් දෙදෙනෙකු සදහා බද්ධ කිරීමට කටයුතු සුදානම් විය. දෙමවුපියන්ගෙන් ලත් අවසරයෙන් පසු අධිකරණයෙන්ද අවසර ගෙන කටයුතු සුදානම් විය. මෙම තරුණයාගේ ගැළපුම් ඇති රෝගියෙකු තීරණය කිරීමට කිහිප දෙනෙකුම පරික්ෂාවට ලක් කරද්දී අනුරාධපුරයේ තරුණ මව ගැළපුම් සමාන වීමෙන් ඇය තෝරා ගැනිණි.

ඒ අනුව ජුලි මස හත්වැනි දින රාත්‍රී හත වන විට මහනුවර ප්‍රදිප් කුමාර තරුණයාගේ හෘදය දානයෙන් අනුරාධපුරයේ කාන්තාවට ලංකාවේ ප්‍රථම හෘද සැත්කම සිදු කිරිම ආරම්භ කෙරිණි. පැය හතකට ආසන්න කාලයක් සිදුකළ සැත්කම අති සාර්ථක විමෙන් එම කාන්තාව ජිවය ලබා තිබේ. සැත්කම මුළුමනින්ම සාර්ථකව සිදු කෙරුණු බව වෛද්‍යවරු පවසති. එම කාන්තාව වෛද්‍ය රැකවරණය මධ්‍යයේ සුවය ලබමින් සිටින්නීය. මේ සදහා මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා දුන් සහයෝගය අගේ කළ යුතුය.

මෙම සැත්කම සඳහා හෘදය ශල්‍ය විශේෂඥවරුන් වන කේ. ඥානකාන්තන්, මුදිත ලංසක්කාර, අනිල් අබේවික්‍රම. හෘදය රෝග වෛද්‍ය විශේෂඥයන් වන සුනේත්‍රා ඉරුගල් බණ්ඩාර, රොෂාන් පරණමාන, නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වන ජගති පෙරේරා, අරුණි ජයසේකර, ප්‍රියන්ත දිසානායක, රුධිර පාරවිලනය පිළිබද විශේෂඥ වෛද්‍ය ධර්මා සමරකෝන්, වෛරස් රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය රෝහිත මුතුගල, ක්ෂුද්‍ර ජිව පිළිබද විශේෂඥ වෛද්‍ය ශිරානි චන්ද්‍රසිරි, ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය ලෙස්ලි සිරිවර්ධන, අධිකරණ වෛද්‍ය විශේෂඥ එම්. සිවසුබ්‍රමනියම්, ස්නායු නිර්වින්දන විශේෂඥ වෛද්‍ය රවි විරකෝන්, යන විශේෂඥ වෛද්‍යවරු සහභාගි වුහ. වෛද්‍යවරුන් හෙද නිලධාරින් රසායනාගාර නිලධාරින් මෙන්ම අනෙකුත් කාර්යය මණ්ඩලය ලබා දි ඇති සහයෝගය අගේ කළ යුතුය.

ප්‍රදිප් කුමාර තරුණයාගේ දේහය පසුගිය දහ වැනිදා මිහිදන් කෙරිණි. ඔහුගේ ඉන්ද්‍රියයන්ගෙන් ජිවය ලද තිදෙනෙක් අද මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති. ඔවුනට අවයව දන්දුන් ප්‍රදිප් කුමාර තරුණයා මහා පුණ්‍ය කටයුත්තකට දායක වි ඇත. උවමනාව කැපවීම මෙන්ම ජනතාවට ඇති ආදරය නිසාම පුංචිම පුංචි දේ සිට එකතු කොට රටට බරක් නොදි රෝගියාට බරක් නොදි මිල කළ නොහැකිව සිදු කළ මෙම උතුම් මානුෂිය සත්කාරයට මෙම වෛද්‍ය කණ්ඩායමට ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුය.

අනපේක්ෂිත සිද්ධි අප ජිවිත කරා ඒම වැළැක්විය නොහැක. එවැනි අවස්ථාවක මරණ සහතිකය අප අතට පත් වෙද්දී අපේ ඉන්ද්‍රියකින් තව කෙනෙකු ජීවය ලබනවානම් ඊට අකමැති කෙනෙක් සිටිය නොහැක.

ලෝකයේ බොහෝ රටවල හදිසි අනතුරු වැන දැ වලින් මොළය මිය යන පුද්ගලයින්ගේ අවයව ලබා ගැනිමට පනත් සම්මත කර ඇත. එහෙත් අප රටේ ඒ සඳහා වූ කිසිදු වැඩ පිළිවෙළක් මෙතෙක් නැත. දැන් අපේ වෛද්‍යවරුන් ඔවුන්ට කළ හැකි දේ ඉටු කර හමාරය. මෙවන් උතුම් කටයුත්තට දායක විමට ජනතාවට අවස්ථාව සලසා දීමට වැඩ පිළිවෙළ සකස් කිරිම බලධාරින් සතු යුතුකමක් මෙන්ම වගකිමක්ද වන්නේය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.