ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ ශූරතාවලියේ වලල සලකුණ...

ලාංකේය පාසල් මලල ක්‍රීඩා කෙත නිරන්තරයෙන් ම පෝෂණය කරනු ලබන වලල ඒ. රත්නායක විද්‍යාලය අසූහත්වැනි ජ්‍යෙෂ්ඨ ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ දී සමස්ත බාලිකා ශූරතාව 19 වැනි වරටත් දිනා ගනිද්දී, පිට පළාත් බාලක ශූරතාව ද දිනාගැනීමට සමත් විය. මීගමුව මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය සමස්ත බාලක ශූරතාව අඛණ්ඩව පස්වැනි වරටත් මෙවර හිමිකර ගනිද්දී, ඔවුන්ට තියුණු සටනක් ලබාදෙමින් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය දෙවැනි සහ වලල රත්නායක විද්‍යාලය තෙවැනි ස්ථානයන්ට පත් විය.

බාලිකා දෙවැනි ස්ථානය මෙන්ම පිට පළාත් ප්‍රථම ස්ථානය ද රත්නපුර සුමන බාලිකා විද්‍යාලයට හිමිවූ අතර, තෙවැනි ස්ථානය වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමිවිය. පිට පළාත් බාලක අනුශූරතාව හලාවත ශාන්ත මේරි විද්‍යාලයට සහ බාලිකා අනුශුරතාව මීගමුව ආවේ මරියා කන්‍යාරාමයට හිමි විය.

අබලන්ව දියවී ගොස් තිබෙන දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සියලු අභියෝග දුෂ්කරතා පසෙකලා නව තරග වාර්තා 14 ක් බිහිකිරීමටත් එක් තරග වාර්තාවක් සම කිරීමටත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වීම සැබැවින්ම අගය කළ යුතු කරුණකි. මේ නිසා විවිධ ආබාධයන්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක්වීම ද බැහැර කළ හැකි සාධක නොවේ.

මෙවර ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය මීටර් 110 කඩුලු තරණ ඉසව්ව තත්. 14.06 කින් නිම කළ ශාන්ත ජෝශප් විද්‍යාලයේ ෂෙහාන් කාරියවසම්ට හිමිවූ අතර, දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දුර පැනීම ඉසව්ව මීටර් 5.98 ක් සටහන් කළ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ රිද්මා නිෂාදිට හිමිවිය. රිද්මා නිෂාදි පසුගිය වසරේදී ද මෙකී ඉසව්වෙන්ම දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත්තාය.

පසුගිය වසරට සාපේක්ෂව මෙවර නව වාර්තා තුනකින් වාර්තා සංඛ්‍යාව ඉහළ ගිය නමුත් අමතක කළ නොහැකි වන්නේ එකී වසරේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ද මෙකී තරගාවලියේ බිහි වීමය. යාපනය තිලප්පෙලෙ මහජන විද්‍යාලයේ ජෙගදීස්වරන් අනිතා බාලිකා රිටි පැනීමේ ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කිරීමට සමත් වූවාය.

 

වලල බැබළේ

මෙවර තරගාවලියේ වයස අවුරුදු 18 න් පහළ බාලක සහ බාලිකා ශූරතා ද්විත්වයම හිමිකර ගත් වලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වයස අවුරුදු 16 පහළ 20 පහළ බාලිකා ද්විත්ව ශූරතාවන් ද හිමිකර ගැනීමට සමත් වූහ. වලල ක්‍රීඩකයන් අතින් මෙවර ගිළිහුණේ වයස අවුරුදු 16 සහ 20 පහළ බාලක ශූරතා ද්විත්වයයි. එහිදී 16 පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට හලාවත ශාන්ත මරියා සහ 20 පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට මාරිස්ස්ටෙල්ලා විද්‍යාල සමත් විය.

ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ තරගාවලියේ පමණක් නොව, ලාංකේය පාසල් මලල ක්‍රීඩා පිටියේ ම විශිෂ්ට දස්කම් දක්වන වලල ඒ. රත්නායක විද්‍යාලය 1998 ජෝන් ටාබට් පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ පටන් ගෙවී ගිය තරගාවලිය දක්වා බාලිකා ශූරතා 19 වතාවක් සහ බාලක ශූරතා 8 ක් දිනා ගෙන තිබේ. මේ අනුව එතෙක් මෙතෙක් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ 27 වතාවක් වලල නාමය ඉහළම සටහන් ව තිබේ.

වැඩිම ශූරතා

1998 සිට 2011 දක්වා අඛණ්ඩව ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ බාලිකා ශූරතාව හිමිකර ගන්නා වලල 2013 සිට 2017 දක්වා ද අඛණ්ඩව මෙකී ශූරතාව දිනා ගෙන තිබේ. මෙකී ඉතිහාසයේ වලල බාලිකාවන්ට ශූරතාව අහිමිව ඇත්තේ 2012 දීය.

බාලක ශූරතාව ද 2001 සිට 2003 දක්වා ද, 2006 සිට 2008 දක්වා ද, 2011 දී සහ 2012 දී අඛණ්ඩව දිනා ගෙන ඇති වලල ඒ රත්නායක විද්‍යාලය බාලක සහ බාලිකා ද්විත්ව ශූරතා 2001 - 03 දක්වා ද, 2006 - 08 දක්වා සහ 2011 දී වශයෙන් හත්වතාවක් දිනා ගෙන තිබීමද විශේෂත්වයකි.

 

මාරිස්ස්ටෙල්ලා

මෙසේ වලල බාලකයන් වෙතින් ගිළිහුණු ශුරතාව 2013 සිට අඛණ්ඩව පස්වැනි වරටත් හිමිකර ගැනීමට මාරිස්ස්ටෙල්ලා විද්‍යාලය සමත්ව තිබේ. 2010 සිට 2012 දක්වා අඛණ්ඩව අනුශූරතාව දිනා ගෙන තිබෙන්නේ ද මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයයි.

පසුගිය වසරේ බාලිකා අනුශූරතාව, වයස අවුරුදු 20 පහළ බාලිකා ශූරතාව සහ පිට පළාත් බාලිකා ශූරතාව දිනා ගත් අඹගමුව මැදි මහා විද්‍යාලය මෙවර තරගාවලියේ පසුබැසීම කැපීපෙනෙන සිදුවීමක් විය.

මෙවර තරගාවලියේ බිහි වු වාර්තා 14 න්, වාර්තා හතරකම හිමිකරුවන් වීමට ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන් සහ මනේෂ් මලින්ත සමත් වූහ. වයස අවුරුදු 16 න් පහළ බාලිකා මීටර් 100 සහ 200 ඉසව්වලදි සදීපා හෙන්ඩර්සන් සහ 18 න් පහළ බාලක යගුලිය සහ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වල නව වාර්තා පිහිටුවීමට තල්දෙන ශාන්ත රීටා විද්‍යාලයේ මනේෂ් මලින්ත සමත් වූහ. මීට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ෂෙහාන් කාරියවසම් මීටර් 110 කඩුලු මතින් දිවීමේ තරගයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.