දුරකතන තහනම් වූ සියවසේ විවාහය | සිළුමිණ

දුරකතන තහනම් වූ සියවසේ විවාහය

දිනය ඉකුත් ජුනි මස 30 වැනිදාය. ආර්ජන්ටිනාවේ රොසාරියෝ නුවර හොටෙල් සිටි සෙන්ටර් හෝටලයේදී අති සුවිශේෂී විවාහයක් පැවැත්විණි. ඊට සහභාගි වූයේත් සුපිරිතම එමෙන්ම ප්‍රකට පුද්ගලයෝ රැසකි. ඒ අන් කිසිවක් නිසා නොව එදින විවාහ වූයේ ආර්ජන්ටිනාවේ සුපිරිතම පාපන්දු තරුව වන ලියොනෙල් මෙසි බැවිනි.

30 හැවිරිදි මෙසි විවාහ වූයේ සිය දිගුකාලීන පෙම්වතිය වූ ඇන්ටොනෙලා රොකුසෝ සමඟිනි. මෙහි තවත් විශේෂත්වයක් තිබුණි. ඒ ඔවුනගේ පුතුන් වන තියාගෝ සහ මැටියෝත් ඊට සහභාගි වීමයි.

ඇන්ටොනෙලාව මුලින්ම හඳුනා ගන්නා විට මෙසිගේ වයස අවුරුදු 05 ක් පමණි. ඔවුන් පෙම් යුවළක් බවට පත් වූයේ 2008 වසරේ සිටය. ඇන්ටොනෙලාගේ ඥාති සොහොයුරා වන්නේ ලුකස් ස්කාග්ලියාය. ඔහුත් පාපන්දු ක්‍රීඩකයෙකි. එමෙන්ම මෙසිගේ කුඩාකල සිටම හොඳම මිතුරාය.

මෙම විවාහ මඟුලට මෙසී ක්‍රීඩා කරන ස්පාඤ්ඤයේ බාර්සිලෝනා කණ්ඩායමේ ක්‍රීඩකයනුත් සහභාගි වූහ. ඒ අතර සුප්‍රකට කොලොම්බියානු ගායිකාවක වන ෂකිරාත් සිටියාය. මෙම උත්සවයේ තවත් විශේෂත්වයක් තිබිණි. එනම් දුරකථන භාවිතය තහනම් කර තිබීමයි. ඊට සහභාගි වූ මුළු ආරාධිත පිරිස 250 ඉක්මවිය. මෙසි සහ ඇන්ටොනෙලා ඉන් අනතුරුව සිය පුතුන් සමඟ නිවාඩුවක් ගත කිරීමට තීරණය කළහ. ඒ සුන්දර කැරිබියානු දූපත්වලදීය.

මෙම විවාහ උත්සවය පැවැත්වූයේ මෙසි සහ බාර්සිලෝනා කණ්ඩායම අතර ගිවිසුම 2021 වසර දක්වා දීර්ඝ කිරීමට ඔවුන් එකඟ වීමත් සමඟය. ඒ අනුව මෙසිට වසරකට අමෙරිකානු ඩොලර් මිලියන 33.6 ක මුදලක් හිමිවේ. මෙසි බාර්සිලෝනාවට ක්‍රීඩා කිරීමේ කාලය 2018 වසරේදී නිමා වීමට නියමිතව තිබුණි.

මෙසි මුලින්ම බාර්සිලෝනා කණ්ඩායමට සම්බන්ධ වන විට ඔහුගේ වයස අවුරුදු 13 ක් පමණි. තවත් කාලයක් ගත වූ විට ඔහු වයස අවුරුදු 20 න් සහ 23 න් පහළ කණ්ඩායම්වලට ක්‍රීඩා කළේය. එමෙන්ම බාර්සිලෝනා යොවුන් බී සහ සී කණ්ඩායම්වලටත් ක්‍රීඩා කළේය. ඔහු 2004 වසරේ සිට බාර්සිලෝනා ජේ්‍යෂ්ඨ කණ්ඩායමට ක්‍රීඩා කරයි. එහිදී තරග 382 කදී ගෝල් 349 ක් රැස් කර ඇත.

මෙසී ජාත්‍යන්තරව ආර්ජන්ටිනා කණ්ඩායම නියෝජනය කරන්නේ 2005 වසරේ සිටය. මේ වන විට තරග 118 කදී ඔහු ගෝල් 58 ක් රැස් කර ගෙන තිබේ. වයස අවුරුදු 20 න් පහළ ලෝක කුසලාන ශූරතාව (2005), ඔලිම්පික් රන් පදක්කම (2008) සහ ලෝක කුසලාන අනුශූරතාව (2014) මෙසි විසින් ජාතික පිල සමඟ හිමිකර ගෙන සිටියි.

මීට අමතරව බාර්සිලෝනා කණ්ඩායම සමඟ ඔහු ශූරතා රැසකුත් හිමිකර ගෙන තිබේ. එමෙන්ම පස් වතාවක්ම වසරේ ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා සම්මානයෙනුත් ඔහු පිදුම් ලැබුවේය. ඒ 2009, 10, 11, 12 සහ 2015 වසරවලදීය.

ද ප්‍රශාන්ත ඇල්පිටිය

 

Comments