වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය රන්ජන්ගේ සිට අසලංක දක්වා | සිළුමිණ

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය රන්ජන්ගේ සිට අසලංක දක්වා

ක්‍රිකට් වැනි ක්‍රීඩාවක් මුදල් මතම දිවයන නිසා මෙයින් ක්‍රීඩාව වගේම විනය ගරුකභාවය, මනුෂ්‍යත්වය වැනි උතුම් ගුණාංග ආරක්ෂා වෙන්න ඕනා. ක්‍රීඩාවක මේ වගේ දේවල් හරිම වැදගත්. ඒ නිසා මා යෝජනාවක් කරනවා ඊළඟ සම්මාන උළෙලේ ඉඳලා හොඳම විනයගරුක ක්‍රිකට් කණ්ඩායමක් තෝරා එයටද සම්මානයක් පිරිනැමීම වැදගත් කියලා.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරකවරුන්ගේ ප්‍රධානියා ලෙස කටයුතු කරන රන්ජන් මඩුගල්ලේ මෙකී යෝජනාව ගෙන එන්නේ 30 වැනි ඔබ්සර්වර් - මොබිටෙල් සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් 2008 දීය. එකී යෝජනාව මල්ඵල ගන්වමින් 2009 දී එනම් 31 වැනි සම්මාන උළෙලේදී නාලන්ද විද්‍යාලය හාපුරා කියා මෙකී සම්මානයට හිමිකම් කීවේය.

රන්ජන් මඩුගල්ලේ මෙකී සම්මාන උළලේ සුවිශේෂි තරුව වන්නේ පළමු සන්ඩේ ඔබ්සර්වර් සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයා ලෙස ඉතිහාසගත වෙමින්ය.

රන්ජන් මඩුගල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැනට ටෙස්ට් තරග 175 ක, එක්දින තරග 309 ක සහ විස්සයි 20 තරග 85 ක තරග තීරකවරයා ලෙස නොමැකෙන සටහනක් ද ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයට එක්කර තිබේ. සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට, විසිනමවන වියේදී සමුදුන් රන්ජන් ලාංකේය ටෙස්ට් වංශ කතාවේ පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම දී අගනා අර්ධ ශතකයකින් සරසා ගැනීමට සමත් විය. 1988 දී හතරවැනි ටෙස්ට් නායකයා වූ රන්ජන් එක්දින නායකයන් අතර පස්වැනියා වෙමින් තරග 13 කදී ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පිටියට පිවිස තිබේ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සහ රාජකීය විද්‍යාලයෙන් සිය ක්‍රිකට් දිවිය පෝෂණය කරගත් රන්ජන් රාජකීය විද්‍යාලය නියෝජනය කරමින් මෙකී සම්මානය හිමිකර ගත්තේය.

96 ලෝක ශූරයෝ

1996 දී හයවැනි ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රි ලංකාව දිනා ගනිද්දී, එකී කණ්ඩායමේ නායකයා අර්ජුන රණතුංග, අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම, කුමාර් ධර්මසේන, මුරලි මෙකී සම්මාන උළෙලේ වසරේ ක්‍රීඩකයන් ලෙස සම්මාන දිනා තිබීම විශේෂත්වයකි.

අර්ජුන රණතුංග 1980 සහ 82 දී වසරේ ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වී තිබේ. ආනන්ද විද්‍යාලය නියෝජනය කරද්දීම ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයට එක් වූ අර්ජුන රණතුංග පළමු අර්ධ ශතකලාභියා ලෙස ද ඉතිහාසගතය. ටෙස්ට් තරග 93 ක් සහ එක්දින තරග 269 ක් ක්‍රීඩා කර තිබේ. හයවැනි ටෙස්ට් හා එක්දින නායකයා ලෙස කටයුතු කර ඇති අර්ජුන එහිදී ටෙස්ට් තරග 56 ක සහ එක්දින තරග 193 ක නායකත්වය දරා ඇති අතර ලාංකේය ටෙස්ට් සහ එක්දින තරග වැඩිම සංඛ්‍යාවක නායකත්වය දැරු ක්‍රීඩකයා ද වෙයි. 1999 දී විස්ඩන් ක්‍රීඩකයා සම්මානයටත් පාත්‍ර වී තිබේ.

යහපාලන රජයේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හෙතෙම පසුගිය දිනෙක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරමින් කියාසිටියේ සංගක්කාර කියනවා නම් 2009 පාකිස්තාන් ක්‍රිකට් තරගාවලිය ගැන මෙන්ම 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පිළිබඳවත් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසය.

රොෂාන් මහානාම

නාලන්ද විද්‍යාලයේ රොෂාන් මහානාම අඛණ්ඩව වසරේ ක්‍රීඩකයා සම්මාන දිනා ගත්තේ 1983 - 84 දීය. රොෂාන් මේ පිළිබඳ සිය වේදනාත්මක සමුගැනීම කෘතියේ එක් තැනක මෙසේ සටහනක් තබා ඇත.

එම ක්‍රීඩා වාරය (මේ 1983) තුළදී සියලුම ඉහළ පෙළේ පාසල්වලට එරෙහිව ලකුණු රැස් කිරීමට සමත් වූයෙමි. ශාන්ත අන්තෝනි 100, ශාන්ත තෝමස් 80, ශාන්ත පීතර 62, ශාන්ත ජෝශප් සමඟ තරගයේ 82 න් 50 ක්ද විය. ක්‍රීඩා තරග වාරය තුළ දැක්වූ පිත්තේ දස්කම් මෙන්ම පන්දු රැකීමේ දස්කම් නිසා ඔබ්සර්වර් පුවත්පත සංවිධානය කරන ලද සම්මාන උළෙලේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සහ දක්ෂතම පන්දු රකින්නා ලෙස නම් කළේය. ඊළඟ වසරේද (1984) එම ශූරතාව දිනා ගැනීම සුවිශේෂි ජයග්‍රහණයක් විය. ඊට අමතරව සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ පාඨකයන්ගේ ඡන්දයෙන් වසරේ ජනප්‍රියම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද තෝරා පත් කරගත්තේය.

සනත් ජයසූරිය සමඟ එක්ව ඉන්දියාවට එරෙහිව ඛෙත්තාරාම පිටියේ වාර්තාගත ටෙස්ට් ලකුණු සබඳතාවයකටද සම්මාදම් වූ රොෂාන් කලක් ජාත්‍යන්තර ක්‍රිකට පිටියේ තරග තීරකවරයකු ලෙසද කටයුතු කළේය. අඛණ්ඩවම තෙවැනිවරටත් පාසල් ක්‍රීඩකයා සම්මානය නාලන්ද විද්‍යාලයට 1985 දී රැගෙන ගියේ මෙවර සම්මාන උළෙලේ ආරාධිත අමුත්තා ලෙස එක්වන අසංක ගුරුසිංහය.

ධ්ඛ්ඛ් වසරේ විනිසුරු

2012 අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල සම්මාන උළෙලේ විශිෂ්ටතම විනිසුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර වූ කුමාර් ධර්මසේන 1989 දී නාලන්ද විද්‍යාලය නියෝජනය කරමින් වසරේ ක්‍රීඩකයා සම්මානය දිනා ගත්තේය. තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වූ කුමාර් වර්තමානයේ විනිසුරුවකු ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ කීර්තිමත් නාමයක් වෙන්කරගෙන තිබේ.

දැනට ටෙස්ට් 45, එක්දින 82 සහ විස්සයි 20 තරග 22 ක විනිසුරුවරයකු ලෙස ක්‍රියා කර තිබේ.

බිංදුවෙන් උපන් මාවන්

සිය පළමු ටෙස්ට් ඉනිම් හයේදී බිංදු පහක්ම සටහන් කරගත් මාවන් සිය ප්‍රථම ටෙස්ට් ලකුණ සටහන් කරගත්තේ හතරවැනි ඉනිමේදීය.

අර්ජුන රණතුංග, සංජීව රණතුංග (1988) දී පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ආනන්ද විද්‍යාලයට රැගෙන ගියාට පසු එකී සම්මානය මාවන් අතපත්තු දිනා ගත්තේ 1990 දිය. අර්ජුන, සංජීව සහ මාවන් ඥාතීන් වීමද විශේෂත්වයකි.

බිංදුවෙන් පටන්ගත් සිය ටෙස්ට් දිවිය මාවන් නිමා කළේ ද්වි ශතක පහක්ද සමඟ ලකුණු 5502 ක් රැස් කරමින්ය. ශතක 16 කි. ටෙස්ට් තරග 18 ක, එක්දින තරග 63 කදී නායකයා ලෙස කටයුතු කර තිබේ.

මුරලි

1990 දක්වාම කොළඹට කේන්ද්‍රගතවු වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හාපුරා කියා කොළඹින් බැහැරට ගෙන ගියේ 1991 දී කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයේ මුත්තයියා මුරලිදරන්ය. ටෙස්ට් හා එක්දින පිටියේ වැඩිම කඩුලුලාභියා වන මුරලි ක්‍රිකට් ලෝක කුසලාන ශූරයන් (1996) සහ අනුශූරයන් (2007 - 11) වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ එකම ක්‍රීඩකයාද වෙයි. එමෙන්ම මෙකී සම්මානය හිමිකර ගෙන ලෝක කුසලාන අවසන් මහා තරග තුනකට ක්‍රීඩා කළ එකම ක්‍රීඩකයා ද වෙයි.

අඛණ්ඩ ජයග්‍රාහකයෝ

ආනන්ද විද්‍යාලයේ තිලාන් සමරවීර 1994 - 95, ශාන්ත පීතර විද්‍යාලයේ ළහිරු පීරිස් 2004 - 05, රාජකීය විද්‍යාලයේ භානුක රාජපක්ෂ 2010 - 11 සහ රිච්මන්ඩ් විද්‍යාලයේ චරිත් අසලංක 2015 - 16 දී අඛණ්ඩව දෙවතාව බැගින් මෙකී සම්මාන උළෙලේ වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගෙන තිබේ.

 

 

 

Comments