ශ්‍රී ලංකා ක්‍රිකට් දිනේෂ්ට සහ උපුල්ට | සිළුමිණ

ශ්‍රී ලංකා ක්‍රිකට් දිනේෂ්ට සහ උපුල්ට

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගමාලාව ඇරැඹෙන විට මෙම දෙරටම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල සිටියේ පහතය. ශ්‍රී ලංකාවට අටවැනි තැනය. සිම්බාබ්වේට 11 වැනි තැනය.

නමුත් තරගාවලිය නිමාවන විටත් ඔවුන් අතර එතරම් වෙනසක් නොමැති බව පැහැදිලිය. ඒ තරගමාලාව 3 - 2 ක් ලෙසට ජය ගැනීමට සිම්බාබ්වේ සමත් වූ නිසාය. එය ඉතිහාසගත ජයකි. එනම් දෙරට අතර පැවැති එක්දින ජාත්‍යන්තර තරගමාලාවන්හිදී සිම්බාබ්වේ අත්කර ගත් ප්‍රථම තරගමාලා ජය මෙය වීම නිසාවෙනි.

විදේශයකදී සිම්බාබ්වේ එක්දින තරගමාලා ජයක් ලැබුවේ 2009 වසරෙන් පසුවය. එමෙන්ම ටෙස්ට් වරම් හිමි රටකට එරෙහිව සිම්බාබ්වේ එක්දින ජාත්‍යන්තර තරගමාලා ජයක් ලැබුවේ 2001 වසරෙන් පසුවය. එම වසරේදී ඔවුන් නවසීලන්තය සහ බංග්ලාදේශය පරාජය කළහ.

මෙම පරාජය ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් පත්වී තිබෙන පීඩනය තව තවත් වැඩි කරයි. ඒ මීළඟ එනම් 2019 ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි වීමටත් මෙය බලපෑමට ඉඩ තිබෙන බැවිනි.

2019 පන්දු ඕවර 50 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ එංගලන්තය සහ වේල්සයේදීය. ඊට රටවල් 10 ක් සහභාගි වේ. එම තරගාවලිය රටවල් 10 කට සීමා කිරීම නිසා ටෙස්ට් වරම් ලැබූ සියලුම රටවල්වලට ඒ අනුව තරගාවලියට සහභාගි වීමට අවස්ථාව හිමි නොවේ. මේ වන විට ටෙස්ට් වරම් ලැබූ මුළු රටවල් ගණන 12 කි. ටෙස්ට් පවුලේ නවතම සාමාජිකයන් වනුයේ අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානයයි. ඔවුනට ගිය ජුනි මාසයේදී ටෙස්ට් වරම් හිමිවිය.

තරගාවලියට සහභාගිවන රටවල් 10 අතරින් සත්කාරක එංගලන්තය සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි. සී. සී.) එක්දින ජාත්‍යන්තර කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල ඉහළතම ස්ථාන 07 හිමි කණ්ඩායම් මීළඟ ලෝක කුසලානයට නිතරගයෙන්ම සුදුසුකම් ලබයි. එම කණ්ඩායම්වල ශ්‍රේණිගත කිරීම් අදාළ වනුයේ 2017 වසරේ සැප්තැම්බර් මස 30 වැනි දිනටය.

ඉතිරි රටවල් 02 තෝරා ගැනීම සඳහා 2018 වසරේදී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියක් පැවැත්වෙනු ඇත. ඊට ශ්‍රේණිගත කිරීම්වල අවසන් ස්ථාන හිමි රටවල් සතර සහ ටෙස්ට් වරම් නොලැබූ රටවල් කිහිපයක්ද සහභාගි වනු ඇත.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන අභියෝගය පැහැදිලිය. එනම් සැප්තැම්බර් 30 වන දින වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අයි. සී. සී. කණ්ඩායම් එක්දින වර්ගීකරණයේදී ටොප් 08 අතර සිටිය යුතුමයි. ඒ සඳහා තවත් අවස්ථාවක් ඔවුනට ලැබී තිබේ. එනම් අගෝස්තු 20 - සැප්තැම්බර් 03 අතර සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 05 කින් සමන්විත එක්දින ජාත්‍යන්තර තරගමාලාවයි.

එය කෙතරම් අසීරු වුවත් ඉන්දියාවට එරෙහිව එම තරගමාලාව ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවුවහොත් 2019 ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම සිහිනයක් නොවනු ඇත.

 

මැතිව්ස් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ නව ටෙස්ට් නායකයා ලෙසට දිනේෂ් චන්දිමාල් පත් කරන ලදී. උපුල් තරංග එක්දින ජාත්‍යන්තර සහ ඊ 20 නායකයා වශයෙන් කටයුතු කරනු ඇත. මෙසේ නව නායකයන් පත් කිරීමට සිදු වූයේ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉල්ලා අස්වීමත් සමඟයි.

"අපේම වැරදි නිසා තමයි මේ තරගයත් පරාජය වුණේ." සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පස්වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය පරාජයෙන් පසුව ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

"මගේ ක්‍රිකට් දිවියේ ඉතාම පහතට වැටුණු අවස්ථාවක්. මේ තරගයේ සෑම දෙයක්ම අපිට එරෙහිවයි සිදුවුණේ. ඒ කාසියේ වාසිය සිට තණතිල්ල වැරදියට තේරුම් ගැනීම දක්වා. නමුත් මේවා නිදහසට කාරණා නොවේ. දිනය අවසනදී ඔවුන්ව පරාජය කිරීමට තරම් අපි දක්ෂ නැහැ. ඔවුන් හොඳට ක්‍රීඩා කළා." මැතිව්ස් තවදුරටත් ප්‍රකාශ කළේය.

2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව මැතිව්ස්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරගවලදී ඉතා දුර්වල මට්ටමකට පත්වී තිබේ. ඔහුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරගමාලා අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පරාජය කර තිබේ.

එසේ වුවත් පාකිස්තානය, ඔස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ හමුවේදී මෙරටේදී එක්දින තරගමාලාවන්හිදී පරාජයට පත්වීමට ශ්‍රී ලංකාවට සිදුවිය. මෙම වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් ටෙස්ට් හෝ එක්දින ජාත්‍යන්තර තරගමාලාවක් ජය ගැනීමට හැකි වී නැත.

මීළඟට මෙරටට පැමිණීමට නියමිතව තිබෙන්නේ අති ප්‍රබල ඉන්දීය කණ්ඩායමයි. "අපිට ඉදිරියේදී ඉන්දියාව සමඟ තරගමාලාවක් තිබෙනවා. නමුත් ඊට පෙර සිම්බාබ්වේ සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයට අවධානය යොමු කරන්න වෙනවා. ඉන්දීය තරගමාලාව තවත් අමාරුයි. කෙටි කාලයකදී අපේ ප්‍රශ්ණ විසඳා ගත යුතු වෙනවා." මැතිව්ස් තවදුරටත් පැවසීය.

 

 

 

 

දික්කා - ධනුගෙන් ලෝක වාර්තාවක්

 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කාලයකට පෙර තරග ජය ගනිමින් ලෝක වාර්තා පිහිටු වීය. මේ වන විට නම් ඔවුන් තරග ජය ගන්නේ අඩුවෙනි. එමෙන්ම ලෝක වාර්තා පිහිටුවන්නේ ද අඩුවෙනි. එම නිසාම දැන් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක වාර්තාවක් පිහිටු වන්නේ නම් එය දුලබ දස්කමකි.

එවැනි ලෝක වාර්තාවක් පිහිටු වීමට ශ්‍රී ලංකාවට පසුගියදා හැකි විය. ඊට දායක වූයේ වමත් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ලයි. ඒ එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ පිට පිට තරග දෙකකදී ලකුණු 200 ට වැඩි ආරම්භක සබඳතා පිහිටු වූ ලොව ප්‍රථම යුගලය බවට පත් වීමයි.

ඔවුන් මෙම දස්කම් දැක්වූයේ සංචාරක සිම්බාබ්වේ සමඟ පැවැති එක්දින ජාත්‍යන්තර තරගමාලාවේදීය. ඒ හම්බන්තොටදී පැවැති තෙවැනි සහ සිවුවැනි තරගවලදිය. තෙවැනි තරගය ජූලි 06 වැනිදා පැවැත්වීය. එම තරගය ශ්‍රී ලංකාව කඩුලු අටකින් ජය ගත්තේය.

එහිදී ධනුෂ්ක - නිරෝෂන් යුගලය ආරම්භක කඩුල්ලට ලකුණු 229 ක් රැස් කළහ. තරගයේ වීරයා වූ ධනුෂ්කට ලකුණු 116 කි. ඊට පන්දු 111, 4 පහර 15, 6 පහරකි. නිරෝෂන්ට ලකුණු 102 කි. ඊට පන්දු 116 කි. 4 පහර 14 කි.

දෙරට අතර සිවුවන තරගය ජූලි 08 වැනිදා පැවැත්විය. එම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව සිම්බාබ්වේට කඩුලු 04 ක ජයකි. නමුත් ධනුෂ්ක සහ නිරෝෂන්ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 209 කි. එහිදී නිරෝෂන්ට ලකුණු 116 කි. ඊට පන්දු 118, 4 පහර 8 කි. ධනුෂ්කට ලකුණු 87 කි. ඊට පන්දු 101, 4 පහර 7 කි.

 

 

 

Comments