තේ | සිළුමිණ

තේ

 ලක්දිව තේ වවන්නට පටන්ගෙන වසර එකසිය පනසක් පිරෙති යි කියැවේ. මඟුලෙකි. තේ බොන සියල්ලන් හට මඟුලෙකි. තේ බොන සියල්ලෙනි, මෙ මඟුල සමරනුව එක් වමු.

තේ වනාහි සිංහලයන් ගේ බීමක් නො වේ. ඉංගිරිසින් මෙහි ගෙනා බීමෙකි. එ ද අපට දෙන්නට නො වේ. වවාගෙන විකුණන්නට ය. ඉංගිරිසීහු තේ වවා රට පටවා හොඳට මුදල් ඉපැයූ හ. අපි තේ බොන්නට පටන් ගතුමු. අපි ඉංගිරිසීන් ගේ කටු ලොව කා හොඳට පුරුදු ඇත්තමෝය. ඉතින් මේ බීමත් ඉස් මුදුනින් ම පිළිගැන්ම කවර පුදුමයෙක් ද? තේ නම් කිමෙක් ද? සුද්දන් මුලින් මුලින් නිකම් ම දුන් අරක්කුවට ද දවසින් දෙකින් හොඳහැටි පුරුදු වී රේන්ද කාරයන් හේ මඩි තර කොට සුද්දනට ද රන් පවුම් උපයා දී ජාතියට වළ කපාලූවෝ ද අපි ම ය.

අරක්කු කුමට ද? හැරෙමු තෙයට ම, තේ නැති ව ම බැරි පිරිස අරක්කු නැති ව ම බැරි පිරිසට ද වඩා බෙහෙවින් වැඩි ය. ඇතැමුනට ‘ඇ‍ඳේ ‍දේ’ නැති වැ නැඟිට ගන්නට ද බැරි ය. තේ නැති වැ උදයට වැසිකිළි වත් යා නොහැක්කෝ ද වෙත් මැයි. සුරාසොඬුනට වඩා තේ සොඬුන් වැඩි බවට කවර වාදයක් ද? මේ තේ සොඬුනට කෑම නැත ද තේ නැති වැ නම් සිටිය නොහැක්කේ ය.

ලංකාවේ තේ හොඳ ම තේ යැයි ද කියැවේ. කලක් මෙ රට ‘ලිප්ටන් තේ වත්ත’ නමිනුදු ලෝ පුරා පතළ වැ පැවැතියෙල. දැනුදු මෙ රට තෙයට ලොවෙහි හොඳ තැනක් ඇත්තේ. ඒ මේ කුමක් වතුදු මෙ රට ජනයාට ‍නම් බොන්නට ලැබෙන්නෙ තෙයට වඩා තේ කම්හල්වල කසළ යැයි තතු දන්නෝ කියති. අතු ගා ඉවත දමන තේ රොඩු හොඳ තේ හා මුසු කොට මැනැවින් අසුරා එවූ කල අපි පහන් දොරින් ම ඒ කසළ මුසුව බී වැඩ අරඹිමු. අපි වනාහි මිශ්‍රණයට ඉතා කැමැත්තතෙවමු. මිශ්‍රණයෙහි ඵල විපාක ඇස් පනාපිට දැක දැක ද එයට ම මුක්කු ගසන අපට තේ මිශ්‍රණය බීම මහ වැඩක් නො වේ.

“තේ පැන් දින දින වැඩි වැඩියේ - බීමෙන් සිරුරට සැප වැඩි වේ” යි එ දවසැ කියන ලදි. සැප කෙසේ වතුදු ඇප නැති වැ ලෙඩ වන්නට නම් වැඩි වැඩියෙන් තේ බීම මඟ සලස්වා දෙයි. අපි ජපනා මෙන් නිකම් ම කොළ තේ නො බොමු. “සීනි නැති ව තේ බොන්නම්” යැ යි එ කල පෙළපාළිවල දී කියුව ද හොඳට සීනි දමා තේ තුන - හතරක් දිනකට බොමු. දියවැඩියා දොස්තරයනට රජ මඟුල් ය. මෙ බව දැන, සකල ජනතාව කෙරෙහි පතළ කරුණාවෙන් අපේ රජය කීප වරක් ම සීනි මිල වැඩි කළ ද ගරු ඇමැතිතුමාණ කෙනකු එ බව ප්‍රසිද්ධියේ ම කිව ද ජනතාව නම් එයට කන් දුන් බවක් නො පෙනේ.

සුද්දෝ තේ පිටරටින් ගෙනැ අාව ද ඒ වවන්නට ඉඩම් පිටරටින් නො ගෙන හ; මුඩු බිම් පනත යටතේ උඩරට සිංහලයන්ගේ ඉඩම් කොල්ල කා තේ වැවූ හ. මහ පොළොව ම සිය ධනය කැරගත් උඩරැටියන් යන එන මං නැති වැ, කුසට අහරක් නැති වැ ගං හෝ ඇළ දොළ අයින්හි මැරී වැටී සිටි සැටි සුද්දන් ගේ ම වාර්තාවල කියැවේ. එයින් කිම? සුද්දන් ගේ මඩිය තර විණි නම් එ මඳි ද? අපටත් ලෙව කන්නට කටු කෑල්ලක් හෝ වීසි කරන්නේ එ කල්හි වේ ද?

එ මතුත් නො වේ. තේ වවනු වස් කඳුකර වන බිම් මුළුමනින් හෙළි කැරිණ. මහ ගස් කපා තේ පඳුරු වැවූයෙන් කඳු බිම් සෝදා පාළුවට ද ලක් විය. එ බිම්හි කැරුණු හෙල්මළු වී වගාව නවත්වා දැමිණ. අද කඳු නාය යන කල වත්මන් කැලෑ පාළුවනට ම දෙස් දෙවොල් තැබුණ ද ඔවුන් ගේ මාර්ගෝපදේශකයෝ නම් සුදු උතුමෝ ම ය. උඩරට කඳු කපා මහ මං තනා මහ ගල් විද බිම් ගෙවල් තනා දුම්රිය මං ඉදි කිරීමෙන් මේ සුදු උතුමන් කළ මෙහෙය අපේ කළු සුද්දෝ අදත් පසසති. කළ යුතු ම පැසැසුමෙකි. උඩරට වැවූ තේ කොළඹට ගෙනෙන්නට නො ව, ළින් මැඬි උඩරැටියන් කොළඹට ගෙන්වා ‘හෝ ගාන පොකුණ’ පෙන්වන්නට ඒ මං තැනූ බැවිනි.

උඩරට ළින් මැඬියන් ගේ බඩට බත නැත ද ඔළුව මඳක් ලොකු ය. එ හෙයින් ඔවුහු සුදු උතුමන් අපේ රටට වැඩ පිණිස වැවූ තේ වතුවල මෙහෙයට නොකැමැති වූහ. සුදු උතුමෝ වනාහි මේ මෝඩයන් ගේ ආඩම්බර බලන්නෝ නො වෙති. එහෙයින් දඹදිවේ දකුණින් හොඳ ම හොඳ සේවකයන් ගෙන්වාගත් හ. ඔවුහු වනාහි එ රට සුර සැප විඳිමින් සුඛෝපභෝගි ජීවිත ගත කළෝ යි. එ වුව ද එ සියල්ල හැර, අපේ උඩරට කම්මැළියනට පාඩමක් උගන්වන්නට, සුදු උතුමන් ගේ ඇරියුමෙන් මෙ රටට පැමිණිය හ.

බැලුව මැනැවි ඔවුන් ගේ පැමිණීමෙන් වූ යහපත. අපට නො ව අප ගේ දෙස්පලු උතුමනට වූ යහපත. පරපුරු කිහිපයක් ගිය කල ඡන්ද ම ලක්ෂ කීයක් ද? ඉතින් මෙ බඳු භාග්‍යයක් උදා කළ තේ වගාවේ සංවත්සරයට මඟුල් නො කමු නම් කුමකට මඟුල් කමු ද?

හිතමිතුරා 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.