රබර් වතුවල ඩෙංගු තවාන් තිබියදී පාළු ඉඩම්වලට දඩ ගැසීම! | සිළුමිණ

රබර් වතුවල ඩෙංගු තවාන් තිබියදී පාළු ඉඩම්වලට දඩ ගැසීම!

 ඩෙංගු රෝගය අද අපේ රටේ ප්‍රධානම මානව මාරකයා බවට පත්ව තිබේ. ඒ වෙනුවෙන් රජය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හා සියලු මාධ්‍ය ආයතන ඒකාබද්ධව මෙහෙයවන ඩෙංගු වළක්වන මෙහෙයුම ‘අපි ම අරඹමු ඩෙංගු දුරලමු’ වැඩසටහන දැන් ක්‍රියාත්මකය. එය කාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමකි; මාධ්‍ය වගකීමක් ඉටු කිරීමකි.

මේ ඩෙංගු වසංගතයට ප්‍රමුඛතම විසඳුම අපේ රටේ පොලිතීන් ප්ලාස්ටික් හා ‘සිලි’ මලු පාවිච්චිය අවම කිරීම හා මේ වසංගතය පිළිබඳව සෑම දෙනාටම පැහැදිලි අවබෝධයක් ලබාදීමයි. එමෙන්ම නීතිරීති අනුව කටයුතු කිරීමත් අද ජාතික අවශ්‍යතාවක් බවට පත් වෙමින් තිබේ.

මේ ඩෙංගු වසංගතය වැළැක්වීම තම නිවෙස හා ගෙවත්ත ඇතුළෙන්ම ආරම්භ කළ යුතුය. ඒ සඳහා මුලින්ම කුස්සියෙන් ඉවතට දමන දිරන හා නොදිරන කුණු වෙන් කර වර්ග කළ යුතුය. ඊට පසු දිරන කුණු කොම්පෝස්ට් නිපදවීමට යොදාගත හැකිය. කොම්පෝස්ට් බැරලයක් මඟින් හෝ ලී කෝටු හෝ පැළඉනි මඟින් සකස් කරගත් සරල කසළ රඳවනයකට මේ දිරන කුණු දැමීමට පුළුවන. පසුව ඒවා දිරා කොම්පෝස්ට් බවට පත් වේ.

ඊට පසු කුස්සියේ නොදිරන කුණු පොලිතීන්, යකඩ හා වීදුරු ලෙස වෙන් කර අදාළ පළාත් පාලන ආයතනයේ කසළ එකතු කරන වාහනවලට දීමට පුළුවන. ඊට අමතරව තම ගෙවත්තේ තිබෙන කුණුකසළ පිළිබඳවද වැහිපීලි, ජලය ගලා යන කානු පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත්ය. ටයර්, යෝගට් කෝප්ප හා ජලය රැ‍ඳෙන ගස් මුදුන් පිළිබඳවද දැඩි අවධානය යොමු කර ඒවා පිරිසුදු කිරීම කළ යුතුමය.

ගේ ඇතුළත ඇති ජල භාජන හා ගෙයින් පිටත තිබෙන සතුන්ට ජලය බීමට ඇති භාජන දිනකට වරක් වත් පිරිසුදු කළ යුතුය.

අද සමහර ප්‍රදේශවල ඩෙංගු තවාන් බවට පත් වී ඇත්තේ රබර් වතුය. රබර් වතුවල ඇති කිරි එකතු කරන පොල්කටු හා භාජනවල ජලය පිරීම නිසා ඒවා ඩෙංගු කීටයන් පිරි ස්ථාන බවට නිරන්තරයෙන්ම පත් වී තිබේ. වැස්ස නිසා මේ දිනවල රට පුරා රබර් වතුවල කිරි කපන්නේ දින කීපයකට වරක් පමණි. මේ නිසා කිරි නොකපන දිනවල කිරි එකතු කිරීමට තබන පොල්කටුවල වෙනත් භාජනවල පිරිසුදු ජලය එකතු වේ. පසුව එහි ඩෙංගු මදුරුවන් බිත්තර දමා කීටයන් හැදී මදුරුවෝ ප්‍රදේශය පුරා පැතිර යති. එයට පිළියම රබර් කිරි කපන අය කිරි ලබාගත් පසු කිරි එකතු කරන පොල්කටු යටි පැත්තට හැරවීමයි. මේ පිළිබඳව අපි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට දැන්වූවත් ප්‍රතිචාර මදිය. මදුරුවකුට මීටර් 500ක් දුර පියාඹා යෑමට හැකියි. ඒ අනුව රබර් වතු අවට ජනතාවට ඩෙංගු වැලඳීම වැඩි වී තිබේ.

එහෙත් බස්නාහිර ප්‍රධාන අමාත්‍යාංශය ඩෙංගු වැළැක්වීමට පාළුවට ගිය ඉඩම්වලට දඩ මුදලක් ගැසීමට යයි. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ පොල් ඉඩම් පවා ශුද්ධ කරන ලෙසය. සමහර වල් ගස් වර්ග කපා දමන ලෙසය. අයිතිකරුවන් දුරබැහැර සිටින පොල් ඉඩම් වැවිලි ඉඩම්වලට කම්බි ගසා, වැට ගසා තිබුණත් ඒවා ඇතුළට තමාගේ කුණු කසළ දමා ඇඟ බේරාගන්නා පුද්ගලයෝ වෙති. ඒ බොහෝ අය ඒ ඉඩම් අසලම පදිංචිකරුවෝය.

ඒ කුණු කසළ මත ඩෙංගු මදුරුවන් බෝ වූ විට ඩෙංගු වැල‍ඳෙන්නේ ඒ අයටමය. මේ කුණු කසළ අන් සතු ඉඩමකට දැමීම ගැන ඒ කුණු දමන අයට දඩ ගැසීම කළ හැකිය. ඒ වෙනුවට ඉඩම හිමි කිලෝමීටර් 40-50 දුරින් සිටින අයට දඩ ගැසීම ප්‍රඥාගෝචර නොවන බව ඉඩම් හිමියන්ගේ අදහසයි.

විශේෂයෙන් මදුරුවන්ගෙන් ඩෙංගු රෝගය වැලඳීම පිළිබඳ දැනුමක් නැති අය එම ඉඩම්වලට කුණු දැමීම පුරුද්දක් කරගෙන තිබේ. මුලින්ම කළ යුත්තේ ඒ ඉඩම්වලට කුණු දමන අයට ඒ කුණුවලින් තමන්ටම ඩෙංගු වැල‍ඳෙන බව පෙන්වා දීමයි. ඩෙංගු බෝ කරන මදුරුවාට සාමාන්‍යයෙන් මීටර් 500ක් ඉගිළීමට හැකි බව වෛද්‍ය මතයයි.

ඒ අනුව තමන්ගේ කුණු අසල ඉඩමකට ගිහින් දැමුවත් මදුරුවන් එම කුණු හා පොලිතීන් මත බිත්තර දමා ඩෙංගු මදුරුවන් තමන්ටත් දෂ්ට කර ඩෙංගු හදන බව මේ කුණු කසළ දමන අයට මෙන්ම ඉහළ නිලධාරීන්ට බලධාරීන්ට පැහැදිලි නොවීම ඉතා කනගාටුදායකය.

මේ අනුව මේ ඩෙංගු මාරකයා පිටුදැකීමට නම් කුස්සියෙන් ඉවත ලන ගෙදරින් ඉවත ලන ගෙවත්තෙන් ඉවත දමන කුණුකසළ පොලිතීන් ආදිය ඉවත් කිරීම, වර්ග කිරීම ක්‍රමානුකූලව කළමනාකරණය කළ යුතුය. විශේෂයෙන් පොලිතීන් ප්ලාස්ටික් පාවිච්චිය අවම කළ යුතු අතර, ඒවා එකතු කිරීමට කවුරුන් වත් එන්නේ නැත් නම් අඩු ගණනේ ඒ කුණුකසළ ලොකු වළකට දමා පස් දමා වැසිය යුතුය.

එමෙන්ම මේ පිළිබඳව ගම්වල සිටින වින්නඹු සේවිකාව ඇතුළු රජයේ නිලධාරීන් හා සමිති සංවිධානවල නිලධාරීන් එක්වී ඩෙංගුවලින් තම ගමේ ජනතාව ආරක්ෂා කරගැනීමට දැනුම්වත් කිරීමේ වැඩසටහන් ද ආරම්භ කළ යුතුය.

ප්‍රචාරය සඳහා ඩෙංගු වැළැක්වීමේ වැඩසටහන් පවත්වන්නේ නැතිව ඩෙංගු වසංගතය රටින් ඉවත් කිරීමට ගම් වශයෙන් එක් වී කටයුතු කළ යුතු කාලය එළඹ තිබේ.

ඊට අමතරව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පරිසර පොලීසි බළකායන්ද මේ සඳහා උදවු කළ යුතුය. මේ කටයුත්ත පීල්ලක පොලිතීන් කොළයක ජලය තිබූ පමණින් දඩ ගැසීමෙන් හෝ හිරේ විලංගුවේ දැමීම මඟින් පමණක් කිරීමට අපහසුය. ඒ සඳහා දැනුම්වත් කිරීමේ සහ ඩෙංගු වැළැක්වීමේ වැඩසටහන් කාර්යක්ෂම ලෙස ක්‍රියාවට නැංවිය යුතුය. එයට ගමේත් නගරයේත් රටේත් සියලු ආයතනවලත් සියලු ජනතාවගේත් පූර්ණ සහාය ලැබිය යුතුය.

මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යාංශය හා පොලිතීන් තහනම් කිරීමේ වැඩපිළිවෙළ දීපව්‍යාප්තව ක්‍රියාවට නැංවීමට යයි.

එසේ වුවත් පරිසර අමාත්‍යාංශය මීට වසරකට පෙරත් තුනී පොලිතීන් තහනම් කරන බවත්, ඊට අදාළ වැටලීම් කරන බවත් පැවසුවද එය දීපව්‍යාප්තව හරියට ක්‍රියාවට නැංවී නැති බව පරිසරවේදීන්ගේ අදහසයි. කෙසේ වුවත් තුනී පොලිතීන් තහනම දැඩිව ක්‍රියාත්මක වනවා නම් ඩෙංගු මර්දනයට එය ඉතා වැදගත් වේ.

මේ අනුව බලන විට මේ ඩෙංගු වසංගතය මැඬීමට, පරිසර අමාත්‍යාංශය, පළාත් පාලන අමාත්‍යාංශය, මහානගර සංවර්ධන අමාත්‍යාංශය, ජනමාධ්‍ය අමාත්‍යාංශය මෙන්ම වැවිලි සංවර්ධන අමාත්‍යාංශයද ඒකාබද්ධව සහාය දිය යුතුව ඇත. මේ සඳහා එකී අමාත්‍යාංශවල මෙන්ම ග්‍රාම නිලධාරි වසම්වල ඩෙංගු වැළැක්වීමේ කමිටු පිහිටුවා, ඒවා කාර්යක්ෂම ලෙස ප්‍රායෝගික ලෙස ඩෙංගු වැළැක්වීමේ කටයුතුවල නිරත විය යුතුය. එවිට මේ ඩෙංගු වසංගතයට යම් ආකාරයක හෝ පිළියමක් ලැබෙනු ඇත.

නිහාල් පී. අබේසිංහ

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.