ආණ්ඩු පෙරළන්න හීන දැක්කට හරියන්නේ නැහැ | සිළුමිණ

ආණ්ඩු පෙරළන්න හීන දැක්කට හරියන්නේ නැහැ

මේ දවස්වල රටේ හැමතැනම මොකක් හරි ප්‍රශ්නයක්. සයිටම්, උමා ඔය, පිංකැට,ඩෙංගු එහෙමත් නැත්නම් කුණු මේ වගේ මොකක් හරි අවුලක් දක්නට ලැබෙනවා. මේවයින් කියන්නේ ආණ්ඩුවේ ඉදිරිය සුබ නැහැ කියන එකද?

මේ ආණ්ඩුව විරෝධතාවලට ඇහුන්කන් දෙන ආණ්ඩුවක්. හැබැයි එහෙම කියලා විරෝධතා ඕනැවට වඩා අරගෙන ගියොත් මේ රට අරාජික වෙනවා. ඒවාගේම විරෝධතා නිසා ආණ්ඩුවකට පුළුවන් සමාජයේ ප්‍රතිචාරයන් දෙස බලලා තමන්ගේ තීරණ ක්‍රියාත්මක කරන්න. ඒ අර්ථයෙන් විරෝධතා දිහා සුබවාදීව තමයි අපි බලන්න ඕනේ. නමුත් සමහරු උත්සාහ කරනවා මේ විරෝධතා හුදු දේශපාලන විරෝධතාවලට පරිවර්තනය කරලා ආණ්ඩුව පෙරළලා දාන්න පුළුවන්ද බලන්න. ඒත් ඒවා ‍හුඟක් අය දකින හීන විතරයි. දැන් අද තියෙන ප්‍රශ්න ගත්තොත් මේ හුඟක් ප්‍රශ්නය පැවැති ආණ්ඩුවේ වරදින් සිදුවෙලා තියෙන්නේ.

උමා ඔය ගත්තම මහින්ද රාජපක්ෂ මහත්තයා කළේ මොකක්ද? උමා ඔය මහවැලියේ තිබෙන බව ඇත්ත. නමුත් උමා ඔයේ වතුර ගියේ මහවැලි ගඟටයි. එතැනින් රජරට ගොවියටයි. මේ ආකාරයෙන් රජරට ගොවියට යන වතුර ටික හොරකම් කරලා හම්බන්තොටට ගෙනියන එක යුක්ති සහගතද?නැහැනේ.

ඊළඟට උමා ඔයෙන් රන්ටැඹේ සහ රන්දෙණිගල විදුලියක් නිපදවපු තැනක්. දැන් වැල්ලවායේ බලාගාරයක් හැදුවා කියලා එතැන අමුතු විදුලියක් නිපදවෙන්නේ නැහැ. ඒවාගේම උමා ඔයේදී විධිමත් පරිසර අධ්‍යයනයක් කළේ නැහැ. 2011දී මේ පරිසර අධ්‍යයනය කළේ ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ දේශපාලන හිතවතියක් හරහායි. මෙහිදී තවත් වැදගත් කාරණයක් තියෙනවා. උමා ඔය කොන්ත්‍රාත් එකේ මුදල ‍ඇමෙරිකානු ‍ඩොලර් මිලියන 155කට ආවා. එවකට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ කීර්තිමත් ඉංජිනේරුවෙක් හිටියා, ගුණවර්ධන කියලා මහත්තයෙක්. එදා ඔහුට කිව්වා මේක අස්සන් කරන්න කියලා. ඔහු බැහැ කිව්වා. එහෙම කිව්වම ඔහු‍ට ලේකම් කමෙන් යන්න කිව්වා. ඔහු ලේකම්කමෙන් ගියාම අලුත් ලේකම් කෙනෙක් පත්කළා. එයා පළමු දවසේ ලියම් දෙකකට අස්සන් කළා. එකක් ඔහුගේ පත්වීමේ ලිපිය. අනික උමාඔය ලිපිය. ඇමෙරිකානු ඩොලර් මිලියන 155ක් වෙලා තිබුණු ගණන ඇමෙරිකානු ඩොලර් මිලියන 512ක් වෙලා තිබුණා. එතකොට ඩොලර් මිලියන 400ක විතර දැවැන්ත වංචාවක් මේක ඇතුළේ සිද්ධ වුණා.

අනික මේක කරගෙන ගිය ප්‍රමිතිය‍, තාක්ෂණය ගැන ලොකු ගැටලුවක් තියෙනවා. මේවා නිසා අද බණ්ඩාරවෙල ලොකු ඛේදවාචකයක් නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සිදුවීම් වලට නිවාස අඩස්සියට ගන්න ඕනේ, මහින්ද අමරවීර මහත්තයා ‍නොවේ. මහින්ද රාජපක්ෂ මහත්තයාවයි‍. ජනතා විමුක්ති පෙරමුණ ඒක කියා ගන්න බයේ දඟලනවා.

දැන් මේකට වහාම විසැඳුමක් දිය යුතුයි. මේ ජනතාවට වන්දි ගෙවලා, අලුත් තාක්ෂණයක් හරහා මේ උමගේ කටයුතු අවසන් කරලා දැමිය යුතුයි. හැබැයි මේකෙන් රජරට ගොවියට කරලා තිබෙන‍්නේ බරපතළ අසාධාරණක් , අයුක්තියක් බව කිව යුතුයි‍.

මේ වගේම කුණු කසළ ප්‍රශ්නය ගත්තත්, ඩෙංගු ප්‍රශ්නය ගත්තත්, රටේ ණය බර වගේ ඒවා ගත්තත් මේ හැම එකක්ම දුර දිග නොබලා මහින්ද රාජපක්ෂ ආණ්ඩු‍වේ ප්‍රතිපත්ති නිසා ඇතිවුණු දේවල්. ඔය කිසිම දෙයකින් මේ ආණ්ඩුව වට්ටවන්න කාටවත් බැහැ. ඔය සමහර ආණ්ඩු පෙරළන්න මාන බලන අයගේ හීන සැබෑ වෙන්නෙත් නැහැ.

සයිටම් විරෝධී ජනපවුර යනුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඔබ නියෝජනය කරන ජාතික හෙළ උරුමයත් එහි සිටිනවා?

ආණ්ඩුවට මේ ගැන නිශ්චිත අරමුණක් නැහැ. අපි කියන්නේ සයිටම් අහෝසි කරන්න කියලා. අපි ඉන්නේ ඒ මතයේ. මාත් එක්ක තවත් ඇමැතිවරු පිරිසක් එතැන ඉන්නවා. ආණ්ඩුව මේක කරගහගෙන යන්න හොඳ නැහැ. සයිටම් වල පි‍යා මහින්ද රාජපක්ෂ මහත්තයයි. ඔහුට සහ ඔහුගේ සහෝදරයන්ට ඕනේ වුණේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සල්ලිවලට විකුණන්නයි. ඒකට විරුද්ධ වුණු අයට ඔහු බැණ වැදුණා. ඒනිසා ඔහු වටේ ඉන්න කවුරුත් ඒකට විරුද්ධ වුණේ නැහැ. මම ඒකට විරුද්ධව කතා කරපුවාම මට කිව්වා ඕක මගේ වැඩක් නොවේ. එස්.බීගේ වැඩක්. එස්.බී. එක්ක කතා කරලා බේරගන්න කිව්වා. ඊට පස්සේ මම එස්.බී.දිසානායක මහත්තයා හම්බ වුණාම මට තේරුණා මේ මහින්ද රාජපක්ෂ මහත්තයා සයිටම් එක හරහා කරන්නේ මුට්ටිය දාලා බැලීමක් කියලා. මහින්ද මහත්තයා ‍මේක නෙවිල් ප්‍රනාන්දු ලවා කරවාගෙන ඊ‍ට පස්සේ බැසිල්, ගෝඨාභය සහ නාමල් රාජපක්ෂට වෛද්‍ය විද්‍යාල තුනක් දාන්න තමයි ගියේ. එදා රාජපක්ෂලා හිතුවා, වෛද්‍ය අධ්‍යාපනය කියන්නේ සල්ලිවලට විකුණන්න පුළුවන් සල්ලි උපයන්න පුළුවන් වැඩපිළිවෙළක් කියලා. වෛද්‍ය අධ්‍යාපනය පැත්තකින් තියමුකෝ, අධ්‍යාපනය කියන එක ලාභ උපයන තැනකට ගියොත් ඒ අධ්‍යාපනය අසාර්ථකයි. දැන් උදාහරණයක් හැටියට ඉන්දියාවේ වෛද්‍ය ආයතන 32ක් ගිය අවුරුද්දේ වහලා දැම්මා. මොකද මේවා වැහුවේ? සල්ලිවලට උපාධි දෙනවා, නමුත් වෛද්‍යවරුන්ගේ කිසිම ප්‍රමිතියක් නැහැ කියලයි. අන්න ඒවගේ තුට්ටු දෙකේ වැඩපිළිවෙළක් එදා අරගෙන ගියේ. මේ රටේ නිදහස් අධ්‍යාපනයට මාරක වැඩපිළිවෙළක් සැකසුවේ මහින්දයි. ඇත්තටම ශිෂ්‍යයෝ ගිහින්ලා කරන්න ඕනේ, රාජිත‍ සේනාරත්න මහත්තයාගේ කාර්යාලය වටලන එක නොවේ. මහින්ද රාපපක්ෂ මහත්තයාගේ මැද මුලන නිවෙස වටලන එකයි. මොකද මේ අය තමයි මේ විනාශයට රට අරන් ගියේ.

ඔබේ ක්‍රියා කලාපය ආණ්ඩුවට හානියක් නොවේද?

ආණ්ඩුවට හානියක් මෙතැන වෙන්නේ නැහැ. ආණ්ඩුවට හානියක් වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ සයිටම් කඩේ කරේ තියාගෙන යන කොටනේ. මොකද එක පැත්තක ඉන්නේ 12,000ක් විතර වෛද්‍ය ශිෂ්‍යයෝයි.25,000ක් වෛද්‍යවරුයි. අනික් පැත්තේ ඉන්නේ 900ක් විතර සයිටම් ශිෂ්‍යයෝයි නෙවිල් ප්‍රනාන්දුයි. ඉතින් අපි මේ මොහොතේ ජනතාවත් එක්කයි.

මේක ආණ්ඩුව පෙරළීමට මාන බැලීමක් බවට චෝදනාවක් නැඟෙනවා?

අපි අමාරුවෙන් හදාගෙන තියෙන ආණ්ඩුව පෙරළන්න අපිට වුවමනාවක් නැහැ. ඒවාගේම සයිටම් එක හරහා කාටවත් ආණ්ඩු පෙරළන්න ඉඩ දෙන්නෙත් නැහැ. සයිටම් ‍එකට මනා විසැඳුමක් දිය යුතුයි. ‍එහෙම විසැඳුමක් දීලා ආණ්ඩුව පෙරළන්න බලාගෙන ඉන්න අය පරාද කළ යුතුයි.

සයිටම් එකට ඔබ කියන විසැඳුම මොකක්ද?

මෙතෙන්දි අපේ අදහස සයිටම් ආයතනය වහලාදාලා, සයිටම් ආයතනයේ ඉගෙනගත්තු දරුවන්ව වෛද්‍ය මණ්ඩලය හරහා සාධාරණය ඉෂ්ට කරලා, ලාභ‍ නොලබන ආයතනයක් බවට එය වෛද්‍ය කේෂත්‍රයේ පත් කරලා, රජයේ වෛද්‍ය පීඨයෙනුත් මුදල් ගෙවලා, වෛද්‍ය අධ්‍යාපනය ලබන්න දරුවන්ට අවස්ථාව ලබා දෙන්න ඕනේ. එයයි කළ යුත්තේ. ඒකයි අපි දකින විසැඳුම. ඒක අපි කිහිප අවස්ථාවකම කියලා තියෙනවා. එතෙක් අපි සයිටම් අහෝසිකිරීමේ ක්‍රියාවලියේ ඉන්නවා.

ඔබ සයිටම් එක ගැන ඔහොම කතා කළාට ආණ්ඩුව කොළඹ විශ්වවිද්‍යාලය සහ පේරාදෙණි විශ්වවිද්‍යාල දෙක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉවත් කිරීමට යන බව වාර්තා ‍වෙලා ති‍බෙනවා. ‍එසේ කිරීමෙන් ආණ්ඩුව විශ්වවිද්‍යාල පෞද්ගලික විශ්වවිද්‍යාල බවට පත්කෙරේවි කියන විශ්වාසයක් ඇතිවෙලා?

අධ්‍යාපනයේ පෞද්ගලික අධ්‍යාපනය පිළිබඳ තිබෙන වැරදි මත තිබෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයවත් අපි කිසිසේත්ම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ක්‍රියාකාරීත්වයෙන් ඉවත්කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද ඒ දෙක ඉතාම පරිපූර්ණ විශ්වවිද්‍යාල දෙකක්. ඒවා තවත් පුළුල් කරනවා හැරෙන්න විනාශ කරන්න දෙන්න බැහැ.

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ මතවාද රටේ ඇති වෙලා තිබෙනවා. ‍‍දේශපාලනඥයන්ට අමතරව අද ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා නව ව්‍යවස්ථාව සම්බන්ධ ක්‍රියාවලි‍යේදී ආණ්ඩුවට චෝදනා එල්ලකරලා තියෙනවා නේද?

මේ ආණ්ඩුව සම්බන්ධයෙන් මතයක් හදන්න හදනවා මේක බෞද්ධ විරෝධී ආණ්ඩුවක් කියලා. ත්‍රස්තවාදය තිබුණු කාලයේ පැත්තකවත් නොහිටපු, හොයන්නවත් නොහිටපු, පිරිසක් අද වීරයෝ වගේ කතා කරනවා අපිට පේනවා. එතකොට ආණ්ඩුවෙත් වගකීමක් තියෙනවා, එහෙම කුමන්ත්‍රණයක් තියෙනවා නම්, ඒ උගුලට අහුනොවී ඉන්න. අද වෙනතෙක් කිසිම අවස්ථාවක ව්‍යවස්ථාවක් හදල නැහැ. සාකච්ඡාවක් පමණක් තියෙනවා. සමහරු ඒකේ තියෙන අස්කොන් අරගෙන කියවනවා. ව්‍යවස්ථාව හදන කමිටුවේ දිනේෂ් ගුණවර්ධන මහත්තයා ඉන්නවා, මමත් ඉන්නවා. අපි අදහස් පළ කරලා තියෙනවා. ඒකෙ කිසිම දෙයක් දන්නේ නැතිව මේ රට අවුළුවලා ‍ආණ්ඩුව පෙරලන්න පුළුවන්ද බලනවා. මම හිතන්නේ නැහැ.‍ මේ රටේ සංඝයා වහන්සේලා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්නයක ඉන්නවා කියලා. ශාසනය පිළිබඳ යම් කිසි සැකමුසු තත්ත්වයක් තිබෙනවා නම් අනිවාර්යෙන්ම ආණ්ඩුව එයට පිළියම් යොදනවා. උන්වහන්සේලාගේ අනුදැනුමෙන් තොරව කටයුතු කරන්නේ නැහැ.

මේ රටේ ඉදිරියටත් කවදාවත් ඒකීය ලංකාව බෙදීමක් වෙන්නේ නැහැ. කලින් මේක කරන්න ගියා. අපි තමයි ඒක නැවැත්තුවේ. මහින්ද රාජපක්ෂ මහත්තයා‍‍ගේ ආණ්ඩුව කාලයේ තිස්ස විතාරණ මහත්තයා පිටු 12,000ක වාර්තාවක් දුන්නා රට බෙදන්න. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ.

ලංකාව අනාගමික රාජ්‍යයක් කරා ගෙනයනවා කියලා චෝදනාවක් නැගිලා තියෙනවා නේද?

දැනට තියෙන්නෙත් අනාගමික රාජ්‍යයක් තමයි. බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දෙනවා කිව්වට විශේෂ තැනක් බුද්ධාගමට ලැබිලා නැහැනේ. කිසිම විශේෂත්වයකුත් ලැබිලා නැහැ. අනික් ආගම් වලට තියෙන තැනමයි බුද්ධාගමට තියෙන්නෙත්. නමුත් ව්‍යවස්ථාවේ මේකට විවරණයක් අවශ්‍යයි බුදුදහමට ප්‍රමුඛස්ථානය‍ දෙනවා කියන්නේ මොකක්ද කියලා. ඒ වගේම ‍බෞද්ධ ශාසනය මේ රටේ අවුරුදු 2500ක් පවත්වාගෙන ආවා. ඒක මේ රටේ උරුමයක්. ඒක අපි ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන යන්න ඕනේ. ඒ බුද්ධාගමෙන් අන්‍යාගමිකයන්ට හානියක් නැහැ. වෙන රටවල් වගේ අන්‍යාගමික මිනිස්සු සමූල ඝාතනය කරන්න, ආගම බලෙන් පතුරවන්න, මිනිස්සු මරන්න බෞද්ධයෝ කටයුතු කරලා නැහැනේ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පිටුපස සිටින දේශපාලනඥයා ඔබ බවට සමහරු කියනවා. ඔබ උන්වහන්සේව මෙහෙයවලා මහින්ද රාජපක්ෂ මහතාව ජාතිවාදියෙක් බවට ‍සමාජයේ මතවාදයක් ඇතිකළා කියලා කියනවා නේද?

ඕක 2015දී උන්වහන්සේ එක්ක එකතුවෙලා මහින්ද රාජපක්ෂ මහත්තයාව දිනවන්න කටයුතු කළ අයගේ‍ චෝදනාවක්. අපි වැඩ කළේ මහින්ද පරදවන්න. උන්වහන්සේ වැඩකළේ මහින්ද රාජපක්ෂ මහත්තයා දිනවන්න. ඒ ගොඨාභය රාජපක්ෂ එක්කනේ. ඉතින් මම එක්ක සම්බන්ධයක් තියෙන්නේ කොහොමද?

පසුගිය ආණ්ඩුව පැවැති ස‍මයේ කොළඹ නගරයේ කැළි කසළ තැනින් තැන දක්නට ලැබුණේ නැහැ. නමුත් අද වන විට කොළඹ නගරයේ තැනින්තැන කැළි කසළ, කුණු කඳු. ඒ විතරක් නොවේ කැළි කසළ ප්‍රශ්නයට විසැඳුමක් දෙන්න ආණ්ඩුව බැරිවෙලා තිබෙනවා?

දැන් ඔබ වගේම හුඟ දෙනෙක් කියනවා, ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කාලයේ නගරය පිරිසුදු කළා කියලා. ඇත්ත පරිසර පොලිසිය, හමුදාව 7000-8000ක් විතර දාලා එහෙම කළා තමයි. හැබැයි විධිමත් වැඩසටහනක් නොවේ. පාරේ කුණු නැතිවුණාට මීතොටුමුල්ලේ කුණු කඳු කරදියානේ කුණු කඳු , බස්නාහිර පළාතේ ස්ථාන 27ක කුණු කඳු ඇතිවූණා‍. ඒකට විධිමත් වැඩපිළිවෙළක් අපි එදා පරිසර අමාත්‍යාංශයේ ඉන්න කාලේ කළා. අපිට ඒක කරන්න ඉඩ දුන්නේ නැහැ. අපිට මුදල් දුන්නේ නැහැ. අන්තිමට මට සිද්ධ වුණේ ප්ලාස්ටික් සෙස් එකක් ගහලා ඒකේ සල්ලිවලින් කටයුතු කරන්නයි.

දැන් අපි විධිමත් ආකාරයෙන් වැඩසටහනක් හදලා තියෙනවා. අගෝස්තු 10 වෙනකොට කසළින් විදුලිය නිපදවන ව්‍යාපෘති තුනක් ආරම්භ කරනවා. සැප්තැම්බර් මාසයේ අපි බලාපොරොත්තු වෙනවා, සනීපාරක්ෂක කසළ අංගණයක් ඉදිකරන්න. ඊළඟ අවුරුදු එක හමාරෙදි ඊළඟ අවුරුදු සීයකට අවශ්‍ය කරන විසැඳුම ගෙන එන්නයි අපේ බලාපොරොත්තුව.

ඒ වගේම අපි ජයග්‍රහනයක් අත්කරගෙන තියෙනවා. ඒ තමයි, කොළඹ නගරයේ කසළවලින් 2/3ක් දැන් කොම්පෝස්ට් හදන්නයි, ප්‍රතිචක්‍රීකරණයටයි යනවා. ඒක ලොකු දෙයක්. ඉස්සර මේ කුණු ‍ටික වගුරු බිම්වල ගොඩ ගහන එකයි කළේ. අද අපි 2/3ක් පාලනය කරලා තියෙනවා. මේක 3/4ක් පාලනය කරන දවසට මේ ප්‍රශ්නය විසදෙනවා.

මෙතැන්දි මහජනයාටත් වගකීමක් තියෙනවා. ඒක මහජනයා අතින් ඉටු කෙරෙන්න ඕනේ. ඒ තමයි තමන්ගේ කසළ පිළිබඳ වගකීම තමන් දරන්න ඕනේ. හොරාට ගිහින්ලා පාරවල්වල දාන එක නොවෙයි විසැඳුම.

ඒවාගේම මාධ්‍යවල තියෙනවා, ඉතාම නින්දිත දෙයක්. අපි මේ කොළඹ කුණු කඳු සම්පූර්ණ‍යෙන්ම ඉවත්කළා. හැබැයි පරණ පින්තුර පෙන්නමින් කොළඹ කුණු ගඳ ගහනවා කියමින් ප්‍රචාරය කරනවා. මාධ්‍යවල තියෙන දේශපාලන කුණු තමයි එයින් පෙන්ව‍න්නේ. අද කොළඹ නගරය අපි සුද්ධ කරලා ලක්ෂ හයක ජනතාවකට හොඳ පරිසරයක් ලබ­ාදීලා තියෙනවා.

මලික් චමින්ද ධර්මවර්ධන 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.