කාබනික තේ වගාවට මාරුවෙන්න කාලයක් ඕනෑ | සිළුමිණ

කාබනික තේ වගාවට මාරුවෙන්න කාලයක් ඕනෑ

 සිලෝන් ටී සඳහා වසර 150ක් පිරීම නිමිත්තෙන් සහ අගෝස්තු මාසයේ පැවැත්වෙන Cart Trade Fair 2017 වැවිලි කර්මාන්ත ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීම වෙනුවෙන් හා ‍වැවිලි ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකි.

 වැවිලි සවිය ගමින් ගමට වැඩ සටහන මේ දිනවල පසුගාමීද?

පසුගාමී නැහැ. මේ දවස්වල ඇති වූ ස්වාභාවික ව්‍යසන තත්ත්වයන් නිසා වැවිලි සවිය ගමින් ගමට වැඩසටහන මාස දෙක තුනකට නැවැත්තුවා. අපි නැවත ඒ වැඩසටහන පටන් ගන්නවා. අන්තර්ජාතික තේ සම්මේලනයෙන් පසු අපි අනිවාර්යෙන්ම වැවිලි සවිය යළි පටන් ගන්නවා.

වැවිලි සවිය තේ වගාව සඳහා පමණක් සීමා වූවක්ද?

නැහැ. තේ පොල් රබර් කියන වගාවන් වෙනුවෙන් විවෘත වූවක්. එහෙත් අපි පසු ගිය කාලයේ තේ සඳහා වැඩි ඉඩක් දුන්නා. එහෙම දුන්නා කියලා අපි පොල් රබර් අමතක කළේ නැහැ. කුඩා රබර් වතු වගේම කුඩා පොල් වතු නඟා සිටුවීමේ ක්‍රමවේදයක් අපි ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් ලෙස අපි කුරුණෑගල වැවිලි සවිය වැඩසටහන පටන් ගත්තේ පොල් වතුවලින්. පොල් වගා කරුවන්ට අවශ්‍ය උපදෙස් බීජ පැළ තවාන් ආරම්භ කරන්නේ කොහොමද? පොල් වගාව සම්බන්ධ ගැටලු මොනවාද? කියලා අපි හඳුනා ගත්තා. ඒක අපේ වගාකරුවන්ට ශක්තියක්. මගේ අභිලාෂය නම්, අපි වැවිලි කරුවන් ළඟට යායුතුයි. ඇත්තටම වැවිලි සවියෙන් කෙරෙන්නේ එහෙම දෙයක්.

කාලයක් අපේ තේ වගාකරුවෝ තේ ගලවලා වෙනත් බෝග සිටෙව්වා. ඒකට හේතුව කුමක්ද?

කාලයක් අපේ තේ මිල දිගින් දිගටම අඩු වුණා. තේ වගා කරුවන් තමන්ගේ ආර්ථිකය යහපත් කරගැනීම සඳහා වෙනත් බෝග සොයාගෙන ගියා. ඒත් දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. තේ මිල නිසා තේ වගා කරුවෝ උනන්දු වෙලා තියෙනවා.

තේ මිල අඩුවීමට ප්‍රධාන හේතුව වුණේ කුමක්ද?

අපි තේරුම් ගත යුතු දෙයක් තියෙනවා. ඒ තමයි ඕනෑම භාණ්ඩයක, නිෂ්පාදනයක මිල රජයකට පාලනය කරන්න බැහැ. ඇත්තට මිල තීරණය වන්නේ ඉල්ලුම - සැපයුම කියන මිල යාන්ත්‍රණයට අනුව. ඒ අනුව තමයි මිලේ දිශාව තීරණය වන්නේ. අද බොහෝ දෙනකුට මේ පිළිබඳ අවබෝධයක් නැහැ. හුඟක් දෙනෙක් හිතන්නේ වාමාංශික රජයකට වගේ වර්තමානයෙත් රජයට මිල පාලනය කරන්න පුළුවන් කියලා. ඒක යථාර්ථය නෙවෙයි. 2013-2016 දක්වා කාල පරිච්ඡේදයේදී තේ මිල සම්බන්ධයෙන් විශාල අර්බුද තිබුණා. මෙයට හේතුව වුණේ ලෝක වෙළෙඳපොළේ ඇති වුණු තත්ත්වයක්. අපි අන්තර්ජාතික වශයෙන් ගනුදෙනු කරද්දී අන්තර්ජාතික මිලත් දේශීය නිෂ්පාදනයට බලපානවා. අද බොහෝ දෙනෙකුට මේ පිළිබඳ අවබෝධයක් නැහැ.

වැවිලි සවියෙන් ඔබ බලාපොරොත්තු වන්නේ වගා කරුවාට සෘජුව ඇමතීමද?

ඔව්. ආයතනවල ඉඳලා වැවිලිකරුවන්ට උපදෙස් දුන්නට වැඩක් නැහැ. අපි ඒ මිනිස්සු ළඟට යන්න ඕනේ. එහෙම නැතුව ඔවුන් උනන්දු කරන්න බැහැ. අපේ තේ , රබර්, පොල්, ලෝකයට යන්න නම් අපි නව තාක්ෂණයට එකතු වෙන්න ඕනේ. එහෙම නැතුව අපිට තරගයක් දෙන්න බැහැ.මගේ අමාත්‍යාංශය යටතේ ආයතන පහළොවක් තියෙනවා. ඒ හැම ආයතනයක්ම ජනතාව අතරට යනවා නම් මං කැමැතියි. වැවිලි කරුවෝ ආයතනවලට ගෙන්වල උපදෙස් දීමෙන් කිසිදු ප්‍රතිඵලයක් වන්නේ නැහැ. අනිත් එක අපි ඒ අයගේ ප්‍රශ්න තේරුම් ගන්න ගම්වලට යන්න ඕනේ. වැවිලි කරුවන්ට තියෙන බොහොමයක් ප්‍රශ්න පුටුවල ඉඳගෙන විසඳන්න පුළුවන් ඒවා නෙවෙයි.

වැවිලි සවිය ගමින් ගමට වැඩ සටහන ගමේ වැවිලි ප්‍රශ්නය විසඳුවාට කසළ තේ ප්‍රශ්නය තවම ඉතිරි වෙලා නේද?

ඇත්තටම කසළ තේ කියන වචනයටත් මං කැමැති නැහැ. තේ වෙන්දේසියේදී ප්‍රතික්ෂේප වන තේවලටත් වටිනාකමක් තියෙනවා. බොහෝදෙනා ඔවුන්ගේ නොදැනුවත්කම නිසා තමයි මෙවැනි හඳුන්වා දීම් කරන්නේ. අන්තර්ජාතික වෙළෙඳපොළට තේ ඉදිරිපත් කිරීමේදී ඒවායේ ප්‍රමිතියක් තිබිය යුතුයි. නැතිනම් තරගකාරී රටවල් සමඟ අපට තරග කරන්න බැරි වෙනවා. මේ නිසා අයි.ඕ.එස් ප්‍රමිතියට අනුව අපේ තේ සකස් කළ යුතුයි.

මේ හඳුන්වා දීම්වලින් වැඩක් නැහැ. අවසානයේදී අලෙවියට තියෙන තේ පරිභෝජනයට නුසුදුසු බව ඔප්පු වුවහොත් ඔබ ගන්න ක්‍රියා මාර්ගය කුමක්ද?

ඇත්තටම පරිභෝජනයට නුසුදුසු තේ යැයි ඔප්පු වුවහොත් ඒ සම්බන්ධයෙන් මගේ කිසිම සමාවක් නැහැ. පසුගිය දින වල වැටලීම් කීපයක්ම සිද්ධ කළා. මේ බොහොමයකට විශේෂ බළකායේ සෙබළුන් යොදාගත්තා. වැරැදිකරුවන් වූ පුද්ගලයන්ට අපි දැඩි දඬුවම් පැනෙව්වා.

මේ සඳහා දේශපාලන මැදිහත්වීම් සිදු වුණොත් ඔබ ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?

කිසිම දේශපාලනයක් සම්බන්ධ කරගන්නේ නැහැ. වැරැද්ද නම් වැරැද්ද. මට කොයි පාට පක්ෂය වුණත් කමක් නෑ. පරිභෝජනයට නුසුදුසු තේ අලෙවි කළොත් ඒ සම්බන්ධයෙන් දෙන දඬුවමේ වෙනසක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා මං කියන්නේ වැරැදිකරුවෙක් ලෙස ඔප්පු වුණොත් මොන දේශපාලන මැදිහත්වීම වුණත් වැඩක් වෙන්නේ නැහැ. මං කර්මාන්තයේ සුරක්ෂිත බව හා පාරිභෝගික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටිනවා. දේශපාලනය අවශ්‍යයි. ඒත් මේ වගේ කර්මාන්තයකට වැරැදි ලෙස දේශපාලනය යොදා ගත්තොත් රටේ ආර්ථිකයට සිදුවෙන්නේ හානියක්. තේ කර්මාන්තයේ බිඳ වැටීම්වලට පුද්ගලිකව වැරැදිකරුවෙකු වෙන්න මං කැමැති නැහැ. මේ නිසා මං දේශපාලනය යොදා ගන්නේ තේ කර්මාන්තයේ දියුණුව වෙනුවෙන්. කර්මාන්තයක පිරිහීමට දේශපාලනය වගකියයුතුයි කියන්නේ මහා ඛේදාන්තයක්. තේ කර්මාන්තයට ඒ ඛේදාන්ත අත් වෙනවට මං පුද්ගලිකව කැමැති නැහැ.

ඔබ කෙසේ කිවුවත් නිලධාරිවාදයේ ඉස්මතුවීමක් තියෙනවා නේද?

ඒක ඕනෙම තැනක තියෙන දෙයක්. ඒ නිලධාරිවාදය නිසා කර්මාන්තයට අවැඩක් කරන්න බැහැ. එහෙම වුණොත් මං ඒ සම්බන්ධව ද දැඩි පියවර ගන්නවා. කර්මාන්තයේ දියුණුවට නිලධාරීවාදයේ බලපෑමක් ඇති වෙන්න මං කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ.

මේ දිනවල ග්ලයිෆොසෙට් සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් තියෙනවා. ඔබ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න යනවා කියලත් රාවයක් තියෙනවා. මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් කළොත්......

මං තාම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ නැහැ. ඒත් මහා පරිමාණයෙන් තේ වගා කරන තේ වතු හිමියන්ට ග්ලයිෆොසෙට් නැතුව බැහැ. මේ සම්බන්ධයෙන් මං ඉදිරිපත් කරන්නේ එදා ඉදිරිපත් කළ මතයමයි. මහා පරිමාණයෙන් තේ වගා කිරීමේදී අතින් වල් පැළෑටි උගුල්ලන්න බැහැ. එහෙම කරන්න ගියොත් වැයවන මිනිස් ශ්‍රමය වැඩියි. ඒ කියන්නේ ශ්‍රම පැය ගණන වැඩි වෙනවා. මේ නිසා වියදම වැඩියි. ග්ලයිෆොසෙට් යොදන එක ලාබදායි. අනිත් කාරණේ විශාල වශයෙන් ග්ලයිෆොසෙට් ගෙන්වන්න මං බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතාමත් සුළු ප්‍රමාණයක් විතරයි ගෙන්වන්නේ. ඒ ප්‍රමාණයත් ගෙන්වන්නේ තේ පර්යේෂණ ආයතනයේ අධීක්ෂණය යටතේ.

එහෙත් ග්ලයිෆොසෙට් නිසා වකුගඩු රෝගය ඇති වෙනවා කියලා මේ වන විටත් රටේ ආන්දෝලනයක් පවතිනවා. මේ සම්බන්ධ ඔබේ මතය කුමක්ද?

ග්ලයිෆොසෙට් යොදා ගැනීමෙන්මයි වකුගඩු රෝගය ඇති වෙලා තියෙන්නේ කියලා විද්‍යාත්මකව ඔප්පු වෙලා නැහැ. පිරිසකගේ මතයක් තිබුණට වැඩක් නැහැ ඒක විද්‍යාත්මකව ඔප්පු කරන්න ඕනේ. නැති නම් අපට පිළි ගන්න බැහැ. ඒ කොහොම වුණත් මට දිගින් දිගටම විෂ රසායනයක් වගාවට යොදා ගන්න අවශ්‍ය නැහැ. ඒත් එකපාරින්ම තේ කර්මාන්තයට අවශ්‍ය රසායනික ද්‍රව්‍යයක් ප්‍රතික්ෂේප කරන්න බැහැ. ඒකට හේතුවක් තියෙනවා. එක පාරටම අපි එහෙම දෙයක් කළොත් කර්මාන්තය බිඳ වැටෙනවා. තේ කර්මාන්ත නිසා ජීවත් වෙන පවුල් සංඛ්‍යාවක් ලංකාවේ ඉන්නවා. ඒ පවුල් සංඛ්‍යාව එකපාරමට අසරණ කරන්න මට බැහැ. මං කියන්නේ ග්ලයිෆොසෙට් තේ කර්මාන්තයෙන් ඉවත් කරන්න නම් අපට කාලයක් ඕනේ. ඒක එක පැය විසි හතරෙන් කරන්න බැහැ. අද මිනිස්සු දේශපාලනයෙන් බලාපොරොත්තු වන්නේ එක පැය විසි හතරෙන් කරන්න පුළුවන් දේවල් විතරයි.

ඔබ හිතන්නනේ මහාපරිමාණ තේ වගාව කාබනිකව කරන්න බැහැ කියලද?

නෑ නෑ මම එහෙම කියන්නේ නැහැ. මං කියන්නේ කාබනික තේ වගාවට එළඹෙන්න කාලයක් ගත වෙනවා කියලා. මේක මගේ අකැමැත්ත පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඉක්මනින් වෙනත් ක්‍රමයකට යොමු වීමෙන් තේ වගාව පත් වෙන අසීරුතාවය පිළිබඳ ඇති වන ප්‍රශ්නයක්. කවුරු හරි හිතනවා නම් මේක මගේ ප්‍රශ්නයක් කියලා ඒක වැරැදි වැටහීමක්. මට අවශ්‍ය වන්නේ තේ කර්මාන්තය නඟා සිටුවන්නයි. කාබනික පොහොර තේ වගාවට යොදා ගැනීමේදී මහාපරිමාණයෙන් යොදා ගන්න නම් කාලයක් ගත කරන්න අපට සිද්ධ වෙනවා. හෙක්ටයාර් 300-400ත් අතර බිම් ප්‍රමාණයන් නම් කාබනිකව වගා කරන්න පුළුවන්. ඒත් හෙක්ටයාර් 1000ක තේ වගා බිමකට මේ ක්‍රමය දැන්ම යොදා ගන්න බැහැ.

මහා පරිමාණයේ වානිජ වගා බිමකට කාබනික පොහොර කිසිසේත්ම ගැළපෙන්නේ නැහැ කියලාද ඔබ කියන්නේ?

නැහැ. මම එහෙම කියන්නේ නැහැ. වී වගාවට මහා පරිමාණයෙන් කරනවා නම් ඒ සඳහා කාබනික පොහොර යොදා ගැනීමේ කිසිදු වැරැදක් නැහැ. ඒත් තේ වගාවට කාබනික පොහොර යොදන්න ඉක්මන් වියයුතු නැහැ.

වර්තමානයේ කුඩා තේ වතු හිමියන් ද ජාතික නිෂ්පාදනයට විශාල දායකත්වයක් කරනවා. මේ නිසා ඔවුන් වෙනුවෙන් සහන දියයුතුමයි. මේ සම්බන්ධයෙන් ඔබ පියවර රැගෙන තියෙනවාද?

අපි සහන මානසිකත්වයෙන් අයින් වියයුතු කාලය දැන් එළඹිලා තියෙනවා. ඒ වගේම තේ දලුවලට මේ වන විට හොඳ මිලක් ලැබෙනවා. මං හිතන්නේ ඒක ලොකු ප්‍රවණතාවක් කියලා. නැවත තේ වගා කිරීම වෙනුවෙන් හෙක්ටයාරයකට ලක්ෂ අටක් ලැබෙනවා. බිලියන 1.5ක් යොදලා සහනාධාරය දෙනවා. දැනට අපි ඉපාඩ් කියලා ව්‍යාපෘතියක් තියෙනවා. තෝරාගත් දිස්ත්‍රක්ක වල තේ වගාව දෙගුණ කරන්න අපි කටයුතු කරනවා. මේ සම්බන්ධයෙන්, නුවරඑළිය, නුවර , මාතර, රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර දිස්ත්‍රික්ක යොදා ගන්න තීරණය කරලා තියෙනවා.

තේ වගාවට අවුරුදු 150ක් පිරෙනවා. ඒ වගේම වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳ සංවිධානය කර ඇති Cart Trade Fair ප්‍රදර්හනයත් ළංවෙනවා. මේ සම්බන්ධයෙන් ඔබේ ඉදිරි ක්‍රියා මාර්ග විස්තර කළොත්......

මේ ප්‍රදර්ශනය පවත්වන්නේ අගෝස්තු 11,12,13, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. උදේ නවයේ සිට රාත්‍රි අට දක්වා. වැවිලි ක්ෂේත්‍රය සම්බන්ධ දායකත්වයක් සපයන සෑම පුද්ගලයෙක්ම උනන්දු කිරීම තමයි අපේ පරමාර්ථය. මේ සඳහා නිෂ්පාදකයන්ට, තාක්ෂණ දැනුම සපයන්නන්ට, වැවිලි ක්ෂේත්‍රයේ කර්මාන්ත සඳහා ද්‍රව්‍ය සැපයුම්කරුවන්ට යන්ත්‍රෝපකරණ සපයන්නන්ට, වැවිලි සම්බන්ධ නිෂ්පාදන වෙළෙඳුන්ට, බෙදාහරින්න්ට අලෙවිකරණ පුද්ගලයන්ට අපනයන කරුවන්ට දායකත්වය ලබාදිය හැකියි. තේ පොල් රබර් සඳහා දායකත්වය සපයන්නන් එකම ස්ථානයක ගෙනෙන ප්‍රදර්ශනක් ලෙස මේ ප්‍රදර්ශනය දැක්විය හැකිය.

සම්මුති වාදී ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කළ සහන ලැබුණේ නැහැ. මේ සම්බන්ධයෙන් ඔබේ මතය කුමක්ද?

සහන දෙන්න ඕනේ රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන ආකාරයට. ජනතාව ඉතාමත් පීඩනකාරීව ජීවිතයක් ගත කරන බව අපි දන්නවා. රටේ ජනතාවට ලැබෙන සහන ලබා දියයුතුමයි. මේ අවුරුද්දේ නම් ඒක තරමක් අමාරුයි. ඒත් අපි ලබන අවුරුද්දේ ඒක අනිවාර්යෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන සහන ඒ විදිහටම දෙනවා. ඒ වගේම ලබන අවුරුද්දේ සහන දීම වැඩි කරනවා. රාජපක්ෂ මහත්තයා සහන දුන්නේ 2014 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන. ඒ නිසා තමයි මේ ණය බර වැඩි වෙලා තියෙන්නේ. රුපියලක් අපට ලැබෙන කොට අපි සීයයට අනූවක්ම ණය ගෙවන්නත් විශ්‍රාම වැටුප් ගෙවන්නත් වැය වෙනවා. ඉතිරි වන සීයයට දහයෙන් තමයි සංවර්ධන කටයුතු කරන්නෙත්, ජනතාවට සහන දෙන්නෙත්. ඒ වගේම ලබන අවුරුද්දේ ඉඳලා පාසලට ඇතුළුවන සෑම ළමයකුටම රක්ෂණ ආවරණයක් ලබා දෙනවා. ඒක අධ්‍යාපනය ලබන දරුවන්ට විශාල ශක්තියක්. මට තියෙන ප්‍රශ්නය අපි කරන හොඳ වැඩ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒකට හේතුව විසඳීමට දීර්ඝ කාලයක් ගත වෙන ප්‍රශ්න තමයි මාධ්‍යයෙනුත් ජනතාවට පෙන්නන්නේ. එක්කෝ ඩෙංගු ගැන කතා කරනවා. නැත්නම් කුණු කන්ද ගැන කතා කරනවා. එහෙමත් නැත්නම් සයිටම්. අපි කියන්නේ ඩෙංගු වගේ ප්‍රශ්න ක්ෂණිකව විසඳන්න බැහැ. ඒත් අපි ඒ ප්‍රශ්න විසඳන්න ක්‍රියා මාර්ග ගන්නවා. ඒවා අතහැරලා දාලා නැහැ. එහෙත් මාධ්‍ය පෙන්වන පින්තූර නිසා ජනතාව වැරැදි අවබෝධවලට යනවා.

ජනතාව මේ ආණ්ඩුවට දිගින් දිගටම චෝදනා කරනවා හොරු ඇල්ලුවේ නැහැ කියලා. ඒ පිළිබඳ ඔබ දරණ ආකල්පය?

ඒක වැරැද්දක් බව මම පිළිගන්නවා. ඒත් අපේ දේශපාලනයේ එහෙම සංස්කෘතියක් හැදිලා නැහැ. මහජන මුදල් කාබාසිනියා කළ අයට විරුද්ධව නීතියෙන් පියවර අරගෙන නැහැ. ඒ අයට දඬුවම් දීලත් නැහැ. අපේ රට ඒ ක්‍රමයට හුරුවෙලා. ඒත් විදේශ රටවල නම් නීතිය කාටත් එකයි. ඒ ගැන නම් කනගාටුදායක තත්ත්වයක් තමයි තියෙන්නේ.

රූපාන්ති බුලත්සිංහල

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.