ව්‍යවස්ථාව එපා ද? | සිළුමිණ

ව්‍යවස්ථාව එපා ද?

 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බුද්ධාගමට හිමි තැන නැති කරන, රට බෙදන එකක් වන හෙයින් මේ අවස්ථාවෙහි රටට එය අනවශ්‍ය බවත් විධායක ක්‍රමය රටට ගැළපෙන බවත් අස්ගිරි පාර්ශ්වයේ නායක හිමිවරු ද ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් නායකයෝ ද කියති. මේ චෝදනා සම්බන්ධයෙන් විද්වත් භික්ෂූන් වහන්සේලා දක්වන අදහස් මෙවර සංවාදයට එක්වේ.

ඒකාධිපති විදියට වැඩ කරන අය අකැමැතියි - පූජ්‍ය මාගල්කඩවල පුඤ්ඤසාර හිමි

පසුගිය පාලන කාලයේ දී විධායක බලතල කොච්චර භයානක ද කියන එක මහජනයාට දැනුණා. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැල්ලා බලතල වැඩි කරගත්තා. දැන් කෑගහන කිසිම හාමුදුරු කෙනෙක් ඒකට විරුද්ධව කතා කළේ නෑ. මේකේ තියන බරපතළකම තේරුම් ගත් පාර්ශ්ව කිහිපයක් හිටියා. ඒ අය විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන මතයේ ඉඳගෙන වැඩ කළා. අභියෝගවලට මුහුණ දුන්නා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ව්‍යවස්ථාවක් අවශ්‍යයි කියන අදහස මීට පෙරත් මතු වුණා‍. චන්ද්‍රිකා මැතිනිය ජේ.ආර්. ගෙ බහුබූත ව්‍යවස්ථාව හැටියටයි‍ මේක හැඳින්වූයේ. ඒත් එය අහෝසිකර අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමේ හැකියාව ඇයට ලැබුණේ නෑ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත ලැබුණේ නෑ. නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් පෙනී හිටපු ශ්‍රීලනිපයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති හැටියට පත්වූ පසුව බලතල වැඩි කර ගත්තා. දරුණු මර්දනයක් රට පුරා දියත් වුණා. ඒ ජනාධිපතිවරයා මහජන ඡන්දයකින් ගෙදර යවා නව ජනාධිපතිවරයකු පත් කර ගැනීමේ දී මහජන අපේක්ෂාව වුණේ විධායක ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවට බලය පැවරෙන නව ව්‍යවස්ථාවක්.‍ යහපාලන ආණ්ඩුවේ පළමු දින සීය කාලයේදී විධායක ජනාධිපතිගේ බලතල යම් ප්‍රමාණයකට අඩු කෙරුණා. අගමැතිවරයාට සමහර බලතල පැවරුණා.

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදනවා කියන එක පදනමක් නැති කතාවක්. 13 වැනි සංශෝධනය යටතේ පළාත් සභා ක්‍රමය ඇති වුණා. බලතල බෙදීමක් සිදුවුණා. නමුත් ඒකෙදි ගැටලු ඇතිවෙලා තියනවා‍. ඒවාට විසඳුම් අවශ්‍යයි. ජනවර්ග කීපයක් ජීවත් වන ඕනෑම රටක, ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු වෙනවා. ඇමෙරිකාව, ස්විස්ටර්ලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව යනාදී රටවල තමන්ට අනන්‍ය ව‍ූ ක්‍රම අනුව ජාතීන්ගේ අයිතිවාසිකම් ලබාදීම කර තිබෙනවා. ඒක පෙඩරල් ද සන්ධීය ද කියන එක තීන්දු වන්නේ රට අනුව යි. අප දන්නා හැටියට මේ හැම රටක් ම තනි රටවල් හැටියට පවතිනවා. ඉන්දියාව තමයි හොඳම උදාහරණය.

ඒ රටේ උරුමය, සංස්කෘතික විවිධත්වය තේරුම් ගෙන හදපු ව්‍යවස්ථාව අනුව ප්‍රාන්තවලට බලතල දී තිබෙනවා. නමුත් ඒකීය රටක් හැටියට පවතිනවා. මධ්‍යම ආණ්ඩුවේ බලතල පැහැදිලියි. මුදල් හා ආරක්ෂක බලතල, ප්‍රාන්තවලට නැහැ. දේශීය ප්‍රතිපත්තිය, ඒකීය බව ආරක්ෂා කිරීම මධ්‍යම ආණ්ඩුවේ වගකීම‍. ප්‍රාන්තවලට විශාල බලතල තිබුණත් මුළුමනින් ම ස්වාධීන ව කටයුතු කළොත් මධ්‍යම ආණ්ඩුව මැදිහත් වෙනවා.

අලුත් ව්‍යවස්ථාවෙන් කළ යුත්තේ 13 වැනි සංශෝධනයේ තිබෙන ව්‍යාකූලතා මග හැරවීමයි. මධ්‍යම ආණ්ඩුවේ බලතල පළාත් සභා බලතල සහ සමගාමී ලැයිස්තුව ආශ්‍රයෙන් ගැටලු ඇතිවී තිබෙනවා.‍

මානව සම්පත්, මූල්‍ය බලතල සහ ස්වාභාවික සම්පත් සම්බන්ධයෙන් පළාත් සභාවල දැනට ඇති විෂමතා හඳුනාගෙන පිළියම් යෙදීම නව ව්‍යවස්ථාවේ එක් වගකීමක්.

උතුරු පළාත් සභාව මුලින් ම පිහිටුවීමෙන් පසු ව පනතේ ඇති පරිදි මූල්‍ය බලතල ලැබුණේ නැහැ. පළාත් සභාව අක්‍රියවීම නිසා මහ ඇමැති වර්ධරාජා පෙරුමාල් අස්වුණා. මේ විදියට පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක වීමේදී ඇතිවූ ගැටලු නිරාකරණය කිරීමේ අවස්ථාව ඇවිත්. බලය බෙදා හැරීම, බලතල දීම යන අදහස් දෙක ම වැරදියි. බලතල බෙදා හදා ගැනීම යන අදහසයි නිවැරදි. එය සිදුවන්නේ සාකච්ඡාවෙන්, සම්මුතියෙන්.

දේශපාලකයන්ට අණ පැනවීමේ හැකියාවක් භික්ෂූ සමාජයට පමණක් නොවෙයි කිසිම ආගමික සංස්ථාවකට නැහැ. එහෙම බලයක් තිබිලත් නැහැ. අවශ්‍යත් නැහැ. විනය පිටකයේ මෙහෙම සඳහන් වෙනවා.

“අනූ ජානාමි භික්ඛවෙ රාජානං අනුවත්ති තුම්
“මහණෙනි, රජවරුන්ගේ අණ පිළිපැදීම අනුමත කරමි.”

ඒක තමයි තේරුම. බුදු හාමුදුරුවොත් එහෙම කීවා නම්, රටක නායකයො අලුත් ව්‍යවස්ථාවක් හදන කොට ඒක එපා කියන්න, තිබෙන අයිතිය මොකද්ද? අනිත් අතට, ඕක මුළු සංඝ සමාජයේ ම අදහස නොවේ. ජනමාධ්‍යයේ හයිය අරගෙන කිහිප දෙනෙක් ඔය විදියෙ කතා කීවට සංඝ සමාජය ඉන්නෙ ප්‍රබුද්ධ මතයක.

පසුව කැමති වෙයි - ප‍ූජ්‍ය දඹර අමිල හිමි

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර නව ව්‍යවස්ථාවක් සකස් කිරිමේ අවශ්‍යතාව සහ ‍ඒ වෙනුවෙන් පෙනී සිටීමේ ඉතිහාසය වසර හතළිහකට ආසන්න යි. පසුගිය ජනාධිපතිවරණයට ආසන්න කාලය වනතුරු එජාපය හැර අනෙක් සියලු පක්ෂ සෑම මැතිවරණයකදීම නව ව්‍යවස්ථාවක් වෙනුවෙන් ‍පෙනී සිටියා. අවසානයේදී ’78 ව්‍යවස්ථාව වෙනුවෙන් අත ඉස්සූ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් එජාපයත් එම බලවේගයට එක් වුණා. ජනවාරි දේශපාලන වෙනසට මුල් වූයේ විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවයි.

ජනවාරි 8 සහ අගෝස්තු 17 දේශපාලන වෙනසක් සඳහා ඡන්දය දුන් ජනතාව බලාපොරොත්තුව වුණේ මහජනයාට වගකියන නව ව්‍යවස්ථාවක්. එ නිසා මේ වෙලාවේ ව්‍යවස්ථාවක් ඕනෑ නෑ කියන පාර්ශ්වවල සද්දෙට අප කලබල විය යුතු න‍ෑ. ඒ හඬ බලගතු නැහැ. පවතින්නෙත් නෑ.

අලුත් ව්‍යවස්ථාව රට බෙදන එකක් හැටියට මහජන මතයක් ඇති කිරීමට දරන උත්සාහය ගැන කිව යුත්තේත් ඒ ටිකමයි. මම නියෝජනය කරන්නේ මල්වතු පාර්ශ්වය. පසුගිය දවසක හිටපු ආරක්ෂක ලේකම්වරයා මල්වතු පාර්ශ්වයේ නාහිමියන් සහ අනුනාහිමියන් හමුවූ අවස්ථාවේ ඔහුට හොඳ පිළිතුරක් දී තිබුණා. බඩේ ඉන්න දරුවාට කේන්දර හදන්න එපා කියන එකයි උන්වහන්සේලා කීවේ. ඊට වැඩිය මොනවා කියන්න ද? තවම ව්‍යවස්ථාවේ එක අකුරක්වත් ලියලා නෑ‍. ඉස්පිල්ලක් පාපිල්ලක්වත් නෑ. තව ම තිබෙන්නේ ව්‍යවස්ථාව පිළිබඳ මත විමසා බැලීම. හැම පාර්ශ්වයක් ම එය නියෝජනය කරනවා.

මුලින් ම ලාල් විජේනායක මහතාගේ නායකත්වයෙන් පිහිටුවූ කමිටුව ලබාගත් මහජන අදහස් කෙටුම්පත බාර දුන්නා.

පාර්ලිමේන්තු පනතක් මඟින් 225 ක මන්ත්‍රී මණ්ඩලයම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය බවට පත් කළා. තවමත් සකසා නැති ව්‍යවස්ථාවක් ගැන චෝදනා කරන විමල්, මහින්ද දිනේෂ් යන සියලු දෙනා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල සාමාජිකයෝ. ඊට අමතරව සෑම පක්ෂයක් ම නියෝජනය වන පරිදි ඒ ඒ විෂයයන් සඳහා අනු කමිටු හයක් පත් කළා. අනු කමිටු හයේ වාර්තා ලැබී තිබෙනවා. අගමැතිවරයා 21 දෙනකු නියෝජනය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් පත් කළා. අනුකමිටු 6 වාර්තා සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන අතුරු ව්‍යවස්ථාව නායක හිමිවරුන් ඇතුළු විවිධ පාර්ශ්වවලට, ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට නියමිත යි. එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකක අනුමැතිය ලබාගත යුතු යි.

මේ විදියට බලන විට මෙහි සැඟවුණු න්‍යාය පත්‍රයක් නැහැ. සියලු දෙනාට විවෘත යි. මහජන සම්මුතියෙන් සකස් වන්නේ. එයින් රට බෙදීමක් සිදුවනවා නම් එය සම්පාදනය කිරීමට දායක වීම නිසා, එහෙම චෝදනා කරන අයත් එහි වගඋත්තර කරුවෝ. එ නිසා මේක පුහු විරෝධයක්. කිසිම පදනමක් නැති අදහසක්.

1972, 1978 ව්‍යවස්ථා හැම එකක් ම සම්පාදනය වුණේ මෙබඳු ක්‍රියාවලියකින් නොවේ. දෙතුන් දෙනකුගේ වුවමනාවට. එතන මහජන සංවාදයක් තිබුණේ නැහැ. මෙරට ඉතිහාසයේ පළමු වරටයි, මහජන දායකත්වයෙන් ව්‍යවස්ථාවක් සම්පාදනය කෙරෙන්නේ.

භික්ෂු සමාජය හා අනෙකුත් ආගමික පාර්ශ්වවලට නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් චෝදනා ඉදිරිපත් කිරීමේ අයිතියක් ඇති බව මා පිළිගන්නවා‍. මෙය ප්‍රජාතන්ත්‍රවාදී රටක්‍. අප ඒ අයිතිය පිළිගත යුතුයි. එහෙත් නීති පැනවීමේ බලයක් ‍ඔවුනට නැහැ. එනිසා, අස්ගිරි පාර්ශ්වය හෝ ඕනෑම පාර්ශ්වයක් කරන චෝදනා අප ගණන් ගත යුතු නෑ. ඒ අය කොහොම ද ආණ්ඩුවට බල කරන්නෙ? කවුරුවත් එහෙම බලයක් දීලා නැහැ. එහෙම බලද්දී විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා කර ඇති ප්‍රකාශය හරි ම වැදගත්‍. මේ රටේ ජීවත්වන සිංහල, මුස්ලිම් ජනතාවගේ කැමැත්තට පිටුපාන ව්‍යවස්ථාවක් අනවශ්‍ය බව ඔහු ප්‍රකාශ කළා.‍ සියලු ජනවර්ගවල අභිලාෂය හා කැමැත්ත ව්‍යවස්ථාවකට අවශ්‍යයි. ඒ වැඩපිළිවෙළ තමයි කරගෙන යන්නේ.

ව්‍යවස්ථාව සකස් කළ පසු මහානායක හිමිවරුන්ට ඉදිරිපත් කළා ම උන්වහන්සේලා මෙය අනුමත කරන බව මට හොඳට ම විශ්වාසයි. අනුමත කළ නොහැකි කිසිවක් ඊට එකතු වීමේ ඉඩක් නැහැ. ඊට හේතුව මෙය තනි පුද්ගලයකුගේ හෝ කිහිප දෙනකුගේ කටයුත්තක් නොවීම යි. බුදු දහමට හෝ කිසිදු ආගමකට ව්‍යවස්ථාවෙන් බාධාවක් නොවන බව, උන්වහන්සේලා තේරුම් ගනීවි.‍ මම මල්වතු පාර්ශ්වයේ අධිකරණ සංඝනායක ධූරයක් හොබවන්නෙක්. බුදු දහමට හානි කරන ව්‍යවස්ථාවක් සකස් වීමේ ඉඩක් නොමැති බව මට හොඳටම විශ්වාසයි.

ඒ අය දන්නෙ මොනවද? - පූජ්‍ය දියකඩුවේ සෝමානන්ද හිමි

1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවට පසුව මේක රට බෙදන ඒකාධිපති ව්‍යවස්ථාවක් හැටියට හඳුන්වලා හාමුදුරුවරුන් පෙළපාළි ගියා. මහජන මතයක් ඇති කළා. ඒ පෙළපාළි හින්දා මිනිස්සු මැරුණා. ගුටි ක‍ෑවා. ඒ ව්‍යවස්ථාව අවුරුදු 40 ක් තිබුණා. දැන් ඒක වෙනස් කරන්න හදන කොට හාමුදුරුවරුන් විරෝධය පළ කරනවා. මේක රට බෙදන ව්‍යවස්ථාවක්. විධායක බලතල අඩු කරන්න එපාලු. එතකොට මේකෙ තර්කානුකූල බවක් තියෙනවද? මොනවද මේ කරන්නෙ?

ව්‍යවස්ථාව ගැන කතා කරනවා නම් ඒ අය ඒ විෂය හදාරලා තියෙන්න ඕනෑ. අවබෝධයක් තියෙන්න ඕනෑ. මේ අයට ඒ ගැන තියෙන අවබෝධය මොකද්ද? රට බෙදන එක වැළැක්වීමයි ව්‍යවස්ථාවකින් සිදු වන්නේ. භාෂා ගණනාවක් කතා කරන මිනිසුන් ජීවත්වන ඉන්දියාව එහෙම ව්‍යවස්ථාවක් හදාගත්තා. එ නිසා ඉන්දියාව තවමත් තනි රටක් හැටියට පවතිනවා‍. අපට තවම බැරි වුණා.

ඒකට හේතුව ඉන්දියාවේ මේ කටයුතු වලට මැදිහත් වුණු සබුද්ධිමත් පිරිසක් සිටීම යි.

තවම අලුත් ව්‍යවස්ථාව හදල නෑ. මේකට සම්බන්ධ කරගෙන සිටින සමහර අය ගැන නම් මටත් විවේචනයක් තියනවා. මේ උගතුන් සියලු දෙනා ප්‍රාමාණික දැනුමක් තියෙන අය ද? හැම දෙනාගේ ගෞරවයට පාත්‍ර වූ අය ද? යනාදී වශයෙන්. එහෙම නම් විරුද්ධ විය යුත්තේ හොඳ ව්‍යවස්ථාවක් හදා ගැනීමට සුදුසුම අය පත්කර ගැනීම වෙනුවෙන්. නමුත් භික්ෂූ පාර්ශ්වවලින් එල්ල වී තිබෙන්නේ එහෙම විරෝධයක් නොවෙයි. ව්‍යවස්ථාවක් එපා කියන එක. වර්තමානයේදී, දේශපාලන පාර්ශ්ව පමණක් නොවෙයි, වෛද්‍යවරු, ගුරුවරු, ජනමාධ්‍යවේදියෝ යනාදී වශයෙන් හැම පාර්ශ්වයකම පෙනෙන්නේ පිරිහුණු ස්වභාවයක්. නරක් වුණු පලතුරු ගෙඩියක පණුවො වගේ.

ඒ හින්දා අපි හිතන්න ඕන, මේකෙන් ගොඩ එන විදිහක්. ඒක කරන්න පුළුවන් වන්නේ සබුද්ධික සමාජයකට යි. ඒකට සුදුසු ම වෙලාව ඇවිත් තියෙනවා.

බුද්ධාගම රාජ්‍යාගම කළ යුතුයි කියන උදවිය පළමුව කළ යුත්තේ බුද්ධාගම වටහා ගැනීමයි. රජය ලෞකික විය යුතු යි. ආගමික විය යුතු නෑ. දැන් තියෙන්නේ රාජාණ්ඩු ක්‍රමයක් නොවේ. ප්‍රජාතන්ත්‍රීය ක්‍රමයක්. රාජාණ්ඩු කාලෙදි වුණත් රජවරු හාමුදුරුවො කියන හැටියට වැඩ කළේ නෑ.

ලෞකික රාජ්‍යයක් ඇතුළේ සබුද්ධික සමාජයක් ගොඩනැඟීම නිසයි යුරෝපයේ දියුණු සංස්කෘතියකට අයත් මිනිස්සු බුදු දහම ගැන වැඩියෙන් උනන්දු වෙන්නේ. බුදු දහමේ එවැනි චින්තන නිදහසක් තියනවා. හාමුදුරුවරුන් එය වටහා ගෙන නැහැ. දැන් එය චින්තන නිදහසක් නැති ආගමක් බවට පත් කරගෙන.

තුන් සිංහලයම එක් සේසත් කළත් භික්ෂුන්ගේ සමගිය ඇති කිරීම දුෂ්කර බව පරාක්‍රමබාහු රජතුමා ප්‍රකාශ කළා. එනිසා තවමත් සකස් කර නොමැති ව්‍යවස්ථාවකට එරෙහිව කතා කරන භික්ෂුන් පළමුව කළ යුත්තේ බුදු දහම හා භික්ෂු සමාජය ගැන හරි දැක්මක් ඇති කර ගැනීමයි. ව්‍යවස්ථාව ගැන කතා කළ යුත්තේ දෙවනුව යි‍.

ආචාර්ය වල්පොළ රාහුල හිමියන් බුදුදහම පිළිබඳ ගැඹුරු දැක්මකින් කටයුතු කළා. ගිහි උගතකු වන මහාචාර්ය සුචරිත ගම්ලත් මෑත අවධියෙහි ඒ සංවාදය ඉදිරියට ගෙන ගියා. අද විශාල අඩුවක් පෙනෙනවා. නෙල්සන් මැන්ඩෙලා, මාටින් ලුතර්කිං සබුද්ධික සමාජයක් පිළිබඳ කී දේ නිවැරැදි යි. අපට නැත්තේ එහෙම සමාජයක්. අපේ රටේ දේශපාලකයන් පමණක් නොවෙයි, හාමුදුරුවරුන්, ගුරුවරුන්, මාධ්‍යවේදීන්, කලාකරුවන් සබුද්ධික සමාජයක් ගොඩනැගීමේ වගකීම අවබෝධකර ගත යුතු යි. පළමුව ඔවුන් සබුද්ධික විය යුතුයි.

බුදු දහම ආරක්ෂා කිරීම ව්‍යවස්ථාවේ වගකීමක් නොවේ. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා 1978 ව්‍යවස්ථාවේ බුද්ධාගම රාජ්‍යාගම හැටියට නම් කළා. නමුත් බුද්ධාගමට සෙතක් වුණා ද? සෝල්බරි ව්‍යවස්ථාවේ එහෙම එකක් තිබුණෙත් නෑ. එහෙම බැලුවම සෝල්බරි ව්‍යවස්ථාවට වඩා 78 ව්‍යවස්ථාව හොඳයි කියන්න පුළුවන්ද?

සාකච්ඡා කළේ
තිඹිරියාගම බණ්ඩාර

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.