‘අතුරුදන්’ පනත අතුරුදන් කළ යුතු ද? | සිළුමිණ

‘අතුරුදන්’ පනත අතුරුදන් කළ යුතු ද?

 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතුරුදන් වූවන් පිළිබඳ පනත් කෙටුම්පත රණවිරුවන් පාවා දෙන කුමන්ත්‍රණයක් බවට ඝෝෂාවක් ඇති වෙමින් පවතී. මේ ඝෝෂකයන් අතර ඒකාබද්ධයේ ඇතැම් නායකයන් ද භික්ෂු පාර්ශ්ව ද සිටීම හාස්‍යයට කරුණකි. භික්ෂු ඝෝෂකයන් බුදුදහමෙහි එන කාලාම සූත්‍රය හරිහැටි අධ්‍යයනය කර තිබුණා නම් ඝෝෂාව නවතින බව නිසැක ය. “ආරංචියෙන් ආ පමණින් පිළිනොගනිව්” යනුවෙන් එම සූත්‍රයෙහි එන සඳහන ම ඝෝෂාකාරි භික්ෂු කණ්ඩායම්වලට හොඳ බෙහෙතකි.

මීට කලකට පෙර අතුරුදන් වූවන් වෙනුවෙන් හඬ නැඟූ දේශපාලකයන් ද අතුරුදහන් වූවන් පිළිබඳ පනතට එරෙහි වීම අපට සිහි ගන්වන්නේ දේශපාලන අවස්ථාවාදය යි; අශිෂ්ට දේශපාලන සංස්කෘතියක හැදී වැඩුණු මහජන නියෝජිතයන්ගේ පිළිකුල් සහගත කල්කිරියාව යි.

අතුරුදන් වූවන් වෙනුවෙන් හබයාකෝපුස් පෙත්සම්

1980 දශකයෙහි තරුණයන් අතුරුදන් වීමට එරෙහි ව ක්‍රියාත්මක වූ නීති ආධාර සංගමයෙහි කැඳවුම්කරු ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මහින්ද රාජපක්ෂ මහතා 1988 මුල් මාස 6ක කාලයේ දී අතුරුදන් වූ දකුණේ තරුණ තරුණියන් 153 දෙනෙකුගේ ලැයිස්තුවක් එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා වෙත ඉදිරිපත් කළේය.

අතුරුදන් කිරීම වැළැක්වීමට පියවර ගන්නැයි ඔහු ඉල්ලා සිටියේය. අතුරුදහන් වූවන් වෙනුවෙන් හබයාකෝපුස් පෙත්සම් ගණනාවක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කිරීමට ඔහු මුල් විය. එමෙන් ම වාසුදේව නානායක්කාර මහතා සමඟ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට පැමිණිලි කළේ ය.

අතුරුදන් වූවන් පිළිබඳ පනත කුමන්ත්‍රණයක් ලෙස දකින මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා 1988 මාර්තු මාසයේ දී දේශපාලන පක්ෂ හයක නායකයන් සමඟ එක් ව අතුරුදන් වූවන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන මෙන් එවක රජයෙන් ඉල්ලා සිටියේ ය.

වත්මනෙහි ඒකාබද්ධ විපක්ෂයේ කිළිටි හෝදන්නකු බවට පත් ව සිටින හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා ද එකල හබයාකෝපුස් පෙත්සම් පිළිබඳ උනන්දු වූ අයෙකි.

අත්අඩංගුවට ගෙන රඳවා තබා සිටින පුද්ගලයන් වෙනුවෙන් ඉදිරිපත් කරන හබයාකෝපුස් පෙත්සම් පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණ පැවැත්වීමට නියෝග කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ඉල්ලා එවක අභියාචනාධිකරණ විනිසුරු සරත් එන්. සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.

මහේස්ත්‍රාත් නියෝගයක් නොමැති ව පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රඳවා තැබීමේදී ඔහු හෝ ඇය අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා හබයාකෝපුස් පෙත්සමක් ඉදිරිපත් කිරීමේ අයිතිය තහවුරු කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 141 වගන්තියෙනි.

පුද්ගලයන් අතුරුදන් කිරීමට එරෙහි ව මහින්ද රාජපක්ෂ, වාසුදේව නානායක්කාර සහ දිනේෂ් ගුණවර්ධන යනාදී දේශපාලකයන් කටයුතු කළේ ව්‍යවස්ථාවෙන් හිමි ව තිබූ එම අයිතිය පාවිච්චි කිරීමෙනි.

1991 වන විට පුද්ගලයන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ලොව දෙවැනි නරක ම වාර්තාව හිමි වූයේ ශ්‍රී ලංකාවට ය.

අතුරුදන් වූවන් පිළිබඳ ව සමීක්ෂණය සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් සංවිධානයේ නියෝජිතයෝ ද මරණ තර්ජනවලට මුහුණ දුන්හ. එකල මහින්දලාට, වාසුලාට, දිනේෂ්ලාට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පෙනී ගියේ සුර දූතයන් හැටියට ය. කරුණු එසේ වුව ද වත්මනෙහි ඔවුනට ජාත්‍යන්තර මානව හිමිකම් නියෝජිතයන් මාරයන් ලෙස පෙනෙන්නට පටන්ගෙන තිබේ. ඊට හේතු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න දේශපාලන අවස්ථාවාදයයි. දෙවැන්න 80 දශකයෙහි අතුරුදහන් කිරීමේ තර්ජනයට මුහුණ දුන් අය දකුණේ සිංහලයන් වීම ය. දෙමළ තරුණයන් අතුරුදහන් වීම ප්‍රශ්නයක් හැටියට බාර ගැනීමට ඔවුන් සූදානම් නැත.

මෙහිදී ඔවුන් ද නැවත සලකා බැලිය යුතු කරුණක් තිබේ. එනම් අතුරුදන් වීම් පිළිබඳ පනත අතීතයට නොව අනාගතයට බලපාන එකක් වීම ය. එමෙන් ම ඒ පනත මඟින් මෙරටේ සියලු ජනවර්ගවල මූලික අයිතිවාසිකම් සුරක්ෂිත වීම ය.

මේ පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම දැනටමත් සැකසී තිබේ. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වධ හිංසා තුරන් කිරීම පිළිබඳ සම්මුතියට අත්සන් තබා ඇත. පනතෙන් සිදු වන්නේ එම සම්මුතියට අනුව කටයුතු කරන බව සහතික කිරීම ය.

පනත සම්මත කිරීමෙන් පමණක් ජාත්‍යන්තර විශ්වාසය ඇති නොවේ. එය ක්‍රියාත්මක වන බව පෙනෙන්නට තිබිය යුතුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම (LLRC) ද පුද්ගලයන් අතුරුදහන් වීමට එරෙහි ව ගත යුතු පියවර නිර්දේශ කළේ ය.

බාර වීමෙන් හෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු ව රජයේ බාරයට පත් වූ පුද්ගලයන් ආරක්ෂා කිරීම රජයේ වගකීම බව කොමිසම අවධාරණය කර ඇත. ඒ අනුව අතුරුදහන් වීම පිළිබඳ ගැටලුවට කවර සමඟි සන්ධානයකට වුව ද බාධකයකි. බලයට පත් වන කිසිම ආණ්ඩුවක් අතීත කොමිෂන් සභා ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක කර නොමැති බව කොමිසම පෙන්වා දෙයි. එම නිර්දේශද ක්‍රියාත්මක නොවීය.

හමුදාවේ හෝ එල්ටීටීඊයේ හෝ ක්‍රියාවන්ට ගොදුරු වුව ද සොයා ගත නොහැකි පුද්ගලයන් ගැන තොරතුරු ඔවුන්ගේ පවුල්වලට ලබා ගැනීමේ නීතිමය අයිතිවාසිකම ලබා දිය යුතු බව උගත් පාඩම් කොමිසම කීවේ ය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනු කමිටු වාර්තාව ද අතුරුදන් නොවීමේ අයිතිය පිළිගනී. මූලික අයිතිවාසිකම් යටතේ එය දක්වා ඇත. පුද්ගලයන් අතුරුදන් කිරීම අපරාධ නීතිය යටතේ වරදක් බවට පත් කිරීමේ යෝජනාව ඉතා වැදගත් ය.

අතුරුදන් වූවන් සම්බන්ධ පනත

පුද්ගලයන් අතුරුදන් වීම වැළැක්වීමේ නීති සම්පාදනය කිරීම අනාගතයෙහි එබඳු ක්‍රියාවන් වැළැක්වීමට බලපා යි. දේශපාලන බලයට අභියෝගයක් වන්නේ යැයි පෙනෙන පුද්ගලයන් අතුරුදන් කිරීමේ සම්ප්‍රදාය නැවැත්විය හැක්කේ පුළුල් ක්‍රියාකාරිත්වයකිනි. නීති සම්පාදනය එහි එක් පියවරකි. දියුණු දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීම ඊට වඩා වගකීම් සහගත කටයුත්තකි. ඒ සඳහා පළමු පියවර ගත යුතු ය.

කප්පම් ගැනීම සඳහා අගනුවරින් පැහැරගත් දෙමළ තරුණයන් පිරිසක් ත්‍රිකුණාමලයේ රහසිගත කඳවුරක රඳවා තබාගෙන සිටි බවට ඔවුන්ගේ දෙමවුපියෝම සාක්ෂි දරති. චූදිත හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගනිමින් සිටිනු පෙනේ. එක්නැලිගොඩ පැහැරගත් හමුදා නිලධාරින් කවුදැයි අනාවරණය වී ඇත.

මේ පරීක්ෂණ අඩාළ කිරීමට උත්සාහ දරන්නන්ගේ චර්යා අනුව පෙනෙන්නේ අතුරුදන් කිරීම්වලට තමන්ගේ සම්බන්ධයක් ඇති බව නොවේ ද?

ජාත්‍යන්තර අවශ්‍යතා අනුව රණවිරුවන් දඩයම් කිරීමට යන්නේ යැයි අතුරුදන් වූවන් සම්බන්ධ පනතට බාධා කිරීමේ රහස එය යි.

ගෝත්‍රික චර්යාව

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ගත් මොහොතේ ප්‍රාදේශීය සංවර්ධන ඇමැති හිටපු හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යුද්ධයේ දී අතුරුදහන් වූ හමුදා සොල්දාදුවන් පන්දහසක් පිළිබඳ ව සඳහන් කළේ ය.

අතුරුදන් වීම වැළැක්වීමට පියවර ගත යුත්තේ මේ සියලු දෙනාගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් බව ඔහු කීවේ ය.

ඒ නිසා ඊනියා රණවිරු දඩයම පිළිබඳ හැඟීම් අවුස්සා මහජනයා කුපිත කිරීමේ ගෝත්‍රික චර්යාව පරාජය කළ යුතු ය. එය කළ හැක්කේ විරුද්ධ මත ඉවසීමේ ගුණය පිළිබඳ පුළුල් මහජන කතිකාවතක් දියත් කිරීමෙනි.

තිඹිරියාගම බණ්ඩාර
[email protected]

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.