විදග්ධ රසිකයන් තෘප්තිමත් කරන කාව්‍ය සංග්‍රහයක් | සිළුමිණ

විදග්ධ රසිකයන් තෘප්තිමත් කරන කාව්‍ය සංග්‍රහයක්

 

ප්‍රකාශනය: කර්තෘ ප්‍රකාශනයකි

කර්තෘ: කුලරත්න අාරියවංශ

මිල: 225

ප්‍රකට ගීත රචකයකු වන කුලරත්න ආරියවංශයන්ගේ ජනප්‍රිය ගීත 103ක් ඇතුළත් කර ප්‍රකාශිත ග්‍රන්ථයකි, “පිනිබර මලක්”. මේ වන විට මේ ගීත රචක කවියා සිය ජීවිත කාලයෙන් වැඩි කොටසක් කැප කරමින් ගී දහසක් පමණ ලියා රටට දායාද කර ඇත. ඒ ක්‍රියාදාමයේදී සිය කුසලතා ඔප් නංවා ගත් ආකාරයත් ඒ සඳහා බුද්ධිමත් සහෘදයින්ගෙන් ලද සදාශ්‍රයත් අව්‍යාජව අනාවරණය කරමින් ලියා ඇති පෙරවදන මෙහි ඇතුළත් අගනා ලේඛනයකි. අප කවියා ගීත කලාවටම කැපවීම සනිටුහන් කරන ජීවිතයේ සන්ධිස්ථානයක් වන්නේ 1980 දී රාජ්‍ය සේවයෙන් ඉවත්ව කලාකරුවන්ගේම සමාගමයට වෘත්තීය වශයෙන් එක් වීම ය. මෙය ආත්ම විශ්වාසයෙන් යුතුව තැබූ අධිෂ්ඨාන පූර්වක ඉදිරි පියවරක් වූ බවත් එබඳු දැඩි මඟකට කැපවීම ඔහුගෙන් රටට උරුම විය යුතු කලා නිර්මාණ පිළිගැනීමට සැදී පැහැදී සිටින රසිකයන්ගේ භාග්‍යය තහවුරු කරන්නක් වූ බවත් නිසැක ය. රචකයා මේ ප්‍රකාශනය සඳහා ගී තෝරා ගන්නේ ඒවා තමන්ගේම මිනුම් දණ්ඩක් අනුව වඩාත් සාර්ථක රචනා ලෙස සලකා විය යුතුය. ජනප්‍රියත්වයෙන් ඒවා කෙතරම් ඉහළ තැනක ඇත්ද යන්න අප කාටත් ප්‍රත්‍යක්ෂ කරුණකි.

ගීතය, නර්තනය, කාව්‍යය හා නාට්‍යය කලා මාධ්‍ය වශයෙන් එකිනෙකාට වෙනස් වෙතත් ඒවායේ පොදු සමානතා ද බහුල ය. හදවතේ ජනිත කලාත්මක භාව ප්‍රකාශ කරන මාධ්‍ය වශයෙන් පොදු ලක්ෂණ දරන අතර ඒවායේ එකිනෙක අනන්‍යතා ලක්ෂණ ද හඳුනාගත හැකිය. මින් මානව ශිෂ්ටාචාරයේ මුල් ම යුගයට ගීතයත්, නර්තනයත් අයත් කළ හැකි වන අතර නාට්‍යය හා කාව්‍යය වඩාත් දියුණු පශ්චාත් කාලීන ලක්ෂණ දරන බව පෙනේ. කෙසේ වුවද සංගීත ශාස්ත්‍රයත්, කාව්‍ය ශාස්ත්‍රයත් යන දෙක ම ක්‍රමයෙන් ඉදිරි ගමන් මඟක් පළ කරන තරමට පසුව දියුණු වී ඇත. ඒ අනුව ගායනය හා සංගීතය මිශ්‍රව පෙරට යන අතර කාව්‍යය හුදෙකලාව භාව ප්‍රකාශන මාර්ගයක් ලෙස වැඩී ඇත.

මේ විචාරයේදී අප විමසා බලන්නේ කුලරත්න ආරියවංශ ගීත රචකයා සාර්ථක වී ඇත්තේ කවර නම් කාව්‍යමය උපක්‍රම උපයෝගී කර ගැනීමෙන් ද යන්න ය. එහිදී සාමාන්‍ය කිවි මඟ වන කව්ලැකියේ බස් වහර, වෘත්ත, උපමා රූපක ආදිය බැහැර කරන ගීත රචකයා ක්ෂණිකව රචකයාගේ හදවත ඇද බැඳ ගැනීමේ උපාය මාර්ග යොදා ගනී. කවිය මෙන් ගීතය කියවා රස විඳීම නොව ගායකයකුගේ හඬින් සුළු කාලයක් තුළ රසික හදවතට ඇතුළු වීම අරමුණු කර ගත්තත් වීම මෙහිදී විශේෂ වෙයි. ඒ අනුව සාර්ථක ගීතයකින් රසිකයා සංගීතාත්මකව වහා කම්පනයට පත් වෙයි.

ආරියවංශයන්ගේ ගීත සංග්‍රහය විවිධ මාතෘකා යටතේ බොහෝ විට එකිනෙකට වෙනස් වස්තු විෂය අනුව කළ රචනාවලින් විචිත්‍ර වූවකි. එහි ගීත වැඩි ගණනක් කැපවී ඇත්තේ ස්ත්‍රී පුරුෂ ප්‍රේමය වෙනුවෙනි. මින් “බිංදු බිංදු මල් වැස්සේ තෙමෙන්නට එපා යයි” ඇරැඹෙන ගීතයෙන් රසිකයාට ප්‍රේමය සන්නිවේදනය කිරීමට රචකයා යොදා ගන්නේ දෙබස් මගයි. “ගලින් ගලට පා තබමින් දුවන්නට එපා ගල් මතු පිට ලිස්සනවා පය පැකිලේවි” යයි අනතුරුව පෙම්වතා කියයි. පෙම්වතියගේ ප්‍රතිචාරය වන්නේ “ආල හැඟුම් මං හින්දා හිතෙන්නට එපා. දෑස තෙමා ලන දුක්ගිනි නැ‍ඟෙන්නට එපා. දෙමාපියන් පිට ගමකින් මට බහාදේවි” යනුවෙනි. ගීය ඉදිරියට ගලා යන්නේ මේ ගැටුම අතරිනි. එහි යටින් දිවෙන්නේ සුන්දර ගැමි පරිසරයෙන් මිදී ඇය සිදාදියට ගොස් කිලිටි වීමේ අනතුරයි. තරුණයාගේ හ‍ඬෙන් පළ වන “නිල්ලන්දේ ගම්මැද්දේ ඉද්ද සමන් පිපෙනවා වෙල් බැද්දේ බරණි පුරා වී අස්වනු පිරෙනවා” යයි දැක්වෙන තෘප්තිය ඈ “සිදාදියෙන් මා බලන්න කුමාරයෙක් වඩිනවා” කියන විට දෙදරුම් කයි. මුළු ගීයම ගැමි සුන්දරත්වයත්, සිදාදි ජිවිතයත්, තරුණ ප්‍රේමයත් ඝට්ටනාත්මකව එක් රැස් කරන්නක් වී ඇත්තේ කෙතරම් අපූරුවට ද?

මේ වක්‍රොක්ති මාර්ගයට වෙනස්ව ඍජුව ප්‍රේමය පළ කරන ගීයකි. “ආදරයෙන් මා හදවට එතෙන ලතා ගම්මානෙට එළිය නුඹයි ස්වර්ණලතා” යයි විකාශය වන්නේ. තරුණියගේ වරලස, ඔමරි බැලුම් වැනි සුන්දරත්වයේ සංකේතවලින් තුරුණු සිත බැඳී ගිය අයුරු ඉන් පළ වේ. පරිසරය ඇය සමඟ එක් වන්නේ සුන්දර වස්තූන්ගේ එකතුවක් ලෙසිනි. එවිට පෙම් හැඟුම් විකසිත වේ. “පාන්දරින් මල් පිපුණා බඹරු දනී. සීන් තුසර පිනි වැටුණා අහස දනී” එසේම “සෙමෙන් විහඟ ගී නැඟුණා පවන දනී” එහෙත් ගැටලුව වන්නේ කවියාට ඇය සමඟ තවමත් එක් වන්නට නොහැකි වීම ය. “නුඹට බැඳුණ සිත හන්දා මා විඳි දුක් කවුරු දනී” යයි කියවෙන්නේ එහෙයිනි. එය ප්‍රතිචාරයක් නොදැක්වෙන භාව ප්‍රකාශනයකි.

“සිනාදොළක් වන් සිනාමලී” යැයි ඇරැඹෙන ගීය සුවිශේෂ අනුභූතියක් පළ කරයි. තරුණියට සිනාමලී යයි නම් දෙන කවියා වෙනදා ඇය සිනා දොළක් මෙන් සිනාව ගලා යන තැනක් වුවත් මල්වර නැකතින් දොරට වඩින්නේ නුපුරුදු ආඩම්බර කමකින් බව දකී. ඔහුට දුක ඇය වෙනදා මෙන් කතා නොකරම අහක බලා ගැනීම ය. එහෙත් අලුත් හැසිරීම ගැන වත් ඇයට දොස් නොකියන කවියා ඇය වෙනස් වුණේ ඇගේ ළපටි සිත දෙගුරුන් අවුල් කිරීම නිසා යැයි සිත හදා ගනී.

දරු පෙම ද කවියාගේ තවත් වස්තු විෂයයකි. ඊට අදාළ “චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා” නම් ගීතය රසිකයින් අතර නිතර රැව්පිළිරැව් දෙන්නකි. “පුංචි පුතා ඉන්නෙ හැංගිලා” ය. ඔහුත් හැංගෙන්නට පෙර “අයියට ගහලා” “නංගිව විකලා” ය. ඔහුගේ මේ චණ්ඩිකම්වල ප්‍රතිඵලයක් ලෙස සෙල්ලමට එන “යහළුවෝ ටික තරහ වෙලා” “සෙල්ලම් කරන්නේ කා සමඟින්දෝ” යි සිතන්නේ කවියා ය. “පුංචි පුතා දැන් තනිවෙලා” සිටිම ගැන ඔහු දුක් වෙයි.

මුළු සිද්ධි මාලාවම රසිකයා නරඹන්නේ නාට්‍යාකාරයෙනි. කවියාගේ වචන හැසිරවීමේ දක්ෂතාව නිසා නාට්‍ය රසය තියුණු වේ. “චණ්ඩිකමට රණ්ඩුවක් වෙලා”, “පුංචි පුතා අයියට ගහලා”, “නංගී විකලා” යන වාං මාලාව කට වහරෙන් ගෙන ඇත. ඒවායේ ධ්වනිය අපේ යටි සිතේ සැඟවුණු වින්දන අවදි කරනසුලු වේ. එපමණක් නොව ගීය පුරාම පැතිරුණු අනුප්‍රාසය නමින් අලංකාරවාදීන් හඳුන්වන සමාන ශබ්ද එකට ගැළපීම මඟින් ගායනයෙන් රසිකයා කුල්මත් වේ. අවස්ථා නිරූපණයේ නාට්‍යමය ස්වරූපය ඉස්මතු වීමට එය ඉවහල් වේ.

සිදුවීම්වල නිමාවෙන් පසු කවියා අප යොමු කරන්නේ පාත්‍රයන්ගේ මනෝභාවයන් වෙත ය. “පුංචි පුතා දැන් තනිවීලා” යැයි කියමින් “සෙල්ලම් කරන්නේ කා සමඟින්දෝ” යි ප්‍රශ්නයක් මතු කෙරේ. අන්තිමට එන්නේ මේ නාට්‍ය දර්ශනය ගැන සමාලෝචනයකි. “සේරම හොඳ දරුවෝ වෙලා එකමුත වුණා නම් හොඳනේ පැටියෝ” යි දරුවා අමතන කවියා “පුංචි ළමයි වසනෑ පැටියෝ” යි නිගමනයක් දෙයි. අප මානව දයාව නමින් හඳුන්වන්නේ කවියාගේ සංකල්පනාවේ ගැබ් වුණු දඟ දරුවා දෙස අනුකම්පාවෙන් බැලීමේ ස්වභාවයයි.

මේ ගීත සංග්‍රහයේ විචිත්‍රත්වයට තවත් නිදසුනක් නම් “ඕං මහත්තැන් පිරී හිඳින්නා නුඹේ හපන්කම් බලා හිඳින්නා” යයි ඇරැඹෙන ගීයයි. එය නැටුමක් විස්තර කරන්නකි. ගී ගයමින් නැටීම මානව ශිෂ්ටාචාරයේ මුල් අවධිවල සිට ම පවතින්නක් වන අතර, මේ ගීය වේදිකාවේ නැටුමක් දිගහැරෙද්දී ගැයිය හැක්කකි. මෙහි ප්‍රධාන චරිතය වන්නේ නැට්ටුවෙකි. ඒත් ඒ මිනිසෙක් නොවේ. රිලවෙකි. රිලවා නටවන මිනිසා ද මෙහි නිරූපණය වන චරිතයකි. එහෙත් ඔහු වෙනුවෙන් ගීයේ වචනයක් වත් නැත. ඒ අතර ගීයේ මුළු වචන සමුදායම මිනිසාගේ මුවින් පිටවෙන බව රසිකයා හඟී. විස්තර නොවන තෙවන චරිත ගණයක් ද ඇත. ඒ ප්‍රේක්ෂක පිරිස ය. ඔවුහු රිලා නැටුම බලා සිටිති. නටවන්නාගේ මුවින් පිටවන සේ රිලවා ඇමතෙන්නේ කපුරාළේ යනුවෙනි. නැටුම් බැලීමට මහත්තැන් පිරී සිටින නිසා දන්නා නැටුම් පෙන්වන ලෙස රිලවාට අණ ලැබේ. පෙර රජ කාලේ දඬුවම් - උල තබනා සැටි, නැන්දලා මාමලා බලන්න කඳමළු ගෙන යන සැටි ද ඒ අතර වේ. බඩපිලුම්, හිටිපිලුම් ද එයට එක්වේ. මේ අයුරින් කදිම රංගනයක් වචනයට නංවන්නට කවියා සමත් වේ.

කවියාගේ වචන භාවිතයේ විචිත්‍රතාවට නිදසුනක් වන්නේ “රංගන නර්තන තරග සරසියේ” ගීතයේ “පංකජ උදානයේ කිත්සිරි නංවන තිළිණ සාදයේ මංගල ප්‍රභාතයේ සුමති ප්‍රසාදන සුමධුර වින්දන සුරම්‍ය සන්ධ්‍යාවයි” යන වාං මාලාව ය. ගැමි වදන් නිසි අයුරින් ගැළපීමට මෙන්ම මිශ්‍ර සිංහල ව්‍යවහාරය ගීතාත්මකව හැසිරවීමට ද කවියා සමත් වන සැටි ඉන් පෙනේ.

Comments