අන්තඃපුරේ කඳුළට වහං වූ පැරකුම් විකුම් | සිළුමිණ

අන්තඃපුරේ කඳුළට වහං වූ පැරකුම් විකුම්

 පොලොන්නරුව රාජධානියේ ආයු කාලය ඉතා කෙටිය. එහෙත් අවුරුදු තිස් තුනක් වැනි කාලයක් රජකම් කරන මහා පරාක්‍රමබාහු රජු පොලොන්නරුව විජයග්‍රහණයේ ලක්ෂ්‍යය කරවූහ. මහා පරාක්‍රමබාහු රජුගේ මාළිගාව තරම් වූ භවනක්, අනුරාධපුර රාජධානියේ තිබුණු බවට කිසිදු සලකුණක් නැත. කාමර දහසකින් යුත් මාළිගාවක් වූ එහි අදටත් ශේෂ වූ මහල් තුනක් දැකිය හැකිය.

ආරක්ෂාව පිළිබඳ සිත් ගත් මනා වැඩපිළිවෙළක සිටි මහා පැරකුම් නිරිඳුන් සිය වාසස්ථානය කරගත් ඇතුල් නුවර ප්‍රමාණයෙන් හෙක්ටයාර අටයි දශම හයකි. එහි ප්‍රාකාර බැම්ම අඩි පණහක් උසට තිබුණු බව කියැවේ. එමෙන්ම අදටත් ඔබට අඩි විස්සක් පමණ ඇතැම් තැන් හිදී නරඹන්නකු වශයෙන් දැකිය හැකිය. එමෙන්ම මාළිගාව, රාජ සභාව සහ තවත් ශේෂ වූ බැමි කොටස් වශයෙන් මාළිගා බිමේ ගොඩනැඟිලි කිහිපයක් පෙනේ. ඊට අමතරව, මහාවංශයේ සඳහන් වන ආකාරයට රජුගේ ප්‍රධාන පොකුණ වන කුමාර පොකුණ සැබෑවටම ඇතුල් නුවර ඒ ආකාරයෙන් අදටත් දැකිය හැකිය.

එහෙත්, ලිඛිත කිසිදු මූලාශ්‍රයක ඇතුල් නුවර කොපමණක් පිරිසක් වාසය කළේද යන්න කියැවී නැත. මෙහිදී කළ ගවේෂණයට අනුව, රජුට සමීපව විශාල පිරිසක් රාජ්‍ය සම්පත්තීන් විඳ ඇති බවට කවරාකාරයේ හෝ සාක්ෂි ද හමුවී නැත. මාළිගාවේ රැජන ලෙස ලීලාවතී බිසව පළමුවත් ඉනික්බිතිව, ඉන්දියාවෙන් ගෙන්වාගත් බිසවත් ජීවත්ව ඇති බව ලියවී තිබේ. මේ අති චමත්කාරජනක දැවැන්ත ප්‍රාසාදයේ ස්වභාවය සහ පන්සියයක් ගෙන් සමන්විත අන්ත:පුරයක් ගැන පරාක්‍රමබාහු රජ සමය ගැන උනන්දු වන්නෝ බොහෝ උනන්දුවෙන් කතා කරති.

මෙරට අනාදිමත් කාලයක සිට රජවරුන්, ස්ව මාළිගාවේ අති උත්කර්ෂවත් කොට ගත් එක් ප්‍රධාන අංගයක් ලෙස අන්ත:පුරය ගැන කියැවේ. එම කතාබහට ජීවමාන සාධක එකතු කරමින් මහා පරාක්‍රමබාහු රජු පොළොන්නරුව රාජධානිය අන්ත:පුරය හැඩ කළ අන්දම පිළිබඳ අපූරු සහ අසමසම චිත්‍රයක් අප සිතේ මවයි. ඒ සිය මාළිගාව සක්‍රයාගේ භවනට නොදෙවෙනි වන ලෙස නිර්මිත කරවා ගැනීමෙනි. ඒ අනේක අලංකාර විචිත්‍රාංගයන්ගෙන් ද රූපකායෙන් දුටු දුටුවන් සිත් වශී කරවන අඟනන් පන්සියයකගෙන් ද ගලා හැලෙන සොබා සිරියෙන් ද සපිරි රජුගේ භවන සැබැවින්ම වෛජ්‍යන්ත ප්‍රාසාදයක් විය.

ඇතුල් නුවර වට කොට ගෙන දැවැන්ත තාප්පයක් බැඳ තිබුණි. රජුගේ ලෞකික ජීවිතයට එනම් රජු විඳිමින් සිටින නන්දනීය කම් සැප භික්ෂූන්ගෙන් සඟවා තබා ගැනීමට ඉතා සූක්ෂමව රජු කටයුතු කර තිබුණි. එයින් රජු අපේක්ෂා කොට ඇත්තේ බෞද්ධ භික්ෂූන්ගෙන් තමන්ගේ ජීවිත රටාව සඟවා තබා ගැනීමකි. ඒ හුදෙක්ම ගෞරවාන්විත බව නිසාවෙනි. භික්ෂූන් දුරින් තැබීමෙන් එම ගෞරවය ලොවට පෙන්වා දීමට රජු කටයුතු කළ බව පෙනේ.

පන්සියයක් ස්ත්‍රීන් සමඟ මහ පැරකුම්, සිය විකුම් පෑවේය. ඒ කෙසේද? නව යොවුන් මදයෙන් මත්ව අනඟි රැඟුම් පානා අනේක වූ රූ සම්පත්තියෙන් හෙබි අන්තංපුර ළඳුන්ගේ ජීවිතාශාව කුමක් වන්නට ඇත්ද? ලෝකාපවාදයට මොහොතකට ඉඩක් නැති වූ ඉමහත් ගෞරවයට පමණක් පාත්‍ර වූ ඒ සා මහා ගර්වයෙන් ද හිස උදුම්මාගත් ඒ ලියන්ගේ සිත් සතන් පිනවන්නට මහ පැරකුම් සිය රාජ්‍යතත්වයේදී කිසිවක් පාවා දුන්නාවත්ද? එසේත් නැතිනම්, ඒ මනහර ලියන් පන්සියයක් දෙනා, තණ්හා රතී රැඟුම් සමඟ මිතු දම් සමරමින් ඇතුළු නුවර කුටියක හුදකලාවට බර දී සුසුම් හෙළන්නියන් වී රජු කෙරේ වෛරයෙන් හිස් අහසට නෙතු යොමා මහපොළව කඳුළින් තෙත් කළාවත්ද? මහා පරාක්‍රමබාහු රජ තෙමේ කර්කෂ්ඨ පොළොන්නරුව තෙත් කලාපයක් බඳු සෞභාග්‍යයේ සංකේතයක් බවට පත් කළේ ඒ කඳුළට බර වෙමින්ද?

රට අහරින් ස්වයංපෝෂිත කොට අහසින් වැටෙන එකදු ජල බිඳක් හෝ මනුෂ්‍යායාගේ යහපත පිණිස නොයොදා මහ මුහුදට නොදුන් මේ මහා නිරිඳුන් රට කරවූ අපූරුව පිළිබඳ ඇත්තේ ඓතිහාසික විජයග්‍රහණයේ කතාන්තරයකි. සිද්ධාර්ථ කුමරුන් උපන් කිඹුල්වත් නුවරට සමාන කරන පොළොන්නරුව නම් වූ පුරය ගැන මහාවංශය මෙසේ කියයි. "..මේ පුරය තෙමේ ඓශ්වර්යය සෞභාග්‍යය ලක්ෂ්මිය කරණ කොටගෙන බබළයි. ජේත්තුකාර නමු නුවර ද පරයයි. සාගල පුරය පැහැර ගන්නට ඊර්ෂ්‍යා කරයි. සුංසුමාරගිරි නම් පුරය ද පැහැරගෙන කිමෙන සාකෙත පුරය සලකාද? අඳෝමය... රජගහ නුවර ජීවග්‍රහයෙන් ගන්නට උත්සාහ කෙරේ..." (මහාවංශය, පිටුව 432) ඒ අනුව, බත බුලතින් සරු කොට මහා වාරි කර්මාන්තයක් වෙනුවෙන් කැප වී ලෝකයට නව වාරි තාක්ෂණයක් බිහි කරවීමට සාරාගී මහ පැරකුම් නිරිඳා එදා මහ ඉහළින් සමත් වී තිබුණි. එහෙත්, මුළු මහත් රටම සෞභාග්‍යයෙන් පිනවූ ඒ නිරිඳාගේ ලෞකික ජීවිතයේ රමණීයත්වය විස්තර කරන්නට මහාවංශයට අමතකව ගියාක් වැන්න. රාජ්‍යය තමන්ගෙන් පසු පිරිනැමීමටත්, සිය ඓතිහාසික මෙහෙවරට උර දීමටත්, තම ලෙයින් දරුවකු සොයා අන්ත:පුරයට නව අරුතක් දුන් මහා පරාක්‍රමබාහු නිරිඳා පොලොන්නරු රාජධානිය චමත්කාරයෙන් පුරවාලීය. ඒ වසර තිස් තුනක් වැනි ඉතා කෙටි රාජ්‍ය කාලයක් තුළදී සිදු කළ අපරිමිත මෙහෙය අදටත් ජීවමාන කරවමිනි

කාමර දහසකින් යුත් මහා පරාක්‍රමබාහු රජු මාළිගාවේ අන්ත:පුර ස්ත්‍රීන් වාසය කළේද? නැත්නම් ඔවුන් වාසය කෙළ් කොහිද? ඔවුන් කවුරුන්ද? රජු රාජ්‍යත්වය දිග්විජය කිරීම තුළ ඒ ලියන්ගේ කතාන්තරය ලියැවෙන්නේ කඳුළින්ද, ලෙයින්ද නැත්නම් කෙසේද?

පුරාවිද්‍යාත්මක සාධක අනුව, මාළිගාවේ සැකසී තිබෙන කුටි ඉතා කුඩාය. එවැනි කුටි දහසක පන්සියයක් ස්ත්‍රීන් නවාතැන් ගන්වා රාජ්‍ය සම්පත්තීන් ලබා දුන්නද සැබැවින්ම ඔවුන් පිනවන්නට නොහැකි බව රජු අවබෝධ කරගෙන තිබුණි. ඒ කෙසේද යත්: යෞවන මදයෙන් මන්මත් වුණු සුරලියන් කුටියක සිර කිරීමෙන් මාළිගාවේ අභ්‍යන්තරිකව සිදු විය හැකි ව්‍යසනය රජු දුරදීම ඇක තිබේ. අන්තංපුර ස්ත්‍රීන් ඔවුනොවුන් අතර ඇති විය හැකි ඊර්ෂ්‍යාව, කෝපය, එකිනෙකා පරයා නැඟී සිටීමේ තරගය නොවැළැක්විය හැකිව තිබුණි. ඊට සමගාමීව රජුට මාළිගාවේ ඇති වන එම අභ්‍යන්තරික වියවුල ඍජුවම බලපානු ඇත. තුටු පඬුරු, රාජ වරප්‍රසාද ප්‍රධානයෙන් පමණක් ඒ යෞවනියන් කාලාන්තරයක් වසඟ කර නිහඬ කර ගත නොහැකිය. මාළිගාවේ සකසා තිබෙන ඉතා කුඩා කුටියක හුදකලා කොට ඇයට රාජ සම්පත්තීන් ලබාදීමෙන් ඔවුන් පිනවිය හැකිද? ඒ පිළිබඳ උපායශීලී සහ අනාගතය දුටු රජු සියලු සිත් සතන් වෙනුවෙන් ඉඩක් තමන්ගේ සිතේ වෙන් කර තිබුණි. ඒ අනුව, රජු සියොලඟ දැවෙන ලෞකික ආශාවට ළඟා වූවේ සියල්ලන්ගේ සිත් තුටු කරවමිනි. ඒ තුටු පඬුරුවලින් නොවේ.

පිතෘත්වය අහිමි වූ මහා පරාක්‍රමබාහු රජුට තමා මැවූ සශ්‍රීකත්වය සහ උරුමය දායාද කරන්නට ඉඩක් නොවීය. ස්ව-ආශාව වෙනුවෙන් තම බලපරාක්‍රමය යොදා නොගත් රජු ඉතාමාත් මානුෂීය ලෙසත් සෞන්දර්යාත්මක ලෙසත් තම යටත්වැසියන් අතරින් තෝරා ගත් ස්ත්‍රීන් ගෙන් සැනහෙන්නට කටයුතු කර තිබුණි.

වෛජයන්ති ප්‍රාසාදයේ තරුණ ලියන් රඳවාගත්තේ නැත්තේ එහෙයිනි. ඔවුන්ට සාමාන්‍ය පොදු ජීවිතයක් ගත කරවීමට සියලු අවස්ථා ලබාදෙමින් සිය අතෘප්තිය සංසිඳුවා ගැනීමට පන්සියයක් අන්තංපුර ළඳුන් තුළින් ගත් තැත ඉතාමත් ආශ්චර්යමත්ය. කුටි දහසක මන්දිරයක් තිබූ පමණින් අන්ත:පුරය මාළිගාවේ තිබුණායි කිව නොහැක්කේ එහෙයිනි.

අනෙක් අතට, මාළිගාවේ ස්නානය උදෙසා වූ කුමාර පොකුණ පන්සියයක් ස්ත්‍රීන් උදෙසා ප්‍රමාණවත් නැත. අද පවා දැකිය හැකි කුමාර පොකුණ පන්සියයක් දෙනා මාළිගාවේ විසූ නැති බවට පුරාවිද්‍යාත්මක කදිම සාක්ෂියකි. සෞභාග්‍යමත් රටක් ගොඩනැඟීම යථාර්ථයක් කළ මහා පරාක්‍රමබාහු රජුගේ ඇදහිය නොහැකි මානසික ඒකාග්‍රතාවයේ ප්‍රසිද්ධ රහස එයය. එමෙන්ම, ඔහු තුළ වූ බෞද්ධාගමික නැඹුරුවත්, කිසිවකු පීඩකයකු නොකොට ගෙන ලැබූ කම් සැපත් සහ දුරදක්නා නුවණින් හේතු ඊට වන්නට ඇත.

මේ අනුව, අන්ත:පුර ස්ත්‍රීන් යනු රජුට ඉතාමත් සමීපතයන් විය නොහැකිය යන නිගමනයට අප කලින්ම එකඟ වුවද ඉතිහාසය එය මඟහැර ගොස් තිබේ. අන්ත:පුර ස්ත්‍රීන් වනාහී රජුට එක් විටෙක පමණක් හමු වන යළිත් කිසිදා මුණ නොගැසෙන ලෙස සදහටම වෙන් වී යන පිරිසකි. ඒ සුන්දර ලලනාවන් කිසිවිටෙක එකිනෙකා සාමූහිකව මාළිගාවේ ජීවත් වී නැති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි එමටය. පරාක්‍රමබාහු රජුගේ මාළිගාවේ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් ඉඩ වෙන් වී තිබුණේ ඉතා අල්ප ලෙසය. එනම්, මාළිගාවට වැසිකිළි දෙකක් පමණක් තිබූ බව පුරාවිද්‍යා සාක්ෂීන්ට අනුව අදටත් පෙනේ. පන්සියයක් ස්ත්‍රීන්ගේ දෛනික ජීවිතයට විශාල බාධාවක් වන මේ සාධකය ද පෙන්වා දෙන්නේ අන්තංපුර ස්ත්‍රීන් මාළිගාවේ වාසය කර නොමැති බවයි.

මේ අනුව, අන්ත:පුර ස්ත්‍රීන් පිළිබද වර්තමාන පොදු අදහස වැරදිය. රජු විසින් සදා නිම කළ සංවිධාත්මක අන්තංපුරයක් එදා ඔහු පවත්වා ගත්තේ නැත. ඒ වෙනුවට, සිය රාජකාරීන්හිදීත් හුදු විනෝදාස්වාදය සඳහාත් රට පුරා සංචාරය කරද්දී දුටු පමණින් සිත් ගත් ලියන් වහාම මාළිගයට කැඳවා ගැනීම සිදු කර තිබේ. ඉනික්බිතිව මහාවංශයේ සදහන් වන ආකාරයටත්, ජනප්‍රවාදයේ කියැවෙන ආකාරයටත් අන්ත:පුර ස්ත්‍රීන් රජු වෙනුවෙන් සෑම ගෙවෙන සැඳෑවකම සුවඳ පැණින් නහවයි. සුවඳ ගල්වයි. දුන් අල්වයි. ඒ පිළිබඳව ලියැවෙන දෑ ඉතා බොහෝය. ඒ ඔවුන් මාළිගයට ආධුනික හෙයිනි. මාළිගාවේ කාලයක් වාසය කළේනම් ඔවුන්ට දෛනික වරප්‍රසාදයන් ලෙස එම වතාවත් ලැබෙන්නට නියමිතය. එහෙත් ලිංගිකත්වයේ සෞන්දර්යය ඒ මහා සංස්කෘතික මිනිසා අත්වින්දේ වරක් මාළෙිගාවට කැඳවන ඇය වරෙක නැවත සිය ගෘහයට පිටත්කරවන රීතියට යටත්වය. ඒ සුන්දරියන්ගේ ගෘහයන්ට යම් ගෞරවයක් ස්වභාවයෙන්ම ඉනික්බිතිව ලැබී තිබුණි. ඒ භව බෝග, ධන ධාන්‍ය යනාදියෙනි. ඒ හැරෙන්නට වෙනත් ආකාරය ඍජු සම්බන්දයක් ඔවුනට රජ පවුල හා නැවත තිබුණේ නැත. කාලයක් තිස්සේ ඉදිරියට පවත්වා ගත් හෝ නඩත්තු කළ සම්බන්ධයක් ඔවුනට තිබෙන්නට කිසිවිටෙකත් ඉඩක් ලැබී නැත. හුදෙක්ම සරල, ලෞකික, කමනීය තාවකාලික ගනුදෙනුවක් වුණු එය රාජ්‍යත්වයට හෝ රජුගේ ක්‍රියාකාරීත්යන්ගෙන් බැහැරව පැවතිණි. ඒ බව සනාථ කිරීමට පුරාවිද්‍යාත්මක සාධක ඕනෑවටත් වඩා තිබේ.

මහ පැරකුම් රජුගේ සිය රාජ්‍යත්වයේ තැවිල්ලත් සහ සැනසිල්ලත් නැතහොත් කඳුළත් සිනහවත් අන්ත:පුර ලලනාවන්ගේ දිගු කතාන්තරය තුළ ලියවී තිබිණි. දරු සුරතල් සොයා තැවිල්ලක සිර වී සිටි රජු එදා රට එක ධජයක් සෙවණේ රඳවාගැනීමටත් ඒ සා තරම් සෞභාග්‍යක් කරා ගෙනයෑමටත් සමත් විණි. පරාක්‍රම සමුද්‍රය වැනි රට මැද සමුද්‍රයක් තනන්නට රජුට හිතවාදී වූ රටවැස්සන් තනාගන්නටත් අන්ත:පුර ලලනාවන් පන්සියයක් මැද රටවැසියාගෙන් බුහුමන් ලබන්නටත් රජු සමත් වූවේ අන්ත:පුරයේ කඳුළු සෑම විටෙකම සතුටු කඳුළු වූ බැවිනි.

(නිදහස් ගවේෂක ඉන්දික මානවඩු සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලදි)

පවිත්‍රා රූපසිංහ 

Comments

රජ කිසිවිටෙකත් කිසිවෙකුට කඳුලක් උරුම කර දී නැතයි සිතේ.මන්ද එතුමා අදටත් අප වෙත තිළිණ කර අැති ඒ මහා අාශ්චර්යමත් නටඔුන් හා පරාක්‍රම සමුද්‍රය ඊට කදිම නිදසුන්ය.එතුමා භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්ද උදාරතම සේවාවක් කොට ස්ථාපිත කළ පොලොන්නරු පුරවරය ගැන අපට තවදුරටත් උදම්අැනිය හැක්කේ එහි අැති අැති අනගිභවනීයත්වය සුරක්ෂිත කළහොත් පමණි.

පිටු