කෝකිලායි මුහුදේ අලි මෙහෙයුම | Page 2 | සිළුමිණ

කෝකිලායි මුහුදේ අලි මෙහෙයුම

 දිනය ඉකුත් එකොළොස් වැනිදාය. වේලාව උදෑසන අටහමාරට පමණ ඇත. නැ‍ඟෙනහිර මුහුදුතීරයේ කෝකිලායි, කෝක්කුඩුවායි වෙරළ දිගට විශාල ජනකායක් සැදී පැහැදී මහමුහුද දෙස බලා සිටිති. දහවල් වන විට මේ ජන පිරිස තව තවත් වැඩිය. මෙතරම් ජනායක් වෙ‍රළතීරයට එක්රොක්වන්නට හේතුව කුමක්ද? කාගේත් සිතේ ඇත්තේ කුකුසකි.

‘අලියෙක් මුහුදේ ගහගෙන යනවා’

අලිබැලිල්ලයි බලිබැලිල්ලයි අපේ මිනිස්සුන්ට එපා වන්නේ කවදා ද? සියලු වැඩ අතහැර දමා ඔවුහු නාවික හමුදාව සහ වනජීවී නිලධාරිහු මහමුහුදේ ගසාගන යන අලියා බේරා ගැනීමට කරන අලි මෙහෙයුම දෙස බලා සිටිති.

කොහොම වුණත් මේ කියන්නට යන්නේ ‘අලි’ බලන්නට පැමිණි මිනිසුන් ගැන කතාවක් නොවේ. කොහේදේ යන්නට පැමිණි අලියකු මුහුදේ වැටීමෙන් දියවැලකට හසුවී ගසාගෙන යමින් සිටියදී ඌ ගලවා ගොඩබිමට ගෙන ඒමට නාවික හමුදාව දියත් කළ අලිමෙහෙයුමේ කතාවයි. එයත් එක්තරා විදිහක ‘වන අලියා’ බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුමකි.

පසුගිය එකොළොස්වැනිදා උදෑසන අටට අටහමාරට පමණ ත්‍රිකුණාමලය වනජීවී කලාප කාර්යාලයට දුරකථන ඇමතුමක් ලැබිණ.

“අලියෙක් මුහු‍දේ ගහගෙන යනවා.” ඇමතුම දුන්නේ පුල්මුඩේ ප්‍රදේශ වාසියෙකි.

එතැන් සිට සිදුවූ කතාව අප හා විස්තර කළේ ත්‍රිකුණාමලය වනජීවී කලාප අධ්‍යක්ෂ වික්‍රමාරච්චි මහතාය. විසිවසරක වනජීවී අත්දැකීම් ඇති ඔහු ‘අලි’ බේරා ගැනීමේ මෙහෙයුම් ගණාවකට සම්බන්ධ වී ඇත්තේය. එවන් අත්දැකීම් සමඟ අලියාගේ ජීවිතය සුරක්ෂිත කිරීමට ඔහු කඩිනමින් සූදානම් වූයේය.

“මේ පුවත දැන ගන්නට ලැබුණ ම අපේ කණ්ඩායමක් ඒ ප්‍රදේශයට ගියා. ඒ ‍වගේ ම එම කණ්ඩායමට පශු වෛද්‍යවරුන් දෙදෙනෙකු ද ඇතුළත් වුණා. අලියා කොහේ ඉඳන් ඇවිත් මොකක් නිසා මුහුදට වැටුණ ද කියලා හිතාගන්න බැහැ. නමුත් මං මෙහෙම දෙයක් අනුමාන කරනවා. සාමාන්‍යයෙන් අලියෙකුට දිනකට ආහාර කිලෝ එකසිය පනහක්, වතුර ලීටර් එකසිය පනහක් අවශ්‍යයි. ඒ වගේ ම ඌ වර්ග කිලෝමීටර ඒකසිය පනහක් පමණ ඇවිද යනවා. මේ දිනවල ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දැඩි නියං කාලයක් තියෙන්නේ. මම අනුමාන කරනවා මේ අලියා කෑම සොයාගෙන එන්න ඇති කියලා. එසේ එන ගමනෙදි ඌ මුහුදට වැටිලා දියවැලකට අහුවෙන්න ඇති. අලියා හොඳින් පිහිනීමට දන්නා සතෙක්. කොයිතරම් පිහිනන්න දක්ෂ වුණත් මුහුදේ දියවැලකට හසුවුණාම තත්ත්වය බොහෝ ම අවදානම්. කොහොම වුණත් සිද්ධිය වූ තැනට අපි ගියා. මේ අවස්ථාවේ අපට අලියා ගලවා ගැනීම සඳහා නාවික හමුදාවේ සහාය ඉල්ලන්නට සිදුවුණා. අපි ඉන්පසු සිද්ධිය නාවික හමුදාවට දැනුම් දුන්නා.”

මුහුද හා වන අලියා සමඟ පොරබදා අලියා බේරා ගැනීමේ නාවික හමුදා මෙහෙයුම දියත් වන්නේ ඉන් අනතුරුවය. අලි මානුෂීය මෙහෙයුම් මුල්කතාව මෙසේය. අලියා බේරා ගැනීමේ නාවික හමුදා මෙහෙයුමට එක් වූ ලුතිනන් කමාන්ඩර් චින්තක පෙ‍ෙර්රා මේ මෙහෙයුම ගැන අප හා විස්තර කළේය.

“මුර සංචාරයේ යෙදී සිටි නාවිකයන් උදෑසන නවයට පමණ දැක තිබෙනවා. මුහුදේ ඈතින් කළුපාට යම් දෙයක් තිබෙනවා. ඔවුන් ඒ පිළිබඳ සෝදිසි කිරීමේදී තමයි දැ‍නගෙන තියෙන්නේ අලියෙක් සිටින බව. පසුව මේ පිළිබඳ අදාළ තැන්වලට දැනුම් දී තිබෙනවා. ඒ අනුව තමයි ‘අලියා’ බේරා ගැනීමේ මෙහෙයුම ඇරැඹෙන්නේ. කොහොම වුණත් ඩෝරා යාත්‍රාවෙන් ගිහිල්ලා ‘අලියා’ ඉන්න හරියට කිට්ටු වෙන්න අමාරුයි. ඒ නිසා අසල තිබූ ධීවර බෝට්ටුවකට නැගලා කඹ යොදා අලියා බේරා ගැනීමට උත්සාහ කළා. එයත් සාර්ථක නොවුණු තැනදි ෂෙඩ්රික් යාත්‍රා දෙකක නැගිලා නාවික හමුදාව මෙම කාර්ය ඉටුකරන්නට උත්සාහ දැරුවා. P445 යාත්‍රාවේ නාවිකයෝ තුන්දෙනෙක් ෂෙඩ්රික් යාත්‍රාවට ලොකු කඹයක් දාලා අලියාට කරදරයක් අනතුරක් නොවන විදිහට බේරා ගැනීමට උත්සාහ දැරුවා. ෂෙඩ්රික් යාත්‍රා, ඩෝරා යාත්‍රා දෙකක්, නාවික හමුදා කිමිදුම්කරුවන් කණ්ඩායම ඇතුළු නාවික හමුදාවේ පනහකට ආසන්න කණ්ඩායමක් මේ මෙහෙයුමට එක්වුණා.”කොහොම වුණත් දියවැලකට හසුවී මුහුදේ ගසාගෙන යන සද්දන්තයකු ගොඩබිම දෙසට ඇදගෙන ඒම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මුහුද හා නිරන්තරව ගැටෙන නාවික භටයන්ට මේ අලි මෙහෙයුම අලුත් අත්දැකීමක් ව‍ූයේය.

“අපට මේ සිද්ධිය දැනුම් දෙන විට උදෑසන නවය හමාරට විතර ඇති. ඒ වනවිට ඩෝරා යාත්‍රා දෙකක් අදාළ ස්ථානයේ තිබුණා. නමුත් ඒ යාත්‍රාවලට අලියා ආසන්නයට යෑමට අමාරුයි. කොහොම වුණත් ෂෙඩ්රික් යාත්‍රා z 124 සහ z 210 නාවිකයන් කණ්ඩායමක් සමඟ කඹ ආදිය රැගෙන මෙහෙයුම සඳහා සහභාගි වුණා. අප එම ස්ථානයට යන විට අලියා තවදුරටත් මුහුද පැත්තට ඇදී යමින් සිටියේ. අපි ෂෙඩ්රික් යාත්‍රාවේ ගිහිල්ලා ඌට කඹයක් දැම්මා. අපට ඕන වුණේ අලියා මුහුද දෙසට ඇදී යෑම නතර කරන්න. කොහොම හරි අපට පුළුවන් වුණා ගැඹුරු මුහුදේ ඉඳලා අලියා නොගැඹුරු මුහුදට ඇදගෙන එන්න. ඩෝරා යාත්‍රාවට අලියා ඇදගෙන එන්න බැහැ කඹේට බෙල්ල හිරවෙන්න ඉඩ තියෙන නිසා. ඒ නිසා ෂෙඩ්රික් යාත්‍රාවෙන් තමයි අලියා ඇදගෙන ආවේ. යාත්‍රාව ආවේ පස්සෙන් පස්සට. අපි හැමවිට ම මේ සතාගේ ජීවිතය ගැන සැලකිලිමත් වුණා. මුහුදු සැතපුම් හයක් විතර අපි මේ විදිහට සතාව අරගෙන ආවා. කො‍හොම හරි යාන් ඔය මුහුදට වැටෙන පොල්මල්කුඩාව කියන ප්‍රදේශයට තමයි අලියව ගැඹුරු මුහුදේ ඉඳලා අරගෙන ආවේ.”ලුතිනන් කමාන්ඩර් ජයකොඩි පවසන්නේ තම කණ්ඩායම කළ කාර්යයි.

ඒ අලියා ගොඩට ගෙන ඒ සඳහා නාවික හමුදාව දියත් කළ මෙහෙයුමේ අවසන් අදියරය. නමුදු ඩෝරා යාත්‍රාවේ හෝ ෂෙඩ්රික් යාත්‍රාවල සිටි නාවික කාර්යය මණ්ඩලයට කළ නොහැකිවූ විශේෂ කාර්යය කිරීමට මෙහිදී නාවික හමුදා කිමිදුම් කරුවන්ට හැකි වූයේය. මෙම මෙහෙයුම බාරව සිටි ලුතිනන් හිරාන් බුද්ධික වන අලියා බේරා ගත් අන්දම විස්තර කළේ මෙසේය.

“එකොළොස්වැනිදා දහවල් දොළහට විතර තමයි අපට පණිවුඩයක් ලැබ‍ුණේ. අප එතැනට යද්දි අලියා පිහින පිහින හිටියේ. බෝට්ටුවලින් අලියව අදින්න බැහැ කඹ හිරවේවි කියන බය තිබුණා. අපේ කණ්ඩායමේ කිමිදුම්කරුවෝ හයදෙනෙක් හිටියා. අපේ අය වතුරට බැහැලා වතුර යටින් ගිහින් අලියව බැලුවා. ඒ වෙනකොට ඌ හිටියේ ගැඹුරු මුහුදට වෙන්න. අලියගෙ යටින් යන්න බයයි මොකද ඌ වතුරේ කකුල් ගහන නිසා ඒ පහරක් වැදුණොත් එය අනතුරක්. ඒ නිසා අපේ සුළු නිලධාරි පෙරේරා වටෙන් ගිහිල්ලා අලියගෙ පිටට නැග්ගා. ඊට පස්සේ දාලා තිබුණ කඹය කපලා පිටි පස්සේ කකුලට කඹයක් දාලා ඩෝරා එකෙන් ඇදගෙන ආවා. නමුත් කිලෝමීටරයක් විතර එද්දි අලියා දඟලලා කඹය ගැලවුණා. ආයෙමත් මුහුද පැත්තට පිහිනනවා. ඒ වෙන‍කොට අලියා කලබල වෙලා හිටියේ. කොහොම හරි ආයෙමත් යටින් ගිහිල්ලා අලියගේ ඉස්සරහා කකුල් අතරින් උගේ කඳ හරියට වෙන්න කඹයක් දැම්මා. ඒ වෙලාවෙ හවස හතරහමාරට විතර ඇති. ඉන් පස්සේ පැයට කිලෝමීටර දෙකක වේගයෙන් තමයි අලියව ෂෙඩ්රික් යාත්‍රාවෙන් ගොඩබිම පැත්තට අරගෙන ආවේ. ගොඩබිමට ම අපි ආවේ නැහැ. ඩෝරා යාත්‍රාවලට ෂෙඩ්රික් යාත්‍රාවල අයට අලියව බාර දුන්නා. මේ අතර වන ජීවී නිලධාරින් ගොඩබිම සිට නාවික හමුදාව සමඟ සම්බන්ධ වුණා. අපි දෙගොල්ලන්ට ම ඕන වුණේ අලියට හානියක් නොකර බේරා ගන්න. අපි මීට පෙර මෙවැනි අත්දැකීමක් අත්විඳ නැහැ. නමුත් මුහුදත් සමඟ ඉන්න අපි ඒ අත්දැකීම්වලින් තමයි මේ සතා බේරා ගැනීමේ මෙහෙයුම කරනු ලැබුවේ.” බුද්ධික පවසන්නේ එදින එම කාර්යයට උරදුන් සියලු නාවික හමුදා කණ්ඩායම ගැන ආඩම්බරයෙනි.

නාවික හමුදාපති තුමා; නැ‍ඟෙනහිර පළාත් නාවික හමුදා ආඥාපතිතුමා, නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂතුමා ආදින්ගේ උපදෙස් හා මඟපෙන්වීම් යටතේ නැ‍ඟෙනහිර පළාතේ නාවික කණ්ඩායම අලියා බේරා ගැනීමේ මානුෂීය මෙහෙයුම සාර්ථකව නිම කළේය.

හමුදාවේ දැඩි පරිශ්‍රමයෙන් යාන්ඔය මුහුදට වැටෙන ස්ථානයට ඇදගෙන එනු ලැබූ අලියා එතැන නොගැඹුරු මුහුදේ එක තැනකට වී නොසෙල්වී සිටීම ඉන්පසු සැමට ප්‍රශ්නයක් විය. පය බිමතබා එතැනින් ගොඩවී යෑමට අලියාට හැකියාව තිබුණත් නොයෑම නිසා අලි මෙහෙයුම් අවසානය දකින්නට නොහැකි විය. නාවික යාත්‍රාවල ආ‍ලෝකයෙන් අලියා කැලයට පන්නා දැමීමේ මෙහෙයුම ඉන්පසු දියත් විය. අලියා ගලක් මෙන් සිටිතැනම නොසෙල්වී සිටිද්දී වනජීවි නිලධාරින් නාවික හමුදාවේ උදව්වෙන් මුහුදට ගොස් අලියාගේ පිටුපස සිට අලිවෙඩි කිහිපයක් ගැසුවේය. ඉන් තැතිගත් අලියා කැලෑ වැදුණේ ඌ ගලවා ගැනීමට ඇඟමතට දැමූ කඹය ද සමඟිනි. ‍මේ වෙද්දී අලිමෙහෙයුම රාත්‍රිය මැදියම දක්වා එළැම තිබිණි. වනජීවී නිලධාරින් තම කාර්යය නිමා කළේ නැත. පශු වෛද්‍යවරුන් ඇතුළු වනජීවී නිලධාරීන් ඉන්පසු උනන්දු වූයේ අලියා ගේ ඇ‍ඟේ ඇති කඹය ඉවත් කර දැමීමටය. වන වැදී සිටින අලියා නිර්වින්දනය කිරීමට වෛද්‍යවරු අකමැති වූහ.

වික්‍රමආරච්චි මහතා ඊට හේතු දක්වන්නේ මෙසේය.

“අලියා දවසකටත් වැඩි කාලයක් මහ මුහුද සමඟ පොර බැදුවා. මුහුදු වතුර පෙවිලා අලියාගේ බඩ ලොකු වෙලා තිබුණා. ඌගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අප කියන්න දන්නේ නැහැ. ඒ නිසා අලියා නිර්වින්දනය කිරීම අලියාට හානිදායක වේයැයි සිතුවා. කොහොම වුණත් දොළොස් වැනිදා සන්ධ්‍යාවේ තමයි අලියාට පොඩි හිරිවැටීමක් කරවලා කඹය ඉවත් කළේ. දැන් මූ කැලෑවේ ඉන්නවා. ඌට ජීවිත තර්ජනයක් නැහැ. මේ අලියා බේරා ගැනීමට නාවික හමුදාවෙන් අපට විශාල සහායක් ලැබුණා. ඇත්තෙන් ම එය අගය කළ යුත්තක්.” අලි බැලිල්ල මිනිස්සුන්ට නම් කවදාවත් එපා නොවේ. නමුත් ගම්වදින අලියාට හානි කරන්නේ ද උන්ට ආපදාවක් වූ විට බේරා හරින්නේ ද මිනිසාමය.

ඉනෝකා සමරවික්‍රම
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය ඒකකය

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.