ප්‍ර‍ායෝගික ආර්ථික විද්‍යාවට නිතර ම පොත් අවශ්‍යයි | සිළුමිණ

ප්‍ර‍ායෝගික ආර්ථික විද්‍යාවට නිතර ම පොත් අවශ්‍යයි

ඔබතුමාගේ මේ අපූරු ගමනේ මුල ටිකක් මතක් කළොත්,

මගේ පළමු කෘතිය බිහි කළේ මා ශ්‍රී ලංකා මහ බැංකුවේ අර්ථ ශාස්ත්‍රඥයකු ලෙස පත්වීම ලද පළමු වර්ෂයේදී, ඒ කියන්නේ 1980දී. “දේශීය හා විදේශීය සංවිධාන” මැයින් පළකළ එම කෘතිය මගින් වැදගත් සියලුම අන්තර්ජාතික ආයතන හා දේශීය ආයතන ගැන පුළුල් විග්‍රහයක් සිදු කළා. එය උසස්පෙළ පමණක් නොව වෙනත් උසස් විභාගවලට පෙනීසිටි සිසුන් අතර මෙන්ම ඔවුනට ඉගැන්වූ ගුරුභවතුන් අතර අතිශයින්ම ජනප්‍රිය කෘතියක් වුණා. 1980 සිට 1987 දක්වා වසර 7ක් තුළ ආර්ථික විද්‍යා ග්‍රන්ථ 5ක් එළිදැක්වූවා. එම ග්‍රන්ථ බොහෝවිට උසස් පෙළ ආර්ථික විද්‍යාව උගන්වන හා ඉගෙනගන්නා සිසු පරපුරට මහඟු අත්වැළක් වුණා. මොකද ඒ කාලයේ සිංහලෙන් පළවූ ආර්ථික විද්‍යා ග්‍රන්ථ තිබුණේ ඉතාම සුළු ප්‍රමාණයක්.

ඔබට මුල් කාලයේ ආර්ථික විද්‍යා ග්‍රන්ථ එළිදැක්වීමට ඇල්මක් ඇතිවුණේ ඇයි?

මෙයට ප්‍රධානතම හේතුව මා පාසල් යන කාලයේ ඉඳලම පත්තරවලට සඟරාවලට ලිපි ලියන්න තිබුණු ආශාව කියලයි මට හිතෙන්නේ. මං මුලින්ම ලිපි ලියන්න පටන්ගත්තේ දිවයිනේ දැනට තිබෙන පැරණිතම පුවත්පත වන ඥානාර්ථ ප්‍රදීපයටයි. එතැනින් පටන්ගත් ලේඛන කලාව පසුව දිනමිණ, ලංකාදීප, ලක්බිම, දිවයින, Daliy news, යන පත්තරවලට පමණක් නොවෙයි; ශ්‍රී ලංකා මහ බැංකුවේ “සටහන සඟරාව” ‘News Surrey’ මහජන බැංකුවේ “ආර්ථික විමසුම” Economic Review Bankers Journal වැනි ශ්‍රාස්ත්‍රීය සඟරාවලට සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද ලිපි පළ කළා. එයට ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ආර්ථික විද්‍යා මහාචාර්යවරයාව සිටි මා ගුරු පියාණන්වූ මහාචාර්ය සිරිසේන තිලකරත්නයන්ගේ ආභාෂය ද මට රුකුලක් වුණා. අනෙක් අතට මා පළමුවරට සේවාවට බැඳුනු බෝම්බයෙන් විනාශවීමට පෙර තිබූ ශ්‍රී ලංකා මහ බැංකුවේ විශිෂ්ට පුස්තකාලය හා එහි සේවාව කළ ආර්ථික විශේෂඥයින්ගේ ආභාෂයත් මට රුකුලක් වුණා. ඒ කාලයේදීම තමයි මට අවස්ථාව ලැබුණේ “මහපොළ ඥානදර්ශන” “ආර්ථික විමසුම” වැනි ගුවන්විදුලි වැඩසටහන් හරහා මුළු රටටම ආර්ථික විද්‍යාව උගන්වන ඒ සියල්ලම හරහා තමයි මා ලේඛන කලාවට දැඩි ලෙස ඇලුම් කරමින් මේ තරම් දුරක් ආවේ.

ඒ කියන්නේ ඔබ මහ බැංකුවේ වැඩකරපු නිකන්ම නිකන් සේවකයකු වුණේ නැහැ. එක අතකට ලේඛකයෙක්. තවත් අතකට දේශකයෙක්. අනෙක් අතට ශ්‍රව්‍යදෘශ්‍ය ජනමාධ්‍යයට සම්බන්ධ වී වැඩ කළ අපූරුතම විද්වතෙක් කියලයි මට සිතෙන්නේ.

ඇත්තටම ඔව්! මට මතකයි ඔබත් මගේ මේ ජීවන ගමනේ එක් පුරුකක්. ඒ කාලයේ ඔබ නිතරම මහ බැංකුවට ඇවිල්ලා කාලීන මාතෘකා ගැන මා සමඟ සංවාද කරලා ඒවා පත්තරේ පළ කරනවා. ඒ නිසා මගේ මේ ගමනේ සාර්ථකත්වයට ඔබත් එක්තරා ප්‍රශ්නයකට දායක වූ කෙනෙක්. ඒක ඔබටත් සතුටක් ගෙනදෙයි කියලා මට සිතෙනවා.

ඔබ මේ වනවිට ග්‍රන්ථ 55ක් ලියලා තිබෙනවා මෙච්චර ග්‍රන්ථ සංඛ්‍යාවක් එකම විෂයකට ලියන්න වුණේ ඇයි?

ඒක හොඳ ප්‍රශ්නයක්. ආර්ථික විද්‍යාව කියන්නේ ගණිත විෂයක්. එහි න්‍යායාත්මක පැත්තක් මෙන්ම ඒ මත ගොඩනැඟුණු ප්‍රායෝගික පැත්තක් ද තිබෙනවා. න්‍යායාත්මක පොත් වෙනස් වෙනවා හරි අඩුයි. නමුත් ප්‍ර‍ායෝගික ආර්ථික විද්‍යාවට නිතර ම පොත් අවශ්‍ය වෙනවා. දැන් බලන්න ඇයි මට ‍මගේ 55 වැනි පොත “නව ජාතික ගිණුම්” කියලා ලියන්න සිදුවුණේ. ඒකට හේතුව ජාතික ගිණුම් පිළිබඳව ජාත්‍යන්තර ක්‍රමවේද (මෙයට අපි Standard National Accounts – SNA) කියලා කියනවා.

කලින් කලට වෙනස් වෙනවා. මෙය ගෝලීය මට්ටමෙන් වෙනස් වුණේ 2008දී. නමුත් ශ්‍රී ලංකාවේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව SNA 2008 මත සකස් කළ ජාතික ගිණුම් ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කළේ 2015 සිටයි. ඒ හරහා ජාතික ගීය සංකල්පය අලුත් වුණා. ජාතික ගිණුම් ක්‍රමවේද වෙනස් වුණා. ඉතිං ඒ පිළිබඳව අලුත් පොතක අවශ්‍යතාව මතුවෙනවා. අන්න ඒ ගැන තමයි මමත් උනන්දු. ඒකයි එකම මාතෘකාව යටතේ වුණත් විවිධ කාලවල විවිධ පොත් බිහිවනුයේ. ආර්ථික විද්‍යාවට පමණක් නොවේ ව්‍යාපාර අධ්‍යයනයට, බැංකු ක්ෂේත්‍රයට ද පත පොත ලියලා තිබෙනවා.

ඔබ ලියූ ග්‍රන්ථ 55 හරහා ඔබ රටට ඉදිරිපත් කළ දැනුම් සම්භාරයේ විවිධ පැතිකඩ ටිකක් පැහැදිලි කළොත්?

මගේ මුල්ම කෘති හුදෙක්ම උසස් පෙළට වඩාත් නැඹුරුවූ කාලීන ආර්ථික විද්‍යා ග්‍රන්ථයි. පසුකාලයේ මහ බැංකුව හරහා සම්බන්ධවූ පාඨමාලා හරහා ලැබුණු ජාත්‍යන්තර දැනුම් සම්භාරයත්, මහ බැංකුවේ ආර්ථික විශේෂඥයකු ලෙස වැඩ කිරීම නිසා ලද පන්නරයත් නිසා එක් එක් මාතෘකාවට අනුගත ග්‍රන්ථ පෙළ බිහිවුණා. ආර්ථික අරමුණු හා ප්‍රතිපත්ති, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආර්ථිකය ශ්‍රී ලංකාවේ මුදල් ආර්ථිකය, ජාත්‍යන්තර වෙළෙදාම, 60 වසරක ආර්ථිකය වැනි විශේෂ ක්ෂේත්‍ර සඳහා පොත් ලියවුණා. මට සන්තෝෂයි. උසස් පෙළ දේශපාලන විද්‍යාවේ විෂය නිර්දේශයට අදාළ පාඨ ග්‍රන්ථයක් වශයෙන් මා ලියූ 60 වසරක ආර්ථිකය නම්වූ ග්‍රන්ථය ද නියම කර තිබීම ගැන. 2018දී ශ්‍රී ලංකා ආර්ථීකය නිදහස ලබා වසර 70ක් ගතවෙනවා. ඒ සඳහා සුවිශේෂ ග්‍රන්ථයක් දැන් පිළියෙල කරමින් ඉන්නවා. 2017 සිට උසස් පෙළ ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය විෂය නිර්දේශය සංශෝධනය කරලා තිබෙනවා.

 ඒ සඳහා ද ලබන සතිය වනවිට අවශ්‍ය පොත් දෙකක් නිකුත් වෙනවා. ව්‍යාපාර අධ්‍යයනයටත් පොත් 15ක් පමණ ලියලා තිබෙනවා. දැන් දැන් මෙම විෂයයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන සිසුන්ගේ පිරිස ක්‍රමයෙන් වැඩිවීගෙන එනවා. ඒ නිසා මා මේ වසරේ සිට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ග්‍රන්ථ කිහිපයක් පළකිරීමට කටයුතු කරමින් සිටිනවා. මගේ ග්‍රන්ථකරණයේදී හිටපු මහ බැංකු අධිපතිවරුන්ගේ ද දැඩි ප්‍රසාදයක් පළවුණා. විශේෂයෙන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා, ඒ. එස්. ජයවර්ධන මහතා, හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන ඩබ්. ඒ. විජේවර්ධන මහතා ද මෙම කාර්යයන්ට මා දිරිමත් කළ සුවිශේෂ චරිත නම් සඳහන් නොකළත් මගේ හිත මිතුරන් රැසක්, ගරුභවතුන් රැසක්, මගේ කාර්යයට අතදීලා තිබෙනවා. මේ සඳහා මගේ දෙමාපියන්, බිරිඳ, දරු දෙදෙනා ඇතුළු ජනමාධ්‍යයෙහි නියැළුණු බොහෝ දෙනෙක්ට මාගේ ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමන්න කැමැතියි. මගේ ලෝකය දැයට ග්‍රන්ථ 100ක් තිළිණ කිරීම බව අවසාන වශයෙන් සඳහන් කරන්න කැමැතියි.

Comments