කළින් හඳුනාගත්තොත් පිළිකා සුවකළ හැකියි | සිළුමිණ

කළින් හඳුනාගත්තොත් පිළිකා සුවකළ හැකියි

පිළිකා රෝගය ඇතිවූවාට පසු ප්‍රතිකාර කිරීමට වඩා වැදගත් වන්නේ වළක්වා ගැනීමයි. පිළිකා වලින් 1/3 වළක්වා ගත හැකිය.

පිළිකා යන වචනය ‘පීඩක, යන වචනයෙන් බිඳී ආ පදයකි. මෙම රෝගය ලෝක වාසී ජනතාව පෙළෙන ප්‍රධාන රෝගාබාධයන් ගෙන් එකක් වන අතර ලොව පුරා සිදුවන මරණ හේතු අතර දෙවැනි ස්ථානය හිමි වනුයේ පිළිකා රෝගයට ය. ශ්‍රී ලංකාවේ පමණක් පිළිකා රෝගය නිසා වසරකට 7000 ක් පමණ පිරිසක් මිය යති. ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 0.04% පමණ පිරිසක් වාර්ෂිකව පිළිකා රෝගයට ගොදුරු වෙති. සාමාන්‍යයෙන් පිළිකා රෝගයට ගොදුරු වන කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමින්ට වඩා වැඩි වන අතර වයස අවුරුදු 45 – 65 අතර පිරිස මෙම ‍රෝගයට බෙහෙවින් භාජනය වේ. 1996 සංඛ්‍යා ලේඛන අනුව සැසඳීමේදී 40% ක වැඩිවීමකි. නිවැරැදි සංඛ්‍යා ලේඛන සපයා ගැනීම අපහසු ය. පිරිමින්ගේ මුඛ හා ශ්වසන මාර්ග පිළිකා ප්‍රධාන වන අතර එය සමස්ථ සංඛ්‍යාවෙන් 29%කි. පෙනහලු හා ආශ්‍රිත ස්ථානවල එය 9.6% වන අතර දෙවන ස්ථානය ගනී. ගලනාල පිළිකා 8.3% උගුර ආශ්‍රිතව 6.4% වේ.

මෙම ‍රෝගයට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ. ඉතා පැරණි ශිෂ්ඨාචාරයක් තිබ‍ූ බවට සාක්ෂි ඇති ඊජිප්තුවේ පිරමිඩවල තිබ‍ූ මමීවල සමහරක අස්ථිවල හා සමේ පිළිකා ඇති වී තිබූ බව සොය‍ාගෙන ඇත. ඉපැරණි වෛද්‍ය ක්‍රමයක් වූ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේද ශ්‍රී ලංකාවේ දේශීය වෛද්‍ය ක්‍රමයේ ද පිළිකා සම්බන්ධ තොරතුරු හමුවේ.

පිළිකා රෝගය ඇති වීමට හේතු කාරණා අතර දුම්බීම, බුලත්විට කෑම, මත්ද්‍රව්‍ය ගැනීම යන කරුණුවලට මුල් තැනක් හිමිවේ.‍ ආහාර,ලිංගික චර්යාවන්, වෘත්තීය තත්ත්වය, පාරිසරික හේතු, ඔ‍ෟෂධ හා වෛද්‍යමය හේතූ භූගෝලීය කරුණු ආසාදන යන කරුණු ද හේතු කාරක වී තිබේ‍. දුම්බීම මධ්‍යසාර බුලත්කෑම හා ආහාර නිසා ඇතිවන පිළිකා ප්‍රමාණය වැඩිම ප්‍රතිශතයක් ගනී. මධ්‍යසාර ගැනීම නිසා අක්මා සෛල විනාශ වන අතර අක්මා සිරෝසිස් රෝගයට භාජනය වන රෝගින්ගෙන් 30% පමණ අක්මා වේ පිළිකා තත්ත්වයට ගොදුරු වේ. නිසි ප්‍රතිකාරයක් නොමැති මෙම රෝගීන් මාස 6 පමණ කෙටි කාලයකදී මිය යයි. ජාන විකෘති කෙළින් ම පිළිකා ඇතිවීමෙහිලා බලපානු ලබයි. වයිරස සහ බැක්ටීරියා වර්ග පිළිකා ඇතිවීමේදී 5% පමණ ප්‍රමාණයකට දායක වේ‍. හෙපට‍යිටිස් බී වෛරසය, පැපිලෝමා වයිරස, හර්පීස් සිම්ප්ලෙක්ස් වයිරස සහ එච්.අයි.වී‍. ඒඩ්ස් ඇති කරන වයිරස වල පිළිකා ඇතිවීමේ හැකියාව විද්‍යාත්මකව අනාවරණය කරගෙන ඇත.

හෙලිකෝ බැක්ටර් පයිලෝරි බැක්ටීරියාව ආමාශයේ ඇතිවන පිළිකාවලින් 80% කටම හේතු කාරක වන අතර බැක්ටීරියා සහ පිළිකා අතර සම්බන්ධය හෙළි කරන මුල්ම සාධකය බවට ද පත්වී තිබේ. පිළිකා ඇතිවීමේ හේතු අතරින් 2% පමණ පරිසරය තුළ පවතින විකෘති තත්ත්වයන් හේතු වේ. සමේ ඇතිවන පිළිකාවලින් 90% ඇතිවීමට හිරු එළියේ පවතින කිරණ හේතුවේ. ඇමෙරිකානුවන් මිලියනයක් පමණ පිරිසක් වාර්ෂිකව සමේ පිළිකා තත්ත්වයෙන් පීඩා විඳි ඖෂධ හේතු කොට ගෙන 1% ක ප්‍රමාණයක් පිළිකා ඇතිවේ. පරිසර විෂමතා හේතු කොටගෙන 5% - 12% අතර පිළිකා ප්‍රමාණයක් ඇතිවේ. පිළිකාවක් මුල් අවස්ථාවේදී හඳුනාගනු ලැබුවහොත් ප්‍රතිකාරය ඉතා පහසුවන අතර බොහෝ දුරට සම්ප‍ුර්ණ සුවය ද ළඟාකර ගත හැකි ය. එහෙත් පිළිකා මුල් අවස්ථාවේදී හඳුනා ගැනීම අපහසු ය. පිළිකා සම්බන්ධ අනතුරු හැඟවීමේ ලකුණු සම්බන්ධයෙන් අවධානයෙන් සිටියහොත් එය අපහසු නොවේ. බොහෝ පිළිකා වේදනාවෙන් තොරය. එබැවින් ඒ පිළිබඳ අවධානය යොමු නොවේ.

පියයුරු පිළිකාවක මුල් ම ලක්ෂණය පියයුරේ සමේ ඇතිවන ඝනත්වයක් (දොඩම් ලෙල්ලක් වැනි) පියයුරු තුඩුව වෙනස්වීමකට භාජනයවීම, ඇතුළට නෙරායාම ඉන් කිරි හෝ දියර වැගිරීම ගැටයක් වර්ධනයන් තිබීම විය හැකි ය.

මල පිටවීම හා මුත්‍රා පිටවීමේ වෙනස්කමක් පැවැතීම ශරීරයේ කුමන ස්ථානයකින් හෝ ලේ ගැලීමක් සිදුවීම හෝ වෙනත් ශ්‍රාව ගැලීමක් සිදුවීම සුව නොවී දිගටම පවතින තුවාලයක් පැවැතීම ආහාර දිරවීමේ අපහසුතාවයක් හෝ ගිලීමේ අපහසුතාවයක් පැවතීම සාමාන්‍ය ප්‍රතිකාරයෙන් සුව නොවන කැස්සක් පැවතීම සමේ ඇති ලප ඉන්නන් වැනි දේවල වෙනස්කම් ඇතිවීම දිගින් දිගට පවතින උණක්, කුද්දෙටි මතුවීමක්, නිරක්තය හෙවත් ලේ හිඟකම පැවැතීම ශරීරයේ බර අඩුවීම වැනි කරුණු වලදී ද සැලකිලිමත් විය යුතුවේ. මල සමඟ ලේ පහවීම මහාන්ත්‍රයේ පිළිකා ලක්ෂණයකි.‍ එහෙත් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කර ගැනීමට උනන්දු නොවනුයේ එය අර්ශස් රෝගයේ ලක්ෂණයක් ලෙස වරදවා වටහා ගැනීමේ හේතුවෙනි. පෙනහළු පිළිකා ආමාශයේ පිළිකා ඩිම්බකෝෂ ආශ්‍රිත පිළිකා අක්මාවේ සහ ආමාශයේ පිළිකා කිසිදු වේදනාවක් හෝ රෝග ලක්ෂණයක් නොපෙන්වා පැවතිය හැකි ය.

පිළිකාවක් සම්බන්ධව සැකයක් ඇති වූ වහාම උගත් පිළිගත් වෛද්‍යවරයකු, රජයේ රෝහලක වෛද්‍යවරයකු හෝ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමුවිය යුතුය‍. ඔහු විසින් විවිධ පරීක්ෂණ සිදු කරනු ඇත. එක්ස් රේ පරීක්ෂණ අතර මැමෝග්‍රෑම් අල්ට්‍රාසවුන්ඩ්, ස්කෑන්, සීටී ස්කෑන්, පෙට් ස්කෑන් පරීක්ෂණ රුධිර මල මුත්‍ර පරීක්ෂණ විවිධ පිළිකා වර්ග හඳුනා ගැනීමේ .. පරීක්ෂණ වේ.

පිළිකා රෝගය ඇතිවූවාට පසු ප්‍රතිකාර කිරීමට වඩා වැදගත් වන්නේ වළක්වා ගැනීමයි. පිළිකා වලින් 1/3 වළක්වා ගත හැකියි. කෘතිම රසකාරක පොහොර රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර වර්ග, අධික මේද සහිත ආහාර වඩා පවිත්‍ර හා පිරි සැකසුම් කළ ආහාර (නිවුඩ්ඩ ඉවත් කළ හාල් සුදු සීනි) කල් තබා ගැනීම සඳහා විවිධ ලූණු වර්ග එක් කළ ආහාර, (නයිට්ට්‍රේට්) කෘතිම වර්ණක යෙදූ ආහාර රසායනික යෙදූ ආහාර ඇතැම් දිලීර හා ක්ෂුද්‍ර ජීවීන් අඩංගු ආහාර, කෘෂි රසායනික යොදා වැවූ ආහාර වර්ග ගැනීමෙන් වැලකී සිටිය යුතු ය‍.

හිතාහාර, පත්‍යාහාර ගැනීම නියමිත පරිදි ව්‍යායාම ගැනීම, පිරිසිදු වාතාශ්‍රය ලැබීම භාවනාවෙහි යෙදීම හිත සංසුන්ව තබා ගැනීම ක්‍රෝධ ඊර්ෂ්‍යා වෛර නොකර සිටීම ආයුර්වේද ස්වස්ථ වෘත පිළිපැදීම පිළිකා වළක්වා ගැනීමේ හොඳම මාර්ගය බව ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දැක්වේ‍.

පිළිකා 1‍‍/3 ක් වළක්වාගත හැකි ය. පිළිකා රෝගීන්ගෙන් 1‍/3 කට ප්‍රතිකාර ලබාදිය හැක‍. 1/3 කට කිසිවක් කිරීමට අපහසුය. බොහොමයක් ම පිළිකා සහමුලින් ම සුව කළ හැකිය. සමහරක් සම්ප‍ූර්ණයෙන් සුව කළ නොහැකි වුවත් රෝගීන්ගේ ඉතිරි ජීවිත කාලය වේදනාවෙන් තොරව සුව පහසුවෙන් ගත කිරීමට ඉඩ සලසා ගත හැකි ය.

ඉතිරි කොටස ලබන සතියේ...

Comments