ගම්මිරිස් සල්ලි කරන මඟ | සිළුමිණ

ගම්මිරිස් සල්ලි කරන මඟ

ගම්මිරිස් ''කුළුබඩු ලෝකයේ රජ'' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි. මෙහි සම්භවය ඉන්දියාවේ බටහිර ගාට්ස් ප්‍රදේශයේ ලෙස වාර්තා වුවද ශ්‍රී ලංකාව, මැලේසියාව සහ ඉන්දුනීසියාව යනාදී රටවලද මේ ශාක විශේෂයේ විවිධ දර්ශ ආකාර සහ එම ශාක ගණයට අයත් විවිධ වල්දර්ශ විශේෂ ගණනාවක් පවතින බව පෙනීයයි. අප දිවයිනේ පමණක් ගම්මිරිස් වල වල්දර්ශ 10 කට වැඩි සංඛ්‍යාවක් හමුවෙයි.

ආචාර්ය එච්.එම්.පී. ආනන්ද සුබසිංහ
නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)
මධ්‍යම පර්යේෂණ ආයතනය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ලොව වැඩි වශයෙන්ම භාවිතයට ගැනෙන කුළුබඩු වර්ගය වන ගම්මිරිස් ''කුළුබඩු ලෝකයේ රජ'' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි. මෙහි සම්භවය ඉන්දියාවේ බටහිර ගාට්ස් ප්‍රදේශයේ ලෙස වාර්තා වුවද ශ්‍රී ලංකාව, මැලේසියාව සහ ඉන්දුනීසියාව යනාදී රටවලද මේ ශාක විශේෂයේ විවිධ දර්ශ ආකාර සහ එම ශාක ගණයට අයත් විවිධ වල්දර්ශ විශේෂ ගණනාවක් පවතින බව පෙනීයයි. අප දිවයිනේ පමණක් ගම්මිරිස්වල වල්දර්ශ 10 කට වැඩි සංඛ්‍යාවක් හමුවෙයි. දිවයිනෙහි සෑම ප්‍රදේශයේ ගම්මිරිස් වගාකළ හැකි වුවද වැඩි වශයෙන් ව්‍යාප්තව පවතින්නේ පහත රට සහ මැද රට ප්‍රදේශයන් තෙත් සහ අතරමැදි කලාපයන්හි වේ. ප්‍රධාන වශයෙන්ම මාතලේ, මහනුවර, බදුල්ල, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙන්ම ව්‍යාප්තව පවතියි.

අප විවිධ ආහාර වර්ග සකස්කිරීම සඳහා කුළුබඩු වර්ග ප්‍රයෝජනයට ගන්නේ ආහාර වලට රස හා සුවඳ එකතු කරගැනීමටයි. එහෙත් වර්තමානය වනවිට රස හා සුවඳට අමතරව කුළුබඩුවලින් ලබාගත හැකි තවත් වැදගත් ප්‍රයෝජනය වන්නේ ඒවායේ ස්වාභාවිකව පවතින ඖෂධීය ගුණයයි.

මේ හේතුව නිසා ගම්මිරිස් වලට පමණක් නොව අනෙකුත් කුළුබඩු වර්ග වලටද විශාල ඉල්ලුමක් වර්ධනය වෙමින් පවතී. ආහාරවල ආරක්ෂාව පිළිබඳවද වැඩි උනන්දුවක් සහ ප්‍රවණතාව සමාජයේ පවතින බැවින් කුළුබඩු අස්වැන්න පිළිබඳව පමණක් නොව ඒවායේ නිෂ්පාදන වල පිරිසුදු බව මෙන්ම ගුණාත්මය පිළිබඳවද අප විශේෂයෙන් සලකාබැලිය යුතුය. මේ හේතුවෙන් අප ගම්මිරිස් වගාවක් ආරම්භ කිරීමට සැලැසුම් කරන්නේ නම් එය වඩා නිවැරැදිව ආරම්භ කිරීමට හෝ දැනටමත් ගම්මිරිස් වගාවක් ඔබට ඇත්නම් එය හොඳින් නඩත්තු කරන ආකාරය පිළිබඳව හොඳින් අවබෝධයක් තිබීම ඉතාමත් වැදගත් වේ. ඒ මගින් කෙටි කලකින් අස්වනු ලබාගැනීම ආරම්භ කිරීමටත්, ඉහළ අස්වැන්නක් ලබාගැනීමටත් තම වගාවේ රෝග හා පළිබෝධ තත්ත්ව අවම කරගැනීමටත් හැකිවෙයි. එසේම ඉහළ ගුණාත්මයෙන් යුක්ත අවසන් නිෂ්පාදනයක් සකස්කර ගැනීමටත් අවසානයේ ඉහළ ආදායමක් ලබාගැනීමටත් අවස්ථාවක් ලබාගත හැකිවෙයි.

ගම්මිරිස් වගාවකදී එම වැල පිළිබඳව මූලික අවබෝධයක් ලබාගැනීම, සුදුසු ප්‍රභේදය, වඩාත් සුදුසු රෝපන ද්‍රව්‍යය තෝරාගැනීම හෝ නිෂ්පාදනය කරගැනීම, වගාව සඳහා ක්ෂේත්‍රය සකස්කරගැනීම, වගා කළමනාකරණ කටයුතු, පොහොර යෙදීම, පාංශු සංරක්ෂණ කටයුතු, අස්වනු නෙළීම සහ පශ්චාත් අස්වනු කටයුතු යනාදී සෑම කරුණක් පිළිබඳවම නිවැරැදි අවබෝධයක් තිබීම වැදගත් වේ. මේ ලිපි පෙළෙහි මූලික අරමුණ වන්නේ එම කරුණු පිළිබඳව ඔබ වෙත පැහැදිලි අවබෝධයක් ලබාදීමයි. අද ලිපියෙන් උත්සාහ කරනු ලබන්නේ ගම්මිරිස් වැලෙහි රූපාකාරය නැතහොත් මූලික ලක්ෂණ පිළිබඳව පැහැදිලි කරගැනීමයි.

ගම්මිරිස් ශාකය සදාහරිත, බහුවාර්ෂික, අකාෂ්ඨීය, මුල් ආරෝහකයකි. ආරෝහක ශාකයක් නැතහොත් වැලක් ලෙස වර්ධනය වන නිසා තනිවම සිරස්ව ඉහළට වර්ධනය විය නොහැක. ඒ සඳහා ජීවී හෝ අජීවී ආධාරකයක් අවශ්‍ය වෙයි. ආධාරකය මත ආගන්තුක මුල් මගින් සවිවී ඉහළට වර්ධනය වේ.

සාමාන්‍යයෙන් බොහොමයක් ශාක විශේෂ වලට කේතු ආකාර හැඩය ගන්නා වියනක් තිබුණද, ගම්මිරිස් ආධාරකයක් මත වැලක් ලෙස වැඩෙන බැවින් ඊට ඇත්තේ සිලින්ඩරාකාර හැඩයක් ගන්නා වියනකි. කේතු ආකාර හැඩයක් ගන්නා වියනක් ඇති ශාකයක සෑම අත්තකටම හොඳින් ආලෝකය ලබාගත හැකිවුවද, මෙලෙස සිලින්ඩරාකාර වියනක් ඇතිවිට සෑම අත්තකටම හොඳින් ආලෝකය ලබාගත නොහැකි වෙයි. මෙය ගම්මිරිස් වැලක අස්වැන්න පිළිබඳව සලකාබලන විට එක්තරා අවාසිදායක කරුණක් ලෙස සැලැකිය හැකිය. විශේෂයෙන්ම වියනේ ඉහළින් ඇති අතු වලට වැඩි ආලෝකය ප්‍රමාණයක් දවස පුරාම මෙන් ලබාගත හැකි අතර පහළින් ඇති අතු වලට ලබාගත හැකිවන්නේ සාපේක්ෂව අඩු ආලෝකය ප්‍රමාණයකි. වගාවේ නඩත්තු කටයුතු වලදී මේ පිලිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතා වැදගත් වෙයි. ඊට හේතු වන්නේ ලැබෙන ආලෝකය ප්‍රමාණය අඩුවන විට එය අස්වනු අඩුවීමට හේතු වීමයි.

ගම්මිරිස් වැලේ සිලින්ඩරාකාර හැඩයක් සහිත වියනක් දැකගතහැකි වුවද මෙහි විවිධ ආකාර වර්ධන හැසිරීම් අතු වර්ග කිහිපයක් හඳුනාගත හැක. මේ බෝගයේ රෝපන ද්‍රව්‍ය නිෂ්පාදනයේදී මෙන්ම පසුව සිදුකරන නඩත්තු කටයුතු වලදී මෙම අතු වර්ග වල රුපකාර ලක්ෂණ, ඒවා එකිනෙකින් වෙන්කර හඳුනාගැනීම සහ ඒවායේ වර්ධන හැසිරීම් රටාවන් පිලිබඳ අවබෝධය ඉතාමත් වැදගත් වේ. මේ නිසා මුලින්ම ගම්මිරිස් වැලක හමුවන විවිධ අතු වර්ග හඳුනාගනිමු. මෙහි එකිනෙකට වෙනස් අතු වර්ග 5 ක් හඳුනාගත හැකි අතර ඒවා පහත ලෙස හඳුන්වයි.

1. සිරස් වැල්/ ප්‍රාථමික කඳ - Orthotopic branches

2. ඵල දරණ අතු/හරස් අතු - Plagiotpic branches/

Fruitng branches

4. මුදුන් රිකිලි - Terminal branches/

Upright branches

5. ගැරඬි වැල් - Hanging branches

මීළඟ ලිපියෙන් අපි මේ වැල් එකිනෙක අතර ඇති වෙනස්කම් සහ ඒවායේ වැදගත් ලක්ෂණ පිළිබඳව සාකච්ඡා කරමු.

 

Comments