ප්‍රශ්න එක්ක හැප්පෙන එක මේ ගේම් එකේ කොටසක් | සිළුමිණ

ප්‍රශ්න එක්ක හැප්පෙන එක මේ ගේම් එකේ කොටසක්

නයිෂාඩ් උදේශි / MD - චයිනීස් ඩ්‍රැගන්

ඇති හැකි පවුලක ඉපදුණ ද මුදල්වල වටිනාකම ඔවුහු හොඳින් දනිති. ඒ, ළමා වියේ පටන් ය. අම්මාගේ කෑමවල රසයත්, තාත්තාගේ ව්‍යාපාර ඥානයත් ඇසුරේ ඔවුහු වෙනස් මඟක් සොයා ගත්හ. තමන්ගේ ම ක්‍රමයකට ව්‍යාපාරයක් හදාගත්හ. එහි වටිනාකම වැඩිවන්නට අතීතයක අභිමානය ද එක් කරගත්තේය. අද ඔවුන්ගේ අනන්‍යතාව එයයි. චයිනිස් ඩ්‍රැගන් ඉදිරියට ගෙන යන බර කරට ගත් ඔවුහු එය පවුලේ ව්‍යාපාරයකින් ඔබ්බට සමාජගත කරන්නට වෙර වෑයම් දරති. වැටෙමින් නැගිටිමින් වැටි වැටී නැඟිටිමින් යළි ව්‍යාපාර ලෝකයේ ‘බ්‍රෑන්ඩ්’ එකක් වන්නට වෙර දරන අයිය-මලෝ දෙදෙනකුගේ කතාවයි මේ.

* අපේ රටේ දක්ෂයෝ ඉඳිද්දී චීනෙට සල්ලි දෙන්නෙ මොකට ද?
* හැමෝම සමානයි. වෙනස් වෙන්නෙ රාජකාරියෙන් විතරයි

මේ තරම් චීන අවන්හල් තිබෙන රටක ‘චයිනීස් ඩ්‍රැගන්’ විතරක් විශේෂ වෙන්නෙ කොහොමද...

ලංකාවෙ පරණ ම චීන අවන්හල නිසා. 1942 පටන් අද දක්වා අඛණ්ඩව පවත්වාගෙන ආ නිසා. අපේ රටට නිදහස ලැබෙන්නටත් පෙර යුගයේ පටන් ගත් අවන්හලක්. යුග කීයක මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න ඇතිද... බ්‍රිටිෂ් අය අපේ අය.... මොන තරම් පිරිසක් එන්න - යන්න ඇතිද... මේ, ඉතිහාසයත් එක්ක ගොඩනැඟුණු පදනම ම තමයි, අපේ විශේෂත්වය. ‍

මේ තරම් අතීතයක් තියෙනවා කියන්න ඔබට තිබෙන සාක්ෂි මොනවද...

චීනෙන් ලංකාවට ආ යුවළක්, බම්බලපිටිය ඩික්මන් පාරට මුහුණලා චයිනීස් ඩ්‍රැගන් අරඹනවා. 1942 පටන් 2009 දක්වා එහි අයිතිය තිබෙන්නෙ ඒ චීන යුවළගේ දරුවන්ට. ජින් යැන්ග් මීරියම් සොලමන්ස් කියන්නෙ ඒ පවුල් දියණියක්. ඇය විවාහ වන්නේ, රොජර් සොලමන්ස් කියන බර්ගර් ජාතික‍යත් එක්ක. මේ දෙන්නගේ පුතා, ජොනතන් සොලමන්ස්. අපිත් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් චයිනිස් ඩ්‍රැගන් යන්නෙ ජොනතන් නිසා. ජොනතන් අපේ පාසලේ මිත්‍රයා. 2009, අපි මේ ව්‍යාපාරයට ආයෝජකයො විදිහට සම්බන්ධ වෙනවා, 2012 දි මීරියම් සොලමන්ස් එයාගේ කොටස් ටිකත් අපිටම විකුණනවා.

ඒ කියන්නෙ මේ, ෆැමිලි බිස්නස් එකක්...

පටන් ගැන්ම එහෙමයි. ඒ වුණාට අද තත්වය වෙනස්. අද අපි මේ ආයතනය පවත්වාගෙන යන්නෙ වෘත්තීය භාවයකින්. පවුලක් පොඩියට කරගෙන ගියවිදියට වඩා, අපි කළමනාකරණ ව්‍යුහයක් හැදුවා. ශාඛා ව්‍යාප්ත කළා. මෙහෙයුමක් විදියට ඉදිරියට ආවා. ඒ ඔපරේෂන් එකේ ඉදිරියෙන් ම ඉන්නෙ මම සහ ම‍ගේ අයියා, සෞරබ් උදේශි.

ඔබ මුලින් ම මේ අවන්හලට එන්නෙ කෑම කන්න. ඒත් දවසක් එනවා, අවන්හල ඔබේ ම වන...

මාත් අයියත් ජොනතනුත් ඉගෙන ගත්තෙ CIS ජාත්‍යන්තර පාසලේ. අපි එකට බාස්කට් බෝල්ගැහුවා. හැම බාස්කට් බෝල් ටූනමන්ට් එකක් ඉවර වුණාම, ජොනතන් අපිව එයාලගේ චයිනිස් ඩ්‍රැගන් එකට එක්ක යනවා. ඒ කෑමවලට අපේ ටීම් එකම ආසයි. හැබැයි රෙස්ටූරන්ට් එක කරගෙන ගියේ අමාරුවෙන් බව අපි දැනගත්තා. ‘මේක වැහෙන්න දෙන්න බැහැ. අපි ඉන්වෙස්ට් කරලා මේක ආපහු හදමු...’ අපි කිව්වා. තාත්තත් අපිට උදව් කළා. එහෙම තමයි චයිනිස් ඩ්‍රැගන් එකට අපි ඉන්වෙස්ට් කළේ. සම්බන්ධ වුණේ. ඒත් හාට් ඇටෑක් එකකින් ජොනතන් හදිසියේ මිය ගියා. ඊට පස්සෙ බිස්නස් වැටුණා. ජොනතන්ගෙ අම්මා මීරියම්, කොටස් සියල්ල අපිට ම විකිණුවා.

ව්‍යාපාර ඥානය ඔබට පවුලේ උරුමයක් ද...

අපේ තාත්තා කෞෂික් උදේශි. සීඩ්ල්ඩ් ප්‍රයිවෙට් ලිමිටඩ් ඇතුළු කොම්පැනි පහක විතර ඩිරෙක්ටර් කෙනෙක්. එයාටත් කොටස් අයිතිය තිබුණා. පුංචි කාලෙ ඉඳන් අපි දැක්කෙ තාත්තා බිස්නස් වෙනුවෙන් මහන්සි වෙන හැටි. ගෙදර හැම වෙලාවෙම කතා කළේ බිස්නස් ගැන. අපේ ම බිස්නස් එකකට ආසා වෙන්න ඒකත් එක හේතුවක්.

ආසාව තිබුණට මදි. පුළුවන් වෙන්නත් ඕනෙනේ...

දවසක් ඉස්කෝලෙ චැරිටි වැඩකට ළමයි කෑම විකිණුවා. අම්මා අපිට පීට්සා දහයක් හදලා දුන්නා. අපේ අම්මගේ කෑම හරි රසයි. ඕන දෙයක් හදන්නත් දන්නවා. ඉතින් අම්මගේ පිට්සා, එක හුස්මට විකිණෙනවා. අපි කෑල්ලක් පණහට විකුණන්න අරන් ඉල්ලුම හොඳයි කියලා තේරෙන‍කොට කෑල්ල සීයක් කළා. පීට්සා විකිණුවේ මායි අයියයි ජොනතනුයි. අපි එදා දැනගත්තා හිතුවොත් අපිටත් බිස්නස් කරන්න පුළුවන් කියලා.

ඉතින්, කොතැනින් ද ඔබ වැඩ පටන් ගත්තේ...

රස කෑම ගැන මුලින් ම උනන්දුවක් ඇතිවුණේ, ඒ ගැන හිතුවේ අම්මා නිසා. අපි දෙන්නා වගේම අපේ යාළුවෝ කවුරුත් අම්මගේ කෑමවලට ආසා කළා. ඊළඟට චයිනිස් ඩ්‍රැගන් එකට සම්බන්ධ වීම. හොඳ බ්‍රෑන්ඩ් එකක් හදන්න ඕනේ! අංක එකට යන්නත් ඕනෙ! කෝපරේට් ලෙවල් එකට වැඩ කරන්නත් ඕනේ! මේවා තමයි අපි දෙන්නට ම තිබුණු ඉලක්ක. අරමුණු. අපි ලෝකෙත් එක්ක සංසන්දනය කළා. කොහොමද අපිට ඒ තැනට යන්න පුළුවන්... අපි ඒ ගැන හෙව්වා. ඒ වෙනකොට මිලාගිරියේ, රාජගිරියේ සහ ගල්කිස්සෙ පමණක් තිබූ ශාඛාවල වෙනසක් ඇති කළා. ව්‍යාප්තිය පටන් ගත්තා.

තාත්තා ව්‍යාපාර ගණනාවකට සම්බන්ධයි. ෂෙයාර්ස් තියෙනවා. ඇයි ඒවා තියෙද්දි වෙන ම ව්‍යාපාරයකට අත ගැහුවේ...

“ඔය තාත්තා හදපු දේවල්නේ පුතාලා කරගෙන යන්නේ...“ මිනිස්සු කියන එහෙම කතා අහන්න අපි කැමැති නැහැ. තාත්තා අපිට උදව් කළා. අපිටත් යමක් කරන්න පුළුවන් බව අපි පෙන්නුවා. ඒකෙන් තාත්තට ආඩම්බරය වැඩියි. අදටත් තාත්තා එයාගෙ බිස්නස් කරගෙන යනවා. අපි අපේ බිස්නස් එකට මහන්සි වෙනවා. දවසක අපේ පුතාලත් මේ බිස්නස් එකම කරනවට අපි කැමැති නැහැ. අලුත් විදියකට වෙනස් විදියකට ඒ අය වැඩ කරනවා නම්, සම්බන්ධවෙනවා නම් හොඳයි. මේ බිස්නස් එක ප්‍රොෆෙෂනල් විදියට ඉස්සරහට යන්න ඕනේ. අද අයියත් මාත් හදලා තියෙන්නෙ ඒ පසුබිම.

චීනෙවත් නැති තරමේ ‘චීන රෙස්ටුරන්ට්’ ලංකාවේ තියෙනවා. කොහොමද තරගෙට මුහුණ දෙන්නේ...

තරගයක් තියෙනවා නම් හොඳයි. එතකොට තමයි හොඳම දේ කස්ටමර්ට ලැබෙන්නේ. හාරසීයකට වැඩි ආහාර වර්ග (Dishes) ප්‍රමාණයක් හැදෙන ලංකාවේ එකම චීන අවන්හල මේක වෙන්න ඇති. එදිනෙදා ෆ්‍රෙෂ් මස් මාළු ගේන එක, ඒ ඒ වෙලාවට උණු උණුවේ කෑම හදලා දෙන එක... මහ පරිමාණයෙන් කරද්දි අභියෝගයක්. නමුත් අපි ඒක කරනවා. අපේ අවන්හල් අටේ ම කෑම එකම කොලිටියක්. ඒ අවන්හල්වල පෙනුම, ගෘහභාණ්ඩ, කුස්සිය, සැරසිලි මේ හැම දේම එකයි. කෑම හදන්නෙ එකම සිස්ටම් එකකට. අපි වගේ ජාලයකට හැර පොඩි පොඩි තැන්වලට අමාරුයි මේ දේවල් මේන්ටේන් කරන්න.

ඔබ මොන තරම් ප්‍රාග්ධනයක් මේ ව්‍යාපාරය වෙනුවෙන් යෙදෙව්වද...

තාත්තා අපි දෙන්නට අරන් දීපු ඉඩමක් තිබුණා. අපි ඒක උකස් කරලා බැංකු ණයක් ගත්තා. මිලියන 20ක්. එතකොට අයියට 26 යි. මට 25 යි. අම්මයි තාත්තයි ඒ වැ‍ෙඩ්ට ඒ තරම් කැමැති වුණේ නැහැ. ඒ වුණාට කරන්න ඉඩ දුන්නා. ඒ දීපු නිදහස නිසා තමයි අපි ‘අවදානම්’ අරන් වැඩ කරන්න පුරුදු වුණේ.

අද මේ ආයතනයේ කොයිතරම් පිරිසක් වැඩ කරනවද...

ශාඛා අටක්. හෙඩ් ඔෆිස්, මේ සෑම තැනක ම එකතුව තුන්සිය පණහක්. ඒත් හුඟ දෙනෙක් ගම්වල තරුණ අය. අපි ඔවුන්ට කෑම, නවාතැන් දෙනවා. පුහුණුව සහ ආකල්ප වර්ධනය කරන වැඩසටහන් කරනවා. උඩට එන ක්‍රමවේද හදලා තියෙනවා. එහෙම උඩට ආපු ගණනාවක් මේ ආයතනයේ වැඩ කරනවා. අධ්‍යාපනය හමාර කළ ඈත ගම්වල තරුණයන්ට අපි රැකියා අවස්ථා දෙන්න සූදානම්. එහෙම අය ඉන්නවා නම් අපිට ලියන්න. කතා කරන්න. ඔබේ අනාගතයට අපි අත්වැලක් හදනවා.

සේවකයන් එක්ක තිබෙන්නේ සම්බන්ධතාවක් ද ගනුදෙනුවක් ද...

ලොකු බැඳීමක්. මේක ගන‍ුදෙනුවකින් විතරක් කරන්න පුළුවන් බිස්නස් එකක් නෙවෙයි. කෑම කියන්නෙ ප්‍රධාන කොට ම රසය, පෙනුම. ඒක ‘ෆීලින්’ එකක්. ඒ වගේ හැඟීමක් සම්බන්ධ දෙයක් මාකට් කරන්න නම් ඒකට සම්බන්ධ අය එක්ක යම් බැඳීමක් තියෙන්නත් ඕනේ. අපේ වැඩ කරන තුන්සිය ගණන ම මාත් අයියත් නමින් දන්නවා. අපි සමහර වෙලාවට වැඩ කරන අය එක්ක මැනිං මාකට් එකට යනවා. පාන්දර දෙක තුනට පෑලියගොඩ මාළු මාකට් එකටත් යනවා. MD හෝ ඩිරෙක්ටර්ත් එහෙම වැඩ කරනවා නම් ස්ටාෆ් එකට මඟ හරින්න බැහැ. අවන්හලට එන පාරිභෝගිකයාට උසස් ලෙස සලකන්න... ඩිලිවරි කරන්න... ටේක් අ වේ සේවාව, Outdoor Catering සපයන්න... අවන්හල ඇතුළෙ කොම්පැනි මීටින් තියන්න.. ඔය වගේ සේවාවන් රැසක් එකවර සපයන්න අපිට පුළුවන් වෙලා තියෙන්නෙ වටිනා සේවක පිරිසක් අපිට ඉන්න නිසා.

මොනවද සේවක බැඳීම් තියාගන්න කරපු හොඳ ම දේ...

තමන්ගෙ පවුල තුළ මූල්‍ය කළමනාකරණය අපි ඔවුන්ට කියලා දෙනවා. කොළඹ හිටියා කියලා නාස්ති නොවී අරක්කු සිගරට් නොබී තමන්ගෙ පවුලේ දියුණුවට වැටුප යොදවන හැටි කියලා දෙනවා. ඒ හැමෝගෙම ළඟ අපි දෙන්නගෙ මොබයිල් නම්බර්ස් තියෙනවා. ඕන වෙලාවක අපිට ඍජුව ම කතා කරන්න පුළුවන්. අපිට සෙක්‍රටීස්ලා නැහැ. අපේ සේවකයෝ හැමෝම අපේ ෆේස් බුක් යාළුවෝ.

අම්මා තාත්තගෙන් ජීවිතයට එකතු වූ වටිනාකම් මොනවද...

නිදහසේ හිතන්න සහ තීරණ ගන්න එක. අපි තුළ ආත්ම විශ්වාසය ගොඩනැඟුණෙ ඒ නිදහසින්. මඟ පෙන්වූවා මිස කවදාවත් අපිට බලපෑම් කළේ නැහැ. ඉගෙන ගනිද්දි පවා මං උසස් පෙළට මැත්ස් තෝරා ගත්තෙත් අයියා සයන්ස් තෝරා ගත්තෙත් අපේ කැමැත්තෙන්. මං උසස් අධ්‍යාපනයට ඇමරිකා ගියා. අයියා ලංකාවේ ඉඳන් එයාගෙ උපාධිය කළා.

මොකක්ද ඔබට තිබෙන උපාධිය...

ඇමරිකාවේ පෙන්සිල්වේනියා යුනිවර්සිටියේ මිකැනිකල් ඉංජිනියරින් උපාධියක්. ව්‍යවසායකත්ව පුහුණුව, බ්‍රෑන්ඩ් හදන හැටි, කේස් ස්ටඩිස්, ගැටලු නිරාකරණය... ඔය වගේ ව්‍යාපාරවලට අදාළ හුඟක් විෂයන් ඒ උපාධිය තුළ මං ඉගෙන ගත්තා. අයියා නම් උපාධියට කෙළින්ම ව්‍යාපාර කළමනාකරණය කළා. එයා ලංකාවෙ ඉඳන් ඇමරිකන් නැෂනල් කොලේජ් එකෙන් විභාග කළා.

අද චීන කෑම ව්‍යාපාරය කියන්නෙ බොහොම ලාභ ලැබිය හැකි බිස්නස් එකක්...

අපි ඒ ගැන හිතන්නෙ වෙනස් විදියට. බිස්නස් එකක නමක් හදන්න අවුරුදු තිහ හතළිහක් යනවා. ඒ වුණාට සල්ලි මුලට තියා ගත්තොත් දවස් දෙකෙන් ඒ නම විනාශ කරගත්තැකි. ඒ නිසා බලන්න පැති හුඟක් තියෙනවා. ලාබය ඒ සියල්ලෙන් එකක් විතරයි. ව්‍යාපාරයක සල්ලි කියන්නෙ හැමදේමත් නෙවෙයි. චීන අවන්හල් විතරක් නෙවෙයි, කොයි ව්‍යාපාරයක වුණත් සල්ලි මුලට ආවොත් පැවැත්මක් නැහැ.

කවුද ඔබේ Role Model….

අපි දෙන්න ම වොරන් ඔෆට් ගේ න්‍යායන්වලට කැමැතියි. කරන දේ හදවතින් ම කළොත් වරදින්නෑ. සල්ලි වුණත් ළඟ නතර වෙන්නෙ හරි විදියට හම්බ කළොත් විතරයි. මේ විදියට වැඩකරපු ව්‍යාපාරිකයෝ කාටත් අපි කැමැතියි. විශේෂයෙන්, මෑත යුගයේ ඉදිරියට ආපු ලංකාවෙ සමාගම් ගණනාවක ම මේ ලක්ෂණය තිබෙනවා. අපි දෙන්න ම කොහොමටත් ව්‍යාපාරික චරිත හදාරනවා. ඔවුන්ගේ ජීවිත කියවනවා. නිතර කොටස් වෙළෙඳපොළ අධ්‍යයනය කරනවා. ස්වෝත්සාහයෙන් දියුණු වන ව්‍යවසායකයන්ට කොටස් වෙළෙඳපොළ විශ්වවිද්‍යාලයක්. මූල්‍ය, පිරිස් කළමනාකරණය, නීතිමය පැත්ත, කාල කළමනාකරණය, ආයතනික ප්‍රතිපත්ති, ආයතනික පුරුදු... මේ සියල්ල සමාගම්වල වාර්ෂික වාර්තාවල තිබෙනවා. අවුරුදු පහළොවක පටන් අපි දෙන්න ම තවමත් මේ සියල්ල අධ්‍යයනය කරනවා. ඕන කෙනකුට ඉන්ටනෙට් ගියා ම මේ දේවල් හොයාගන්න පුළුවන්. ලොකු බිස්නස් කරන අය සහ සමාගම් කොහොමද වැඩ කරන්නෙ කියලා දැනගන්න ඒක තමයි හොඳම දේ.

හැමදාම කන්නෙ චීන කෑම විතර ද...

අපි අනෙක් තැන්වලිනුත් නිතර කාලා බලනවා. මෙහෙදි නම් කන්නෙ සේවකයො කන කෑම පාර්සලේමයි. මම MD කියලා අයියා ඩිරෙක්ටර් කියලා ස්පෙෂල් නැහැ. එකම ලන්ච් රූම් එකක, වැඩකරන අයත් අපත් එකම මේස පුටුවල ඉඳන් කන්නේ. අපිට කියලා වෙන ම කූඩු කරපු කාමරත් නැහැ. හැමෝම සමානයි. අපි හැමෝම වෙනස් වෙන්නේ තමන්ගේ රාජකාරිය අනුව විතරයි.

‍ඔබ දෙදෙනාම තරුණයි. බිස්නස් එකේ ලාභයෙන් ‍මොනවද කරන්නේ...

ඇත්ත ම කියන්නම්. අපි දෙන්න ම තව ම මේ බිස්නස් එකෙන් කිසි ම දෙයක් අරන් නැහැ. අපිට වෙන ආදායම් තියෙනවා. ඒවා යැපෙන්න ප්‍රමාණවත්. බිස්නස් එකේ හැම සතයක් ම යළි යොදවන්නෙ බිස්නස් එකටමයි. රට යන්න, නිවාඩු ගත කරන්න, සැප ගන්න මේ බිස්නස් එකේ සල්ලි අපි තව ම ගන්නෙ නැහැ. එහෙම කරපු නිසා තමයි මේ තරම් කෙටි කාලයක් තුළ ශාඛා තුනක් අට දක්වා ව්‍යාප්ත කළේ. ව්‍යාපාරය තමයි අංක එක.

චීන කෑම කියන්නෙ කෘත්‍රිම රස ගොඩක්. කොටින් ම ‘අජිනො මොටෝ’... මේ ගැන ඔබ මොකද කියන්නෙ...

හරි රෙසිපිය දන්නවා නම් අජිනොමොටෝ අවශ්‍ය නැහැ. සෝස් වර්ග මිශ්‍ර කිරීමෙන් ඒ රස උපරිමයෙන් ගන්න පුළුවන්. මුල් කාලෙ භාවිත නොකළා නෙවෙයි. අපේ අත්හදා බැලීම්වල ප්‍රතිඵලයක් විදියට අජිනොමොටෝ නොයොදා චීන ආහාර හදන්න පුළුවන් බව අපි තහවුරු කර ගත්තා. කෑම රස කරන්න එය අත්‍යවශ්‍ය දෙයක් නොවෙයි. හැබැයි චීන කෑප කාපුවම එන වතුර තිබහට අපහසුතාවට එකම හේතුව ඒක විතරක් නෙවෙයි. ජලය, ආහාර සුරක්ෂිතතාව, උපකරණවල සෞඛ්‍යාරක්ෂිත බව සහ පිරිසුදුකම කියන හුඟක් කාරණා බලපානවා. යම් කෑමක් ඕඩර් කළාම ඒක හැදෙන විදිය බලන්න කස්ටමර්ට අයිතිය තිබෙනවා. නමුත් කවුද එහෙම ඉඩ දෙන්නෙ. අදාළ ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන ඕන වෙලාවක අපේ කස්ටමර්ට පුළුවන් ඇතුළු කුස්සියක් බලන්න. නමුත් අපේ හැම ශාඛාවකම දැන් මුළුතැන්ගේ තිබෙන්නෙ පාරිභෝගිකයාට පේන්න විවෘතව. මේ විනිවිදභාවය අද කාලෙ ඉතා වැදගත්.

චීන සූපවේදියො ද ඔබේ අවන්හලේ කෑම හදන්නෙ...

අපේ රටේ ශිල්පය දන්න දක්ෂයො ඉඳිද්දි චීනෙට සල්ලි දෙන්නෙ මොකටද... අපි දැනුම හුවමාරු කරගන්න සමහර අවස්ථාවක එහෙම කෙ‍ෙනක් ගෙන්නුවත් සියලු සූපවේදියෝ අපේ රටේ අය. ප්‍රතිපත්තියක් විදියට අපි විදෙස් සූපවේදින් සේවයට ගන්නෑ. මොකද ඒ අවස්ථාව අපේ රටේ කෙනකුට දෙන්න පුළුවන් නම් ඇයි අපි එහෙම නොකරන්නේ?

මේ බිස්නස් එක ඔබට හැඟීමක් ද බිස්නස් එකක් ද...

දෙකම. ‘මතක හිටින කෑමක්...’ කියන තේමාව අපි යොදා තිබෙන්නෙත් ඒ නිසා. එක දවසක් අපෙන් කාලා තව තැන් දහයකින් කෑවත් ආපහු අපිව මතක් වෙන්න ඕනේ. ඒ තමයි අපි දෙන හැඟීම. ඊළඟට තව රස්සා ටිකක් හදන්න ඕනේ. වැඩකරන අය බලාගන්න ඕනේ. අලුත් ශාඛාවලට ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඔපරේෂන් එක සිස්ටම් එකකට යන්න ඕනේ. අපි නැතත් මේ ආයතනය ඉදිරියට යන්න ඕ‍ෙන්. රස්සා ටික රැකෙන්න ඕනේ. ඒ නිසා සුදුසුකම් හදාගත්තු යහපත් ආකල්ප තියෙන පිරිසක් අපිට අවශ්‍යයි. අපේ සේවකයෝ අද ඇවිත් හෙට යන අය වෙන්න බැහැ. ඔවුන්ගෙ යම් ජීවිත හැඩගැස්මක් මෙතැන වෙනවා. බිස්නස් එකක් ඉදිරියට යන්න මේ කාරණා ප්‍රබල ලෙස බලපානවා.

ඔබ දෙදෙනා ම බිස්නස් එක ජීවිතය ම කර ගත් හැඩයි...

අවුරුදු 74 ක ඉතිහාසයක් තිබුණට බිස්නස් එක අපේ අතට අරන් අවුරුදු නවයයි. ඒ නිසා අපිත් තවම අත්දැකීම් ලබමින් ඉගෙන ගන්නවා. ඒ නිසා MD හරි ඩිරෙක්ටර් හරි කියලා පැත්තකට වෙන්න බැහැ. අපිත් වැ‍ඩේට බැහැලා ඉන්නේ. කොයි ව්‍යාපාරයට වුණත් අත්වැරදීම් අත්දැකීම් පොදුයි. ඒ සියල්ල මැදිනුයි උඩට යන්නේ.

ආගමත් එක්ක තිබෙන බැඳීම කොහොම එකක් ද...

අපි හින්දු. අපිට දෙවිවරු හුඟක් ඉන්නවා. නමුත් බිස්නස් එකට අපි ආගම ගේන්නෑ, හැම ජාතියකම හැම ආගමක ම අය මෙතැනි වැඩ කරනවා. මං තවම විවාහ වෙලා නැහැ. නමුත් මගේ අයියගේ බිරිය, සිංහල බෞද්ධ.

විවාහ නොවී ඉන්නෙ බිස්නස් නිසාද...

ඇත්තට ම බිස්නස් එකට හුඟක් වැඩ කරන නිසා වෙලාව නැහැ තමයි. නමුත් ඒකෙන් කියන්නෑ මං විවාහ නොවී ඉන්නවා කියලා.

ජීවිතය විඳින්නේ කොහොමද...

Work is pleasure. වැඩ කිරීම තමයි සතුට. රෑට බ්‍රාන්චස්වලට යන එකත් සතුටක්. මිනිස්සු කන බොන හැටි ඔවුන්ගේ මුහුණුවල සතුට මම ඇස්දෙකෙන් ම දකින්න ආසයි. අයියත් එහෙමයි. අපෙන් කෑමක රස විඳලා යන හැම කස්ටමර් කෙනෙක් ම ඔවුන්ගේ ප්‍රතිචාර දක්වල යන ලියවිල්ලක් තිබෙනවා. හොඳ, නරක හෝ අඩුපාඩු ඔවුන් එහි ඍජුව ම සඳහන් කරනවා. අපි ඒවා හොඳින් බලනවා. මේ සියල්ල සමඟ බිස්නස් එක ඉදිරියට ගෙන යන විදිය තමයි හැම වෙලාවෙ ම අපි හිතන්නේ.

මේ බිස්නස් එක අතහරින්න හිතෙන්නෙ නැද්ද...

ප්‍රශ්න එක්ක හැප්පෙන එක මේ ගේම් එකේ ම කොටසක්. මොන දේ වුණත් මංවත් අයියවත් ගේම් එක අත්හරින්නෑ. පාඩු එයි, වෙන මඟක් හොයනවා. සල්ලි මදිවෙයි, බැංකුවෙන් ණය ගන්නවා. වැරදෙයි ඉගෙන ගන්නවා. එපා වෙයි, සතුටු වෙන්න පුළුවන් දේ ගැන හිතනවා. අන්තිමේ කොහොම හරි බිස්නස් එක ඉස්සරහට ගෙනියනවා. ‘Never giveup….’ ඒක තේමා පාඨය.

ඡායාරූප - විමල් කරුණාතිලක

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.