ඉන්දියානු දරුවා බලන්න යද්දී මහ පාරේ අකරතැබ්බයක | සිළුමිණ

ඉන්දියානු දරුවා බලන්න යද්දී මහ පාරේ අකරතැබ්බයක

 ස්විට්සර්ලන්තයේ වෙසෙන ලාංකිකයකු වන ඩිලන් සමරවික්‍රම ‘බෲස්’ නමැති යතුරුපැදියෙන් මිනිස් වාසය සහිත මහද්වීප පහ හරහා ගමන් කරමින් ලෝ වටා සංචාරයක නිරත වූයේය. 2010 ජූලි 28 වැනිදා ස්විස්හි ග්ලාරූස්වලින් ගමන් ඇරැඹු ඩිලන් යුරෝපයේ රටවල් රැසක කරක් ගැසීමෙන් පසුව සිරියාව හරහා අප්‍රිකාවට සේන්දු විය. පසුව ඊජිප්තුවේ නසාර් විල තරණය කරමින් සුඩානය, දකුණු සුඩානය, උගන්ඩාව, කෙන්යාව, ඉතියෝපියාව ආදි රටවල් හරහා අතිදුෂ්කර ගමනක යෙදෙමින් ජිබුටියට පැමිණියේය. ජිබුටියෙන් රතු මුහුද තරණයකොට යේමනයට ගමන් කළේය. අද එතැන් සිට.....

ඩිලන් පවසන පරිදි ඕමානය යනු අරාබිකරයේ තිබෙන සාමකාමි රාජ්‍යයකි. ඕමානය සාමාන්‍යයෙන් සංචාරකයකුට ගමන් කළ හැකි අලංකාර හා සුන්දර රටක් ලෙස ඔහු හඳුන්වයි. මිතුරන් දෙදෙනා මීළඟට ඇතුළු වූයේ ඕමානයටය.

“ඕමානය ඇත්තටම හරිම සාමකාමී නිදහස් රටක්. ඒ වගේම ලස්සනයි. ගස්කොළන් පිරිච්ච කොළ පාට රටක් නොවුණට අමුතුම ලස්සනක් ඒ රටේදී මම දැක්කා. අනෙක් අරාබි රටවල් වගේ ගොඩක් සල්ලි තියෙන රටක් නොවුණට ඒ රටේ මිනිස්සු බොහෝම සාමකාමී සුන්දර විදිහට ජීවත් වෙනවා.” ඩිලන් පවසයි.

යේමනයේදී දුෂ්කර ගමනක යෙදුණු ඔවුනට ඕමානයේදී සිතේ හැටියට නිදහස භුක්ති විඳිමින් හොඳින් විඩාව සංසිඳවා ගැනීමට මඟ පෑදිණි. එතැනින් පසු දෙදෙනා පා තැබුයේ ආසියාවේ කේන්ද්‍රස්ථානයක් වූ ඩුබායි රාජ්‍යයටය. ලෝකයේ විශාලතම ගොඩනැඟිලිවලින් ගහන ඩුබායි යනු එක්තරා ආකාරයක කොන්ක්‍රීට් වනාන්තරයක් ලෙස ප්‍රචලිතය.

“මං ඩුබායිවලදි දැක්කේ අහස උසට නැඟුණු ගොඩනැඟිලි ටිකක්. මට ඒවා යුරෝපයේදී දැකලා ඇතිවෙලා තිබුණෙ. හැබැයි ඒ රටට තියෙන ධනස්කන්ධයේ තරම පෙන්වමින් මූද ගොඩ කරලා මහා විශාල නිර්මාණනම් කරලා තියෙනවා. පාරම්පරික ඩුබායි ජාතිකයෙක් පළාතක දකින්න නෑ. පිට දේශවලින් පැමිණි විදේශිකයන් පිරිසක් කඩි ගුලක් ඇවිස්සුවාක් මෙන් එහෙට-මෙහෙට දුවන තැනක් හැටියටයි මමනම් ඩුබායි දකින්නෙ...” ඩිලන්ට එසේ වුවද සමහරකුට නම් ඩුබායි යනු මහා සුරපුරයකි.

ඩිලන් ඩුබායි කරා පැමිණෙද්දී ගමන් අරඹා මාස පහක කාලයක් ගතව තිබිණ. ඉන්පසු ඔහුට ගමන් මාර්ගය වෙනස් කිරීමට සිදු වූයේ මීළඟ ගමනාන්තය ලෙස අප අසල්වැසි ඉන්දියාවට ගුවන්ගත වීමට තීන්දු කිරීමත් සමඟිනි. එම තීන්දුවත් සමඟින් 1150 සිසී අධි එන්ජින් ධාරිතාවකින් යුත් බීඑම්ඩබ්ලිව් වර්ගයට අයත් බෲස්ටද විවේකයක් ලැබිණි.

“ඒක වුණේ මාටින් නිසා. මාටින් කොහෙත්ම කැමැති වුණේ නෑ. ඉරාන, ඉරාක, ඇෆ්ගන්, පාකිස්තාන වගේ කලබලකාරී රටවල් හරහා ඉන්දියාවට යන්න. මටනම් ඒ රටවල් ඒ හැටි ගානක් තිබුණේ නෑ. මොකද මම 2008 වර්ෂයේදීත් ඔය වගේම සයිකල් සවාරියක් ආවා ඉන්දියාව දක්වා. එදා මං ඉරාන, ඉරාක, ඇෆ්ගන් ආදි රටවලට ගිහිල්ලයි ඉන්දියාවට ගියේ. මම ඉතින් මෙතෙන්දි මාටින්ට අවනත වුණා. ඔහු මාත් සමඟම දවස් ගානක්ම එකට ගමන් කළ නිසා මාටින් තනි කර යෑමටත් මට හිත ඉඩ දුන්නේ නෑ”

ඒ අනුව බෲස් සමඟින් මාටින්ගේ සයිකලය ද ඉන්දියාව බලා නැව් නැග්ගේය. ඩිලන් හා මාටින් ඉන්දියාවේ මුබ්බායි ගුවන් තොටට ගොඩ බැස්සහ. අනතුරුව ඩිලන් සහ මාටින් වෙන්ව ගියහ. එය දෙදෙනාටම ඉතාම හැඟුම්බර මොහොතක් විය.

“අපි දෙන්නා එදා හරිම දුකෙන් වෙන් වුණේ... මාටින් කියන්නෙ හරිම හොඳ අහිංසක මනුස්සයෙක්.”

ඉන්දියාව යනු විශාල රටක් සේම නැරැඹීමට බොහෝ දේ තිබෙන රටක් වශයෙන් සැලැකේ.

“බෲස් ඉන්දියාවේ සිට මුම්බායිවලට ගේන්න සති දෙකක් ගියා. එතකල් මං මුම්බායි අවට එහෙ-මෙහෙ ඇවිද්දා.”බෲස් ලැබීමත් සමඟින් ඩිලන් මුලින්ම තීන්දු කළේ ළබැඳි හිතෛෂියකු බැහැදැකීමට යාමටයි.

“දන්නවද ඒ කවුද කියලා... මට හිටියා දරුවෙක්... ඉන්දියාවේ...”

‘දරුවෙක්’ යන වදන කන වැකීමත් සමඟ මා කුතුහලයෙන් ඉපිළ ගියේ එම කතාන්දරය දැනගැනීමටයි.

“මෙහෙමයි මට අවශ්‍ය වුණා ලෝකේ කොහේ හරි ඉන්න අසරණ දරුවකුට උදවු කරන්න. ඉතින් මං මීට අවුරුදු ගාණකට පෙර ‘වර්ල්ඩ් විෂන්’ ආයතනය හරහා ඉන්දියාවේ දුප්පත් දරුවකුට උදවු කරන්න ඉදිරිපත් වුණා. මං ඉන්දියාවේ දරුවා ඉන්න පළාතේ වර්ල්ඩ් විෂන් අයට කතා කරලා කිව්වා, ‘මට දරුවා බලන්න අවශ්‍යයි’ කියලා. මොකද අපට වර්ල්ඩ් විෂන් එක හරහායි ඒ දරුවන්ට සියලු උදවු-උපකාර කරන්න පුළුවන්. ‘ආ ප්‍රශ්නයක් නැහැ ඔයා එන්න. අපිත් එක්ක යන්න පුළුවන්’ කියලා ඒ අය කිව්වා.

එවකට වයස අවුරුදු 12ක පමණ පසුවූ එම දරුවා ඩිලන්ට එවන සෑම ලිපියකම පාහේ ඔහුට තිබෙන පිස්සුවක් ගැන සඳහන් කරයි. එහි විශේෂත්වය ඩිලන්ද එම පිස්සුවෙන් පෙළීමයි.

“ඒ දරුවා එවන හැම ලියුමකම වගේ ලියලා එවනවා, ‘අනේ මාමෙ මං හරිම ආසයි ක්‍රිකට්වලට. මට ක්‍රිකට් බැට් එකක් අරන් දෙන්න’ ආදි නොයෙක් දේවල්. මං හිතාගත්තා ගිහිල්ල ඒකත් අරන් දෙන්න. මොකද ඉතින් මටත් ක්‍රිකට් පිස්සුවක් තියෙනවානේ.”අනතුරුව මුම්බායිහි සිට කිලෝමීටර් 1200 ක පමණ දුරක් ගෙවා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ඓතිහාසික නගරයක් වන ‘ජන්සි’ වෙත ඩිලන් ඇදුණේය.

“මං ජන්සිවලට ගියේ හවස් යාමයක. දරුවා ඉන්න පළාතට ඒ නගරේ ඉඳලත් තවත් කිලෝමීටර් සීයකට වැඩිය යන්න ඕනෑ. ඒ පළාත ඉතාම නොදියුණු මහා දුෂ්කර පළාතක්. පස්සෙ මං ජන්සිවල ක්‍රීඩා භාණ්ඩ කඩේකට ගියා බැට් එක ගන්න.” ඒ අතරතුරදී ඩිලන්ට නැවතත් පොලිස් ප්‍රශ්නයකට මුහුණපෑමට සිදුවිය.

“මං කඩිමුඩියේ බැට් එක තෝරමින් ඉන්නකොට එකපාරටම පොලිස් නිලධාරියෙක් කඩේට ඇවිල්ලා, ‘කාගෙද අර බයික් එක... වහාම ගන්නවා... අනං-මනං කතා....’ කියලා කෑගහනවා මට ඇහුණා. මං කිව්වා, ‘ආ ඒක මගේ’ කියලා. මං එච්චර ගණන් ගන්නෙ නැතිව බැට් පිත්ත තේරුවා. මං කඩේ ඉදිරිපිට නියමිත පරිදි වාහන පාර්ක් කරන තැනමයි බෲස් නතර කළේ.”

පොලිස් නිලධාරියාගෙන් දිගින් දිගටම එල්ල වන කරදරය නිසා දරුවාගේ අවශ්‍යතාව පසෙක දැමීමට ඩිලන්ට සිදුවිය. ඒ අනුව එළියටවිත් බැලූ ඩිලන්ට පුදුම සිතිණ.

“සාමාන්‍යයෙන් ඉන්දියානු ජනයාගේ ලක්ෂණයක් තමයි එකෙක් දෙන්නෙක් මොකක්හරි කුණු ගොඩක් දිහා වුණත් කමක් නෑ හැරිලා බැලුවොත්... පස්සෙ ලොකු-පොඩි, උගත්-නූගත් භේදයක් නෑ හැම එකාම පොදි ගැහිලා ඒ දිහා බලාගෙන ඉන්නවා. මෙතනත් වෙලා තිබුණෙ එහෙම දෙයක්. සෙනඟ සූ ගාලා පිරිලා බයික් එක ගැන එක විපරමයි. සමහරු බයික් එකටත් නැඟලා. ඒ මදිවට වාහනවල යන අයත් ‘ස්ලෝ’ කරගෙන බලාගෙන ඉන්නවා. එක ජංජාලයයි.”

“අරන් යනවකෝ මේක. මෙතනනම් තියන්න බෑ. කවුරුහරි ලොකු කෙනෙක් ගියොත්. මගේ රස්සාවත් ඉවරයි.” ඒ අතරේ පොලිස් නිලධාරියා ඩිලන්ට මහ හඬින් කෑකෝ ගසයි.

“ඇත්ත එතැන පාරේ ලොකු තදබදයක්...” ඉන්දීය ජනයාගේ ගතිසොබා ගැන තරහින් පිපිරෙමින් සිටි ඩිලන්ගේ පිහිටට ඒ අතරේ පැමිණියේ වෙළෙඳසලට පැමිණි තරුණයෙකි.

“ඒ කොල්ලා කිව්වා, ‘අපේ ගෙදර මේ ළඟ තියෙන්නෙ. එහෙනම් එහෙට සයිකලේ දාලා එමු’ කියලා.” චතුර ලෙස ඉංග්‍රීසි භාෂාවද හැසිරවිය හැකි එම තරුණයාද නංවාගත් ඩිලන් විදුලි වේගයෙන් තරුණයාගේ නිවෙස වෙත ඇදුණේය. ඉන්පසු යළි තරුණයාත් සමඟ වෙළෙඳසලට පැමිණ ක්‍රිකට් පිත්ත තෝරද්දී තරුණයාට දුරකථන ඇමතුමක් ආවේය.

“ඒ පාර කොල්ලා මට කියනවා... ‘අපි යං... අපි යං... ඉක්මනට ගෙදර යං...’ කියලා මං ඇයි කියා ඇහ‍ුවම කොල්ලා නෝක්කාඩුවකට වගේ ඉක්මනට ගෙදර යං කිව්වා. කොල්ලා මට ගහන්නත් එනවා... මම ‘ටක්’ ගාලා බැට් එකකුත් අරගෙනම ආවා... ඔන්න ටික දුරක් ඇවිදගෙන එනකොටයි ‘සීන්’ එක දැක්කෙ. පොලිස්කාරයෝ දෙන්නෙක් බෲස් තල්ලු කරනවා. ඒක පස්සෙන් හරියට නිකං පෙරහරක් වගේ සෙනඟ පන්සීයක් විතර දිගට එනවා... මං කිව්වනේ ඉන්දියන්කාරයන්ගේ හැටි... මං දුවගෙන ගිහින් පොලීසියේ අයට කිව්වා, ‘අනේ... මේ... මේක මගේ බයික් එක... කොහේද මේ අරන් යන්නෙ’ කියලා. එවුන් දෙන්න මගේ ඇඟට කඩාපැන්නා... පොලීසියේ දෙන්න බාගෙට මැරිලා වගේ... මොකද බෲස්ගේ බර දන්නෙ මමනේ. ඒක පුදුම බරක්.”

මේ අතරේ පොලිස් නිලධාරිහූ දෙදෙන තමන් වටා සිටි සෙනඟට දිගට-හරහට පහර දෙන්නට පටන් ගත්හ. ඒ අතරේ ඩිලන් බෘෘස් පිට නැඟී විදුලි වේගයෙන් නොපෙනී ගියේ හින්දි චිත්‍රපට දසුනක් මවමිනි.

“මට හිනා... මේ සයිකලයක් නිසා වෙච්ච ජරමරයක් කියලා. පොලිසියේ දෙන්නට දැන් බයික් එකක් ගැන මතක නෑ. සෙනඟට තඩි බානවා. මං බලෙන්ම බයික් එකට නැගලා විදුලි වේගෙන් සෙනඟ අස්සෙන් දාලා යන්ඩ ගියා... එච්චරයි...”

එදින වූ ජරමරය නිසා දරුවා බැලීම පසු දිනට කල් දමා ඩිලන් ජන්සියේ රැය පහන් කළේය. පසුදා වර්ල්ඩ් විෂන් අය මුණ ගැසීමට ඩිලන් ගියේ ක්‍රිකට් පිත්තද රැගෙනය.

“එතෙන්ට ගියාම ඒ මිනිස්සු මගෙන් අහනවා... ‘ඇයි ඔයා ඊයේම ආවේ නැත්තෙ...’ කියලා. මං ඇහැව්වා, ‘මේ... මේ... ඔයාලා කොහොමද මං ඊයෙ ආව විත්තියක් දන්නෙ’ කියලා. ‘ඇයි ඔයා ගැන ඊයේ රෑ ටීවි එකෙයි, රේඩියෝ එකෙයි නිවුස්වලට ගියේ. මහ අමුතු බයික් එකක්ද මොකක්ද අරන් ඇවිල්ල ලොකු ගාලගොට්ටියක් කරලා‍‍‍... ට්‍රැපික් වෙලා... නගරේ ලොකු ප්‍රශ්නයක් වෙලා...’ කියලා.”

ඒ වදන් ඇසූ ඩිලන්ට උඩ-බිම බැලුණේ ඉබේටමය. 

 

 

Comments