සිත සිතා ඉන්නට කාලයක් නැත ඩෙංගු සටන ගෙද­රින්ම අර­ඹමු | සිළුමිණ

සිත සිතා ඉන්නට කාලයක් නැත ඩෙංගු සටන ගෙද­රින්ම අර­ඹමු

ලෝකය දකින්නට වැර දරන පුංචි කිරි කැටියෙකුගේ වියෝවින් වැලපෙන පියෙකුගේ අඳෝනාවක් මා නෙත ගැටුණේ මේ ලිපිය ලියන්න මොහොතකට පෙරය. විවාහයෙන් සත් වසරක් යනතුරුත් දරු පෙම අහිමිව කදුළු වැගිරවූ ඔහුට දරු සුරතල් බලන්නට දෛවය ඉඩ දුන්නේ වසර එක හමාරක් පමණි. ඒ මවටත් පියාටත් නැවතත් ඒ සදාකාලික වේදනාවට පියමං කරන්නට වූයේ හිත් පිත් නොහඳුනන ඩෙංගු මදුරුවකුගේ ලේ පිපාසාව නිසා ය.

“ මගේ දරුවා හරීම ලස්සනයි. ඒ වගේම නිරෝගීයි. විවාහ වෙලා අවුරුදු හතකින් ලැබුණු මේ දරුවා අපි බලා ගත්තේ ඇහැක් වගේ. දරුවට මැස්සෙක් තියා මදුරුවෙක්වත් වහන්න අපි ඉඩ තිබ්බේ නැහැ.

ඒත් අපිට හොරෙන් ආපූ මේ කාලකන්නි මදුරුවා අපේ සම්පත අපෙන් උදුරා ගෙන ගියා.” ඒ පියා තවමත් වැලපෙන්නේ ය. මෙලෙස ඩෙංගු රෝගය නිසා සිය දූ දරු නෑසියන් අහිමිව වැලපෙන්නෝ එක් අයෙක් දෙදනෙක් නොවේ. ඩෙංගු නිසා අකාලයේ සිදුවූ මරණ දෙසිය ගණනක් අතරින් විවිධ වූ සංවේදි කතා දිනෙන් දින අපේ සවනත වැටෙන්නේ ඩෙංගු මදුරුවාට විරුද්ධ සටනකට අපේ සිත් පිත් අවදි කරමිනි.

අපේ ජීවිත නිදහසේ ගලා යෑමට අපට ඇවැසිය. එසේනම් අපි කුමක් කරමුද? පුංචි ඩෙංගු මදුරුවාට විරුද්ධව මහ සටනකට පිවිසෙන්නට අද අපට සිදුවී ඇත්තේ ය. ඒ අපේ දරුවන් බේරා ගන්නටය. නොඑසේනම් අපේ මව හෝ පියාගේ ආදරය රැකවරණය තවදුරටත් අපට ලබා ගන්නටය. එසේත් නැත්නම් ඔබේ බිරිය හෝ ස්වාමියා රැක ගන්නටය.

ඉවක් බවක් නොමැතිව මිනිස් ජීවිත බිලි ගන්නට මාන බලා සිටින්නාවූ මේ වසංගතයේ අක්මුල් අප විසින්ම සිඳ බිඳ දැමිය යුත්තේ ය. ඒ කෙසේද? කොයි ආකාරයෙන්ද? අපි අනුන්ගේ කුණු දකින්නට කැමැති ය. එහෙත් අපි අපේ කුණු දකින්නට අකමැති ය. අනුන් දෙසට අප එක් ඇඟිල්ලක් දිගු කරනා විට අනිත් ඇඟිලි සතර අප දෙසට දිගු වී ඇති බව දකින්නට අපේ ඇස් අන්ධය. අද මේ සා ව්‍යසනයකට අපට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ ඒ නිසාය.

ඔබේම මේ පුංචි අතපසු වීම හෙට ඔබේ දරුවාට, මවට, පියාට හෝ නෑසියන්ට සදාකාලික වේදනාවක්ම විය හැකි ය. ලේ පිපාසිත පුංචි මදුරුවාගෙන් ඔබට එවන් වේදනාවක් උරුම වුවහොත් එය ඔබේ ජීවිත කාලයම සදාකාලික අඳුරේ ගිල්වීමකි. රටක් දකින්නට ලොවක් දිනන්නට ඔබට ඇවැසි ය.

ඔබේ දුවට පුතාට ලොවක් තනන්නට වෙර දරණ ඔබට මේ පුංචි මදුරුවකු නිසා ආපසු හැරී දුවන්නට ඇවැසි නැත. අප වැනි සම්පත් දැනුම් නොතිබූ රටවල පවා මේ පුංචි මදුරුවා පැරැද්දවූයේ නම් මේ සා ව්‍යසනයකදි අපට කරන්නට ඇත්තේද අපේ ශක්තිය මදක් හෝ කැප කිරීම පමණි. රටක් මහා වසංගතයක් බවට පත්කළ මේ ඩෙංගු මදුරුවා රජයන්නේ ඔබේ නිවෙසේ නම්, නැතිනම් ඔබේ රැකියා ස්ථානයේ නම් නොඑසේනම් ඔබේ දරුවාගේ පාසලේ නම් මදුරුවා බෝවිය හැකි පරිසරය වෙනස් කරන්නට ඔබට ගත වන්නේ ඉතා සුළු මොහොතකි.

ඔබේම නිවෙස පිරිසුදු කර ගන්නට ඔබට හැකිනම්, ඔබේම ගෙවත්ත පිරිසුදු කර ගන්නට ඔබට හැකිනම් ඔබ මේ මදුරු වසංගතයෙන් ජයගත්තා වෙයි. ඩෙංගු, ඩෙංගු යැයි කියමින් හඬා වැලපීමට අපට කාලයක් නැත. දෙවරක් සිතන්නටද කාලයක් ඉතිරිව නැත.

හොඳින් ඉගෙන ගත් ඔබ පාරේ තැන තැන කුණු දමා යන විට ඒ කුණු එකතු කරන්නේ ඔබ තරම් ඉගෙන ගත්තකු නොවේ නම් ඔබේ ඉගෙනීමෙන්ද ඵලක් නැති බව ඔබ තේරුම් ගත යුතුය. මෙහොතක් ඔබ ඔබේ නිවෙස ගැන සිතන්න. රැකියාවෙන් පසු නිවෙසට යන ඔබට කාලයේ මදිපාඩුකම් බොහෝ ය. එහෙත් ඔබ උදේ තබා යන නිරාවරණය වූ වතුර භාජනය ඉවත් කරන්නට ඔබට කාලයක් ඇවැසි නැත. ගෙදර පූසාට හෝ බල්ලාට හෝ ගෙවත්තේ කුරුල්ලන්ට හෝ තබා ගිය වතුර භාජනය සවසට පිරිසුදු කරන්නට ඔබට අමතර වෙහෙසක් ඇවැසි නැත. හිස් පොල්කට්ටක් හෝ බෝතල් මූඩියක් රඹුටන් ලෙල්ලක් හෝ බිත්තර කට්ටක් හෝ ඔබේ ගෙවත්තේ ඇත්තම් එය ඔබේ නිවෙසේ ආදරණීයන්ට මාරයා අතවැනීමක් බව සිතන්න. ඔබේ නිවාඩු දිනයේදී ඔබට කරන්නට බොහෝ දේ ඇත්තේය. එහෙත් ඒ සියල්ලම රඳන්නේ ඔබේ දරුවාගේත් මවගේත් පියාගේත් බිරියගේත් ස්වාමියාගේත් නිරෝගිකම මත ය. එ් නිසා ඒ සියලු දේ මොහොතකට අමතක කරන්න.

ඔබ සියලු දෙනා වෙනුවෙන් නිවාඩු දිනයේ වරුවක් ගෙවත්තේ ඇවිදින්න. වත්තේ අලංකාරයට ඔබ වැවූ උණ ගසක් ඇත්නම්, උණ පුරුක් කපා ඉවත් කළ බෙණ ඇත්නම්, අලංකාරය ගැන සිතා වැවූ වතුර රැඳෙන ගස් කොළං ඇත්නම් ඒ ගැන සැලකිලිමත් වන්න. නිවෙසේ අලංකාරයට සාදා ඇති නාන කාමරය මෙන්ම ගෙවත්තේ අතහැර දැමූ ඔබේ පරණ වැසිකිළිය ගැන මදක් අවධානය යොමු කරන්න. ගෙවත්තේ ඇති තේ හැන්දක ප්‍රමාණයේ ජලය රැදෙන අබලි ද්‍රව්‍ය ඇත්නම් එය ඉවත් කිරීම ඔබේ යුතුකමක් වන්නේ ය. කොළ වැටී අපිරිසුදු වන ඔබේ ගෙවත්ත දිනපතා පිරිසුදු කරන්නට , පුලුස්සා සියලු කුණු ඉවත් කරන්නට ඔබට හැකිනම් අනික් අය දෙසට එක ඇඟිල්ලක් නොව ඇඟිලි පහම යොමු කිරීමට ඔබට හැකි ය.

මෙතරම් ව්‍යසනයකට රට පත්ව තිබියදීත් තම නිවෙස හා අවට පිරිසුදු කරගන්නන් තවමත් සිටින්නේ සියයට10 ක් බව මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සොයාගෙන ඇත.

එසේම මදුරු විකර්ශකයක් භාවිතා කරන්නෝද ඇත්තේ සියයට 5 ක් පමණි. අතහැර දමා ඇති බෝට්ටු මුහුදු කරයේ ඩෙංගු පැතිරීම වැඩි වීමට හේතුව බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අපේ මේ අඩුව අද දුර දිග ගොස් ඇත්තේ ජාතික ව්‍යසනයක් කරාය. වෙනෙකකු පැමිණ අප ගෙවත්ත පිරිසුදු කරනු බලා සිටීම අප කෑ පිඟාන අනුනට සේදීමට දීමක් බඳුය.

අපේ අතපය හොඳට තිබේනම්, දරු මල්ලන් ගේ දොර ගැන සැබෑ කැක්කුමක් අපට වේනම් මේ මහා ව්‍යසනයට තිත තබන්නට, පුංචි මදුරුවා පරද්දන්නට අපට හැකිවිය යුතුය. ඔබ ඔබේ නිවසේ වැහි පීලි, ඇස්බැස්ටස් ෂීට් කෙරේ පමණක් නොව අල්ලපු වත්තේ පිරිසුදුතාව ගැනද සහතිකයක් දෙන්නට තරම් ඔබ මානුෂික විය යුතුය. ඔබේ නිවෙස වටා දැලක් එළා, ඔබ නිවෙස හා නිවැසියන් රැක ගන්නට කිසිදා ඔබට හැකිවන්නේ නැත.

මේ මහා ව්‍යසනයට තැනක් නොතැනක් නැත. කලක් වේලාවක්ද නැත. පිරිසුදුකම ඇත්නම් ඔබ සුරක්ෂිතය. එහෙත් ඔබ ඔබේ දරුවා නිවෙසේම රැඳී සිටින්නේ නැත. අවශ්‍ය වන්නේ නොබියව මුහුණ දෙන ශක්තියයි.

ලා උණක් ගැණුනත් ඔබ එය ඩෙංගු යැයි අනුමාන කරයි නම් ඔබට අනතුරක් වීමට ඇති අවදානමද යම්තාක් දුරකට අවම වේ. ඩෙංගු වැලඳුණත් යළිත් ඩෙංගු වෙනත් ප්‍රභේදයකින් වඩා දරුණූ ලෙස වැලඳෙන්නට පුළුවන. මේ උවදුර තුරන් කරන තෙක් මේ මහා ව්‍යසනයෙන් බේරිමට මඟක් නැත්තේ ය.

යම්කිසි ලෙසකින් ඔබට ඩෙංගු වැලඳුණහොත් ඔබේ නිවෙසේ හෝ අවට තවත් ඩෙංගු රෝගීන් තුන් හතර දෙනෙකු සිටිය හැකි බව මතක තබා ගත යුතුය. මන්ද එක් අයකු සිටිය හොත් එය රෝගය බෝවන ස්ථානයක්ද වන නිසා ය.

ළා උණක් ඇත්නම් ඔබේම වෛද්‍යවරයා හමුවට යෑමද සියලු කටයුතු පසෙක ලා විවේක ගැනීමද අත්‍යවශ්‍ය දෙයකි. ඩෙංගු ඇන්ටිජන් පරික්ෂාව පමණක් සියයට සියයක් තහවුරු කර ගැනීම ප්‍රමාණවත් නොමැති බව වෛද්‍යවරු පවසති. ඒ සමඟම සම්පූර්ණ රුධිර පරීක්ෂාවක්ද කර ගැනීම අත්‍යවශ්‍යය.

උණක් ගැනී වෛද්‍යවරයකු ළඟට යන ඔබ තමන්ට වේදනානාශක හෝ ප්‍රතිජීවක ඔෟෂධ දී ඇත්දැයි නැද්දැයි යන්න විමසීමට ශක්තිය තිබිය යුතු වන්නේ පැරසිටමෝල් වැනි ඖෂධයක් විනා වෙනත් ඔෟෂධ මේ රෝගයේදි නුසුදුසු වන නිසා ය.

ඩෙංගු වැලඳීම නිසා ජීවිතයෙන් සමුගත්තවුන් යන්නට ගියේ අපට පාඩමක්ද ඉතිරි කරමිනි. ඔබට මේ වෙනුවෙන් කරන්නට බොහෝ දේ ඇත්තේ ය. අපි අපේ වත්ත පිටිය පිරිසිදු කර ගන්නට වෙහෙසමු. ඒ උපන් බිමට ඔබ වැඩි නැති නිසා ය. 

Comments