දූෂණ විරෝධි හඬට මුවා වන සුනාමි වංචාව

 බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මතු වූ ‘දූෂණ විරෝධය’ ජාතික තලයේ මතවාදයක් තෙක් ප්‍රචලිත විණි. බැඳුම්කර ගනුදෙනුව ගැන විමසන්නට පත් කළ ජනාධිපති කොමිසම විසින් මේ සංවාදයට දොරටු විවර කරන ලදි. කතා කිරීමේ නිදහස අර්ථවත් කරමින් දැන් මේ ගැන ගම්දනව් සිසාරා කතා වෙයි. සොරකමට ඉඩ නොදීම ගැන මෙන් ම සොරකමට දඬුවම් හිමි වීම ගැන ද වාද විවාද කෙරේ. මේ කතාබහට හේතුව සම්මුති ආණ්ඩුවේ යහපාලන ක්‍රියාදාමය නිසා රටට ලැබුණු දේශපාලන නිදහස යි. ඒ මිස දූෂණ වංචා සිදු වන්නේ මෙකල පමණක් වීම නිසා නො වේ. පෙර ආණ්ඩුව ජනතාවගෙන් ප්‍රතික්ෂේප වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපෑවේ ද දූෂණ වංචා චෝදනා ය. එකල අද මෙන් මේ ගැන ප්‍රසිද්ධ කතාබහක් සිදු වූයේ නැත. මැති ඇමැතිවරුන් පෙනි-පෙනී ම එවැනි දේට පැටලී සිටියත් විශ්වාසභංග ගෙන ඒම වැනි දේ එදා සිහින පමණක් විණි. මහාපරිමාණ වංචා දූෂණවලට එරෙහි ව මෙකල මෙන් ප්‍රසිද්ධියේ හඬ නැඟීමට මොන ම ඉඩක් වත් නො විණි. එහෙත් අද තත්ත්වය මුළුමනින් ම වෙනස් ය. එසේ වූයේ සම්මුතිවාදි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ම දූෂණ විරෝධි වූ බැවිනි; යහපාලන පිළිවෙත එය වූ බැවිනි. ඒ මිස මේ ජාතික සංවාදය ඇති වූයේ ආණ්ඩුවට එරෙහි පිලෙන් ඉදිරිපත් වූ විශ්වාසභංගය හෝ එවැනි කණ්ඩායමක බලපෑම නිසා හෝ ඒකාබද්ධ විපක්ෂය ලෙස හඳුන්වා ගන්නා කණ්ඩායමේ ඝෝෂාව නිසා හෝ නො වේ.

නොබෝ දිනකින් ආණ්ඩුව පෙරළන බවට වහසි බස් පවසන, දූෂණ විරෝධි හඬේ එල්ලී ගත් පෙර ආණ්ඩුවේ ප්‍රබලයන්ව සිටි දේශපාලකයන් සිය හඬ එසේ අවදි කර ඇත්තේ අවංක ව ද යන්න අවධානයට ගැනීම වැදගත් ය. මේ අය දූෂණ විරෝධීන් ලෙස හැසිරෙන්නේ වෙනත් මඟකින් මහජන මතය දූෂණය කිරීමට බව පෙනේ. තමන් පිට වැටෙන්නට නියමිත දූෂණ වංචා චෝදනා වෙනින් අතකට හරවන්නට මෙසේ රඟපාන බව නිසැක ය. ‘නයා දෂ්ඨ කළා’, ‘දැන් අමතකයි’, ‘කවුද කෙනෙක් මැණික් පොට්ටනියක් දුන්න’, ‘මම දන්නෙ නෑ’ වැනි යෙදුම් නීතියෙන් රිංගා යෑමට භාවිත කරන ඉණිමං ලෙස හඳුන්වා දුන්නේ පෙර ආණ්ඩුවේ දේශපාලකයන් ය. එවැනි දූෂිතයන් නිරුපද්‍රැත කරන්නට එකල ඉහළ ම දේශපාලන රැකවරණ සැලසුණා මිස වංචා දූෂණ මැඬලන්නට ඉඩක් දුන්නේ නැත. දූෂිතයන්ට අවශ්‍ය ලෙස නීතිය නමා ගෙන තිබිණි. සම්මුති ආණ්ඩුව වෙහෙසෙන්නේ ඒ දේශපාලන කුණු කඳු නිසා රටට වන විනාශය වැළැක්වීමට යි.

හැකි හැම අවස්ථාවක ම වංචාවකට හෝ දූෂණයකට හෝ මඟ පාදා ගැනීම පුද්ගල මට්ටමේ සිට ආයතනික අවස්ථා තෙක් මෙරට සමාජයේ වැඩුණු වැරදි පුරුද්දකි. ඒ සම්බන්ධයෙන් හෙළි වූ යමකට හෝ පුද්ගලයකුට හෝ ගල් ගසන්නට අනෙක් සියලු දෙනා එක් පැත්තකට පැමිණ සුදනන් ලෙස පෙනී සිටීම ද ඊට සාපේක්ෂ ව පොදු කාරණයකි. දේශපාලකයන් විසින් දිගින් දිගට ම පොහොර දමනු ලැබ, පෝෂණය කළා වූ ඒ දරුණු රෝගයෙන් ශ්‍රී ලාංකික සමාජය සුවපත් කර ගැනීම ද සම්මුති ආණ්ඩුවේ ප්‍රතිපත්තියට අයත් ය. ඒ වෙනුවෙන් ඇති කළ යුතු ආකල්පමය වෙනස ද සුළු පටු නො වේ. සොරාගේ කණ්ඩායමක් හෝ සොරු කණ්ඩායමක් හෝ විසින් ‘අන්න සොරා’ යැ යි කියා, සොරකු අල්ලන්නට ඉදිරිපත් වන තැනැත්තකු හෝ නීතිය හෝ දෙසට ඇඟිල්ල දිගු කරන අවදානමට, මෙහි දී සම්මුතිවාදි ආණ්ඩුව ද පත් වන බව සැබෑ ය. විප්ලවයට වඩා ඇතැම් විට ප්‍රතිවිප්ලවය දරුණු විය හැකි බැවින් සම්මුතිවාදි ආණ්ඩුව ඒ අභියෝගයට මුහුණ දිය යුතු වෙයි.

කාලයට සාපේක්ෂ ව ගත් කල හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මඟහැරුණු අවස්ථාවක් කල් ඉකුත් වූවාට පසු යාවත්කාලීන වීමකි. කලාපයේ වෙළෙඳ වරායකට තරගකරුවන් කිහිප දෙනකු ම ශක්තිමත් වූවාට පසු හෙවත් වාණිජ වටිනාකම තහවුරු කර ගන්නට තිබුණු කාලය ඉක්ම ගියාට පසු, හම්බන්තොට වරාය ඉදි කෙරුණේ ‘උපරිම කොමිස් මුදල් සඳහා දැවන්ත ව්‍යාපෘති’ යන ඉලක්කය පෙරදැරි ව බව රහසක් නො වේ. මෙරට ඉංග්‍රීසි පාලනයෙන් නිදහස ලබන විට ආර්ථික ව බොහෝ පසුපසින් සිටි සිංගප්පූරුව හැදූ වරාය වැනි ආසියාවේ දියුණු වරායන් ඉදි කරන්නට පෙර හම්බන්තොට වරාය ඉදි කළේ නම් එය ප්‍රායෝගික ව ම රටට දැනෙන ආශ්චර්යයක් වනු ඇත. නියමිත කාලයේ එය රටට මඟහැරුණේ වැඩේට වඩා වංචාව හෝ දූෂණය හෝ දේශපාලකයන්ට ප්‍රමුඛ වීම නිසා බව මේ මතු වී ඇති දූෂණ විරෝධි සංවාදයේ දී අවධානයට ගත යුතු යි.

පොදු යහපත, ආර්ථික සමෘද්ධිය වැළකී යෑමට බලපෑ, මඟ ඇහිරීම වෙනුවෙන් පෙනී සිටින සමාජ ආකල්පය කොතරම් පසුගාමි ද යන්න හම්බන්තොට සිද්ධියකින් ම දැක්විය හැකි යි. ඒ අන් කිසිවක් නො ව; මහා සුනාමි විපතින් ගොඩ ඒම පිණිස රටට ලැබුණු ආධාර ගසාකෑ මහ දවල් වංචාව දේශපාලන ව ඉහළ නැඟෙන්නට ද රට පාලනය කරන්නට ද සුදුසුකමක් වීම යි. මෙවැනි ජන සමාජයක දී යහපාලනය යථාර්ථයක් බවට පත් කිරීම ආශ්චර්යයකි. සම්මුතිවාදි ආණ්ඩුවට පැවරෙන වගකීම ඒ අනුව කොතරම් දුෂ්කර ද යන්න අමුතුවෙන් කිව යුතු නැතත්, රටක් ලෙස නැඟෙන්නට නම් යහපාලනය ස්ථාපිත කිරීම හැර වෙනත් විකල්පයක් නැත. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.