ලොවම නිහඬ කළ තත්පර 9.92 | සිළුමිණ

ලොවම නිහඬ කළ තත්පර 9.92

මට විශ්වාසයි

පරාජයක් මේ පාරත් සිද්ධ වෙන්නේ නෑමයි.

සදහට ම වේගවත් යන උද්යෝග පාඨය සහිතව ලන්ඩන්හි පැවැත්වෙන දහසයවැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා උළෙලට එක් වූ සුපිරි කෙටි ධාවන ශූර යුසෙන් බෝල්ට් සිය අවසන් මීටර් 100 තරගයට පෙර මාධ්‍යවේදීන් හමුවේ දැඩි අදිටනින් කියනවා.

ඒත් මිනිස්සු එහෙ-මෙහෙ කතා වෙන්න පටන් අරගෙන මට රේස් එක ෂුවර් නෑ කියලා. මම ඒ ගැන තමයි හිත හිත ඉන්නේ.

විරුවන් ඇවැසි සමාජයක විරුවකු නික්මෙනවා.

සෑම විරුවකුගේ වීරත්වය, වීරත්වයෙන් නිම වෙනවාද?

වීරත්වයෙන් යන්න සිතීම බරක් නෙවෙයිද?

මේ ඔබ බලාපොරාත්තු වු බෝල්ට්ගේ අවාසානයද?

බෝල්ට්වත් මේ දේ බලාපොරොත්තු වූවාද?

සෑම පරාජිතයකුටම ජයක් අහිමිද?

ගැට්ලින්ට නැතිවෙන්න දෙයක් තිබුණේද?

ගැට්ලින්ට මේ මීටර් 100 බරක් වුණාද?

අතීතයේ පරාජයන් වැලක හිමිකරුවකු වූ ගැට්ලින්ට මෙය පරාජය වූවානම් එයත් කජ්ජක්ද?

සිය අවසන් කේවල තරගයත් (මීටර් 100 - මීටර් 200 තරග කළේ නැත. 12 දා මීටර් 100ය4 සහාය දිවීමේ තරගය) ජය ගනිමින් ජයග්‍රාහිව පිටියෙන් නික්ම යාමට බලාපොරොත්තු තබා ගෙන සිටි බෝල්ට්ගේ එකී තරගයේ තිර පිටපත තත්පර 9.92 කින් ඉරා දැමූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජස්ටින් ගැට්ලින් රන් පදක්කම් දිනා ගනිද්දී, ඇමෙරිකාවේම ක්‍රිස්ටියන් කෝල්මන් තත්. 9.94 කදී රිදී පදක්කම දිනා ගත් අතර ලෝකයේ වේගවත්ම මිනිසා යන විරුදාවලිය දිනා සිටි යුසෙන් බෝල්ට් තත්. 9.95 කින් ලන්ඩන් ඔලිම්පික් ධාවන පථයේ අවසන් රේඛාවේ සිය පාද සටහන තබා තිබුණේ ලෝකඩ පදක්කමට හිමිකම් කියමින්ය.

මේක අසම්පූර්ණයි

මීටර් 100 ඉසව්වේ දේශීය (ජැමෙයිකාවේ) සහ ජාත්‍යන්තරයේ සුපිරි තරුව වූ බෝල්ට් පරාජය කරමින් ගැට්ලින් ලද ජය අංග සම්පූර්ණ කතාවක් නොවන බව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ තරගයෙන් පසුව පැවැසීය. දෙවතාවක් ක්‍රීඩා පිටිය තහනම් වූ පුද්ගලයෙක් මේ වගේ දිදුලන තෑග්ගක් අරගෙන යාම ගැන විරුදාවලි ගයන කෙනෙක් නෙවෙයි මම. කෝ වැඩිදුරටත් පවසයි. ඒත් ගැට්ලින්ට මෙතැනට එන්න අයිතිය තියෙනවා.

පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදීම බෝල්ට් වෙත ප්‍රබල ලෙසම අභියෝග කරමින් සිටි ගැට්ලින් පසුගිය සෙනසුරාදා (2017.08.05) සිය අපේක්ෂාව මුදුන්පත්කරගත් නමුත් ප්‍රේක්ෂකාගාරයෙන් එතරම් සුබපැතුමක් එක් නොවුණි. තරගාරම්භයට පෙර සිටම ගිගුම් දුන්නේ යුසෙන් බෝල්ට් පමණි. 2001 සහ 2006 තහනම් උත්තේජක භාවිතය නිසා ගැට්ලින් තරග තහනම්වලට ලක්විය.

කප්පරක් වූ සිය මතභේදාත්මක ක්‍රීඩා ඉතිහාසයේ කළු පැල්ලම තත්පර 9.92 කින් යටපත් කරගත් ගැට්ලින් තරගය අවසානයේ ධාවන පථයේ දණ නවාගෙන බෝල්ට්ට ආචාර කළ අතර, ක්‍රීඩා පිටියේ (ප්‍රේක්ෂකාගාරයේ) හුඟක් අය බෝලට් ගෙ නම කියලා හඬ නගන කොට මම මට කරන්න පුළුවන් උපරිම දේ කළා. ගැට්ලින් පවසයි.

තරගයේ අන්තිම හරියේ මාව හුඟක් හිර වුණා. ඒක මා අතින් නොවිය යුතු දෙයක්. ගැට්ලින් විශිෂ්ට ප්‍රතිවාදියෙක්. තරග ආරම්භය මාව මරා දැම්මා, බෝල්ට් පසුව පැවැසීය. ජාත්‍යන්තර (ඔලිම්පික් 08, ලෝක ශූරතා 11) රන් පදක්කම් 19 ක් දිනා සිටින බෝල්ට් මීටර් 100 - 200 සහ 100ය4 සහාය දිවීමේ තරගවල ලෝක වාර්තාවලටද හිමිකම් කියයි.

Comments