සල්ලි නේමාර්ව ලුහුබඳියි

ප්‍රශාන්ත ඇල්පිටිය

යුරෝපයේ ප්‍රධානතම වාර්ෂික අන්තර් සමාජ පාපන්දු තරගාවලිය පැවැත්වෙන්නේ චැම්පියන්ස් ලීග් කුසලානයටයි. මෙවර එනම් 2016 - 17 එහි අවසන් 08 වටයේදී ස්පාඤ්ඤයේ බාර්සිලෝනා සහ ප්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මෙයින් තරග කළේය. එහිදී බාර්සිලෝනා ජය ගනිමින් මීළඟ වටයට සුදුසුකම් ලැබීය.

එම ජයග්‍රහණයේ දී වැඩි දස්කම් දැක්වූයේ බාර්සිලෝනා පිලේබ බ්‍රසීලයානු ඉදිරිපෙළ ක්‍රීඩක නේමාර්ය. පසුගියදා 25 හැවිරිදි නේමාර් සිය සිවු වසරක බාර්සිලෝනා ක්‍රීඩා දිවියට සමු දුන්නේය. ඒ සමඟම නව කණ්ඩායමක් සමඟ ගිවිසුම් ගත වූචෙය්ය. එම කණ්ඩායම අන් කවරක් හෝ නොව පී. එස්. ජී. හෙවත් පැරිස් සෙන්ට් ජර්මෙයින්ය.

නේමාර් බාර්සිලෝනා සිට පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායමට එක්වූයේ යුරෝ මිලියන 222 ක මුදලකටයි. එය පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ කණ්ඩායමක සිට තවත් කණ්ඩායමකට ක්‍රීඩකයකු එක් වීමේදී පිරිනැමූ ලෝක වාර්තාගත මුදල වේ. මීට පෙර එම වාර්තාවේ හිමිකරුවා වූයේ ප්‍රංශයේ පෝල් පොග්බාය. ඔහු 2016 වසරේදී ඉතාලියේ යුවෙන්ටස් සිට එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ්ට එක් වූයේ යුරෝ මිලියන 105 ක මුදලකටයි.

මෙහි තෙවැනි තැන වේල්සයේ ගැරෙත් බේල්ටය. ඔහු එංගලන්තයේ ටොටන්හැම් හොට්ස්පර් සිට ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ්ට සම්බන්ධ වූයේ යුරෝ මිලියන 100 ක මුදලකටය. ඒ 2013 වසරේදීය. පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝට එහි සිවුවන තැනය. ඔහුගේ මුදල යුරෝ මිලියන 94 කි. ඒ මැන්චෙස්ටර් යුනයිටඩ් සිට රියල් මැඩ්රිඩ්ට එක්වූ විටදීය. ඒ 2009 වසරේදීය.

පස්වන තැන ආර්ජන්ටිනාවේ ගොන්සාලෝ හිගුවෙයින්ටය. 2016 වසරේදී හෙතෙම ඉතාලියේ නාපොලි (නැපොලි) සිට යුවෙන්ටස්ට සම්බන්ධ වූයේ යුරෝ මිලියන 90 ක මුදලකටය. නේමාර්ට පෙර මෙම වසරේ වැඩිම මුදලකට කණ්ඩායමකට එක්වූයේ බෙල්ජියමේ රොමෙලියු ලුකාකුය. එම මුදල යුරෝ මිලියන 85 කි. ඔහුගේ පැරණි කණ්ඩායම එංගලන්තයේ එවර්ටන්ය. නව කණ්ඩායම මැන්චෙස්ටර් යුනයිටඩ්ය.

මෙම නව ගිවිසුමට අනුව නේමාර්ට වසරකට යුරෝ මිලියන 45 ක මුදලක් හිමි වෙයි. ඒ අනුව සතියක ඔහුගේ ආදායම යුරෝ 865,000 කි. පැරිස් සෙන්ට් ජර්මෙයින් කණ්ඩායම පිහිටු වූයේ 1970 වසරේදීය. එහි වත්මන් හිමිකරුවෝ වනුයේ කටාර් ස්පොර්ට්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමයි. ප්‍රංශයේ ප්‍රධානතම ලීග් තරගාවලියේදි මෙවර අනුශූරයෝ වූයේ ද මෙම කණ්ඩායමයි.

බොහෝ පාපන්දු ක්‍රීඩා ලෝලීන්ට මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රධාන ගැටළුවක් තිබිණි. එනම් නේමාර් බාර්සිලෝනාවෙන් ඉවත්වීමට බලපෑවේ කුමන හේතුවක් ද යන්නය. ඒ ගැන පාපන්දු විචාරකයන් පවසන්නේ ලයනල් මෙසි නිසා නේමාර්ගේ දක්ෂතා ඉස්මතු නොවන බවයි. මෙසී තවත් වසර කිහිපයක් සඳහා බාර්සිලෝනා සමඟ යළිත් ගිවිසුම්ගත විය.

"මට විශාල අභියෝගයක් අවශ්‍යයි. පැරිස් සෙන්ට් ජර්මෙයින් සමාජයටත් එහි හිමිකරුවන්ටත් එම බලාපොරොත්තුව තිබෙනවා. මෙම කණ්ඩායමට ශූරතා රැසක් හිමිකර දීම සඳහා මගේ දායකත්වය උපරිමව ලබා දෙනවා." නේමාර් පවසයි.

නේමාර් බාර්සිලෝනා කණ්ඩායම සමග නව ගිවිසුමකට සම්බන්ධ වූයේ ගිය වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඒ වසර පහක් සඳහාය. නේමාර්ගේ ඉවත්වීම පිළිබඳව බාර්සිලෝනා ක්‍රීඩා සමාජයේ වත්මන් සභාපති ජෝසෙප් මරියා බාර්ටොමියු දරනු ලබන්නේ මෙවැනි මතයකි. "2016 වසරේදී නව ගිවිසුමට අත්සන් කරන විටත් ඔහු ඉවත්ව යන බවට සැක පහළ වුණා. ඔහුට (නේමාර්ට) ඕනෑ විදිහට හැම දෙයක්ම කරන්න හොඳ නැහැ. එවැනි හැසිරීමක් අපි බාර්සිලෝනා ක්‍රීඩකයකුගෙන් අපේක්ෂා කරන්නේ නැහැ. පසුගිය වසර හතරක කාලය තුළදී නේමාර් බාර්සිලෝනා සමාජයේත් එහි සාර්ථකත්වයේත් කොටසක්. නමුත් ඉවත් වීම ඔහුගේ තීරණයක්. ඔහුව රඳවා ගැනීමට කළ හැකි සෑම දෙයක්ම අපි කළා. කොහොම වුණත් දැන් ඔහු අයිති අතීතයටයි."

නේමාර් ඩා සිල්වා සැන්ටොස් කනිෂ්ට 1992 වසරේ පෙබරවාරි මස 05 වැනිදා උපත ලැබීය. ඔහුගෙ උස අඩි 5 අඟල් 9 කි. මීට පෙර හෙතෙම වෘත්තීයමය මට්ටමින් බ්‍රසීලයේ සැන්ටොස් කණ්ඩායමට ක්‍රීඩා කළේය. ඒ 2009 - 13 දක්වාය. එහිදී තරග 103 කදී ගෝල් 54 කි. 2013 - 17 දක්වා බාර්සිලෝනා වෙනුවෙන් තරග 123 කි. ගෝල් 68 කි. එමෙන්ම එම කණ්ඩායම සමඟ ප්‍රධාන කුසලාන 07 ක්ද දිනුවේය. ඊට එක් චැම්පියන්ස් ලීග් සහ ලා ලීගා (ස්පාඤ්ඤ ප්‍රධාන ලීග්) ද්විත්ව ශූරතාද අයත්ය.

නේමාර් ජාත්‍යන්තරව ක්‍රීඩා කරන්නේ 2010 වසරේ සිටය. එහිදී තරග 77 කදී ඔහු ගෝල් 52 ක් රැස් කර ගෙන තිබේ. හෙතෙම 2014 ලෝක කුසලාන තරගාවලියේ සිවුවැනි තැන හිමිකරගත් බ්‍රසීල කණ්ඩායමේත් සාමාජිකයෙකි. එමෙන්ම ඔලිම්පික් ක්‍රීඩා උළෙලහිදී 2016 රන් සහ 2012 දී රිදී පදක්කමක් ද හිමිකර ගත්තේය. මින් 2016 දී නායකයාත් වූයේය.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.