ස්ටීවන් මුවර් වොලබිස් අතහරියි | සිළුමිණ

ස්ටීවන් මුවර් වොලබිස් අතහරියි

මෙම වසර මුලදී ඔස්ට්‍රේලියානු රග්බි සංගම් ජාතික කණ්ඩායමේ නායක ස්ටීවන් මුවර් සිය ක්‍රීඩා දිවියේ අනාගතය පිළිබඳ මෙසේ පැවසීය. "ලබන ලෝක කුසලාන තරගාවලිය තෙක් ක්‍රීඩා කරන්න මම බලාපොරොත්තු වෙනවා."

තවත් මාස කිහිපයක් ගත විය. ඔහු මීට සති කිහිපයකට පෙර රග්බි ක්‍රීඩා ලොව පුදුමයට පත් කළේය. ඒ මෙම වසර අගදී තමන් ජාත්‍යන්තර තරග පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟිනි.

"මම මේ තීරණය ගත්තේ සෑහෙන්න කල්පනා කිරිමෙන් පසුවයි. ඊළග ලෝක කුසලානයට සූදානම් වීමට මීළඟ නායකයාටත් කණ්ඩායමටත් අවස්ථාවක් අවශ්‍යයි. එමෙන්ම යොවුන් ක්‍රීඩකයන්ටත් ස්ථාවර වීමට කාලයක් ගත වෙනවා. ජගත් තරග වලින් ඉවත් වුවත් සමාජ මට්ටමින් තව කාලයක් ක්‍රීඩා කිරීමට මම බලාපොරොත්තු වෙනවා." 34 හැවිරිදි මුවර් පැවසීය.

ස්ටීවන් මුවර් ඉතා සාර්ථක ක්‍රීඩකයකු මෙන්ම නායකයකු ලෙසටත් සැළකෙයි. විශේෂයෙන්ම ක්‍රීඩා පිටිය තුළදී මෙන්ම ඉන් පිටතදීත් සාමකාමී පුද්ගලයකු ලෙසට හෙතෙම සැළකෙයි. ඔහු නායකත්වය දැරූ කාලයේ ඔස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම සාර්ථක මට්ටමක සිටියේය. ඊට පෙර තිබූ කණ්ඩායම්වල මෙන්ම සුපිරි තරු රැසක් එවිට සිටියේ නැත.

එසේ වුවත් ලෝක කුසලාන අනුශූරතාව කරා ඔවුන්ව රැගෙන යාමට මුවර්ගේ නායකත්වයට හැකි වූයේය. ඒ එංගලන්තයේදී පැවැති 2015 තරගාවලියේදීය. එහි අවසන් තරගයේදී නවසීලන්ත 'ඕල් බ්ලැක්ස්' පිල ලකුණු 34 - 17 කින් ඔස්ට්‍රේලියාව පරාජය කළේය. එය ලෝක කුසලාන රග්බි අවසන් තරගයකදී වාර්තා වූ වැඩිම මුළු ලකුණු සංඛ්‍යාවයි.

මුවර් ක්‍රීඩා කළේ හුකර් හෙවත් ඉදිරිපෙළ ක්‍රීඩකයකු ලෙසටයි. මේ වන විට රග්බි සංගම් ක්‍රීඩා ඉතිහාසයේ වැඩිම ටෙස්ට් තරග ගණනකට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් අතර 10 වන තැන හිමිවීම ඔහුගේ සාර්ථකත්වයට කදිම නිදසුනකි.

(1) රිචී මැකෝ (නවසීලන්තය) 2001 - 15 තරග 148

(2) බ්‍රයන් ඕ ඩ්‍රිස්කොල් (අයර්ලන්තය/බ්‍රිතාන්‍ය ලයන්ස්) 1999 - 14 141

(3) ජෝර්ජ් ග්‍රිගන් (ඔස්ට්‍රේලියාව) 1994 - 07 139

(4) ජෙතින් ජෙන්කින්ස් (වේල්ස් / බ්‍රිතාන්‍ය ලයන්ස්) 2002 - 134

(5) කෙවෙන් මියලාමු (නවසීලන්තය) 2002 - 15 132

(6) රොනන් ඕ ගාරා (අයර්ලන්තය / බ්‍රිතාන්‍ය ලයන්ස්) 2000 - 13 130

(7) වික්ටර් මැට්ෆීල්ඩ් (දකුණු අප්‍රිකාව) 2001 - 15 - 127

(8) සර්ජියෝ පැරිසේ (ඉතාලිය) 2002 - 126

(9) බ්‍රයන් හබානා (ද. අප්‍රිකාව) 2004 - 124

(10) ස්ටීවන් මුවර් (ඔස්ට්‍රේලියාව) 2005 - 120

 

ස්ටීවන් මුවර් ඉතා අපුරු ක්‍රීඩකයෙකි. ස්ටීවන් තෝමස් මුවර් උපත ලැබුවේ 1983 වසරේ ජනවාරි මස 20 වැනිදාය. ඒ සවුදි අරාබියේ කාමිස් මුෂ්හයිට් ප්‍රදේශයේදීය. මෙම නගරය සවුදි අරාබියේ අගනුවර වන රියාද් සිට කිලෝ මීටර් 884 ක දුරකින් පිහිටා තිබේ.

මුවර්ගේ මවුපියන් අයර්ලන්ත ජාතිකයන්ය. ඔහුගේ පියා වෛද්‍යවරයෙකි. මුවර් පවුල 80 දශකයේ මැද භාගයේදී අයර්ලන්තයට නැවත ගියහ. පසුව 1988 වසරේදී ඔවුහු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට ගියහ. එවිට මුවර්ගේ වයස අවුරුදු 05 කි.

ඔහු රග්බි ක්‍රීඩාව තෝරා ගත් පසුව ක්‍රම ක්‍රමයෙන් කුවින්ස්ලන්ත ප්‍රාන්තයේ කණිෂ්ඨ තරගවලින් ඉදිරියටම ගියහ. මේ අතර හෙතෙම කලක් සිය පියා මෙන්ම වෛද්‍යවරයකු වීම සඳහාත් කුවින්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවේය. නමුත් අවසානයේදී වෙදනලාව අත්හැර රග්බි පන්දුව ගත්තේය.

ඔහුගේ දක්ෂතා පාසල් සහ ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19 න් පහළ තරගවලදීද දක්නට ලැබුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් 2003 සහ 2004 වසරවලදී වයස අවුරුදු 21 න් පහළ ලෝක ශූරතාවලියන්ටත් ක්‍රීඩා කළේය. පසුව ඔහුට ඔස්ට්‍රේලියානු ඒ කණ්ඩායමේ දොරටු විවර විය.

අඩි 6 අඟල් 1 ක් උසැති මුවර් මංගල ජාත්‍යන්තර තරග වරම් ලැබුවේ 2005 වසරේදීය. මේ වන විට ඔහු ටෙස්ට් තරග 120 කදී ලකුණු 40 ක් රැස් කරගෙන සිටියි. ඊට 2007, 2011 (තෙවැනි තැන) සහ 2015 ලෝක කුසලාන තරගාවලියන් ද අයත්ය. ඔහු ඔස්ට්‍රේලියානු නායකයා ලෙසට 2014 - 17 දක්වා ක්‍රියා කළේය. එහිදී තරග 26, ජය 15, පරාජ 11, ජයග්‍රාහි ප්‍රතිශතය සියයට 57.69 කි.

මීට අමතරව කුවින්ස්ලන්ත රෙඩ්ස්, බ්‍රම්බීස් (ඔස්ට්‍රේලියාව) සහ බාර්බේරියන්ස් (බ්‍රිතාන්‍යය) යන කණ්ඩායම්වලටත් ඔහු සමාජ මට්ටමින් ක්‍රීඩා කළේය. සෑම වසරක්ම අවසානයේදී විවිධ ක්‍රීඩා හරහා දක්ෂතා දැක්වූ ක්‍රීඩා තරු විශ්‍රාම ගනු ලබති. එම පිරිසට ස්ටීවන් මුවර් ද මෙම වසරේදී එක්වනු ඇත. ඒ රග්බි ක්‍රීඩාවෙනි.

Comments