අපි ඔක්කොම රජවරු නෙමෙයි රජහොරු! | සිළුමිණ

අපි ඔක්කොම රජවරු නෙමෙයි රජහොරු!

 ඉස්සර ඇළේ දොළේ කිමිදිලා නාපු අපි දැන් රෑට ටෙලි නාට්‍යවලට කිමිදිලා නානවා...

‘කොයි හොරු අහු වුණත් ඒ හොරු නම් අහු වෙනඑකක් නෑ.’

‘ඉස්සර හොරකම් ගැන කතා කරන කොට කතා කළේ හාරලක්ෂේ මංකොල්ලෙ, පොඩි විජේගේ හාල් මෝල් මංකොල්ලෙ ගැන. ඒත් දැන් හොරකම් කිව්වාම කතා කරන්නේ දේශපාලනඥයන්ගේ හොරකම් ගැන.’

‘දේශපාලනඥයෝ හොරු වෙලාද? හොරු දේශපාලනඥයෝ වෙලාද?’

‘ඒ වුණත් මට නම් හිතෙන්නේ අපි ඔක්කොම රජහොරු කියලා.’

‘මං මේ කියන්නේ අපේ ගමේ ඔය හොරකම් කරපු හොරා ගැන.’

‘මීට අවුරුදු තිස්පහකට ඉස්සෙල්ලා අපි තුන්වේලටම නෑවේ කුඩා ඔයේ.’

(හීනෙන් දකින දේවල් හා හිතන දේවල් එතරම් තර්කානුකූල හා පැහැදිලි නැති නිසා මෙවන් වාක්‍ය ගැන එතරම් කලබල විය යුතු නැත)

‘වෙල් යාය, ඕවිටේ පිට්ටනිය වගේ ම කුඩා ඔයත් අපේ ජීවිතේ කොටසක් වුණා. ගොඩ කෙළි වගේ ම දිය කෙළිත් ජීවිතේ කොටසක්.’

‘සමහර කාලවලට ටිකක් අඩු වුණත් දවස් තුන්සිය හැටපහේම කාටත් නා-කියාගන්න පුළුවන් විදිහට ඔයේ වතුර ගලාගෙන ගියා...’

‘ඒත් දැන් මේ ඔයේ නාන්න වතුර නෑ. ගමේ අය ඔය අතෑරලා දාලා. ඔය පාළු වෙලා. කුඩා ඔය දැන් ජීවිතේ ොටසක් නෙමෙයි. ගංවතුර කාලෙට විතරයි වතුර ගලාගෙන යන්නේ. අනෙක් කාලෙට ඔය හිඳිලා. අපේ කුඩා ඔය හොරකම් කළේ කවුද?’

‘අපේ ගමේ විතරක් නෙමෙයි, රටේ බොහෝ ගංගා ඇළ වේළි දිය ඇලි අද වෙන කොට නෑ. ඒවා හොරකම් කළේ කවුද?’

‘සංවර්ධනයට ඩෙංගු මදුරුවෝ ඇති වෙනවා. ගංගා නැති වෙනවා.’

‘අපේ ලංකාවේ ඇළ දොළ හොරකම් කළේ කවුද?’

‘දියුණුව, සංවර්ධනය කියලා පසුගිය අවුරුදු පනහට හැටට වෙච්ච ලොකුම දේවල්වලින් එකක් තමයි ගංගා ඇළ දොළ හිඳෙන-එක, කඳුවැටි වනාන්තර කැපෙන-එක’

‘රටේ ලස්සන හොරකම් කරලා...’

‘වනාන්තර කඳුවැටි අපි හොරකම් කරලා...’

‘ගංගාවල වැලි හොරකම් කරලා මන්දිර ගහනවා...’

‘අපි ඔක්කොම රජවරු නෙමෙයි අපි ඔක්කොම රජහොරු!’

‘මේ හොරකමට අපි ඔක්කොම හවුල් නිසා, කවුරු වත් ඒවා ගැන කතා කරන්නේ නෑ.’

‘බැඳුම්කර හොරු එළි වුණත් මේ රජහොරු කවදා වත් හෙළි වෙන්නේ නෑ...’

මේ වගේ දේවල් දැන් හිතන්න පුළුවන් හීනෙන් විතරයි.

එදා දවල්ට ගංගා ඇළ දොළවල කිමිදිලා නාපු අපි දැන් රෑට ටෙලි නාට්‍යවල කිමිදිලා නානවා. ඉති ඇළ දොළත් සිඳී යන තුරු අපි ටෙලි බලබලා ඉඳීවි. 

Comments