හරිත විප්ලවය, තිරසාර විප්ලවය හා සමාජ විප්ලවය | සිළුමිණ

හරිත විප්ලවය, තිරසාර විප්ලවය හා සමාජ විප්ලවය

 තවමත් නිශ්චිත හේතුවක් සොයාගෙන නැතිමුත් රජරට හා ඉන් ඔබ්බට පැතිරෙමින් තිබෙන වකුගඩු රෝගය සමාජ ව්‍යසනයක් බවට පත්ව ඇත. බොහෝ අය විවිධ මත පළ කරන අතර එක් ප්‍රබල පිරිසක් කෘෂි රසායන, රසායනික පොහොර භාවිතය ඊට හේතුව පවසති. වකුගඩු රෝගයට හේතුව අවිනිශ්චිත වුවත් රසායනික පොහොර හා රසායනික ද්‍රව්‍ය භාවිතය බොහෝ සෙයින් ඉහළ ගොස් තිබීම නම් සත්‍යයකි.

කෘෂිකාර්මික කටයුතුවලදී නිර්දේශිත පොහොර ප්‍රමාණයන් ඇතත් ගොවීන් බොහෝවිට පෙලඹෙන්නේ අධික මාත්‍රාවකින් ඒවා භාවිත කිරීමටය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය උඩරට එළවළු ගොවීන්ගේ රසායනික පොහොර භාවිතය සම්බන්ධයෙන් කළ පර්යේෂණයකදී හෙළි වී ඇත්තේ නිර්දේශිත ප්‍රමාණයන්ට වඩා තුන්-හතර ගුණයක ප්‍රමාණයක් ඔවුන් භාවිත කරන බවයි.

කෘෂිකාර්මික කටයුතුවලදී නිර්දේශිත මාත්‍රාවන් ඉක්මවා පොහොර හා රසායනික ද්‍රව්‍යය භාවිතයට ගොවීන් පෙලඹෙන්නේ අධික අස්වැන්නක් බලාපොරොත්තුවෙන්ය. එහෙත් ගොවීන් නොදන්නා කරුණ වන්නේ මාත්‍රාව වැඩි වීමට සමාන්තරව අස්වැන්න වැඩි නොවන බවයි. නිර්දේශිත රසායනිකද්‍රව්‍ය භාවිතය ඉක්මවන්නට සමාන්තරව බරපතළ පරිසර විනාශයක් සිදු වනවා හැරෙන්නට හා ගොවීන්ගේ මුදල් සමාගම්කාර පොහොසතුන් අතට පත් වීම හැරෙන්නට වෙනත් යමක් සිදු නොවන බව ගොවීන් තේරුම් ගත යුතුය.

රසායනික පොහොර හා රසායනික ද්‍රව්‍ය භාවිතය කෘෂිකාර්මික කටයුතුවලදී ශීඝ්‍රයෙන් ඉහළ ගියේ හැටේ දශකයේ ක්‍රියාත්මක වූ හරිත විප්ලවය සමගිනි. කාර්මික විප්ලවයෙන් පසු ධනේශ්වර නිෂ්පාදන ක්‍රමය විශාල ලෙස පුළුල් වීමත් සමග මිනිසාට ජීවත් වීම සඳහා පැවැති අවකාශයන් පුළුල් විය. ඒ අලුත් අවකාශය තුළ ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය විය. වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර සැපයීම අභියෝගයක් වූ අතර, ආහාර සුරක්ෂිතාව යන සංකල්පය සමාජය තුළ බරපතළ ලෙස කතාබහට ලක් විය.

ලෝකය පුරා ආධිපත්‍යයික බලය දරා සිටි ධනේශ්වර ක්‍රමයට එල්ල වූ අභියෝගයට මුහුණ දුන්නේ හරිත විප්ලවය හඳුන්වා දෙමිනි. එම සංකල්පය තුළ ඉලක්ක කළේ වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර සුරක්ෂිත කිරීමයි. ඒ සදහා නිෂ්පාදනය පුළුල් කිරීමේ උපක්‍රමික වැදගත්කම තේරුම් ගනිමින් විවිධ මානයන් ඔස්සේ කෘෂිකාර්මික නිෂ්පාදනයන්ගේ ප්‍රමාණය ඉහළ නංවාගැනීමට සැලසුම් කෙරිණි. හරිත විප්ලවය සාර්ථක වූයේ වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර සංචිත ගබඩා කර තැබීමට තරම් නිෂ්පාදනය ඉහළ නංවාගනිමිනි.

එහෙත් මේ වන විට හරිත විප්ලවයේ අහිතකර බලපෑම් සමාජය බරපතළ විනාශයකට තල්ලු කරමින් සිටී. විශේෂයෙන් රසායනික පොහොර හා ද්‍රව්‍යමය භාවිතය නිසා පරිසර පද්ධතියේ තුල්‍යතාවට විශාල අභියෝගයක් එල්ල වී ඇති අතර, ඒ නිසා පෙරළා ලැබෙන ප්‍රතිලාභ සමාජයට හානිකර වී ඇත. මේ අලුත් තත්ත්වය ලෝකයේ තිරසර පැවැත්මටද එල්ල කර ඇත්තේ බරපතළ අභියෝගයකි.

ලෝකයට අභියෝගයක් එල්ල වන සැම අවස්ථාවකම මිනිස් දැනුම් පද්ධතිය විසින් අලුත් තත්ත්වයක් ජනනය කරගැනීම තාර්කික භාවිතයක් පවතී. වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර සොයාගැනීමේ අභියෝගයට හරිත විප්ලවය මිනිස් දැනුම් පද්ධතිය මගින් හඳුන්වා දුන් පරිදිම ඒ හරිත විප්ලවය සමාජයට විනාශයක් ගෙන එන විට අලුත් තත්ත්වයක් නිර්මාණය කිරීම මිනිස් දැනුම් පද්ධතියේ රාජකාරියයි. ඒ අනුව මේ මොහොතේද හරිත විප්ලවයට විකල්පයක් නිර්මාණය කරගැනීමේ හදිසි අවශ්‍යතාවක ලෝකයා සිටී.

ධනේශ්වර ක්‍රමය තුළ අලුත් දේවල් නිර්මාණය වන්නේ වෙළෙඳපොළ අවශ්‍යතාව මතය. හරිත විප්ලවයේ දායද වෙළෙඳපොළට කරන්නා වූ බලපෑම මත අලුත් විප්ලවයක් කරා ලෝකයා තල්ලු කිරීමේ වගකීම රඳා පවතී. ඒ අනුව පවතින ක්‍රමය වෙළෙඳපොළට දරාගැනීමට නොහැකි වූ මොහොත තුළ ලෝකයා අලුත් තත්ත්වයකට තැන් මාරුවක් ලබාගන්නේය. එවිට හරිත විප්ලවයට වඩා පරිසර හිතකාමී දැනුම් පද්ධතියකින් ආහාර සුරක්ෂිතතාව තහවුරු වන ගමන්ම ලෝකයේ තිරසාර පැවැත්මද තහවුරු වන නව තත්ත්වයක් නිර්මාණය වීම ස්ථිරය.

කෘෂිකාර්මික කටයුතුවලදී පාංශු ජීවීන් ආශ්‍රයෙන් කරන පර්යේෂණ නවමු අත්දැකීමක් ලබා දෙමින් ලෝකය පුරා ව්‍යාප්ත වෙමින් සිටින්නේ එම අලුත් ලෝක තත්ත්වයට ගැළපෙන්නට මෙනි. කෘෂිකාර්මික කටයුතුවලදී පසට අවශ්‍ය නයිට්‍රජන් ජනනය කිරීම පාංශු ජීවීන් ආශ්‍රයෙන් සිදු කළ හැකිය. එම පර්යේෂණවල ප්‍රතිඵල මේ වන විටද වෙළෙඳපොළට ලැබෙමින් පවතී. එසේම පොස්පරස් පසට උරාගැනීමේ හැකියාව වර්ධනය කරන පාංශු ජීවීන් ද සිටින අතර, ඒ ආශ්‍රිත පර්යේෂණද කෙරෙමින් පවතී. මේ සෑම පර්යේෂණයක්ම හරිත විප්ලය මගින් නිර්මාණය කළ තත්තව ඉක්මවා යන අලුත් ලෝකයක් නිර්මාණය කිරීමට දායක වෙමින් පවතී.

ධනේශ්වර ක්‍රමය දියුණු ලෝකයක් නිර්මාණය කරයි. ඒ සීමාව කරා යන්නේ ලෝකය වෙළෙඳපොළ තුළින් සංවර්ධනය කරමිනි. ඒ සංවර්ධනයට බරපතළ සීමා පවතී. අලුත් හා සාධාරණ ලෝකයක් නිර්මාණය කිරීමේ සමාජ විප්ලවය තුළ ඒ ධනේශ්වර සංවර්ධනය මඟහැර යා නොහැකිය.

අබරන් 

Comments