කරන කලට පව් මීරිය මීසේ!

 විදේශ ඇමැති රවි කරුණානායක මහතා කේන්ද්‍ර කරගනිමින් උද්ගත වූ දේශපාලන කැලඹීම මෑතකදී මේ රටේ දේශපාලන ක්ෂේත්‍රය පමණක් නොව මුළු රටම උඩු යටිකුරු කළ සංසිද්ධියක් බව නිසැකය. මෛත්‍රී-රනිල් සම්මුති ආණ්ඩුවේ ප්‍රබල ක්‍රියාකාරකයකු මෙන්ම 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ සිදු වූ දේශපාලන පෙරළියේද ප්‍රධාන භූමිකාවක් නියෝජනය කළ චරිතයකට එල්ල වූ චෝදනාවලියද සරල හෝ පහසුවෙන් ලිස්සා හැරීමට හැකි දෙයක් නොවන බවද ආණ්ඩුවේ ප්‍රධානීන් මෙන්ම පක්ෂ දෙකෙහිම ජ්‍යෙෂ්ඨයෝද වටහාගෙන සිටියෙ.

මෛත්‍රී - රනිල් ආණ්ඩුව පෙරළා දමා ආණ්ඩුවක් හදන බවට පුරසාරම් දොඩන ඒකාබද්ධ විපක්ෂයද නව පණක් ලද්දා සේ මේ සිද්ධියෙන් ඔදවැඩී සිටිද්දී ආණ්ඩුවේම මිත්‍ර කණ්ඩායවලින් ප්‍රකාශ වූයේ මේ පිළිබඳව ජනතාවගේ අභිමතය අනුව ක්‍රියා කළ යුතු බවය. ආණ්ඩුවේ ප්‍රබල පාර්ශ්වකරුවකු වන එජාපය මේ ප්‍රශ්නයේදී බලවත් කම්පනයකට ලක් වූ බව නිසැකය. එසේම ශ්‍රීලනිපයේ බොහෝ දෙනකුගේ අදහස වුයේ මෙහිදී ජනාධිපතිවරයා තීන්දුවක් ගත යුතු බවය.

ජ.වි.පෙ. ඇතුළු ආණ්ඩුවේ සමහර විවේචකයන් කියා සිටියේ හොරුන් ඇල්ලීමට ජනතාව විසින් තෝරා පත් කරගන්නා ලද ආණ්ඩුවත් දැන් හොරුන් විසින්ම අල්ලාගෙන සිටින බවය. තවත් පිරිසක් ප්‍රකාශ කළේ එදා රටම හොරකම්, මැරකම් හා දූෂණ, භීෂණ ආදියෙන් නන්නත්තාර කළ කම්බා හොරුන්ම අද මේ රජයට හොරකම් පිළිබඳව ඇඟිලි දහයම දිගු කරමින් සිටින බවය! තවත් සමහරුන් කියා සිටියේ මේ ආණ්ඩුවත් එදා රාජපක්ෂ යුගයේ රට විනාශය කරා ඇදගෙන ගිය අයත් අද එකිනෙකාට චෝදනා කර ගැනීම හරියටම මුට්ටියේ කළුපාට ගැන හට්ටිය හිනාවීමක් හා සමාන බවය. ඒ කථාවද ඇත්තකි.

දේශපාලන පරිහානිය

අද මේ රටේ ඇති වී තිබෙන දේශපාලන (අ)සංස්කෘතිය කාගේ නිර්මාණයක්ද? හොරුන්, දූෂිතයන්, අපරාධකාරයන් රකිමින් නීතිය අතට ගත්, යුක්තිය සාධාරණය පමණක් නොව ප්‍රජාතන්ත්‍රවාදයේ බොහෝ සිමා මායිම් ඉවත දමමින් මේ රට පාලනය කළෝ කවරහුද? සකල විධ දුෂණ ක්‍රියාකාරකම් ඉටු කරමින් පමණක් නොව ස්ත්‍රී ධූර්තකයන් සල්ලාලයන් සාද පවත්වමින් රටේ සදාචාරය තඹයකට මායිම් නොකරද්දී අහක බලාගෙන ඒ සියලු ජඩකම් වීරකම් ලෙස කවට සිනාවෙන් නොතකා හැරියෝ කවරහුද?

2015 ජනවාරි 08 වැනිදා වන විට මේ රටේ පැතිර තිබුණු දේශපාලන (අ)සංස්කෘතිය හා සදාචාරය කෙබඳුදැයි අද බොහෝ දෙනකුට අමතකව තිබේ. මෛත්‍රී ජනාධිපතිවරයාට භාර වූයේ එබඳු ගර්භිත අරාජික රටකි. දේශපාලන වශයෙන්, සදාචාරත්මක වශයෙන් පමණක් නොව නීතිය, යුක්තිය, ප්‍රජාතන්ත්‍රවාදය වල්වැදී තිබුණු රටකි. ඒ රටේ පුරවැසියන්ට ඒවා සාමාන්‍ය දේවල් නොවුවත් ඒ පුරවැසියෝ ඒවායින් අසීමිතව කම්පා වූහ. ඒ කම්පනයේ ප්‍රතිඵලය වූයේ ඒ පාලනය පෙරළාදමා අලුත් නායකයකුට රට භාර කිරීමය.

රට භාර කළ ඒ නායකයාට රට පාලනය කිරීම සඳහා යොදා ගැනීමට සිදු වූයේද ඒ පැරණි ක්‍රමයේම අඩු-වැඩි වශයෙන් එකතු කරගත් පිරිසකගෙන් ගොඩනගාගත් ආණ්ඩුවකින්ය. මෛත්‍රී ජනාධිපතිවරයාට සිය ගමන සිතැඟි ලෙස යෑමට අසීරු වූයේද ඒ සඳහා කැප වූ පිරිස් අඩු වීමත්, ඔවුන්ගේ දේශපාලන මනදොළ සපුරා ලීමට සිදුවීමත් නිසාය. පහුගිය ආණ්ඩුවේ සිටි හොරුන් වංචනිකයන්, දූෂිතයන් අල්ලා නීතිය ඉදිරියට ගෙන ඒමට මෛත්‍රී ජනාධිපතිවරයාට මෙන්ම රනිල් අගමැතිවරයාට කොපමණ අවශ්‍ය වුවත් තවමත් ඒ කාර්යය ඉටු කරගැනීමට නොහැකි වී තිබේ. පසුගිය කාලයේ මේ රටේ සිදු වී ඇතැයි කියනු ලබන සකලවිධ දූෂණ වංචා, හොරකම් මෙන්ම නීති විරෝධී ක්‍රියා එකක්වත් තවම නිසි ලෙස තහවුරු කරගැනීමට මේ ආණ්ඩුවට නොහැකි වී තිබේ. ආණ්ඩුව ඇතුළෙන්ම හොරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පස්සට අදින අය සිටිත්ද? නො එසේ නම් පවතින නීති රාමුව තුළ හොරුන්ව කොටු කරගැනීමට බාධා තිබේද? එසේත් නොවේ නම් ඒ හොරකම් සිදු කළ හොරුන්ගේ ශූර කපටි බුද්ධිය අනුව සංවිධානාත්මකව ඒ ක්‍රියා සිදු කර තිබේද?

සම්මුති අණ්ඩුව

මේවායින් නිවැරදි හේතුව කුමක්ද යන්න අපට කිව නොහැකිය. එහෙත් අවුරුදු දෙකකටත් වැඩි පාලනයක් නිමවා තිබිදයදීත් ජනතාව අපේක්ෂා කළ පරිදි හොරුන්ට එරෙහිව නීති ක්‍රියාමාර්ගයක් ගැනීමට ආණ්ඩුවට නොහැකි වී තිබෙන බව නම් අපට පෙනෙන සත්‍යයයි. තමන්ගේ බැංකු ගිණුම්වලට මිලියන ගණනින් මුදල් බැර වූ ආකාරය කීමට නොහැකි අය මෙන්ම පොදු දේපොළ මංකොල්ල කෑ අයද තවමත් නිදැල්ලේ, සුවෙන් සැතපෙතියි ජනතාව කියන කථාවද ඇත්තය. හොරුන් ඇල්ලීම සම්බන්ධයෙන් ආණ්ඩුව ගෙන යන්නේ ඇල් මැරුණු ක්‍රියා මාර්ගයක් බව ආණ්ඩුවේම අය කියති.

මෛත්‍රී - රනිල් ආණ්ඩුව පිහිටුවා නොබෝ කලකින්ම ඇතිවූ විශාල අක්‍රමිකතාව ලෙස මහ බැංකු බැඳුම්කර සිද්ධිය දැක්විය හැකිය. එහෙත් ආණ්ඩුව ඒ සිද්ධිය යට වීමට ඉඩ හැරියේ නැත. චෝදනාවට ලක් වූ මහ බැංකු අධිපතිවරයා ඉවත් කර සිද්ධිය විමර්ශනය සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමටද මෛත්‍රී ජනාධිපතිවරයා පියවර ගැනීම අද බොහෝ දෙනකුට අමතකව තිබේ. එපමණක් නොව, ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ රවි කරුණානායකගෙන් පවා නොපැකිළව ප්‍රශ්න කිරීමට හැකි තරමට නීතිය ස්වාධීන වී තිබෙන්නේද මේ යහපාලන ආණ්ඩුව නිසා බව අද සමහරුන්ට අමතක වී තිබේ. රාජපක්ෂ යුගයේදි නීතිය කිරා වැටුණු ආකාරය මෙන්ම අසරණව බලා සිටි ආකාරයද අපට මතකය. එදා ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් නීතිය අතට ගෙන හැසිරුණු ආකාරය අපට මතකය. ජනමාධ්‍ය ආයතනවලට පහර දුන් අතර මහ සෙනඟ මැද මිනිසුන් ගස් බැන්ද ආකාරයද අපට මතකය.

මෛත්‍රී - රනිල් සම්මුති ආණ්ඩුව ඒ නීතිය බල ගන්වා තිබෙන ආකාරය අද රටේත් ජනතාවගේත් යහපතට හේතු වී තිබේ. සර්වබලධාරි විධායක නොහොත් මහාරජාණන් ලෙස ආසනාරූඪව සිටි රාජ්‍ය නායකයා පවා අද අධිකරණයට කැඳවිය හැකිය. නීතියට උඩින් අද කිසිවෙක් නොවෙති. මානව හිමිකම් සුරැකීම හා නීතියේ ආධිපත්‍ය රැකීම යන කරුණු නිසා අද ශ්‍රී ලංකාවට අන්තර්ජාතික බලපෑම්, ගර්ජන අඩු වී නොව නැති වී තිබේ. වනචාරි, ගෝත්‍රිකයන් බහුල රටක් ලෙස අපට වැදී තිබුණු හංවඩුව මකා ගැනීමටද මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ හේතු වී තිබෙන බව කිව යුතුය.

මේ ආණ්ඩුව පිරිසුදු රත්තරන් ආණ්ඩුවක්යැයි අපි නොකියමු. ආණ්ඩුවේ ඇමැතිවරුන්ට එල්ල වී තිබෙන චෝදනා ඉතා බරපතළය. ඒවා ලූනු බික්වලට සමාන කිරීමට අපි වෑයම් නොකරමු. එහෙත් අද තමන්ගේ කිසිදු පවක් නැතැයි රටට හඟවමින් මේ ආණ්ඩුවේ පව්කාරයන්යැයි තමන් සිතන අයට ගල් ගැසීමට මේ විවේචන කරන අයගෙන් කී දෙනෙක් සුදුස්සෝද යන්න නම් අපි නොදනිමු. හොරාගේ පක්ෂය, පාට තරාතිරම අපට වැදගත් නැත. අද හොරෙක් යැයි චෝදනා ලබන එකා එදා හොරෙක් සමග සසඳා හොරකමේ බර කිරන දේශපාලන තරාදිය අප පිළිගන්නේද නැත. හැම හොරොකුටම හිමි විය යුතු හිරගෙදර බව අපගේ පිළිගැනීමය. හොරුන්ට දේශපාලනය භාරදීම නරින්ට කුකුළන් භාරදීමක් බව අපි ඉඳුරාම කියමු. එහෙත් මේ රටේ හොරුන් රජුන් බවට පත් කරන දේශපාලන මෝඩයන් අඩු වන තෙක් මේ ක්‍රමය වෙනස් කිරීම දුෂ්කර බවද අපි දනිමු. මෛත්‍රී ජනාධිපතිවරයා පසුගිය දිනක රටටම කියා සිටියේ මේ රට දේශපාලන වශයෙන් කුණු වී තිබෙන බවය. එබඳු කුණු වුණු දේශපාලකයන්ගෙන් තවත් කුණු වූ ආණ්ඩුවක් සැදීමට තමන් කිසිවිටක සූදානම් නැති බව මෛත්‍රී ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ අද රටට වී තිබෙන නස්පැත්තිය අතැඹුලක් ලෙස දන්නා හෙයිනි. මෛත්‍රී ජනාධිපතිවරයා ප්‍රකාශ කරන ආකාරයට මේ රටේ තිබෙන කුණු වූ දේශපාලනයට වගකිව යුත්තෝද මේ රටේ දේශපාලනය මෙන්ම පක්ෂවලද නායකත්වය දැරූවෝ විනා මහජනතාව නම් නොවේ. හැබැයි දේශපාලනයේ මුල් යුගවල, පක්ෂවල සිටියේ හොඳ මහත්වරුන් බවද ඉතිහාසය අපට පෙන්වා දෙයි. 59දී බණ්ඩාරනායක අගමැති ඝාතනය සම්බන්ධයෙන් එවක නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ සිඩ්නි ද සොයිසාට චෝදනා එල්ල විය.

පදවි හැර යෑමේ ඉතිහාසය

ඔහු ඒ ආණ්ඩුවේ මුදල් ඇමැති ධුරය ඉසිලූ ස්ටැන්ලි ද සොයිසාගේ සහෝදරයෙක් විය. එහිදී තම සහෝදරයාට එල්ල වූ චෝදනාව නිසා මුදල් ඇමැති ධුරය ඉසිලූ ස්ටැන්ලි ද සොයිසා ඉල්ලා අස්විය. පසුකාලීනව ශ්‍රීලනිපයේම මුදල් ඇමැතිවරයකු වු ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකද සිය අයවැය යෝජනාවකට එල්ල වූ විරෝධයක් නිසා ඇමැති ධුරය හැරදමා ගෙදර ගියේය. එයින් පෙනෙන්නේද මේ යුගයට වඩා එදා දේශපාලනඥයන්ගේ හෘදයසාක්ෂිය ප්‍රබල බවය; දේශපාලනයේ සිටි බහුතරය මහත්වරුන් බවය. එජාපයේ සිටි අගමැතිවරයකු මෙන්ම කීර්තිමත් දේශපාලනඥයකුද වූ ඩඩ්ලි සේනානායක මහතාද තම හෘදයසාක්ෂියට එකඟව ඉල්ලා අස් වූ විශිෂ්ට නායකයෙකි. මේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ තිලක් මාරපන මහතාද තමන්ට එල්ල වූ දේශපාලන විවේචනයක් නිසා ඉල්ලා අස් විය.

ඒකාබද්ධයේ ඝෝෂාව

සත්තකින්ම දේශපාලනයේදී අපට තිබෙන එබඳු අගනා පූර්වාදර්ශ අද විනාශ වී ගොසින්ය. අද නිර්දය විවේචනයට ලක්ව සිටින රවි කරුණානායක ඇමැතිවරයාට එල්ල වී ඇත්තේ සුළුපටු චෝදනාද නොවේ. මහ බැංකු බැඳුම්කර වංචාව හා සම්බන්ධ සිද්ධිදාමය තුළ ඔහුගේ නම ගෑවීම සාමාන්‍ය දෙයක් නොවේ. මොනාක් සුපිරි මහල් නිවාසය සම්බන්ධයෙන් ඔහු විසින් කොමිසමට ලබා දෙන ලද පිලිතුරු කෙබඳුදැයි රටටම දනී. යහපාලනය වෙනුවෙන් පෙනී සිටින බව නිතරම කියන රවි වැනි දේශපාලන චරිතයක් පිළිබඳව ජනතාව සැක මුසුව බලද්දී තව දුරටත් ඔහුට කරබාගෙන සිටීම අසීරුය.

ඒ මොනවා වුවත් රවි කරුණානායක සිය ධුරයෙන් ඉල්ලා අස්වීම මේ ආණ්ඩුවේ ගෞරවයට මෙන්ම සදාචාරයටද හේතු වූ බව නිසැකය. මෙයට පෙරද රවි කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයෙන් ඔහු ගලවාගැනීමට ආණ්ඩුවට හැකි විය. එහෙත් එයින් ඇතිවු දේශපාලන පැල්ලම අදටත් මැකී ගොස් නැත. එහෙත් මෙවර නම් රවි බේරාගත යුතු නැත යන ස්ථාවරයේ වැඩි දෙනෙක් සිටි බවද කිව යුතුය. මෛත්‍රී ජනාධිපතිවරයා සිද්ධිය සැල වූ විගසම කියා තිබුණේ රවි ඉල්ලා අස් විය යුතු බවය. තම දේශපාලන සගයා රැකගැනීම අසීරු බව එජාපයද තේරුම් ගෙන තිබිණි. හතර වටින් විවේචන එද්දී රවි රැක ගැනීම අසීරු බවද ඔවුන්ට පසක් විය. එසේම තමන් කිසි විටෙක හොරුන් රැකීමට සූදානම් නැති බව එජාප නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද පැහැදිලිවම කියා තිබිණි.

හැබැයි ඒකාබද්ධයේ සිටින මහා ඝෝෂා නගන සමහරුන්ටද එල්ල වී තිබෙන්නේ සුළුපටු චෝදනා නොවේ. අද ඔවුහු ‘මං සුදනා’ න්‍යායෙන් වේදිකා දෙවනත් කරති. එහෙත් ඔවුන්ටද හෙට තමන් විසින් කරන ලද ‘කර්ම’ පඩිසන් දෙනු නැතැයි කිව හැකිද? සැඟවී අපරාධ කරන අයත්, නීතිය අතට ගෙන හොර මැරකම් දූෂණ වංචා කරන අයත් ජනතාව ඉදිරියේ නිරුවත් කරවීමට අද නීතියට බැරි නම් ස්වභාවධර්මය හෝ සූදානම් බවද මේ බොහෝ දේවලින් අපට පෙන්වා දෙන යථාර්ථය නොවේද? ධම්මපදයේ කියන්නාක් මෙන්ම පව්කාරයන්ට සැඟවී සිටිය හැකි තැනක් මේ මිහිපිට හෝ සමුද්‍රය මැද හෝ ලෝකයේ කෙළවර හෝ නැත. ඒ පව් කීවේ සමාජ විරෝධී අපරාධවලටය; දුසිරිත්වලටය. එසේ නම් අද සිදු වන්නේත් එයම නොවේද? ‘කරන කලට පව් මිහිරිය මී සේ’ යන සුභාෂිතයද මෙහිදි අපට සිහි වේ. මේ ආණ්ඩුව තුළ මෙන්ම මෑතකාලීනව තිබුණු බොහෝ ආණ්ඩු තුළද දේශපාලනය මහජන සේවයකට වඩා තමාත් තම සනුහරයත් මිත්‍ර සමාගම් ආදියත් ගොඩදාගන්නා ව්‍යාපාරයක් බවට පත් කරගත් අය සිටින බවද රහසක් නොවේ.

දේශපාලන බලය තිබෙන හැම විටම ව්‍යාපාරික බූවල්ලන් ඒ දේශපාලනඥයන් සමග ගොඩනගාගන්නා මිතුදම කෙබඳුදැයි කවුරුත් දනිති. ඡන්ද වැඩවලදී ව්‍යාපාරික අනුග්‍රහය ලබාගන්නා දේශපාලන චරිත ගැනද අපි දනිමු. එබඳු දේශපාලකයන්ට නීතිය, යුක්තිය, ජනතා සේවය වැනි දේ වැදගම්මකට නැති දෑ බවට පත් වීමද පුදුමයක් නොවේ.

රවි කරුණානායක ඇමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන චෝදනාවල ඇත්ත නැත්ත අපි නොදනිමු.

ඒවායින් නිදොස් වී තම නම මෙන්ම ආණ්ඩුවේ දේශපාලන චරිතයද පවිත්‍ර කිරීම ඔහුගේ කාර්යකි. මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ මේ වන විටත් අනාවරණය වී තිබෙන කරුණු බෙහෙවින් බරපතළය. මේ සිද්ධියට ගෑවී නම් කියැවී තිබෙන අයගේ දේශපාලන බැදීම්ද ඒ තරමටම බලවත්ය.

එහෙත් ඒ කිසිවක් නොතකා මෛත්‍රී ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාදාමයද අතිවිශිෂ්ටය. තමන්ගේ ආණ්ඩුවේ ප්‍රබල පාර්ශ්වකාර පක්ෂයේ සමීප සබඳකම් තිබෙන පුද්ගලයකු වුවද ඔහුට එරෙහිව සත්‍යය හා යුක්තිය වෙනුවෙන් විධිමත් පියවරක් ගැනීමට මෛත්‍රී ජනාධිපතිවරයාට ශක්තියක් තිබිණි. රවි කරුණානායක පිළිබඳ සිද්ධියේදීත් මෛත්‍රී ජනාධිපතිවරයා ගත් ක්‍රියා මාර්ගය විශිෂ්ටය. එසේම එහිදී ජනාධිපතිවරයාට සහාය පළ කරමින් තම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන රවි කරුණානායක සම්බන්ධයෙන් රනිල් අගමැතිවරයා ක්‍රියා කළ ආකාරයද පැසසිය යුතුය. මේ ආණ්ඩුව හොරුන් ඇල්ලීම අතහැර නැති බවත් තම පක්ෂයද කිසි විටෙක හොරුන් ආරක්ෂා නොකරන බවත් අගමැතිවරයා අවධාරණය කර තිබිණි.

නිදහස් අවකාශය

සැබැවින්ම අද ආණ්ඩුවේ ඇමතිවරයකු කොමිසමකට කැඳවා නීතිපති දෙපාර්තමෙන්තුවේ නිලධාරියකුට ප්‍රශ්න කිරීමට හැකි වී තිබෙන්නේද මේ ආණ්ඩුව ක්‍රියාත්මක කළ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ නිසා බවද සඳහන් කළ යුතුය. එසේම මෙහිදී සිහිපත් කළ යුතු තවත් කරුණක් තිබේ. එනම් මේ ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබෙන මහ බැංකු මගඩිය පිළිබඳව සත්‍ය අනාවරණය කරගැනීම සඳහා අවශ්‍ය දේශපාලන හා නීතිමය අවකාශය සලසා දුන් ආකාරයයි. ඇත්ත වශයෙන්ම මෛත්‍රී ජනාධිපතිවරයා විසින් මෙම ජනාධිපති කොමිසම පත් කළ අවස්ථාවේදී ජවිපෙ මෙන්ම ඒකාබද්ධයේ සමහරුන්ද කියා සිටියේ මේ කොමිසම ඒ පිළිබඳ සත්‍යය වසන් කිරීමේ උප්පරවැට්ටියක් බවය. දැන් ඒකාබද්ධයේ සමහරුන් කියන්නේ මේ කොමිසම ඔවුන්ගේ සටනක ප්‍රතිඵලයක් බවය. මෙයට කිව යුත්තේ ‘අහෝ!’ කියා පමණි.

කෑමට වුවමනා වෙද්දී කබරගොයන් තලගොයි කරන දේශපාලන න්‍යායාචාර්යන් ගැන අප ලජ්ජා විය යුතුය. රවි කරුණානායක ඉල්ලා අස් වූයේත් හෙට අනිද්දා අනිත් හොරුන්ගේ රෙදි ගැලවෙන්නේත් මෛත්‍රී ජනාධිපතිවරයාගේ අවංක හා අභීත දේශපාලන ක්‍රියාදාමයන් නිසා බවද මේ දේශපාලන විකටයන්ට අපි මතක් කරමු.

කෙසේ වුවද රවි කරුණානායක කේන්ද්‍ර කරගනිමින් උද්ගත වූ මේ දේශපාලන සංවාදය රටේ අනාගත දේශපාලනය පිළිබඳ යථාර්ථවාදී අපේක්ෂාවක් බවට පත් කරගැනීම ආණ්ඩුවේ වගකීමය. දේශපාලන වේදිකාවලින් ඇසෙන දූෂණ චෝදනා හෝ මාධ්‍ය සන්දර්ශනවලින් නිරූපණය කෙරෙන දේශපාලන සෙප්පඩ විජ්ජාවලින් හෙම්බත් වී සිටින ජනතාවට අවශ්‍ය ප්‍රතිරූපදේශයක් බව ආණ්ඩුව වඩ-වඩාත් තේරුම් ගත යුතුය. ඒකාබද්ධ විපක්ෂය කියන්නාක් මෙන් සම්මුති ආණ්ඩුවේ සියලු හොර තක්කඩි වැඩ රවි කරුණානායක පිටින් ඇරීමටද ඉඩ දිය යුතු නැත. එසේම ඒකාබද්ධයේ සිටින ශූර චෞරයන් අල්ලා නීතියේ ඉදිරියට පමුණුවා ලීමද ආණ්ඩුවේ වගකීමක් බව අවධාරණය කළ යුතුය.

 සුමේධ ජයබාහු

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.