අතිනූතන කෙටිකතාව පිළිබඳ ප්‍රගතිශීලි අදහසක් | සිළුමිණ

අතිනූතන කෙටිකතාව පිළිබඳ ප්‍රගතිශීලි අදහසක්

කතා කීමේ කලාව, වචන භාවිත කොට අදහස් ප්‍රකාශ කිරීමේ ආරම්භය දුරාතීතයේ පටන් පැවත එන්නක් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. නූතන කතා කලාව ද එසේ ආරම්භ වූ ජනකතාවේ ම වර්ධිත අවස්ථාවක් ලෙස සැලකිය හැකිව තිබේ. මහා භාරත කතා, ජාතක කතා, බයිබල් කතා, කැන්ටබරි කතා, ඊසොප්ගේ කතා ආදි රට රටවල විවිධ ස්වරූප ගනිමින් ව්‍යාප්ත වූ කතා කලාවේ ම ශාඛාවක් ලෙසින්, කෙටිකතා කලාව පසුකාලීනව වර්ධනය වූ බව ද, එහි විකාශය අද දක්වා ම අඛණ්ඩව සිදු වෙමින් පවත්නා බව ද පෙනී යයි. කෙසේ වුවත් අප නූතන කෙටි කතාව ලෙස හඳුනා ගන්නා කලාංගය ඊට ම සුවිශේෂී අනන්‍යතාවක් ප්‍රකාශ කරන කලාංගයක් වශයෙන් වර්ධනය වීම ආරම්භ වන්නේ, 19 වන සියවස මැද භාගයේ යුරෝපයේ බව, කෙටිකතා කලාවේ ආරම්භය පිළිබඳ අදහස් දක්වන බොහෝ විද්වතුන්ගේ මතය වේ.

මේ රචනයේ ආරම්භයක් වශයෙන් මා උපුටා දැක්වූයේ දක්ෂ කෙටිකතාකරුවකු වන කීර්ති වැලිසරගේ විසින් රචනා කරන ලද කෙටිකතා නිර්මාණාවලෝකනය නමැති කෘතියෙහි එන අදහසකි.

නූතන කෙටිකතාව වැඩිහිටි පාඨකයකු ඉලක්ක කරගත් මාධ්‍යයක් බව නොරහසකි. ළමා කෙටිකතා, යොවුන් කෙටිකතා, ජනප්‍රිය කෙටිකතා ආදි වශයෙන් ප්‍රවර්ග කෙටිකතා ක්ෂේත්‍රයේ නැත. එසේම නවකතාවක දෙවැනි කොටසක් ලියැවුණ ද, ලෝකයේ කිසිදු කෙටිකතාවක දෙවන කොටසක් ලියැවී නොමැත. වරක් ඇන්ටන් චෙකෝෆ් පවසා සිටියේ ලොව ඇත්තේ කෙටිකතා වර්ග දෙකක් පමණක් බවය. ඒ “මා කැමැති කෙටිකතා සහ මා අකමැති කෙටිකතා” යනුවෙනි. හෙන්රි ජේම්ස් ද කෙටිකතාව සම්බන්ධයෙන් මෙවැනි ප්‍රකාශයක් කර ඇත.

“කිසියම් අර්ථවත් වර්ගීකරණයක් ලෙස මා සලකන කතා වර්ග දෙකක් තිබේ. ඒවා නම් හොඳ කෙටිකතා සහ නරක කෙටිකතාය.”

නූතන කෙටිකතාව හඳුනා ගැනීමට නිර්වචන සහ විවරණ ඉදිරිපත් කිරීම දුෂ්කර කටයුත්තකි. කෙටිකතාව මතු නොව පොදුවේ සාහිත්‍ය පිළිබඳ නිර්වචන හෝ විවරණ හෝ බිහිවන්නේ කිසියම් කාල වකවානුවක් තුළ බිහි වූ උසස් ගණයේ නිර්මාණ අධ්‍යයනය කිරීමෙනි. අනතුරුව බිහිවන නව නිර්මාණ එකී නිර්වචනයන් සමතික්‍රමණය කරයි. පවත්නා නිර්වචනයන්, සාහිත්‍ය අර්ථ දැක්වීම්, අදාළ ශානරයන්හි සීමා මායිම් අතික්‍රමණය කරන නිර්මාණකරුවෝ ද වෙති. එබැවින් කෙටිකතාව පිළිබඳව ඉදිරිපත් වී තිබෙන නිර්වචන සියල්ල මෙහි ලා අපි සඳහන් නොකරමු. නමුත්, නයිජීරියානු ලේඛක බෙන් ඔක්රිගේ කෙටිකතාව සම්බන්ධ අදහසක් මෙහිදී අපි උපුටා දක්වමු.

A novel is a river, but a short story is a glass of water. A novel is a forest, but a short story is a seed. It more atomic. The atom may contain the secret structures of the universe.

Ben Okri - 1992

(Nigerian Novelist, Short Story Writer and Poet)

නවකතාව ගඟක් නම් කෙටිකතාව ඉන් ගත් දිය දෝතක් වැනිය. නවකතාව වනාන්තරයක් වූ විට කෙටිකතාව එහි ප්‍රරෝහණය වන බීජයකි. එය වඩා සමාන මූලද්‍රව්‍යයකට නොව, එහි තැනුම් ඒකකය වන පරමාණුවටයි. එහි විශ්වයේ රහස් සැඟවී තිබේ.

(නයිජීරියානු ලේඛක බෙන් ඔක්රි)

බෙන් ඔක්රිට අනුව කෙටිකතාව යනු සමස්තය නොවේ. නමුත්, සාර්ථක කෙටිකතාවක් තුළ වඩාත්ම හොඳින් සමස්තය කියවිය හැකි නිදර්ශනයක් දක්නට ලැබේ.

කෙටිකතාව එක ම පුවතක් ගැබ් කොට ගත යුතු ය යනු, ඇතැම් කෙටිකතාකරුවන් විසින් පිළිගනු ලැබූ අදහසකි. ලොව රචනා වී ඇති බොහෝ සාර්ථක කෙටිකතාවලින් ඉතා විශාල කොටසක් එක ම සිද්ධියක් ආශ්‍රිතව රචිත කතාය. සිද්ධීන් එකකට වඩා කෙටිකතාවක නොතිබිය යුතුය යන අදහස තහවුරු වීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ, සිදුවීම් එකකට වඩා ඇති කෙටිකතාවක් සාර්ථක ලෙස රචනා කිරීමට අපහසු වීම නිසාය. කෙටිකතාවකට එකම සිද්ධිය පමණක් පාදක වූ කතාවේ අංගෝපාංගවල ඒකාබද්ධතාවක් ඇති කිරීම දුෂ්කර නොවේ. එහෙත් කෙටිකතාව එකම පුවතකින් පමණක් යුක්ත විය යුතු ය යන අදහස ලොව බිහිවූ සෑම කෙටිකතාකරුවකු විසින්ම, එකහෙළා පිළිගනු ලැබ නැත. සිදුවීම් ගණනකින් යුක්ත වූ කෙටිකතාව, එකම සිදුවීම පමණක් කේන්ද්‍ර කොට ගත්, කෙටිකතාව මෙන් රසාලිප්ත නිර්මාණයක් විය හැකි බව විශ්ව කීර්තියට පත් කෙටිකතාකරුවකු වන ඇන්ටන් චෙකොෆ්ගේ පළගැටියා, හයේ වාට්ටුව බඳු කෙටිකතාවලින් පෙනේ.

ජී. බී. සේනානායක

(නවකතා කලාව, පිටුව: 45)

කිසියම් චරිතයක පූර්ණ විවරණය උදෙසා නවකතාවත්, ඒ චරිතයන් හි හරස් කැපුමක් උදෙසා කෙටිකතාවක්, චරිතයක අවස්ථානුකරණය උදෙසා නාට්‍යයත්, චරිතයක් අර්ථකථනය කර දැක්වීමට කවියත් තිබෙන බව පොදුවේ සාහිත්‍ය සමාජය තුළ පිළිගන්නා මතයකි. නමුත්, විශ්ව සාහිත්‍යයේදී අපට හමුවන ඇතැම් කෙටිකතාවල එන චරිත අවස්ථානුකරණයෙන් මෙන්ම අර්ථකථනය කර දක්වන අවස්ථා ද හමුවේ. ගී ද මෝපසං ගේ විනිශ්චය නමැති කෙටිකතාව මෙයට හොඳ නිදසුනකි.

දක්ෂ කෙටිකතාකරුවකු වූ දයාසේන ගුණසිංහයන් කෙටිකතාව හඳුන්වා දුන්නේ ජීවිතයේ සමීප රූපයක් ලෙසටය. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන දයාසේන ගුණසිංහයන් කේතුමතී හෝටලයේ රාත්‍රියක් නමැති තම කෙටිකතා සංග්‍රහයේ සංඥාපනයෙහි මෙවැනි මතයක් ඉදිරිපත් කර ඇත. “දෑස හෝ මුව වැනි ඉන්ද්‍රියයන් සමීප රූපයට නැ‍ඟෙන විට මුහුණේ අවශේෂ අවයව සමඟ මුහුණ ද අදෘශ්‍යමාන වී යයි. මෙසේ දෘශ්‍යමානව තිබූ බොහෝ දෑ අදෘශ්‍යමාන වී යත්ම අදෘශ්‍යමානව තිබූ බොහෝ දෑ දෘශ්‍යමාන වීම ද සමීප රූපයෙහි ලක්ෂණයකි.”

නවකතා කතුවරිය ලෙසින් ප්‍රකට ඉසබෙල් අයියන්දේ කෙටිකතාකරණය හඳුන්වා ඇත්තේ ඉලක්කයට කැරෙන හී විදුමක් ලෙසිනි. කෙටිකතාකරුවෙකුට වෙනස් වෙනස් අරමුණු රැසක් තිබිය නොහැකි බව මේ ප්‍රකාශනයෙන් ගම්‍ය වේ. මුළු මහත් සාගරයේ රුව ගුණ උරා ගනිමින් වෙරළාසන්නයේ සිදුවන කෙටි බෝට්ටු සවාරියකට කෙටිකතාව සම කළ අවස්ථාවක් මගේ මතකයෙහි වේ. දියෙහි වැටුණු තෙල් බිඳක් මෙන් කෙටිකතාව ද බහුවිධ වර්ණ, රූ රටා මවන්නා වූ අපූර්ව නිර්මිතයක් බැව් තවත් අදහසකි.

කීර්ති වැලිසරගේ

(කෙටිකතා නිර්මාණාවලෝකනය, පිටුව: 05)

මුල, මැද, අග සහිත කතාන්දරයක් ලෙස බිහිවන කෙටිකතාව පසුව ජිවිතයේ හරස් කැපුමක් නැතහොත් ජීවිතයේ පෙත්තක් යන විවරණයන් ද සමතික්‍රමණය කරමින් වර්තමානය වන විට නව මඟක ගමන් කරමින් තිබෙන බව පෙනේ. කෙටිකතාව යනු එකම සිදුවීමක් මුල් කොටගෙන රචිත කතාවකි. චරිතාංගයක් නිරූපණය කිරිමකි. මිනිස් සිතක හැඟීමක් විවරණය කිරිමකි. උපාසක කතාවකි. මායා කතාවකි. මේ ආදි වශයෙන් දී ඇති නිර්වචන වර්තමානයේ ලියැවෙන සාර්ථක කෙටිකතාවක් වින්දනයට ප්‍රමාණවත් නොවන බව ප්‍රවීණ ලේඛක ජයතිලක කම්මැල්ලවීර නිරන්තරයෙන් ම අවධාරණය කරන්නකි. නූතන කෙටිකතාව හඳුනා ගැනීමේ දී, මෙරට ප්‍රවීණ කවියකු වන අරියවංශ රණවීරයන් කෙටිකතාව පිළිබඳව දක්වා ඇති අදහස මෙහි දී උපුටා දැක්වීම වටිනේය.

 කෙටිකතාවත්, කවියත් නිඹුල් සොහොයුරන් වැන්න. කළුවර රාත්‍රියක, කෙටූ විදුලියක් නිමේෂයකින් මහා ප්‍රදේශයක් හෙළි පෙහෙළි කරන්නාක් මෙන් කෙටිකතාව තෝරාගත් සිද්ධි කිහිපයක් හා අර්ථ පූර්ණ බස් වහරක් ද තුළින් මහා ජීවන ප්‍රදේශයක් කරා එළිය විහිද විය යුතු ය. ගැඹුරු ජීවිත පරිඥානයක් හා බස හැසිරවීමෙහි ලා කවියකු සතු ශක්තියක් ද නැත්තෙකුට හොඳ කෙටිකතාකරුවකු විය නොහැකිය.

කෙටිකතාව නවකතාව හා සම්බන්ධ කොට තේරුම් ගැනීමට කැරෙන උත්සාහයක් ද ඇතැම් විට හමු වේ. එබඳු උත්සාහයක් දෙස බැලීමේ දී පෙනී යන කරුණක් නම් කෙටිකතාව ඊටම ආවේණික, සුවිශේෂ ලක්ෂණ සහිත සාහිත්‍යාංගයක් ලෙස හඳුනා ගැනීමට ඒ කරුණු දැක්වීම බාධාකාරී ලෙස බලපාන බව පමණකි යැයි කෙටිකතා නිර්මාණාවලෝකන කෘතියේ දී කීර්ති වැලිසරගේ ප්‍රකාශ කරයි. නමුත්, එමේ බාධාකාරි නොවන මැදහත් විචාර ද අපට කලාතුරකින් හමු වේ. කෙටිකතාව හා නවකතාව යන සාහිත්‍යාංගද්වය අතර පවතින වෙනස පිළිබඳව මහාචාර්ය විමල් දිසානායක තම ගිරිකුළ හා සඳමඩල නම් විචාර කෘතියේ කරුණු දක්වා තිබෙන්නේ මෙසේ ය:

මට වැටහෙන පරිදි කෙටිකතාවත්, නවකතාවත් අතර වෙනස රඳා පවතින්නේ ධාරණාව පිළිබඳ ප්‍රශ්නය උඩය. කෙටිකතාව එක් ප්‍රබල ධාරණාවක් ඉදිරිපත් කරයි. එහෙත් විස්තෘත අත්දැකීම් නිරූපණය කරන නවකතාවක් තුළින් ධාරණා රාශියක් ඉදිරිපත් කරනු ලැබේ. වෙනත් වචනවලින් පවසතොත් කෙටිකතාවක අත්දැකීම එක් ප්‍රබල මොහොතකට සම්බන්ධ වී ඇත. එහෙත් නවකතාවක අත්දැකීම් එබඳු අවස්ථා රාශියක් හා සමඟ බැඳී පවතී.

මහාචාර්ය විමල් දිසානායකයන් පවසන පරිදි ද කෙටිකතාවට ධාරණා කිහිපයක් තිබිය නොහැකිය. නමුත්, අප නැවත නැවතත් අවධාරණය කර සිටින්නේ සූක්ෂ්මව විමසීමේ දී ධාරණා කීපයක් තිබෙන සාර්ථක කෙටිකතා ද සාහිත්‍ය ලෝකයේ පවතින බවයි.

යම් සාහිත්‍යාංගයක් නිවැරැදිව හඳුනා ගැනීමට අපගේ විචාරයේ පසුගාමීත්වය විශාල බාධාවක්ව පවතී. තවමත් මෙරට පවතින්නේ වසර පනහකට පූර්ව බටහිරින් ගෙනැවිත් මෙරට විශ්වවිධ්‍යාල පද්ධතිය හරහා සම්මත කොට තහවුරු කරන ලද විචාර මිනුම් දඬු ය. මේ නිසා නූතන කෙටිකතාව හඳුනා ගැනීමට වුව ද නව විචාර රීතින් සකස් විය යුතු බව අපගේ අදහසයි. ෂන් පෝල් සාර්ත්‍ර ද තමන්ගේ සාහිත්‍යය යනු කුමක් ද කෘතියේ දී ද පෙන්වා දෙන්නේ අප ම නිර්මාණයට අවශ්‍ය රීති හා සම්ප්‍රදායයන් ඇති කර ගත යුතු බවයි.

නවකතාවකට පිවිසෙන ද්වාරයක් ලෙස කෙටිකතාව සැලකෙන බව ද ඇතැම් අදහස් දැක්වීම් අනුව පැහැදිලි වේ. ඒ අනුව කෙටිකතාකරණයේ සෑහෙන කලක් නිරත වූවකු ඊළඟට නවකතාකරණයට පිවිසීම උචිත ය. නමුත්, කෙටිකතාව එබඳු චූල යමක් නොවේ. යම් සේ නවකතාව මහා සාහිත්‍යාංගයක් වන්නේ ද, කෙටිකතාව ද ඊට ම සුවිශේෂ පෞරුෂයකින් හෙබි මහා සාහිත්‍යාංගයක් බව කීර්ති වැලිසරගේ තම කෙටිකතා නිර්මාණාවලෝකනය නමැති කෘතියේ දී අවධාරණය කර සිටී. මෙය ඉතා ප්‍රගතිශීලී අදහසක් බව අපි තරයේ විශ්වාස කරමු. නූතන කෙටිකතාව හඳුනා ගැනීම සඳහා එවැනි ප්‍රගතිශීලී අදහස් ඉතා වටිනේ ය.

Comments