කලා දිවියේ පනස් වස­රක් සපු­රන පොලී­සියේ ගාය­කයා | සිළුමිණ

කලා දිවියේ පනස් වස­රක් සපු­රන පොලී­සියේ ගාය­කයා

පොල් කට්ටට වතුර අරන්...

මුහුණ සෝදලා හනිකට...

හීල් බත් මිටෙන් සෑහී...

කහට උගුර බී හනිකට...

 

මේ ගී පද කන වැකෙත්ම දශක පහක් තරම් අතීතයට මගේ හිත දිවයයි.එදා ගුවන් විදුලියෙන් නිතර දෙවේලේ ශ්‍රවණය වූ මේ ගීතයට පෙම් බැඳි රසිකයෝ බොහෝ වෙති. අදට ද එය එසේමය.මේ ගීතය ඇතුළු තවත් හරවත් ගී රැසක හිමිකරු කලාශූරී ප්‍රවීණ ගායක රන්ජන් ජයතිලක දැන් මා අභියසය.මේ ගෙවී යන්නේ ඔහුගේ ගායන දිවියේ පනස් වැනි වසරයි.එය ගායකයකුට තම ගායන දිවියේ සුවිශේෂී කඩඉමකි.අතීත මතක සමඟ ඔහු සමඟ යෙදෙන මේ කතාබහ ඒ නිමිත්තෙනි.

ඔබේ ගායන දිවියේ ඇරැඹුම කොතැනද?

'මම ගායකයෙක් වුණේ හරිම අහඹු විදිහට. ඒ කතාවත් බොහොම රසවත්. මගේ මවුපියන්ගේ ඒ කාලෙ ඇල්මක් තිබුණා කලාවට.ඔවුන් නොවරදවාම ගමට එන සියලුම චිත්‍රපටි නරඹන්න අපිත් රැගෙන යනවා.ඒ ලංකාවේ සිනමා කර්මාන්තයේ ස්වර්ණමය යුගය. වතාවක් අපේ තාත්තා 'සුරංගනී'කියන චිත්‍රපටය නරඹන්න අපිව රැගෙන ගියා. ඒ අතර තවමත් මගේ මතකයේ කොනක තිබෙන දර්ශනයක් තමයි ප්‍රවීණ නළු එඩී ජූනියර් අශ්වයකුගේ පිටේ නැඟී 'කඳුකරයේ ශාන්ත සැන්දෑවේ 'ගීතය ගයමින් රඟපාන දර්ශනය. මේ චිත්‍රපටය නරඹා අවසන් වෙලා යන විට ඒ ගීතය පුංචි මගේ හිතේ පැහැදිලිව ලියැවිලා තිබුණා. අකුරක් නෑරම මට ගීතය හොඳට කට පාඩම්. ඒ ගීතය ගායනා කළේ මෙරට ප්‍රවීණම ගායකයෙකු වූ ධර්මදාස වල්පොල.එදා ඉඳන් ම ඒ ගීතය මට මගේම ගීතයක් වගේ.ගෙදර හිටියත්,පාසලේදිත්,විවිධ ප්‍රසංගවලදිත් මගේ කටින් පිටවුණේ ඒ ගීතයයි. මම මේ ගීතය ගායනා කරනවා අහන මවුපියන්,සහෝදර සහෝදරියන් වගේම ගුරුවරුන් පවා කිව්වේ කවදා හරි මමත් ලංකාවේ දක්ෂ ගායකයෙක් වෙනවා කියලයි.

ඒ කතාව සැබෑ වුණා...

ඉස්කෝලෙ යන කාලෙ මම අධ්‍යාපන වැඩකටයුතුවලට වඩා දක්ෂ ගායනයට,වාදනයට හා ක්‍රීඩාවට.මේ හින්දා අම්මයි තාත්තයි හිටියේ බොහොම බයෙන්.මේ බාහිර වැඩ නිසා මම ඉගෙන ගන්නේ නැතිවෙයි කියලා තමයි ඒ දෙන්නා ම හිතුවේ. පාසැලේ දී මම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ගහන්න ගියාම මං තරම් දක්ෂ විදිහට ක්‍රීඩා කරපු කෙනෙක් මේ පළාතෙම හිටියේ නැහැ.ඒත් මට ගීත ගයන්නත් පුදුමාකාර ආසයි. ගමේ වගේම පළාත් මට්ටමෙන් පැවැත්වෙන සෑම ප්‍රසංගයක දීම තරගයකදීම මට ගීත ගයන්න අවස්ථාව ලැබුණා. මේ දේවලුත් සමඟ මවුපියන් හැමවිටම අධ්‍යාපන කටයුතු කරන්න කියලා මගේ පිටුපසින්ම හිටියා.ඒ දවස්වල මගේ ඥාති සොහොයුරෙක් හිටියා හේමපාල මල්ලවාරච්චි කියලා. එයා හිටියේ කොළඹ. දවසක් අපේ ගෙදර ඔහු ආ දිනෙක මගේ වැඩකටයුතු ගැන ඔහුට මවුපියන්ගෙන් දැන ගන්න ලැබිලා. හේමපාල අයියා මගේ ළඟට ඇවිත් මට කිව්වා'මල්ලී හොඳට පාඩම්කරලා විභාගෙ සමත් වුණොත් මම ගුවන් විදුලියේ ගීතයක් ගයන්න අවස්ථාව උදා කර දෙනවා කියලා. මෙය මගේ හිතට තදින්ම වැදුණා. මම දෙවරක් නොසිතා එයට එකඟ වුණා. මොකද ඒ කලෙ ආධුනිකයන්ගේ එකම සිහිනය වුණේ ගුවන් විදුලියේ ගායකයෙක් වීමයි. මම ඉතා උනන්දුවෙන් මගේ අධ්‍යාපන කටයුතු කරගෙන ගියා. සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වුණා.

ඔබේ ප්‍රාර්ථනාව ඉටු වුණා ...

ඔව්. ඔහු මාව කොළඹ එක්ක ගෙන ඇවිත් ගුවන් විදුලියටත් රැගෙන ගියා. ගීතයක් ගයන්න අවස්ථාව ලබා දුන්නා. මේ අතර මගේ ඥාති සොහොයුරා සමඟ උපන්දින සාදයකට මට සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. එකල ජනප්‍රිය කලාකරුවන් රැසක් පැමිණ සිටියා.ප්‍රෙඩී සිල්වා, ඇන්ටන් ජෝන්ස්,ලාල් හීනටිගල වගේ අය මට මතකයි. මේ අතරින් ලාල් හීනටිගල මම උපන්දින සාදයේ ගැයූ ගීතයක් රසවිඳ මට වැඩිපුර සංගීත අධ්‍යාපනය හදාරන්න කැලණිය පට්ටිය හන්දියේ සංගීත පන්තියකට මාව යොමු කළා. මම උසස් පෙළ හදාරන අවධියේ තමයි ඒ විදිහට සංගීතය හදාරන්න යොමු වුණේ.

මෙය ඔබගේ සංගීත දිවියට වාසනාව ගෙන එන්න ඇති?‍

මෙහෙමයි. මේ සංගීත පන්තියේදී මට බොහෝ කලාකරුවන් හමුවෙනවා. ඒ අතර එවකට නිතර දෙවේලේ සංගීතයේ ප්‍රවීණයන් ගැවසෙන මරදානේ සිංදු කාමරය මටත් පොදු තැනක් බවට පත්වෙනවා. මමත් වයසින් ළාබාල වුණත් නිතර දෙවේලේ සිංදු කාමරයට යනවා. එනවා. ජෝතිපාල,මිල්ටන්,මොරිස් දහනායක ළඟම මිතුරන් බවට පත් වෙනවා. කොළඹ ජීවිතය මේ වදිහට ගත වෙන කොට මම නැවතත් මගේ ගම ගම්පොළට යනවා.

එතැන දී තමයි ඔබ ජනතාවාදී ගායකයෙකු ලෙස දොරට වඩින්නේ ?

හරි.ගම්පොළ දී මහවැලි ගං ඉවුරේ 'දිය කිඳුරී' නමින් සංගීත ප්‍රසංගයක් පැවැත් වුණා. මමත් එතැනට ගීත ගයන්න ගියා. එවකට ප්‍රවීණ නිළි රෝහිණී ජයකොඩි( වර්තමාන ප්‍රවීණ නිළි වීණා ජයකොඩිගේ මව)එතැනට පැමිණ හිටියා. ඇය මගේ ගායන හැකියාව දැකලා ඇය අධ්‍යක්ෂණය කළ 'හැංගි හොරා' චිත්‍රපටයේ පසුබිම් ගායනයට මාව එක්කර ගත්තා. එහි දී මම ගායනා කළේ යුග ගීතයක්. ඒ ගායිකා නිමලා අතපත්තු සමඟ. ඇය මගේ සහාය ගායිකාව වුණා.

මේ විදිහට ගීත ගයමින් පැමිණි මඟ වෙනස් වෙනවා...

ඔව්. ඒ මම පොලිස් දෙපාර්තමේන්තුවේ සේවයට බැඳුණාම. ඒ කාලෙ මව්පියන්ගේ අශාව වුණේ ඉගෙන ගත්තා නම් රැකියාවක් කරන එකයි. මොකද ඔවුන් හිතුවේ කලාකරුවෙකු වූ පමණින්ලැබෙන මුදල් ජීවත්වන්නට ප්‍රමාණවත් නැති බවයි.ඒ නිසා මම පොලීසියට බැඳුණා. ඒත් සමඟම ගායකයෙකු ලෙස ආ ගමන්මඟ යම් තරමකට වෙනස් වුණා. රටට ජාතියට සේවය කරන්න රැකියාවට මුල් තැන දුන්නා.

ඔබ දක්ෂ ඇඟිලි සලකුණු පරීක්ෂකවරයෙක් නේද?

මම පොලිස් දෙපාර්තමේන්තුවට මගේ මවුපියන් තරමට ම ආදරෙයි. මම වසර 36ක් පුරා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කළා. ඒ විවිධ අංශ යටතේ. ඒ වගේම දෙස් විදෙස් පුහුණුව ලැබුවා. ඒවා හරිම අමරණීය මතක සටහන්.

ඒ වගේ මතකයක් ගැන අහන්න ආසයි?‍

මම තමයි පොලිස් ඉතිහාසයේ ඒක පුද්ගල ගී ප්‍රසංගයක් පැවැත් වූ ප්‍රථම නිලධාරියා. ඒ ගීත ප්‍රසංගය පැවැත් වූයේ 1981 සැප්තැම්බර් 11 වැනිදා ටවර් රඟහලේ දී 'සරු ගී' නමින් තමයි එය නම් කර තිබුණේ.ගුවන් විදුලි වාදක මණ්ඩලය තමයි සංගීතය සැපැයුවේ.

ඔබ මේ දිනවල සිදු කරන වැඩකටයුතු මොනවාද?

මේ දවස්වල තරමක් කාර්යබහුලයි. මොකද මම මේ දවස්වල ගායකගායිකා සංගමයේ ගිණුම් පරීක්ෂක ලෙස කටයුතු කරනවා. ඒ වගේම අලුත්ම ගීත කිහිපයක් ගායනා කළා. ඒවා මේ දිනවල ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනවා.

ඔබේ පැරැණි ගීත යළිත් ගයන්න අදහසක් නැති ද?

අලුත් සංගීතයට ඒ ගීත යළිත් ගායනා කරමින් නිර්මාණය කළොත් රස වින්දනයට ලොකු බාධාවක් ලෙසයි මම හිතන්නේ. එදා ඒ ගීත නිර්මාණය කරන්න දායකත්වය දුන්නු ලංකාවේ ප්‍රමුඛ පෙළේ සංගීතඥයන් අද අප අතර නැහැ. එනිසා ඒ ගීත අලුතින් සංගීතය සමඟ ගයන්න මැලිකමක් තමයි මට තිබෙන්නේ.

ඔබ රණවිරුවන් වෙනුවෙන් ගීත ගැයුවා?‍

ඔව්. ඒ ගැන විශාල සතුටක් තිබෙනවා. ඒ ගීතත් ජනප්‍රිය වුණා. මම ස්තූතිවන්ත වෙනවා ගුවන්විදුලි නාලිකාවලට.මගේ ගීත ප්‍රචාරය කරවීම ගැන. මගේ අලුත්ම ගීතය 'ඹබරා ව‍ාගේ...'. එය ගුණසේන කඩිගමුව රචනා කළා. මම සංගීතවත් කළා.සහාය ගායනයෙන් මට උදව් කළේ විශාරද ගයනි මධූෂායි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.