ගොන්ඩෝ­ලා­වෙන් රට වටේ යන කුමාර කරු­ණා­නන්ද | සිළුමිණ

ගොන්ඩෝ­ලා­වෙන් රට වටේ යන කුමාර කරු­ණා­නන්ද

වේදිකාවට ඇලුම්කරන ප්‍රේක්ෂකයන්ට කලාතුරකින් දකින්න ලැබෙන අත්දැකීමක්

පරාස්ස නාට්‍යයෙන් වේදිකාවට අවතීර්ණව, දශක හතරකට ආසන්න කාලයක් කලා ක්ෂේත්‍රයේ රැඳෙමින් අදටත් රසිකයන් වෙනුවෙන් නව නිර්මාණවල නිරතවන මේ කලාකරුවා කලාව තුළ වෙනස්ම ආකාරයේ රංගනයක නියැළෙයි. සම්ප්‍රදායික රඟපෑමෙන් බැහැරව විවිධ චරිතාංග තුළින් රසිකයන් පිනවන එම සොඳුරු කලාකරුවා කුමාර කරුණානන්දය. මේ දිනවල වේදිකාගත වන 'ගොන්ඩෝලා 'නාට්‍යයේ චරිතයකින් රසිකයන් අතරට එන කුමාර රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන කියන්නට පසුගියදා පත්තර මහගෙදරට ගොඩවැදුණා. එහිදී කුමාර සමඟ අප කළ සංවාදයයි මේ.

 

• ගොන්ඩෝලා නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොමද .?

ගොන්ඩෝලා නාට්‍යයෙහි මම නිරූපණය කරන්නෙ වාම දේශපාලන‍ය කරපින්නාගත් රැඩිකල් අදහස් තිබෙන තරුණයකුගේ චරිතයක්. මෙය වේදිකාවට ඇලුම්කරන ප්‍රේකෂකයන්ට කලාතුරකින් දකින්න ලැබෙන වෙනස්ම අත්දැකීමක්. නාට්‍යයේ නමෙන්ම එහි වෙනස පෙනෙනවා. මෙය නරඹන ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.ජයලාල් රෝහණගෙන් සහ රොඩ්නි වර්ණකුලගෙන් මගේ චරිතය හොඳින් නිරූපණය කිරීමට විශාල සහායක් ලැබෙනවා.කියන්න සතුටුයි වසර ගණනකට පසුව මා රඟපෑ හොඳ වේදිකා නාට්‍යයක් මෙය.

 

• ඔබ ප්‍රවීණ රංගන ශිල්පියෙක්.පැමිණි ගමන් මඟ ගැන දැනගන්න කැමැතියි..?

1980 වේදිකා නාට්‍යය රංගන ශිල්පියෙක් ලෙස ක්ෂේත්‍රයට එනවා. මම මුලික අධ්‍යාපනය ලැබුවේ මාතර මාකදුර මහා විද්‍යාලයේ. පසුව උසස් පෙළ හැදෑරීමට කොළඹ ලුම්බිනි විද්‍යාලයට ඇතුළත් වනවා. එහිදී තමයි මා කලා කරුවෙක් කිරීමට මූලික අඩිතාලම වැටුණේ .1980 දි විමලරත්න අධිකාරි මහතා අධ්‍යක්ෂණය කළ රෝහණ දංදෙණිය රචනාකළ පරාස්ස නාට්‍යයෙන් ක්ෂේත්‍රයට අවතීර්ණ වෙනවා.

 

• ඉන්පසුව වේදිකාවේ නැතුවම බැරි රංගන ශිල්පියෙක් වුණා

දයාරත්න රටගෙදර මහතා ඒ කාලයේ කිරුළපන පදිංචිව සිටියේ. ඔහුගේ සම්බන්ධතාවයෙන් තවත් වේදිකා නාට්‍යයක් රඟපෑවා. ඉන් පසුව බන්දුල විතානගේ මහතාගේ වැනීසියේ වෙළෙන්දා, සෙනෙහෙබර ඩොලී, දුන්යාගේ ගීතය, රෙජිනෝල්ඩ් ජයමාන්නගේ විකල්ප සමයම, කේ.බී හේරත්ගේ දෝන කතිරිනා, විල්සන් ගුණරත්නගේ පොකුරු වැස්ස ආදි වේදිකා නාට්‍ය තිහක පමණ රංගනයෙන් දායකවුණා.

එදා මෙදාතුර ටෙලිනාට්‍ය 45 ක පමණ රඟපා තිබෙනවා. ඒකාංගික, ප්‍රාසාංගික ටෙලිනාට්‍යවල රඟපෑමට අමතරව සිනමාවටත් සම්බන්ධව මලට නොයන බඔරු, පුරහඳ කළුවර ආදි චිත්‍රපටවල රඟපෑවා.

 

• ඔබ ප්‍රවීණ රංගන ශිල්පියෙක්.. දැන් හැදෙන නිර්මාණ ගැන මොකද හිතෙන්නෙ..?

එදා හැදෙන නිර්මාණවල පිටපතෙහි සැකෙවින් ලියැවෙන කතාවක් තිබුණා. එහි අත්‍යවශ්‍යම කරුණු පමණයි තිබුණේ.එහෙත් දැන් හැදෙන මෙගා කතාවල එකම දේ පුන පුනා කියනව. අනෙක් කරුණ වර්තමානයේ දක්ෂ නිරමාණ ශිල්පීන් වේදිකාවට පය නොතබා මුලින්ම පියනගන්නෙ සිනමාවට.එසේ කළාට ඔවුන්ට ඒ සඳහා මනා දැනුමක් නැහැ. එවැනි හේතු නිසාවෙන් අද හැදෙන නිර්මාණවල ගුණාත්මක භාවය අඩුවෙලා.

 

• ඔබ කියන්නෙ ගොන්ඩෝලා නාට්‍යයත් ඒ වගේ නිර්මාණයක් කියලද..?

සුනිල් අරුණවීරසිරි ගොන්ඩෝලා නාට්‍යයෙහි නිෂ්පාදක. ඔහු චිත්‍රපට නිෂ්පාදක සහ අධ්‍යක්ෂවරයෙක්, ගොන්ඩෝලා නාට්‍යයෙහි තිබෙන වෙනස නිසාම ඉතාම ආසාවෙන් මේ නාට්‍ය නිෂ්පාදනය කිරීමට ඔහු මැදිහත්වුවා.රොඩ්නි සහ ජයලාල් දෙදෙනාත් වාම දේශපාලනයෙහි සිරගත වුවන්ගේ චරිත නිරූපණය කරනවා. ජයලාල් ගොන්ඩෝලා නාට්‍යයෙහි රචනයෙන්, අධ්‍යක්ෂණයෙන්, අංග රචනයෙන්, ඇඳුම් නිර්මාණයෙන් සහ රංග භූමි අලංකරණය කිරීමෙන්ද දායකවනවා. මේ නාට්‍යයෙන් සමාජයට හා ජනතාවට හරවත් පණිවුඩයක් ලබාදෙනවා. ප්‍රේක්ෂකයන්ට කලකින් ලැබෙන ගුණාත්මක නාට්‍යයක් මෙය. මම මෙහි රංගනයට අමතරව නිෂ්පාදන කළමනාකරු සහ දර්ශන සංවිධායක ලෙසද කටයුතු කරනවා.

 

• මේ තරම් දිගු කාලයක් කලාවේ නියැළෙන්න පවුලෙන් ලැබෙන සහයෝගය මොන වගේද..?

බිරිඳ සහ දරුවන් තිදෙනාගෙන් කලා කටයුතුවලට ලැබෙන්නේ විශාල සහයෝගයක් .ඔවුන් තිදෙනාගෙන් දෙදෙනෙක් පාසල් අධ්‍යාපනය හමාරකර සිටිනවා.පොඩි දුව මෙවර සා.පෙළ සඳහා පෙනී සිටිනවා. ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ පොත් තැබුම් කරුවකු ලෙස සේවය කළා. ඉන් පසුව කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරයකු ලෙසත් කටයුතු කළා.එවැනි කාර්යයන්ගෙන්ද මේ දිනවල ඉවත්ව සිටින නිසා හොඳ නිර්මාණ ලැබුණොත් බාර ගැනීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. 

 

Comments