විදෙස් චිත්‍රපටය | සිළුමිණ

විදෙස් චිත්‍රපටය

රැකියා විරහිත උපාධිධාරියකුගේ ජීවන අරගලය VIP 2

රැකියා විරහිත උපාධිධාරියකුගේ ජීවන අරගලය තිරයට රැගෙන ආ වේලායිල්ලා පත්තධාරී / VIP (රැකියා විරහිත උපාධිධාරියා) 2014 වසරේ තිරගත වූවකි. වෙල්රාජ්ගේ එම කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය කෙතරම් සාර්ථක වූවාද කිවහොත් VIP දෙවැන්නක් ද නිර්මාණය කෙරිණි. මුල් කතාව ගෙතී ඇත්තේ සිව් වසරක් පුරා විරැකියාවෙන් පිඩා විඳින රගුවරන් නම් සිවිල් ඉංජිනේරුවා වටාය. ඔහුට අවශ්‍ය වූයේ තමන් උගත් අංශයට ම අදාළ රැකියාවක නිරත වීමටයි. මේ නිසාම ලැබෙන වෙනත් රැකියාවල් ප්‍රතික්ෂේප කරන ලදී. රැකියාවක් නොකිරීමත් වගකීම් රහිත බව නිසාත් පියාත් ඔහුත් අතර නිතර ගැටුම් ඇති විය. රගුවරන්ගේ බාල සොයුරා කර්තික් රැකියාවක නිරත වෙමින් සාර්ථක දිවියක් ගත කළේය.

සැමවිටම ඔහු වෙනුවෙන් කථා කළේ මව භුවානා පමණි. මේ අතර අසල්වැසි තරුණියක වූ ශාලිනී සමඟ ඔහු පෙමින් බැ‍ඳෙයි. දිනක් ඔහු ඇය සමඟ ප්‍රේම චාරිකාවක යෙදී සිටියදී මවගෙන් පිට පිටම දුරකථන ඇමතුම් ලැබිණි. එහෙත් ඔහු ඒවා ගණනකට නොගෙන ශාලිනී සමඟ විනෝද විය. නිවෙසට පැමිණි විට රගුවරන්ට දක්නට ලැබුණේ හෘදයාබාධයකින් මියගොස් සිටින මෑණියන්ය. තමන්ගෙන් පැහැර හැරුණු යුතුකම ගැන ඔහු නිරන්තරයෙන් ම පසුතැවිලි ‍විය.

භුවානාගේ පෙණහලු දුම්පානයට ඇබ්බැහි වී පෙණහලු පිළිකා රෝගියකු බවට පත්වී සිටි අනිතා නම් තරුණියකට බද්ධ කරන ලදී. අනිතා ගේ පියා චෙනායි හි සිවිල් ඉංජිනේරු සමාගමක හිමිකරුවකු වූ අතර දියණියගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් ඔහු රගුවරන් තම සහායකයා ලෙස පත් කර ගත්තේය. නැවතත් රගුවරන්ට වෘත්තිය අභියෝගයක් වූවේ අයුක්ති සහගතව පවා ඉදිකිරීම් කොන්ත්‍රාත් බාරගන්නා ක්ෂේත්‍රයට නවකයකු වූ අරුන් සුබ්‍රමනියම් නිසයි. VIP හෙවත් වේලායිල්ලා පත්තධාරී සිනමාපටය ඉන්දියානු රුපියල් මිලියන 53ක ඉහළ ම ආදායමක් ලැබූ අතර විචාරක මනාපය ද නොමඳව දිනා ගත්තේය. VIP 2 / වේලායිල්ලා පත්තධාරි 2 ඇරැඹුණේ 2016 වසරේ මැද භාගයේදීය. මුල් සිනමා පටයේ රඟපෑ ධනුෂ් (රගුවරන්) අමලා පෝල් (ශාලිනී), ආසගුසුන්දරම් (විවේක්), සමුතිරකානි (රගුවරන්ගේ පියා) දෙවැන්නට ද රංගනයෙන් දායක වූහ.

ප්‍රධාන දුෂ්ඨ චරිතයට (වසුන්දරා පරමේෂ්වර් ලෙසට) පණ දෙන්නේ බොලිවුඩයේ කාජල් ය. දඩබ්බර සිවිල් ඉංජිනේරුවකු ලෙස රගුවරන් සහ දුෂ්ට ව්‍යාපාරික කාන්තාවක ලෙස කාජල් අතර ඇතිවන ඝට්ටනය විටෙක ක්‍රියාදාම ස්වභාවයත් තවත් විටෙක ප්‍රහසනයත් ගෙන එයි. VIP දෙවැන්නේ රගුවරන් උදහසට ලක් වන්නේ බිරිය ශාලිනීගෙන්ය. ස්ථිර රැකියාවක නියැළීමට නොහැකිකම සහ අවසිහිය නිසා ශාලිනීට නිතර ඔහු දිරිමත් කිරීමට සිදුවේ. VIP 2 තෙලිගු සහ හින්දි බසින් ද තිරගත විය.

‘කොචාඩයියාන්’ සිනමා පටයත් සමඟ සිනමා අධ්‍යක්ෂණයට පිවිසි සෞන්දර්යා රජිනිකාන්තගේ දෙවැනි අධ්‍යක්ෂණය වෙලායිල්ලා පත්තාදරී 2 ය. ඇය සුපිරි නළු රජිනිකාන්තගේ බාල දියණිය වන අතර ධනුෂ් ගේ බිරිය අයිශ්චර්යාගේ එකම සොයුරියයි. මෙහි දෙබස් රචනය ධනුෂ්ගේම ය. සෝන් රෝල්ඩන් ගේ ගී තනු ගීත 5ක් සිනමාපටයට ඇතුළත්කර තිබේ. ධනුෂ් ගැයූ ගීත ද ඒ අතර ඇත.

මුලින් ම වේලායිල්ලා පත්තධාරි 2 තිරගත කිරීමට නියමිතව තිබුණේ ධනුෂ්ගේ තිස්හතර වැනි උපන් දිනය යෙදී තිබුණු ජූලි 28 වැනි දිනටය. එහෙත් කාජල්ගේ 43 වැනි උපන් දිනය යෙදී තිබුණු අගෝස්තු 5 වැනි දිනයේදීවත් සිනමාපටය තිරගත නොවිණි. අවසානයේ එය ස්ථිරව ම අගෝස්තු 11 වැනි දින තිරගත විය. වී. ක්‍රියේෂන්ස් සමාගමේ බෙදා හැරීමක් වන VIP 2 සිනමාපටයේ දමිළ ට්‍රේලරය තිරගත කිරීමට දින කිහිපයකට පෙර මුදා හැරුණු අතර එය මිලියන 5කට ආසන්න රසික පිරිසක් නරඹා තිබිණි. කෝටි 120ක මනාපයක් ඊට හිමි විය. ගූගල් වෙබ් අඩවිය භාවිත කරන්නන් සියයට අනූපහක් ම සිනමාපටයට මනාපය පළකර තිබිණි. ධනුෂ්ගේ මාමණ්ඩිය රජිනිකාන්ත්ගේ කබාලි සිනමා පටයට ද වැඩි ඉල්ලුමක් මැලේසියාව වැනි රටවලින් VIP 2 සඳහා ඇත.

ධනුෂ් - කාජල් යන ප්‍රබල චරිතාංග නළු නිළි දෙපළ එකම සිනමා පටයකින් ප්‍රේක්ෂකයන්ට දැකිය හැකි වන්නේ ප්‍රථම වරටය. බොලිවුඩයේ කාජල්ට කොලිවුඩය නුහුරු නුපුරුදු තැනක් නොවන අතර ධනුෂ් ද බොලිවුඩ් රසිකයන්ට ආගන්තුකයෙක් නොවේ. දෙදෙනා ම සම්මානලාභී රංගධරයන් ය. කාජල් කොලිවුඩයට එක්වන්නේ විසි වසරකට පසුවය. ඇය අවසන් වරට දමිළ සිනමා පටයකට රංගනයෙන් එක්වූයේ වසර 1997 දීයි. ඒ මින්සාර කනවු සිනමාපටයටයි.

ගුප්ත් සිනමා පටයේ ඊෂා දිවාන් ලෙස දුෂ්ඨ චරිත රංගනයක යෙදී ෆිල්ම්ෆෙයාර් සම්මාන ‍උලෙළේ හොඳම දුෂ්ඨ රංගනයට හිමි ෆිල්ම් ෆෙයාර් සම්මානය දිනාගත් කාජල්ට VIP 2 හි වසුන්දරා චරිතය අභියෝගයක් නොවීය.

ධනුෂ් ගේ ‘වයිදිස් කොලවරි දි’ ගීතය මෙන් ම ධනුෂ් ද දකුණු ඉන්දියාවේ අතිශයින් ජනප්‍රිය තරුවකි. ඊළඟ සුපිරි නළුවා ඔහු විය හැකි බවට අනාවැකි ද පළවී අවසන්ය. රාන්ජානා, ෂම්තාබ් සිනමා රංගනයන්ගෙන් බොලිවුඩ් මනාපය දිනා ඇති ධනුෂ් ගේ VIP 2 සිනමා පටයට ද ඇත්තේ හොඳ ඉල්ලුමකි.

වේලායිල්ලා පත්තධාරි 2 චරිතය, තම සිනමා චරිත අතරින් ධනුෂ්ගේ ද සිත් ගත්තකි. ඔහු උසස් පෙළින් පසු අධ්‍යාපනයට සමු දුන්නත් මිතුරන් රැසක් ම සිවිල් ඉංජිනේරු විද්‍යාව හදාරා රගුවරන් මෙන් ම රැකියා පෝළිමට එක්වී තිබේ.

පන්දහසකට අධික කිසිදු ප්‍රමිතියකට නොමැති ඉංජිනේරු කඩවලින් බිහිවන තරුණ පෙළ මේ ඉරණමේ කොටස්කාරයන් විය. එනිසා මේ සමාජ අත්දැකීම බොහෝ දෙනකුට හෘදයාංගම වී තිබේ.

ධනුෂ් පෙරළිකාර තරුණයාට රගුවරන් යන නම දී ඇත්තේ දමිළ සිනමාවේ ජනප්‍රිය නළු රගුවරන්ට ගරු කිරීමක් වශයෙනි. VIP 2 තෙලිඟු සිනමා පටයේ දෙබස් පවසන්නේ ද ධනුෂ්මය. තෙලිඟු බස හැසිරවීම ඔහුට හැකි වුණත් කාජල්ට දමිළ බස කතා කිරීමට එතරම් හැකියාවක් නොමැත. කාජල් VIP 2 ගැන කථා කරද්දී සිනාසෙමින් කියා සිටියේ සෞන්දර්යා, ධනුෂ් දෙදෙනාම තමන්ට දෙමළ වචන කිහිපයකට වඩා පවසන්නට නැති බව පවසා රැවැට්ටු බවය. රංගනයේදී එය සත්‍යයක් නොවන වග ඇයට වැටහී තිබේ. ඉංග්‍රීසි දෙබස් සියයට පනහකුත්, දමිළ දෙබස් සියයට පනහකුත් ඇති බව ධනුෂ් පැවසුවත් සැබැවින් ම වැඩිපුර තිබී ඇත්තේ දමිළ දෙබස් ය.

සිනමා පටයේ ඔහු සිවිල් ඉංජිනේරු උපාධිධාරියකු වුවද ධනුෂ් ගේ ගණිත හැකියාව දුර්වල බව පසුව කාජල් පවසා තිබේ. කෙසේ වුවත් කාජල් දින තුනකින් අති දක්ෂ ලෙස දමිළ දෙබස් උච්චාරණය කර තිබේ. ඇයගේ අති ප්‍රබල රංගන හැකියාව නිසා තමන්ට ද දක්ෂ ලෙස චරිතය රඟපෑමට හැකිවූ බව ධනුෂ් පවසන්නේය. දෙදෙනාගේ රංගනයේ විශිෂ්ටත්වයට VIP 2 සාක්ෂි දරනු ඇත.

අන්තර්ජාලයෙනි 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.