සතර සවිය සහ නෙළුම 15

රජ‍ගෙදර පරවියෝ’ චිත්‍රපටයෙන් පසු ම විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය වූයේ ‘ශ්‍රී මදාරා’ ය. ‘ශ්‍රී මදාරා’ තිර රචනය ම විසින් රචනා කරන ලද්දකි. එය ස්වතන්ත්‍ර නිර්මාණයකි. නිෂ්පාදකවරයා වූයේ කුලියාපිටිය නගර සභාවේ හිටපු නගරාධිපතිවරයෙක් වූ දයානන්ද සිරිමෙවන් වන්නිආරච්චි මහතාය. එතුමා ‘මාතර ආච්චි’ චිත්‍රපටයේ ද සහාය නිෂ්පාදකවරයෙකි. මගේ සිනමා කලා ජීවිතය වර්ණවත් කළ සත්පුරුෂයෙකි. සංගීත අධ්‍යක්ෂවරයා වූයේ ආචාර්ය වික්ටර් රත්නායකයන්ය.

ගී පද රචනා, ‘ගහකොළ මල් කඳුවැටි අසා සිටිනවා අපේ පෙම් පිළිසඳරේ’ හා ‘මොනරෝ මොනරෝ පිල් කළඹ විදහා නටපන්’ යන ගීත දෙකම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේය. ප්‍රේමකීර්ති ද අල්විස් සූරීන් විසින් රචනා කරන ලද්දේ ‘හිසේ ගිනි ඇවිලෙතේ පසේ බුදුවරු නැතේ...’ සහ ‘අපි ඩාවින්ගේ ගේගාව උපන්නේ යන ගීත දෙකය. ‘විල්ලුද පළසේ මිණි ඕවිල්ලේ’ ගීත පද රචකයා ප්‍රතිභාපූර්ණ මාධ්‍යවේදී කේ.ඩී.කේ. ධර්මවර්ධනයන්ය. මෙම චිත්‍රපටයේ පසුබිම් ගායක ගායිකාවන් වූයේ ලතාවල්පොල, වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, එච්.ආර්. ජෝතිපාල සහ ෆ්‍රෙඩී සිල්වාය.

සිංහල චිත්‍රපට ඉතිහාසයේ ප්‍රථම වතාවට සටන් නළුවන් දෙදෙනකු වූ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු සහ බන්දු මුණසිංහ ප්‍රධාන චරිත දෙක නිරූපණය කිරීම සඳහා මම තෝරා ගත්තෙමි. මෙය අභියෝගයකි. සම්ප්‍රදාය බිඳ දැමූ අවස්ථාවකි. කතා නායිකාව වූයේ ශ්‍රියානි පෙරේරා ය. ‘ශ්‍රී මදාරා’ ඇය ප්‍රධාන චරිතය නිරූපණය කළ පළමු චිත්‍රපටය විය. රුක්මණී දේවි, එච්.ඩී. කුලතුංග, ධර්මදාස කුරුප්පු, ෆ්‍රෙඩී සිල්වා, දොන් සිරිසේන, බී.එස්. පෙරේරා, නවනන්දන විජේසිංහ සහ සරණපාල සූරියආරච්චි සෙසු චරිත නිරූපණය කළ අතර කැමරා අධ්‍යක්ෂවරයා වූයේ ඩබ්ලිව්.ඒ.බී. ද සිල්වා ය. මෙම චිත්‍රපටය සංස්කරණය කරන ලද්දේ ජයතිස්ස දිල්ලිමුනි විසිනි. සහාය සංස්කාරකවරයා වූයේ හැරිස් නන්දසිරිය.

1965 සිට 1982 වන තෙක් ම වේදිකා නට්‍ය කලාවේ හා සිනමා කලාවේ සම සමව නිරත වීමට මට හැකි විය.

මගේ ප්‍රථම විදේශ සංචාරය සිදුවූයේ 1978 වසරේදීය. දයානන්ද ගුණවර්ධනයන්ගේ නරිබෑණා ළමා නාට්‍යය එවකට නැගෙනහිර ජර්මනියේ දී නිෂ්පාදනය කිරීම සඳහා ගිය ගමනයි ඒ. මෙම සංචාරයට දයානන්ද ගුණවර්ධනයන් සමඟ සංගීත් නිපුන් පී.වී. නන්දසිරි සූරීන් ද සහභාගි විය. මෙම ජර්මන් නාට්‍ය නිෂ්පාදනයේ සහාය අධ්‍යක්ෂවරයාගේ කාර්ය කරන ලද්දේ ම’ විසිනි. සංගීතඅංශය පී.වී, නන්දසිරි මහතාට සහ ජර්මන් ජාතික සංගීත අධ්‍යක්ෂවරයකුට භාර විය. ජර්මන් රංග ශිල්පිනියන් හා ශිල්පීන් චරිත නිරූපණය කළේය. භාෂාව ජර්මන් ම විය. චරිතවලට අවශ්‍ය ඇඳුම් අයිත්තම් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ‘නරිබෑණා’ නාට්‍යයේ මෙනි. ‍

දයානන්ද පී.වී. සහ මා තෙමසක් නැවතී සිටියේ ලයිප්සිග් නුවර හෝටලයකය. මෙම නාටකය පුහුණු කිරීම සඳහා දිනපතා දුම්රියෙන් ගමන් කරන ලද්දේ ‘හැලර්’ නම් නගරයටයි. භාෂා පරිවර්තකවරිය අපේ සියලුම ගමන්වල මාර්ගෝපදේශිකාවද විය. ශ්‍රී ලාංකික අපගෙන් එම රංගන ශිල්පිනියන් හා ශිල්පීන් නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත් අතර අප ද ඔවුන්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තෙමු. එම දැනුම සුළුපටු නොවේ.

කිසියම් නාට්‍යයක් වේදිකාගත කිරීමට පෙර එම නාට්‍යයේ පූර්ව දර්ශනය සුවිශේෂ සාමාජික සාමාජිකාවන් පිරිසක් නරඹන්නේය. කිසියම් දුර්වලකමක් හෝ අඩුපාඩුවක් දිස්වෙන්නේ නම් ඒවා සංශෝධනය කොට නිසි ලෙස නිර්මාණය මහජනයා හමුවට ගෙන ඒම ඔවුනගේ සිරිතයි. ළමා නාට්‍ය නිෂ්පාදනයන් ගැන ඔවුන් ගේ විශේෂ අවධානයක් ‍යොමු වන බව මට වැටහුණි. ළමා නාට්‍ය සඳහා වෙනම ම රඟහලවල් ඇත. එම රඟහල්වල ද වැඩිහිටි නාට්‍ය රඟ දක්වන්නේ නැත. ළමා රංග ශාලාවට ළමයින්ගේ දෙමාපියන්ට හෝ වෙනත් වැඩිහිටියන්ට ඇතුළු විය නොහැකිය. එමෙන්ම ළමයකු විසින් කිසියම් ප්‍රශ්නයක් නාට්‍ය ගැන ඇසුවොත් ඒ දරුවාට පිළිගත හැකි පිළිතුරු දීමත් අනිවාර්ය වේ. ‘නරිබෑනා’ නාට්‍යයෙහි දෑවැද්දට නරියාට දෙන්නේ (දඩොරියා) බල්ලෙකි. බල්ලා ජර්මන් ජාතිකයන්ට සුරතලෙකි. එම නිසා නරියා පසුපස සුනඛයන් දිවීම නවතා දමා සතා පෙට්ටියේ සිටින බව හඟවමින් බුරන හඩ පමණක් යොදන්නට සිදුවිය.

සමාජයේ වෙසෙන ජනයාට ආනන්දයෙන් ප්‍රඥාව ලබා දෙන කලා ක්ෂේත්‍රයන් වෙනුවෙන් ම රජය විසින් ස්ථාපිත කර ඇති ක්‍රමයන් සුළු පටු නොවේ ‘නරිබෑනා’ නාට්‍ය ජර්මනියේ රඟදක්වා එම ශිල්පීන්ගෙන් සමුගන්නා දිනට පෙර දින විශේෂ සුහද හමුවක් පැවැත්විණ. එහිදී ඔවුන්ගේ අදහස් ජර්මන් භාෂාවෙන් කරද්දී භාෂා පරිවර්තක කාන්තාව ඉංග්‍රීසි බසින් අපට ‍ෙත්රුම් කළාය. අප ඉංග්‍රීසි බසින් කළ ප්‍රකාශයන් ඇය විසින් ඔවුනගේ භාෂාවෙන් තේරුම් කර දුන්නාය. ප්‍රිය සම්භාෂණ අවස්ථාවේදී ජර්මන් ශිල්පීන් අපට ශ්‍රී ලාංකීය ගීත ගායනා කරන ලෙස ඉල්ලිම් කළේය. පී.වි. නන්දසිරි මහතා කළ ගායනා ඉන්දියානු ශෛලියේ ඒවා බව ඔවුන් විසින් හඳුනාගන්නා ලදී. ම විසින් සී.ටී. ප්‍රනාන්දු සහ ලතා වල්පොල ගයනා කළ ‘ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ සඳ රැස් පැතිරෙන්නේ’... ගීතය ගායනා කරන ලදී. එය ඔවුනට ප්‍රිය ජනක එකක් විය. දයානන්ද මහතාගේ යෝජනාවක් අනුව අපි තිදෙනාම පිරිත් සූත්‍රයක් ගායනා කළෙමු. ඔවුන් සියලුම දෙනා ඊට වසඟ වූයේය. මාස තුන තුළදී ලත් අත්දැකීම් මගේ රංගන කලා දිවිය පෝෂණය කළේය. දයානන්ද ගුණවර්ධනයන් විසින් නිෂ්පාදිත ‘ඉබිකට්ට’ වේදිකා නාට්‍යයේ රඟපෑමෙන් මා ඉගෙන ගත්දේ ද අතිමහත්ය. දන්නා දේ ආදරයෙන් දයානන්දයන් කියා දෙන්නේ ද දයාවෙනි.

නාට්‍ය කලාවට හා සිනමා කලාවට අතිමහත් සේවයක් කළ තවත් කෙනෙකි ජී.ඩී.එල්. පෙරේරා මහතා. මහා කලා පෙළ නමැති සංවිධානයේ නිර්මාතෘවරයා ය. එහි ලේකම්ධුරය දැරුවේ ධම්ම ජ‍‍ාගොඩ සූරීන් ය. මා අධ්‍යාපනය ලැබූ වරාගොඩ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ශාලාවේ ප්‍රසිද්ධ නාට්‍ය රඟදැක්වීම සංවිධානය කරන ලද්දේ ම විසිනි. පළමුව ‘නරිබෑනා’ නාට්‍යයත් ඉන් අනතුරුව ජී.ඩී.එල්. ගේ මඟුල්මතේ සමඟ සක්කර වට්ටං සහ ‍තොටුපොල යන නාට්‍ය කැලණියේ දී ප්‍රදර්ශනය කළේය. කලා පෙළ සාමාජිකත්වය මට නොතිබුණ ද ඔවුනගේ සමීප කලාකරුවකු වීමේ භාග්‍යය මට උදා විය. එහි ප්‍රතිඵලයක් ලෙසින් ජී.ඩී.එල්. ගේ ‘රතුරෝස’ ‘රෝමියේ සහ ජුලියට්’ වේදිකා නාට්‍යයේ රෝමියෝ ගේ චරිතය රඟපැමේ වාසනාව ලදිමි. ජුලියට් ගේ භූමිකාව නිරූපණය කළේ ලියෝනි කොතලාවල රංගන ශිල්පිනිය විසිනි. ෂේක්ස්පියර් රංග කලාවේ සුවිශේෂි ලක්ෂණයන් ඉගෙන ගැනීමට රතුරෝස නාට්‍ය මහඟු අවස්ථාවක් විය. ජී.ඩී. එල්ගෙන් ලත් දැනුම පසු කලෙක මගේ නිර්මාණකරණයට ඉවහල් වූ බව අවංකව ම මෙහි සටහන් කරන්නේ කෘතවේදීත්වය නිසාය.

විවිධ දක්ෂකම් හා දැන උගත්කම් ඇති නාට්‍යවේදීන් සමඟ කටයුතු කරන කාලවකවානු විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්නා අවස්ථාවක් වගේය. චරිත නිරූපණයේ දී ඒ චරිතයට ආවේණික අභ්‍යන්තර හැඟීම් පිටතට ගෙන ඒමේදී රංගන ශිල්පියෙක් වශයෙන් ප්‍රගුණ කළ යුතු දේ බොහෝය. ඒ තුළින් අපගේ පෞද්ගලික ජීවිතය ද ‍පෝෂණය වන්නේ නිරායාසයෙනි. රඟපෑමේ රහස ඉහිල් බවයි. සැහැල්ලුවීමයි. සැහැල්ලු බව ඇති වෙන්නේ සරු සිතක ය. සරු සිත යනු කැලඹීම් හා දොස්වලින් තොර වීමයි. හොඳම මල් පිපෙන්නේ නිසල විලකය. යම් කිසි අයෙකුගේ ආධ්‍යාත්මික සංවර්ධනය ඇතිවීමට ප්‍රධාන වන කරුණු දෙකකි. එකක් දහමයි. අනෙක සාහිත්‍ය හා කලාවයි. සැමවිට සාහිත්‍ය හා කලාව පෝෂණය වන්නේ දහමෙනි. මිනිස් සිත කෙතක් කර ගත යුතුය. මිනිස් සිත කතරක් කරගත යුතු නැත. සියල්ල සුබවාදීව දකිමින් නිතරම අව්‍යාජ සිනහවකින් මුව සරසාගෙන ප්‍රබෝධවත්ව සිටින්නට ඉගෙනගත යුතුය. මෙවැනි ශික්ෂණයක් මා හට ලබා ගැනීමට හැකි වූයේ ප්‍රවීණ නාට්‍යවේදීන් නිසා ය.

රංජිත් ධර්මකීර්ති මහතා විසින් නිෂ්පාදනය කරන ලද ‘මහ ගෙදර’ වේදිකා නාට්‍යයේත් ඔහුගේ ‘චෙරි උයන’ නාට්‍යයේත් රඟපෑමෙන් සතර සවියේ විනය ප්‍රගුණ කළෙමි. පෙරහුරු වැඩි වන තරමට ම කිසියම් චරිතයක් ගොඩ නැඟීමට හැකිවන්නේය. ඉවසීම ජයග්‍රහණයේ මාවත බව මම හොඳින් දැන සිටියෙමි.

රංජිත් ධර්මකීර්තිගේ ‘මහගෙදර’ වේදිකා නාට්‍යය 1965 නාට්‍ය උත්සවයේ අවසාන වටයට තෝරා ගැනීමට විනිශ්චය මණ්ඩලය ප්‍රතික්ෂේප කළේය. ඔවුන් එ‍ෙස් කළේ මට හිමිවිය යුතු හොඳම නළුවා සම්මානය විනිශ්චය මණ්ඩලයට අවශ්‍ය අයෙකුට ඒ සම්මානය දීමට මා අභ‍ියෝගයක් වන බැවිනි. මහා ගත්කරු මාටින් වික්‍රමසිංහයන් ‘මහගෙර’ ගැන ඩේලි නිවුස් පුවත්පතට ඉතාමත් ඉහළින් විචාරයක් ලියා තිබුණි. නාට්‍ය ක්ෂේත්‍රයේ පමණක නොව කුහක අදහස්වලින් පපුව පුරවාගෙන සිටින දුර්ජනයන් සිටබව හොඳින් මා වටහා ගෙන තිබුණි. ඒ සමාජ යථාර්ථය අවබෝධ කර නොගත හොත් අපට අවශ්‍ය ඉලක්කය කරා පිය නඟන්නට අපහසුවනු ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් මොස්කව් නුවරදී චෙරිඋයන රුසියානු නිෂ්පාදනය නරඹා තිබුණා. ඔහු ටම ලියා එවූ ලිපියේ අතිශයින් සතුට ගෙන දුන්නක් විය. සිංහල නිෂ්පාදනයේ ලොපකින්ගේ චරිතය ඉදිරිපත් කළ මා රුසියානු නළුවාට වඩා හොඳින් එම භූමිකාව කළ බවයි. අගය කිරීම කෙනකුට මොනතරම් ශක්තියක් ද? තක්සේරුකරුවන් නැති රටක මුතු මැණික් වලින් ඇති ඵලය කුමක් ද? 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.