සතියේ මියු­සික් වීඩි­යෝව | සිළුමිණ

සතියේ මියු­සික් වීඩි­යෝව

බොහෝ වෙලාවට අපි මෙම විශේෂාංගයෙන් කතාබහ කරන්නේ යොවුන් ප්‍රේමය, විරහව වැනි මාතෘකා යටතේ නිර්මාණය වුණු ගීත පිළිබඳව වුවත් අද තරමක වෙනස් මාතෘකාවක් ඔස්සේ නිර්මාණය වුණු ගීතයක් ගැන කතා කරන්නට අපි හිතුවා. අප මෙන්ම නිරුවත්ව ඉපදී, මවුකිරි බී හැදී වැඩී යොවුන් වියට එළඹි පසු සමාජයෙන් කොන්වන ඒ නිසාම සමාජයෙන් වසන්වී ජීවත් වන පිරිසක් සිටිනවා. මානසිකව විඳවමින් ජීවත්වන මේ පිරිස සමාන මිනිස් අයිතිවාසිකම් හිමිවිය යුතු පිරිසක් බව බොහෝ දෙනකු සිතන්නේ නැහැ. ලිංගිකත්වය යන සාධකය මත යම් පුද්ගලයකුගේ චරිතය විනිශ්චය කළ නොහැකි බවත් වඩා වැදගත් වන්නේ මනුෂ්‍යත්වය බවත් මෙම ගීතයෙන් සහ රූප රචනයෙන් යම් තරමකට හෝ අවබෝධ කරදෙන්නට උත්සාහ ගෙන තිබෙනවා.

ශිහාම් ශිරාන් සහ උමේෂ් කුමාර් පද රචනය කර සිංහල සහ දෙමළ යන භාෂා දෙකෙන්ම ගායනා කරන මෙම නිරුවත්ව ආකාසයේ ගීතයේ සංගීතය ක්‍රිස්ටි රමේෂ් ගෙනි.

ශෙමිල් හේරත් සහ සහානා මයිල්වාගනම් මෙම ගීතය ගායනා කරන අතර මියුසික් වීඩියෝවට උමේෂ් කුමාර්, සිනෙති අකිලා, සෙන්දිල්, මහේෂවරී, දිව්‍යා, උමා, මොහාන් සහ කනීෂ් රංගනයෙන් දායක වනවා.

ආරව් (ARAV) යන කෙටි චිත්‍රපටයේ කතාව තේමා කරගෙන මෙය නිර්මාණය කර තිබේ. මෙය මොවුන්ගේ තෙවැනි නිර්මාණයයි. මීට පෙර එන් දේවදයි (En Devadhai) යන යුග ගීතයත් කල්ලුම් මුල්ලුම් ( Kallum mullum ) යන බැති ගීයත් (devotional) නිර්මාණය කර තිබෙනවා. වත්තල සහ කොළඹ නගරයේ රූගත කර ඇති මෙම සංගීත වීඩියෝව යූටියුබ් ඇතුළුව අන්තර් ජාලයේ නරඹන්නට පුළුවන්. 

Comments