HOLLYWOOD

 කඳුළු මතු කළ විකට නිළිය

හාස්‍යය මුසු වූ රංගනයන් නිසා සිනමා රසික කැළ අතර නමක් දිනා ගත් කැතී ග්‍රිෆින් පසුගියදා තම හිසකෙස් කපා දැමුවා. දැන් ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ තට්ට හිසකින් යුතුවයි. මේ අයුරින් ඇය තම ස්වරූපය වෙනස් කරගත්තේ විකට රංගනයකට නම් නොවෙයි. සැබෑ ජීවිතයේදී මුහුණ දීමට සිදු වූ වේදනාකාරී අත්දැකීමක් ලොවට කියා පාන්නටයි.

මේ වේදනාව උරුම වී ඇත්තේ ඇගේ සොයුරිය ජොයිස් ග්‍රිෆින්ටයි. පිළිකා රෝගයක් ජොයිස්ට වැලඳිලා. මේ දිනවල ඒ වෙනුවෙන් ඇයට ප්‍රතිකාර මාලාවක්ම සිදු කෙරෙමින් පවතිනවා. තම සොයුරියට වැළඳී ඇති මේ රෝගී තත්ත්වය ඉක්මණින්ම සුව වේවායි පතමින් ඇගේ සහායට තමන් නිරතුරුවම කැප වන බව සපථ කරන්නටයි කැතී ග්‍රිෆින් මෙලෙස තම හිසකෙස් මුළුමනින්ම ඉවත් කළේ. තට්ට හිසක් සහිතව ඡායාරූපවලට පෙනී සිටි කැතී, ඒවා සමාජ වෙබ් අඩවිවලට මුදාහැර තිබුණා.

 

එන්රිකේ - ඇනා තාමත් අවිවාහකයි

සුපිරි ගායක එන්රිකේ - ඉග්ලේෂස්ගේ පෙම්වතිය තමයි, ඇනා කොවුර්නිකෝවා ඇය, දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවක්. මේ දෙදෙනාගේ ආදරයට මුල පිරුණේ 2001 දී. ඒ සබඳකම ගතවූ වසර 14ක කාලය තුළ දිස්වුණේ නිවි නිවී දැල්වෙන පහන් සිලක් විලසින්. විටෙක දීප්තිමත් වෙමින් තවත් විටෙක පණ ගැහෙමින් දැල්වුණු ඒ ආදරය තවමත් නොනිමී පවතිනවා.

ඒ වුණත් එන්රිකේගේ දෙමවුපියන්ට ඇනා තවම ආගන්තුක තරුණියක්. මේ සුපිරි ගායකයා මේ වනතුරු තම පෙම්වතිය දෙමවුපියන්ට හඳුන්වා දී නැහැ.

මීට වසර 14කට පෙර එන්රිකේ - ඇනා පෙම් කතාව පටන් ගත් දා සිට කිහිප වතාවක්ම පැතිරී ගිය ආරංචිවල කියැවුණේ ඔවුන් දෙදෙනාගේ විවාහය සිදුවන බවයි. නමුත් තවමත් මේ යුවළ විවාහ වී නැහැ. 2011 දී පැවැති ප්‍රසංගයකදී එන්රිකේ, රසික පිරිසට ඇනා ව හඳුන්වා දුන්නේ තම බිරිය හැටියටයි. එන්රිකේගේ පියා වන ජුලියෝ ඉග්ලේෂස් කීවේ 2014 දී තමන්ට සහ බිරියට ඇනාව මුණ ගැසුන බවයි. ඒ මොහොතේදීවත් එන්රිකේ විසින් ඇයව හඳුන්වා දෙනු ලැබුවේ නැතැයි ඔහු කියා සිටියා.

 

සෙලීනාගේ අමුතුම විදිහේ රාගය

සෙලිනා ගෝමස්ගේ අලුත්ම වීඩියෝව නම් කර ඇත්තේ ‘Fetish’ යනුවෙන්. අසාමාන්‍ය ලෙස රාගය උපද්ද වීම මෙහි අරුතයි. වීඩියෝව නිකුත් වූ විට එය නැරැඹීමට රසික රසිකාවන් දැක්වූයේ දැඩි උනන්දුවක්. නමුත් සමහරු එය නැරැඹීමෙන් පසුව ප්‍රකාශ කළේ තමන් බලාපොරොත්තු වූ දේ එහි නොවූ බවයි. සැබැවින්ම ඔවුන් සෙලිනාගේ අලුත්ම ගීතය ඇතුළත් වීඩියෝවෙන් බලාපොරොත්තු වූයේ එහි නමටම සරිලන ලෙස රාගික දර්ශන රැසක්. නමුත් එහි එවැනි කිසිවක් තිබුණේ නැහැ. මේ ගැන අදහස් දැක්වූ සෙලිනා සහ එම වීඩියෝව අධ්‍යක්ෂණය කළ පෙට්‍රා කොලින්ස් පැවසුවේ එහි ඇතුළත් වන්නේ ලිංගිකත්වය පිළිබඳ රාගය නොව භීතිය පිළිබඳ කැමැත්ත බවයි.

මෙවැනි ගීතයක් නිර්මාණය කිරීමට තමන්ට අවශ්‍ය යැයි සෙලීනා, අධ්‍යක්ෂ පෙට්‍රාට පවසා තිබෙනවා. “Fetish කිව්වාම හැමෝම හිතන්නෙ ලිංගිකත්වය ගැනයි. මේ ගීතයේ එහෙම දෙයක් නැහැ. උමතු සහ සංකීර්ණ ආදරයක් ගැනයි මේ ගීතයෙන් කියැවෙන්නෙ.” සෙලිනා පැවසුවා.

 

‘ටර්මිනේටර්’ යළිත්?

ආනෝල්ඩ් ශ්වසනෙගර් ගේ වික්‍රමාන්විත රංගනයන්ගෙන් සපිරුණු ‘ටර්මිනේටර්’ චිත්‍රපටය මුලින්ම තිරගත වුණේ 1984 දී. මෙහි අධ්‍යක්ෂවරයා, ජේම්ස් කැමරන්. හොලිවුඩ් සිනමාව තුළ ජනප්‍රියත්වයක් දිනාගන්නට කැමරන් හට මඟ පෑදුණේ ‘ටර්මිනේටර්’ චිත්‍රපටය තිරගත වීමෙන් පසුවයි. මේ ජනප්‍රියත්වයත් සමඟම 1991 දී ඔහු ‘ටර්මිනේටර් - 2’ චිත්‍රපටය නිර්මාණය කළා. එයද, අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. ටර්මිනේටර් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටස වූ ‘ටර්මිනේටර් - 3: රයිස් ඔෆ් ද මැෂින්ස්’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ ජොනතන් මොස්ටොව්. මේ වන විට ජේම්ස් කැමරන් සූදානම් වෙමින් සිටින්නේ ටර්මිනේටර් චිත්‍රපට තුනම එක්කර අලුත් නිර්මාණයක් බිහි කරන්නටයි. මේ සඳහා අවශ්‍ය වී ඇති නීතිමය කටයුතු සම්පූර්ණ කර ගැනීමටයි අධ්‍යක්ෂ කැමරන් මේ දිනවල වෙහෙස මහන්සි වෙමින් සිටින්නේ. ටර්මිනේටර් චිත්‍රපටවල ප්‍රකාශන හිමිකම් වෙනත් පුද්ගලයන් සතුව පවතිනවා. ඔවුන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවයි ‘ටර්මිනේටර්’ අලුත් චිත්‍රපටය නිර්මාණයට මුල පිරෙන්නේ. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.