පාරා­දී­සයේ යක්ෂයෝ සහ විචා­රයේ පිසා­චයෝ | සිළුමිණ

පාරා­දී­සයේ යක්ෂයෝ සහ විචා­රයේ පිසා­චයෝ

සිනමා විචාරය සඳහා නව ක්‍රමයක් අපේ රටේ අත්හදා බැලෙමින් පවතී. ඒ සිනමාපටය නැරඹීමෙන් තොරව ඒ ගැන විචාර ලිවීමයි. එවැනි විචාරයකට අනුව මෙය දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහයෙන් නිර්මාණය කෙරුණ සිනමා පටයකි. ඒ පැහැදිලි කිරීම විසින්ම අදාළ නිර්මාණය පිලිබඳ තීන්දුව දී හමාරය. කාන්ස් සිනමා උළෙල නියෝජනය කිරීමට ඉඩ ලද ජූඞ් ගේ සිනමා පටය පළමු වරට මෙරට සීමිත ප්‍රේක්ෂක පිරිසක් හමුවේ ප්‍රදර්ශනය කෙරුණ අවස්ථාව පසුගියදා එළඹුණි. ඒ නැරැඹූ අයට ප්‍රදර්ශනයටත් පෙර මෙය ඩයස්පෝරා ගොඩට දැමීමට හදිසි වූ විචාරකයන් ගැන සහ ඒ ගැන පළකර තිබූ ආධානග්‍රාහී අදහස් ගැන මතුවූයේ හාස්‍යයක් බව මෙහි දී පළමුවෙන්ම සඳහන් කළ යුතුය.

අපේ රටේ ඇතැම් අයට ප්‍රශ්නයක් වනු ඇත්තේ එය දෙමළ නිර්මාණකරුවකුගේ වීම නිසාවෙනි. එසේම එහි නම ඞීමන්ස් ඉන් පැරඩයිස් වීම සමඟින්ම මේ කියන ඞීමන්ස්ලා කවුද යන්න නිර්වචනය කිරිමටද ඇතමුන් හදිසිවනු නියතය. එහෙත් ඒ සියල්ලටම පලමුව කළ යුතු අත්‍යවශ්‍ය කාර්යයක් පවතී. ඒ ජූඞ් ගේ සිනමා පටය ප්‍රදර්ශනය සඳහා අවකාශ සැලැසීමයි. යුද්ධය නිමා වූයේ බොහෝ තුවාල ඉතිරි කර බව අපට ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයයි. ඒ අනුව අදටත් අප ඉදිරියේ ඇති නග්න සත්‍යය වනුයේ නිමාවී ඇත්තේ අවි ගැටුම මිස අර්බුදය නොවන බවයි. සැබෑ අර්බුදය කෙතරම් දරුණුද යන්න ඉතා මැනවින් පැහැදිලි වන්නේ දෙමළ හෝ මුස්ලිම් ප්‍රජාවන් සම්බන්ධ කරුණක් අවම තරමින් සාකච්ඡා මට්ටමට හෝ ගත් සැණින් රටේ වර්ගොත්තමවාදී පිරිස් ගිනි හුළ අතට ගන්නා ආකාරයෙනි. සෑම ජන වර්ගයකම ඉන්නා අන්තවාදීන් නිහඬ කරමින් රටේ වර්ගවාදී අර්බුදය විසඳීමට බලවත්ම බාධාව වී ඇත්තේ අදවන විට යළි හිස ඔසවමින් ඉන්නා වර්ගොත්තමවාදීන් බව තවදුරටත් රහසක් නොවේ.

රටෙහි තිබූ යුදමය වාතාවරණය ඉතා බලවත් ලෙස නිදහස් අදහස් ප්‍රකාශනයට සීමා පැනවූ බව අපි දනිමු. විශේෂයෙන්ම යුද්ධයේ දේශපේ‍්‍රමය හුවා දැක්වීම සිනමාව සඳහා නිර්දේශ කෙරුණ එකම සූත්‍රයව පැවැති මෑත අතීතය අප සැලැකිය යුත්තේ සෘජු සහ වක්‍ර මර්දනයේ අවධිය ලෙසිනි. ඒ නිදහස්ව සිතන්නන්ට ගොළුවීමට බල කෙරුණ අවධියයි. නිර්මාණකරුවන්ට හීලෑ වීමට හෝ නිහඬවීමට බල කෙරුණ අවධියයි. ඒ අවධිය ඇතැම් ප්‍රමුඛතම නිර්මාණකරුවන් ප්‍රයෝජනයට ගත්තේ රාජ්‍යත්වය සඳහාවන සිනමාවක් වෙනුවෙනි. නමුදු එවන් වාතාවරණයක දී වුව ඇතැම් නිර්මාණකරුවන් තම ප්‍රයත්නය අත්හැරියේ නැත. රටෙහි කලා ක්ෂේත්‍රය මුළුමනින්ම විනාශයට නොගොස් පැවතුණේ එවන් දිරිමත් අතළොස්සකගේ ව්‍යායාමය නිසා බව අප අමතක නොකළ යුතුය.

පසුගිය කාලයේ උතුර නියෝජනය කරමින් නිර්මානය වූ සිනමා නිර්මාණ දෙකක් මෙහි දී අපට වැදගත් වේ. ඉන් එකක් සොමීදරන් නම් තරුණ සිනමාකරුවා විසින් නිර්මාණය කරන ලද බර්නි මෙමරීස් නම් වූ වාර්තා සිනමා පටයයි. ත්‍රිකෝණි සංස්කෘතික මධ්‍යස්ථානයේ අනුග්‍රහයෙන් තරංගනී ශාලාවේ වරක් තිරගත කිරීම හැරුණවිට ඉන්පසුව එය ලාංකික ප්‍රෙක්ෂකයාට දැක ගැනීමට ලැබුණේදැයි සැක සහිතය. සොමිදරන් සිය කෘතියට තේමා කරගන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයෙහි දරුණුතම කැළලක් වන යාපනය පුස්තකාලයට ගිනි තැබීමේ සිදුවීමයි. පොත් 97000කට වඩා තිබූ ඥාන උල්පතක් ගිනි තැබීම විශේෂයෙන්ම උතුරේ ජනතාවගේ සිත් සතන් තුළ අවුළුවාලූ ගින්නේ දරුණුකම ඒ සිනමාපටයෙන් මනාව නිරූපිතය. මේ අප දීර්ඝ කාලයක් තිස්සේ වසා ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදෙන ජාතික අපරාධයකි. ඒ සිනමා පටයේ එන පුද්ගලයන් කඳුළු පිරි දෙනෙතින් තමන්ට එරෙහිව කරන ලද ඒ මහාපරාධයේ කම්පනය පළ කරන ආකාරය යුක්තිය අගයන කවරකු වුව සසල කරවන සුළුය. සොමීදරන් සිය සිනමා පටය ප්‍රදර්ශනය කළ අවස්ථාවේ දී ඉතා විවෘතව ප්‍රකාශකර සිටියේ තමන්ට දකුණ සමඟ සංවාදයක් අවශ්‍ය බවයි. එසේම ඔහු කී පරිදි නාගදීපයෙහි තම ශාස්තෘන්වහන්සේ සොයා යන සිංහලයාට උතුරේ දෙමලා මගහැරෙන ආකාරයටම කතරගම මුරුගා දෙවියන් සොයා යන දෙමලාට දකුණේ සිංහලයා මගහැරෙයි. එහෙයින් ඔහු අපට ඇරයුම් කරනුයේ නවතා ඇති තැනින් ජාතීන් අතර සංවාදය නැවත අරඹන ලෙසටය.

ජූඞ් රත්නම් නම් තරුණ සිනමාකරුවා සිය සිනමාපටය දිග හරිනුයේ අසූතුනේ සිට ඉදිරියටය. ඒ ඔහුගේ පරම්පරාවට ජාතික ගැටළුව ග්‍රහණය වන සංවේ දී සන්ධිස්ථානයයි. අසූ තුනද අප යාපනය පුස්තකාලය පරිදිම මගහරින්නට කැමැති කපොල්ලකි. එහෙත් ඉන් බරපතලම පීඩාවට පත් දෙමළ ප්‍රජාවට එය අමතක කරන්නැයි කීම අතාර්කිකය. ජීන් අර්සනායගම් වැනි කීර්තිමත් කිවිඳියකගේ නිර්මාණ කියවන විට මේ බියකරු අත්දැකීම දෙමළ සමාජය කම්පනයට සහ භීතියට පත්කළ ආකාරය වැටහෙයි. ජූඞ් රත්නම් ගේ නිර්මාණයෙහි විශේෂත්වය වනුයේ ඔහු ඒ සමස්ත ගැටළුව දෙස බලන විවෘත ආකාරයයි. අසූතුනේ කළු ජූලිය එතෙක් පාර්ශ්වයකට එක් නොවී සිටි දෙමළ ප්‍රජාවට තෝරා ගැනීමක් සඳහා බල කෙරුණ ආකාරය මෙන්ම එහි දී සිංහල මෙන්ම දෙමළ ප්‍රජාවගේ ප්‍රතිචාර ඔහු ඉදිරිපත් කරනුයේ ඉතා විවෘත ආකාරයකිනි. ඔහුගේ මාමා සන්නද්ධ ක්‍රියාකාරකම්හි නියැලී පසුව සිය උපන් පළාතට පැමිණි අවස්ථාවේ දී ඔහුට හමුවන පැරණි සිංහල මිතුරන් සමඟ වන කතාබහ අපට පෙන්වා දෙන්නේ දේශපාලකයන්ගේ බල ලෝභී න්‍යාය පත්‍ර හමුවෙහි බිඳහෙලන ලද මිනිස් සමූහයක ඛේදයයි.

නිර්මාණකරුවකුට අවශ්‍ය මූලිකම සුදුසුකම වනුයේ විවෘතභාවය සහ අවංකත්වයයි. ජූඞ් සිය නිර්මාණයෙන් ඒ දෙකම මනාව ඔප්පු කර සිටියි. ඉතා දීර්ඝ කාලයක් ගනිමින් ඉතා ඉවසිල්ලෙන් ඔහු නිමවනුයේ යුද්ධයෙන් පසුව නැවත බෙ දී වෙන්වීමක් සඳහා කරුණු සොයනා සමාජයකට සිහිය කැඳවන සිනමා පටයකි. එය එක් අතෙකින් විවේචනයකි. එසේම එය ස්වයං විවේචනයක් බවටද ඒ සමගම පත්වෙයි. එකම අරමුණක් සඳහා සටන්වැදීම තෝරා ගන්නා එකම ජාතියට අයත් එහෙත් දේශපාලන වශයෙන් වෙනස් මත දරන්නන් සිය අරගලය තුළ මුහුණ දෙන අභියෝග මෙන්ම ජයග්‍රහණය උදෙසා වන මාවතෙහි තමන් විසින්ම කපා ගන්නා ලද බොරු වළවල්හී වැටී වැනසෙන ආකාරය ඔහු මෙහි දී සාකච්ඡාවට ගනියි.

සිනමා පටයෙහි එන වැදගත්ම කොටසක් වනුයේ මේ විවේචනාත්මක අතීතාවර්ජනයයි. එය ඔවුන් දිගු කලක් තිස්සේ පීඩාවට පත්ව සිටිනා වාර්ගික ප්‍රශ්නය අහෝසි නොකරන අතර සිය අයිතිවාසිකම් උදෙසා කළ අරගලයෙහි ශේෂ පත්‍රය විමසුමට ලක් කරයි. ඒ අනුව ජූඞ් ඉතා වේදනාකාරී ස්වයං විවේචනයක් සඳහා වන මාවතකට පිවිසෙමින් ඒ අතරම තම වර්ගයාගේ දීර්ඝකාලීන අර්බුදය පිලිබඳ හඬ නැ‍ඟීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියි. මෙය ලෙහෙසි කාර්යයක් නොවන්නේ දෙපාර්ශ්වයේම ඇතැම් කණ්ඩායම් කොන්දේසි විරහිතව තම ආස්ථානයන්හිම රැඳී සිටිමින් අනෙකා විවේචනය කරන සහ හෙලා දකින ප්‍රවේශයක් අනුගමනය කරන හෙයිනි.

සිනමා පටයෙහි එන එක් සංකේතයක් අතිශය වැදගත් වෙයි. ඒ දුම්රියයි. උතුර සහ දකුණ අතර සබඳතාවන්හී අමතක කළ නොහෙනා සම්බන්ධීකාරකයක් වන්නේ දුම්රිය සේවාවයි. එල්ටීටීඊ ප්‍රහාර හමුවේ එය නතර කර දමන ලද අවස්ථාව යනු වාර්ගික යුද්ධයේ එක් තීරණාත්මක අවස්ථාවකි. එය එක් අතකින් උතුර සහ දකුණ දුරස්වීම නිරූපණය කරන්නකි. ජූඞ් සිය නිර්මාණයට මේ සංකේතය මනාව භාවිත කරයි. යුද්ධයේ ප්‍රතිපලයක් ලෙස දුම්රිය නතරවූ පසුව කැළෑවට යටවන දුම්රිය මඟ සහ මැදිරි, රූස්ස නුග ගසක ආධිපත්‍යයට යටවන බඩු ගැලක රූපය, යුද්ධයෙන් පසුව නැවත ප්‍රවාහන කටයුතු ඇරඹීමේ දී නුග ගස පියවරින් පියවර කපා හෙලන ආකාරය ජූඞ් ඉතා දැනුවත් අයුරින් තිරයට ගෙන එයි. ඒ සංකේත දකින විට සිහි වන්නේ හඳගම ඉනිඅවන් සිනමා පටයෙහි දී විසල් ට්‍රක් රථ හරහා උතුරේ ප්‍රාග්ධනය ක්‍රියාත්මක වන ආකාරය සංකේතවත් කළ ආකාරයයි. ජූඞ්ගේ සිනමා නිර්මාණය අද දවසේ අත්‍යවශ්‍යවම පවතින දේශපාලන සංවාදයකට ප්‍රවේශය සාදන නිර්මාණයක් ලෙස සැලකීම වඩා යෝග්‍ය වෙයි. 

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.