පිරි­නි­වන් මංග­ල්‍යය කැන්ටා­ටාව | සිළුමිණ

පිරි­නි­වන් මංග­ල්‍යය කැන්ටා­ටාව

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් නිරමාණය කළ පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව ලොව ප්‍රථම බෞද්ධ කැන්ටාටාව ලෙස පිළිගැනේ. බුදුන් වහන්සේගේ පිරිනිවීම වස්තු විෂය සේ ගෙන නිර්මාණය කළ මෙම කැන්ටාටාව, 2007 වර්ෂයේ වෙසක් පෝය දින ඉන්දියාවේ බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉදිරිපිට දී මුල් වරට ගායනා කර ඇත. ජේ.ඊ. සේදරමන් විසින් රචිත බලියාග කවි ආශ්‍රයෙන් නිර්මාණය කළ පිරිනිවන් මංගල්‍යය උසස් කලා කෘතියක් වශයෙන් මේ මොහොතේ ද රසිකයා තුළ අධ්‍යාත්මික හික්මීමක් ඇති කරනු ඇත.

ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් වරෙක සංගීතය පිළිබඳ මෙසේ පවසා ඇත. “සංගීතය එක්ක හැම දේම සම්බන්ධයි. මිනිස්සුන්ගේ හැසිරීම්, ඔවුන් එහෙම හැසිරෙන්නේ ඇයි? මිනිස්සුන්ගේ ජීවිත, මිනිස්සුන්ගේ අධ්‍යාත්මය ඒ හැම දේම එක්ක සංගීතය සම්බන්ධයි.

මම කියන්නෙ නෑ හැම ප්‍රශ්නයක්ම සංගීතයෙන්ම විසඳගන්න පුළුවන් කියලා. ඒත් මතක තියා ගන්න, සංගීතය රස විඳින්න පුළුවන් වෙන තැනට මනස සකස් කරන්න හැකි වුණ දාට ජනතාවගේ අධ්‍යාත්මික විනය නිවැරදිව ගෙඩනැගෙනවා. ඒක කරන්න පුළුවන් නිවැරදි සංගීත අධ්‍යාපනයකින් විතරයි. නැත්තම් මේ කොදෙව්ව ආයෙත් කැළේටම යන එක වලක් වන්න බෑ.” පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව පිළිබඳ ගයත්‍රී කේමදාසයන්ගේ කට හඬ මෙසේ අවදි විය. ‘පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව, මා දකින්නේ,ගෞතම බුදුරජුන් පරිනිර්වානයට මුහුණ දෙන අවස්ථාවේ ස්වභාව ධර්මයත්, මානව ධර්මයත්, තුළ සිදුවූ භාවමය කම්පනයේ පැවති ගැඹුරු අවකාශයන් කටහඬ සහ සංගීතමය නාද රටා තුළින් මවන ‘සංගීතමය චලන චිත්‍රයක්’ විදිහටයි. මෙහි එන කවි රචනාවේ සාහිත්‍යම අර්ථයත් සමඟ ජන සංගීතය තුළ පැවති නාද රටාත්, බටහිර සහ පෙරදිග සංගීතයේ පවතින නාද රටාත් සමඟ සුසංයෝගයෙන් ගොඩනැගෙන ‘සංගීතයමය අපූර්වත්වය’ ඔස්සේ රසවිඳින්නා විවිධ අධ්‍යාත්මික පරාසයන් වෙත ඔසවා තබනවා.

කට හඬ තුළ පවතින නාද රිද්මයේ සජීවීත්වය සහා නාට්‍යෝචිත බව තුළින් අවස්ථා සහා සිද්ධි රසිකයාගේ මනස තුළ සජීවී රූපාවලියක් බවට පත් කරනවා. එම සත්‍ය පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාව පුරාම පැතිරී පවතිනවා.

ඕනෑම රටක සංගීතඥයෙක් භාෂා ව්‍යවහාරයේ පවතින වෙනස ඇතුළත තමයි වැඩ කරන්නේ. ඉතාලි, ප්‍රංශ, ජර්මන් ආදී ලෝකයේ කුමන භාෂාවකින් නිර්මාණය වුණු කැන්ටාටාවක් වුවත්, එම බටහිර කැන්ටාටා තුළ දී රිද්මය එක දිගට ගලාගෙන යනවා. පිරිනිවන් මංගල්‍යය තුළ ජන සංගීතයේ පවතින ව්‍යවහාරික භාෂා රටාවත් සමඟ, රිද්මය වෙනස් වෙමින් ගලාගෙන යනවා. එය හරිම සුවිශේෂී. ජන සංගීතයයේ පවතින පිරිත් ආදී නාදයන්ගේ ශබ්ද රටාවන්ගේ විවිධ හැඩයන් පිරිනිවන් මංගල්‍යය කැන්ටාටාවටම ආවේණික වුණු ශෛලියකින් ගොඩනගනවා. එම ශෛලිය තුළ දී චෙලෝ, වියෝලා, වයලීන්, ඕබෝ වැනි බටහිර වාදන භාණ්ඩයන්ගේ හඬවල් සමඟ සිතාර්, උඩැක්කි, තම්මැට්ටම් වැනි පෙරදිග වාදන භාණ්ඩයන්ගේ නාද රටාවන් රිද්මයානුකූලව ගනුදෙනුවක් සිදු කරනවා. ඒ කිසිම හඬක් එකිනෙකට බාධාවක් වෙන්නේ නෑ. ඒ තුළින් මානව සංහතියේම හදවත් තුළ නිවීමක් ඇති කළ හැකි නාද රටාවන් නින්නාද වෙන්න පටන් ගන්නවා.

පිරිනිවන් මංගල්‍යය පටන් ගන්න තැනම අපිට ඇහෙන්නේ වයලීන්, වියෝලා, චෙලෝ බේස්. ඒ හැම වාදන භාණ්ඩයක්ම ආරම්භ වන්නේ ඉතාමත් සියුම් රිද්මයකින්. ඒ තුළින් අධ්‍යාත්මික පෙළඹවීමක් ඇති කර සංගීතය ඇසිමට අපිව සුදානම් කිරීමක් සිද්ධ කරනවා. ඒ සියුම් රිද්මයන් කඩලා මැදින් එක්වරම මතුවෙන සිතාර් හඬින් අපිව වෙනස්ම තැනකට ගෙනයනවා. එතන දී එන සිතාර් හඬ සුවිශේෂී. සිතාර් හඬ වාදන වෘන්දයත්, ගායන වෘන්දයත් අතර සම්බන්ධතාවයක් ඇති කිරීමට මැදිහත් වෙනවා. ගායන වෘන්දයේ එන විවිධ හඬ තල (Voice Parts) ඔස්සේ ගලාගෙන යනවා.

පන්සාළිස් අවුරුදු මුණි රජිදුන් වැඩ හිඳ

චුන්දය දන් දුන් බොජුනේ රෝ ගිණි නැග එද

ගංගා තිර වැටෙනා මෙන් නොළසා එ මුහුදු

සංසාරේ නිම්තෙර හිඳ මරුවා හැඬු සඳ

‘ගංගා තිර වැටෙනා මෙන්’, ‘සංසාරේ’ ආදී වචන නැවත නැවත ගායනා කරනවා. ඒම ගායනයේ පවතින පුනරුක්ති සහිත රිද්ම රටා ඔස්සේ ශබ්ද රසය තුළින් රසිකයාගේ මනස තුළ අර්ථ රසය ඉස්මතු කරනවා.

පැතුම් බලෙන් තෙමසක් ගිය තැන් දැන

නිවන් සුවෙන් සමවත් මුණි අරගෙන

ඉතින් පිරිනිවන් පානෙම් සිතු දැන

එයින් දෙරණ කම්පා විය අපමණ

අනඳ තෙරිඳු වඩමින් මුණි ළඟටා

නැමැද පතුල් බිම හස කර සතුටා

නිසද පොළොව කම්පා වුණි එවිටා

කිමද ඇසුවෙ මුණිඳුන්ගෙන් මෙවිටා

මහසත් බිහිවන කලටත් මෙලෙසේ

වසවත් දිනූ බෝ මැඩදිත් එකසේ

ඉමහත් කෙට බිම් කම්පා වුණු සේ

මෙදිනත් මගේ පිරිනිවන ද මෙලෙසේ

මෙම ගායනයත් සමඟ බටහිර වාදන වෘන්දයේ නාද රටා පෙරදිග වාදන භාණ්ඩ සමඟ ඒකාත්මිකව නින්නාද දෙනවා. වචන තුළ අන්තර්ගත අර්ථය, සංගීතයේ රිද්මයන් සමඟ පුළුල් අවකාශයක විහිදී, රසිකයාගේ රසවින්ඳන පරාසය පුළුල් කරනවා.

එක එක රිදී තොරණින් ද

දෙක දෙක රන් රුවනින් ද

සක දිසි පිළි තොරණින් ද

නෙක රන් තරු විල සේ

සැක හැර දහම් නිසින් ද

මහා සඟ සපිරිවරිනි ද

සල් උයනේ මුණි නන් ද

වැඩහුන් සඳ මෙලෙ සේ

සොඳින සුදන රැස්වන සල් වන මැද‍

මෙදින පිරිනිවන් පානෙම් කී සඳ

නිබඳ හඬන හඬ මහ සඟ වැඳ වැඳ

ඉවත නොයනු නොහඬනු අණ කරනු ද

තෙරිඳුට අඬ ගසමින් අනඳ තොප හඬන්නේ කිමද මෙ දැන්

තෙමසට මුල පෙරදින් නොදනුද මරු මට කලෙ අයැදුන්

සසරට මුණි නොබැඳුන් සිරිතැති සිව් විසි තැන් වඩමින්

නිමකොට බුදුසිරි දැන් මම යමි නිවනට අළුයමදින්

අද සිට කවර බුදුන් සමග හිඳ කරනෙමි පැන විසඳුන්

මගකොට ආ සමිඳුන් දෙනෙත මට කිමද කෙළේ අයැදුන්

සඳවට තරු කැළ මෙන් සැඳී හිඳ නමදිමි කවර බුදුන්

අද සිට මගේ මුණිඳුන් කියන්නේ කාටද අනේ ඉතින්

කාටද අනේ ඉතින්...

මෙහි දී යොදා ගනු ලබන සංගීතය සහා හඬ තල පරාසයන්ගේ නාද රටා තුළ පවතින සංකීර්ණත්වය තුළින් ‘කාටද අනේ ඉතින්’යන ප්‍රශ්නාර්ථය තවත් තවත්, ප්‍රශ්න කරනා තැනකට ගෙන යනවා.

සල්වන පිරිනිවනේ මුණිඳු සඳ

දල්වන පහන මෙනේ

මල්දන වැද දෙරණේ හඬන කඳුළින්

අලුුයම මෙදිනේ

උල් දිය විල් ලෙසිනේ නෙතින්

මහසෙන් කඳුළැලි සැළුණේ

සල්වන මල් පවනේ හැඬුම් හඬ

ලෙව් සැම තැන් ඇසුණේ

මල්දන නැගි පහන් ගොසින් කිව

මල්ල රජුට මෙවදන්

වල් වැදි සත යන සේ නොවන්

කිව මල්ල රජුට පුරදින්

සල් වන තුළ මුණිඳු පිරිනිවි කල්

දැන වැඩි මෙලෙසින්

බොල්විය අද මුණිඳු ගොසින් දැන්

මල්ල රජුට පවසන්

මල්ල රජුන් සැට දහසම එ විගස

ගොල්ල සමඟ ප්‍රියයන් හා නිසි ලෙස

ලොල්ල වඩන දෙනුවන් කඳුළින් පිය

එල්ල වරළ බඳිමින් එති මඟ බැස

සල් වන සෙල් සෙනෙ දැකලා මුණිඳු

සල් වන සොල්වන සේ හැඬු නිරිඳු

කල් මුණි මල් වු අනුරුද තෙරිඳු

කල් නුවණින් සිත සනසයි නිරිඳු

ඔවා දෙමින් දුක් නිෂ්පල වන්නේ

මුවා සඳුන් දර සෑ බඳිමින්නේ

දවා සොහොන් ඒ මුණි රජිඳුන්ගේ

නිවා ධාතු ගනුවයි සනසන්නේ

කෙළෙසින් සෑ මත මුණිඳුන් ලන්නේ

කෙළෙසින් සවුනේ ධාතු ලබන්නේ

කෙළෙසින් පෙර කල මුණිඳු දවන්නේ

එනයින් වදාල මැන තෙරිඳුන්නේ

රන් බඳ රන් සිළු ගෙන සරසන්නේ

රන් දෙණ සුවඳින් තෙල් ගල්වන්නේ

රන් තෙරණින් පුන් සිරි මවමිනිනේ

චන්දන සෑ මත දෙණ වඩමින්නේ

සක්විති රජ පෙර දවනා විලසට

වික්මැති මුනිඳුන්ගේ සරණේ සිට

දුක් නැති කොට රන් දෙණ සිරසා කොට

නික්මෙව මුනිඳුගේ ආදාහනයට

සංගීත භාෂාවේ පවතින සංකීර්ණත්වයත්, කට හඬ නාදයේ පවතින රිද්මයත් භාවාතිශය තැනකට අපේ සිත අරන් යනවා.

එහි දී සිංහල භාෂාව නොතේරෙන විදේශීය ජාතිකයෙකුට පවා මෙම ගායනා තුළ පවතින රිද්මයත්, භාවයත් රසවිඳිය හැකි වෙනවා. කටහඬවල් තුළින් මිනිස් සිතේ අභ්‍යන්තරය එළිය ගෙන රසිකයාගේ මනස තුළ අවස්ථා නාට්‍යෝචිත සිද්ධි පෙළක් මඟින් චලන චිත්‍රයක් ගොඩනගනවා. ඒ ඔස්සේ සංගීතය සමඟ රසිකයා ඒකාත්මීක සහෘද ගනුදෙනුවක් සිදු කරමින් රසවින්ඳනය කරා යොමු වෙනවා. එය කැන්ටාටා රසවිඳිම සඳහා ඉතාමත් වැදගත්. ඒ ඔස්සේ, රසවින්ඳනයට එහා ගිය ‘හිතන්න පුරුදු කරන දැනුමක්’ රසිකයාට ලැබී, ඔහු තුළ අධ්‍යාත්මික සංයමයක් ඇතිවීම ආරම්භ වෙනවා.

(Maestro Premasiri khemadasa - Pirinivan Mangallaya- Full version HD 3D-You Tube)

(ඉදිරි කලාපය හා සම්බන්ධයි.)

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.