මනු දම් රකින්නෝ දෙවි මෙන් වටින්නෝ

ප්‍රාදේශීය රෝහලේ රෝගීහු රැස් කකා සිටියහ. පාසල් ළමයින්ගෙන් රෝහල පිරී තිබුණි. කලබලයෙන් එහා මෙහා යන හෙදියෝ තමන් ගේ අවධානය කිසිවිටකත් ඉවතට නොගත්හ. කවදාවත් නැතිව මේ සිදුවී ඇති දෙය හරියටම වටහා ගැනීමට නොහැකිය. දිනය සිකුරාදාවක් වීම තවත් ප්‍රශ්නයකි. ඈතින් ඇසෙන ළතෝනිය මහද කම්පා කෙරිණි. සුදු ගවුම් ඇඳගත් දරුවන් කීහිපදෙනක් රෝහලේ ඇඳන් මත දිගා වී සිටියහ. එහෙත් කිසිදු වෛද්‍යවරයෙක් රෝහලේ වාට්ටුවේ නොසිටියේය. මවුපියෝ කලබලයෙන් වෛද්‍යවරයකු සොයති. මම පෝළිමෙන් ඉවත් වී වෛද්‍යවරයා කොහිදැයි සෙවුවෙමි.

'' කෝ.... මේ වෝඩ් එකේ දොස්තර.''

''දැන් නම් එන වේලාව හරි. දැන් එන්න ඕනේ."

මම දෙතුන් වරක් එහාට මෙහාට ඇවිද්දෙමි. ඒත් වෛද්‍යවරයා පේන තෙක් මානයක නොසිටියේය. ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ මේක ආණ්ඩුවේ රෝහලක් වීමයි.

'' ඇත්තටම හැමදාමත් මේ හොස්පිටල් එක මෙහෙමද? මම අසල සි‍ටි පුද්ගලයෙකු ගෙන් ඇසුවෙමි.

'' නෑ. නෑ. එහෙම නෑ. හැමදාමත් මෙහෙම නෑ.''

බෙහෙත් ගන්න පෝළිම ද එන්න එන්නම දිග වැඩි විය. බෙහෙත් දෙන වෛද්‍යවරයා ද හෙම්බත් වී සිටින අයුරු පෙනුණි. ඒත් වෝඩ් ඩොක්ටර් පේන තෙක් මානයක නැත.ො

මම මගේ වාරය පැමිණෙන තෙක් අසල බංකුවක් මත වාඩි වුණෙමි. මවුපියන්ගේ ඉවසීමේ සීමාව පැන ඇති බව පෙණේ.

'' මේ කොහේ ළමයි ටිකක්ද? අසලට පැමිණි කිසිවකු අසනු මට ඇසුණි‍ෙ

'' මං හිතන්නේ මාවනැල්ල පැත්තේ. මේ ළමයි කොළඹ බලන්න ඇවිල්ලා ආයිත් මාවනැල්ලේ යන ගමන් තමයි මේ ඇක්සිඩන්ට් එක වෙලා තියෙන්නේ.'

'' ඇත්තටම පුදුමයි මේ ළමයින් ගේ ජීවිත බේරුණා. තාප්පෙ හැපිලා තියෙන්නේ සුළු පටු හැප්පිල්ලක් නොවෙයි. ''

'' හොඳ වෙලාවට ළඟපාත ඉස්පිරිතාලයක් තිබුණා.''

මා අසල සිටි අනෙකා කීවේ තරමක් කණගාටුවෙනි. වෛද්‍යවරයාගේ පැමිණීම ප්‍රමාද වුවත්, හෙදියෝ යුහුසුළුව තමන්ගේ කාර්යේ නිතර වූහ. වරින් වර වෛද්‍යවරයා සොයමින් ඇමතුම් ලබා ගන්නා බව පෙනුණ ද ඉන් පලක් නොවන බව පෙනී ගියේය. බොහෝ දෙමවුපියෝ කලබල වී සිටියහ. එහෙත් කලට වේලාවට දරුවන්ට අවශ්‍යතා සැපිරෙන ආකාරය මම දුටු වෙමි.

'' ඇත්තටම වෛද්‍යවරයා එන්න ඕනනෙ.‘

''මෙහෙම පුළුවන් ද මේ වගේ වෘත්තියක් කරන්න.'‍

බොහෝ දෙනාගේ මැසිවිලිවල නම් කෙළවරක් නොවීය. මෙය ප්‍රාදේශීය කුඩා රෝහලක් බව මේ වන විටත් බොහෝ දෙනාට අමතක ව ගොස් ඇත. හැම දෙනාම උත්සාහ කළේ අඩුපාඩුවක් සෙවීමටය.

'' කෝ ඉතින් මේ ඉස්පිරිතාලෙට ඇම්බුයුලන්ස් එකක් තියෙන එකක්යැ.''

'' ඒක ඇත්ත තමයි. මං හිතන්නේ සේවකයොත් ඒ තරම් නෑ. මේ වගේ වෙලාවක මොනවා කරගන්නද?''

එකිනෙකාගේ අදහස් විවේචනවල නම් කෙළවරක් නත. වැරදීමක් කොයි මොහොතේ ද යන්න පිළිබඳව සිතා ගැනීමට නොහැකිය.

'' අනේ අපි හිතුවේ නෑ. මේ වගේ දෙයක් වේවි කියලා. අපි එක්කගෙන ආවෙත් පළපුරුදු රියදුරෙක්. සාමාන්‍යයෙන් අ‍පේ ට්‍රිප්වලට එන්න කියන්නෙත් එයාට තමයි. මෙච්චර කාලයකට මේ වගේ දෙයක් වෙලා නැහැ.''

අප අසලට ආ ගුරුවරියක් කීවාය‍ෙ

'' එතකොට ඩ්‍රැයිවර් මහත්තයාට තුවාලද?'

'' අපෝ කියලා වැඩක් නෑ. ඩ්‍රැයිවර් මහත්තයාගේ ඔළුව පැලිලා. ‍පාරේ යන වාහනයක් නවත්තලා ඉස්පිරිතාලයට යැවුවා. මිනිහා සී.ටී.බී. එකේ වැඩ කරලා පැන්ෂන් ගිය ඩ්‍රැයිවර් කෙනෙක්. මේ අවුරුදු ගණනට මිනිහා කාවත් හප්පලා නැහැල්ලු.

අප සමීපයට ආ ගුරුවරියක් පැවැසුවාය.

'' මෙච්චර වෙලාවක් වෙලත් කෝ තාමත් දොස්තර කෙනෙක් නෑ. ඇත්තටම මේ ළමයි ටිකට බෙහෙත් දාන්නේ ‍නර්ස්ලා නේ. හරි නම් දොස්තර කෙනෙක් ඉන්න ඕනේ. ඒත් මේ ඉස්පිරිතාලේට වගකීමක් තියෙන දොස්තර කෙනෙක් නෑ.''

ගුරුතුමියට වෛද්‍යවරයාගේ වගකීම පමණක් සිහිපත් වී ඇත. එහෙත් මෙතරම් සේවයක් කරන ‍හෙදියන් ගැන ඇයට අමතක ය.

තොරතෝංචියක් නැතුව කියවාගෙන ගිය ගුරුතුමිය නැවත වාට්ටුව දෙසට යන්නට හැරුණාය.

අහසේ බීරුම සවස් කාලය එළඹ ඇති බවට සාක්ෂි දරයි. වේගයෙන් පැමිණි මෝටර් රථය රෝහල අසල නතර කළේය. ටයි එකක් පැළඳගත් අයෙක් වේගයෙන් කොරිඩෝව දිගේ ඉදිරියට එනු මගේ ඇස ගැටුණි.ො

'' ඒ දොස්තර මහත්තයා. හානේ මේ දැන් නේ එයා එන්නේ?''

දෙමවුපියෝ කෑගැසූහ. දෙමවුපියන් දොස්තර මහතා වට කරගත්තේ මහා අපරාධකාරයෙක් වටකරගන්නා අයුරිනි. ඔවුන්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. ඔවුහු වෛද්‍යවරයාගේ සේවය ලබාගන්නවා වෙනුවට ඔහු වට කරගෙන කෑ මොර තැබීමට පටන් ගත්හ.

වෛද්‍යවරයාට ඉහින් කනින් දාදිය දාන්න පටන් ගත්තේය. ඔහු එකවරම කන්දෙක වසා ගත්තේය. ඇස් කරකවා එහා මෙහා බැලුවේය. මොකද්දෝ දෙයක් කියන්නට උත්සාහ කරන බවක් ද පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

'' මේ පොඩ්ඩක් මං කියන දේ අහන්න මං මං..... මගේ'‍

ඔහුට කියන්න හැකි වූයේ එපමණකි.

'' මේ මහත්තයා අපට නිදහසට කරුණු එපා අපේ පොඩි එවුන් මෙහේ වේදනාවෙන් කෑගනවා. මහත්තයා රාජකාරිය පැහැර හැරලා නිදහසට කරුණු කියනවා.''

'' ඇත්තටම මං නිදහසට කරුණු කියන්නේ නෑ. අද උදේ මගේ බිරිඳ දරුවා ලැබෙන්න ගිහිල්ලා නැති වුණා. එහෙම වුණේ නැත්නම් මං මෙලහකට හොස්පිටල් එකට ඇවිල්ලා. මං මේ ආවේ ඒ දෙන්නාගේ මිනිය මෝචරියට බාර දීලා. මට ඕගොල්ලන් ගේ අනුකම්පාව එපා.''

ඔහුගේ වදනින් මගේ සිත කීරි ගැසී ගියේය. කතා කරගැනීමට නොහැකිව වචන උගුරේ හිරවී යන බවක් මට දැනුණි. මොහොතකින් රෝහල මීයට පිම්බා මෙන් විය. රෝගීන්ට කෙඳිරිල්ල ද අමතක විය. අල්පෙනෙත්තක් බිම දැම්මත් ඇසෙන තරම්ය.

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.