සංහි­ඳි­යාව සිංහා­ස­නා­රූඪ කරවූ පැර­කුම් යුගය... | Page 2 | සිළුමිණ

සංහි­ඳි­යාව සිංහා­ස­නා­රූඪ කරවූ පැර­කුම් යුගය...

අනුරාධපුර යුගයේ සිට පොළොන්නරු රාජධානිය දක්වා සිදු වූ ආක්‍රමණ සංඛ්‍යාත්මකව ඉතාමත් වැඩිය. මේ කාලයේ රටේ ''සෞභාග්‍ය ගොඩනැංවීම" යන ඉලක්කය ජය ගත් බවක් වංශකතාවන්හි හෝ ජනප්‍රවාදයන්හි නැත. ඒ වෙනුවට රජවරු අභියෝගයට ලක් කළ ආක්‍රමණයන් සහ පලායාම් ගැන සඳහන් වේ. පොළොන්නරුව රාජධානියට මහා පරාක්‍රමබාහු රජුගේ ආගමනය සිදු වන විටත් එම රාජධානිය ප්‍රාන්තයක් වශවෙන් රාජ රාජ චෝල සහ රාජේන්ද්‍ර යන්නන්ගේ බලකොටුවක්ව පැවැතුණි. විජයබාහු රජු පොළොන්නරුවේ රාජ රාජ චෝල සහ රාජේන්ද්‍ර සමඟ කඩින් කඩ යුධ වැදුණද රට තමන්ගේ ධජය යටතට ගැනීමට හෝ දිගු කාලයක් එක්සේසත් කොට පවත්වා ගැනීමට සමත් නොවෙයි.

මෙසේ රාජ රාජ චෝල පාලකයින් දීර්ඝ කාලයක් තිස්සේ රජ කරමින් සිටි පොළොන්නරුව රාජධානිය, විජයබාහු රජුගෙන් පසුව මහා පරාක්‍රමබාහු රජු සිය අණසකට නතු කර ගැනීමෙන් අනතුරුව, තම රාජ්‍යත්ව සමයේදී ආක්‍රමණයන්ට ඉඩක් තැබුවේ නැත. එහෙත් ආක්‍රමණයක අනතුර නිරතුරුව තිබුණ බව රජු දැක තිබේ.

යළි යළිත් ආක්‍රමණ සිදු විය හැකි ප්‍රවණතාව පෙනෙන මානයේ වුවද මහා පරාක්‍රමබාහු රජුගේ දැක්ම වූවේ ආක්‍රමණයකට මුහුණ දීමේ ජවසම්පන්න බව ඇති කර ගැනීම පමණක් නොවේ.

දහසක් මිනිසුන්ගේ කල්පනාවන් නුවණින් දකින්නට තැත් දැරූ රජු සිය රාජධානියේ ඔවුන් පරාජිතයින් බවට පත් කරනවා වෙනුවට ජයග්‍රාහකයින් බවට පත් කිරීම අරමුණු කළහ.

එතුළින් සියල්ලන්ට සිය සිතැඟියාවන් දිනවා සංතෘප්තියෙන් දිවි ගෙවන්නට ඉඩහසර ලබා දීමේ අපූරු ප්‍රයත්නයක රජු නියැලී සිටියේය. ඒ සඳහා රජු රටේ සෑම ජාතික, ආගමික සහ වෙනත් ජන කොට්ඨාශ මෙල්ල කරන්නට සිය සෙන්පතියන් හරහා යැවූ පණිවිඩය වූකලී ''සංහිඳියාවේ" පණිවිඩයයි. ආක්‍රමණිකයින් මෙල්ල කළා වූත්, සියලු මනුෂ්‍යයන් දමනය කළා වූත් රට සෞභාග්‍ය කරා මෙහෙය වූත් එකී අතිශය ප්‍රබල පණිවිඩය මහපොළවේ පැළ කරවූවේ කෙසේද?

අප රටේ කලා කෘති අධ්‍යයනයේදී සත්ව රූප යොදා ගැනීම සුලභය. වාස්තු විද්‍යානුකූලව පැරැන්නන් දිශානුගතව සතුන් නම් කර තිබේ. චෛත්‍යවල සතරදිශාවට ඇති වාහල්කඩ තුළ මෙම සතුන් නිර්මාණය කර තිබේ. ඒ නැගෙනහිරට ඇතා ද දකුණට අශ්වයා ද බස්නාහිරට ගවයා ද සහ සිංහයා උතුරට වශයෙන් ද නම් කරමිනි. එස්. පරණවිතානයන්ගේ "ලංකාවේ ස්ථූප" කෘතියේ ඒ බව සඳහන් වෙයි.

වාස්තු විද්‍යාත්මකව නම් කර ඇති මෙම සතුන් අනුරාධපුර යුගයේ "සඳකඩ පහනට" යොදාගෙන තිබේ. මෙම පුදබිමට පිවිසෙන සතරදිග්භාගයේ සියල්ලම ජාති ආගම් කුලවාද ප්‍රාදේශීය භේදයන් නැති බවත් පුදබිම සියල්ලන්ගේමය යන්න බවත් තහවුරු කිරීමට රජු යත්න දරා ඇති බව පෙනේ. එහෙත් ආක්‍රමණිකයන්, තමන්ගේ ආගමික විඥානයට මුවා වී මේ සත්ත්ව රූප කැටයම් කලාව වරදවා තේරුම් ගෙන තිබේ.

අසිංහලයන් එදවස විශාල වශයෙන් වාසය කළ පොළොන්නරුව රාජධානියේදී මහා පරාක්‍රමබාහු රජු ඒ පිළිබඳව සිහිනුවණින් කටයුතු කර ඇත. ඒ අනුව, අනුරපුර යුගයේදී සඳකපහනේ දක්නට ඇති "ගව" සහ ''සිංහ'' රූප පොළොන්නරු යුගයේදී ඉවත් කිරීමට රජු වගබලා ගෙන තිබේ.

සඳකඩ පහ‍ෙණ් ඇත් සහ අශ්ව රූපයන් පමණක් ඉතිරිවන්නට ඉඩ හැර ගවයාගේ සහ සිංහයාගේ රූප ඉවත් කොට "ගව" රූපය වටදාගේ මුරගලෙහි ඉහළින් අඹා තිබෙනු ඔබට දැකිය හැකිය. සිංහයාගේ රූපය බොහෝ තැන්වල අඹා සැරසිල්ලක් වශයෙන් සහ සංකේතයක් වශයෙන් සඳකඩ පහනේ මේ සත්ව රූපයන්ට සුවිශේෂී ගෞරවයක් ලබා දී තිබේ.

අද බොහෝ විද්වත්හු මෙම ගවයාගේ රූපය ඉවත් කිරීම පිළිබඳ විවිධ මත දරති. විශේෂයෙන්ම ඔවුන් සඳකඩ පහණින් ''ගවයා'' ඉවත් කිරීම පමණක් අවධානයට යොමු කර ''සිංහයා'' ඉවත් කර තිබීම කතිකාවෙන් ගලවා තිබේ. ඒ අන් යමක් නිසා නොව මහා පරාක්‍රමබාහු චින්තනය අද කියවන්නන්ට මඟහැරී ඇති හෙයිනි.''ගවයා'' යනු හින්දු භක්තිකයින්ගේ ගෞරවාදරයට පාත්‍රවූවෙකි. ඒ ශිව දෙවියන්ගේ වාහනය ලෙස ගවයා නම් වී ඇති හෙයිනි. විශාල වශයෙන් හින්දුන් වාසය කරන රාජධානි ප්‍රදේශයේ එම භක්තිකයින්ගේ වැඳුම් පිඳුම් ලබන ''ගවයා'' පයට පෑගෙන ලෙස කැටයම් කර තැබීමෙන් ඔවුන්ගෙන් ආ බලපෑමට උපායශීලීව මුහුණ දුන් රජු ගවයා සඳකඩ පහනින් ඉවත් කළේය. සිය දෙවියන්ගේ වාහනය එතැනින් ඉවත් කොට මුරගල ඉහළින් ගෞරවාන්විත තැනෙක තබා, හින්දු භක්තිකයින් සනහාලන්නටත් ඔවුන්ට තවදුරටත් රාජ්‍යත්වය තුළ උරන වන්නට අයිතියක් නැති කරන්නටත් රජු කටයුතු කර ඇත.

මේ අතර සිංහයා යනු සිංහලයාගේ සංකේතාත්මක නිරූපණයයි. අද සඳකඩ පහණින් සිංහයා ඉවත් වීම අපට අමතකව ගොස් තිබුණ ද රජු ගවයා ඉවත් කිරීමට සමගාමීව ''සිංහයා'' ද ඉවත් කළේ සිංහලයින්ගේ සිත් ජාතිකවාදී ගින්නෙන් දැවෙන්නට පෙර සැනහාලන්නට නොවේද? සිංහල හා දෙමළ ජාතීන් අතර ආරවුල් ඇති වීමට ඉඩක් නොතබමින්ද රාජ්‍යවය තුළ සියල්ලන් නියෝජනය කරවමින්ද කිසිදු ජනකොට්ඨාශයක් එකිනෙකාට යටත් නැති බව අඟවමින්ද විශේෂයෙන්ම සියල්ලෝම තමාගේ යටත් වැස්සෝය යන්න රජුගේ සිතිවිල්ල වී තිබුණි.

යටත්වැසියන් අතර බෙදීම්, ආරවුල් ඇතිවීමට ඉඩ අවුරුවාලීමට රජු කටයුතු කර ඇත්තේ සහජීවනය ඇති කරවන සෞම්‍ය අවියක් යොදා ගනිමිනි. ඒ අනුව, අනාදිමත් පෞරාණික කලා කෘතිවල වූ ස්වභාවය සහ හැඩයන් අකුළා ගන්නට පවා රජු උපායශී නොවු­‍ෙණ්ද?

අනුරපුර සහ පොලොන්නරුව යුගයේ ගෘහනිර්මාණ ශිල්ප ගැන කතා කරන විද්වත්හු පොළොන්නරුව යුගයේ ගෘහනිර්මාණ ශිල්පයන්ට හින්දු ආභාෂය පැමිණ ඇති බව අදහස් කරති.

එහෙත්, මාගේ ගවේෂණයට අනුව, උපායශීලී වූ මහා පරාක්‍රමබාහු රජු තම රාජධානියේ ඉදි කළ බෞද්ධ සිද්ධස්ථානයන්හි පිටතින් හින්දු ගෘහ නිර්මාණ මූර්ති කලාවට පණ දෙමින්ද ඇතුළතින් බෞද්ධ කලා නිර්මාණයන් සිදු කරමින්ද රටේ සිහළ හා දෙමළ ජාතීන්ගේ සිත් සැනසුවේ රජුගේ සිංහාසනාරූඪ වීම දිග්විජය කරගැනීමට බව තහවුරු වී තිබේ. එමෙන්ම, පොළොන්නරු යුගයේදී දෙමළ වැසියන් වෙනුවෙන් ඒ වන විටත් ඉදි කර තිබූ පූජනීය ගොඩනැඟිලි ඒ අයුරින්ම නඩත්තු කිරීමට මහා පරාක්‍රමබාහු රජු මහත් ඕනෑකමින් කටයුතු කර තිබුණු බවට අදටත් ජීවමාන සාක්ෂි ඇත.

මහා පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය සමයෙන් පසු වසර කීපයක් තුළ පොළොන්නරුවට සිදුවුණු ආක්‍රමණ අධ්‍යයනයේදී කාලිංඝ මාඝ ඇතුල්නුවර සහ පිටනගරයට දැඩි සේ හානිකර ඇති බව වංශකාවේ කියැවේ.

නමුත්, තිවංක පිළිමගෙය, ථූපාරාමය, ලංකාතිලකය වැනි පිළිමගෙවල් ආක්‍රමණිකයින්ගේ ගොදුරුවල ඉලක්කය වී නැත. මහා පරාක්‍රමබාහු ක්‍රමෝපායයයේ ජයග්‍රාහී අවස්ථාවකි මේ. අද වන විට එම සිද්ධස්ථානයන් කාලයාගේ ඇවෑමෙන් විනාශ වී තිබෙනු විනා ආක්‍රමණයන්ගෙන් සිදු වූ විනාශයක් නැත.

නමුත් එම ආක්‍රමණිකයින් මහා පරාක්‍රමබාහු රජුගේ මාළිගාව මුළුමනින්ම ගිනිබත් කොට තිබේ. ආගමික මුහුණුවරක් නොගත් දැවැන්ත මාළිගාව ආක්‍රමණිකයින් ගිනිබත් කළ බවත් මාස ගණනාවක් තිස්සේ එය ගිණිගත් බවත් ජනප්‍රවාදයේ කියැවේ. අවුරුදු දස දහස් ගණනක් හුදී ජනයාට වැඳුම් පිඳුම් කිරීමට ඉදිකළ සිද්ධස්ථාන අනාගතය වෙනුවෙන් රැකදීමේ ඓතිහාසික උපායමාර්ගය මහා පරාක්‍රමබාහු ජය ගත්හ. ආක්‍රමණිකයන්ගේ සිතැඟියාව රාජධානියට පහරදීම වුවද රාජධානිය තමාව නිරූපණය කිරීමෙන් ආක්‍රමණිකයා දුබල කරවීමට රජු ගත් ක්‍රමෝපාය ඇදහිය නොහැකි තරම්ය

අවුරුදු සියයකට ආසන්න කාලයක් රාජ රාජ චෝල, රාජේන්ද්‍ර විසින් රජකළ පොළොන්නරුවේත් රටේත් සිය පැවැත්ම නිශ්චිතව තහවුරු කර ගැනීමට නම් එහි විශාල වශයෙන් වසන අසිංහලයන්ගේ සහයෝගය තමාට අවැසිම කාරණයක් බව රජු කල්තියාම මැනවින් අවබෝධ කරගෙන තිබුණි.

වසර සියයකට ආසන්න කාලයක් දෙමළ පාලකයකුගේ අණසක පැතිරුණු මේ රාජධානියේ වාසය කරන දෙමළ ජනයා ගණනින් ඉතා වැඩි බව ඔබට වැටහෙනු ඇතැයි සැක නැත. පිටනුවර වසන දෙමළ ජනයා භීතියෙන් යටත් කරන්නට නොව, සිය උපායශීලී බවින් වසඟ කර නැවත ආක්‍රමණයකට ඉඩක් නැති කළා පමණක් නොව, ඔවුන් මානසිකව නිරායුධ කිරීමෙන් තුටුවීමේ අභිලාශයක් ද රජු කෙරේ නොවීය. ඒ වෙනුවට, රට කලාපයේ සෞභාග්‍යයේ සංකේතය බවට පත් කිරීමට කාලයක් ආක්‍රමණ කෙරේ සිත යෙදවූ දමිළයින්ගේ ඥාණය, ශ්‍රමය මහ පොළවේ වික්‍රමයන් වෙත යෙදවීය.

වසර තිස් තුනක් තුළ දැවැන්ත වාරි තාක්ෂණයක් රටේ ගොඩනඟන්නට රජු සමත් වූයෙත් රට සහලින් ස්වයංපෝෂිත කළේත් රට එක්සේසත් කොට දිග්විජය කළේත් එම වික්‍රමය නිසාවෙනි

අද වන විට රට පුරා බෞද්ධ ආගමික සිද්ධස්ථානයන්හි දේවාළ එනම්, පත්තිනි, කාලි, විෂ්ණු, පුල්ලෙයාර තිබීම ඉතාමත් සුලභය. ඒ මන්දයත්, රාජ්‍යත්වය රැකගැනීම උදෙසා සංහිඳියාව අවියක් ලෙස යෙදවීම වෙනුවෙන් පරාක්‍රමබාහු රජු සිදු කළ දැවැන්ත වික්‍රමයේ අපූරු ඵලයක් වශයෙනි.

බෞද්ධ පන්සල්හි ත්‍රිවිධ රත්නයට වැඳුම් පිදුම් කරන බෞද්ධයෝ අද දේවාලයට ඇතුළු වී මේ භවය වෙනුවෙන් දෙවියන් අයැද පෙරළා පැමිණීමට පුරුදු සිටිති. ඒ කදිම පුරුද්දට මුල් ගල් තැබුවේ මහා පරාක්‍රමබාහු රජු යැයි කියන්නේ නම් ඔබ විමතියට පත්වනු ඇත. එදා පොළොන්නරුව රාජධානිය සුඛිත මුදිත කිරීමේ ඒකායන අධිෂ්ඨානය වෙනුවෙන් සංහිඳියාව ඇති කිරීමේල නුවනින් රජු සිදුකළ මහා පරාක්‍රමය ඒනයින් අදත් ඔබට දැකිය හැකිය

අපේ රටේ බෞද්ධයින් පන්සල් ගියේ මතු භවය වෙනුවෙනි. හින්දු සංකල්පය අනුව, ඔවුන් සිය වන්දනාවන් සිදු කළේ මේ භවය සංතෘප්තිමක් කර ගැනීමේ ඒකායන පැතුම වෙනුවෙනි.

බෞද්ධ ධර්මය අනුව, මේ භවය වෙනුවෙන් දෙවියන්ගේ පිහිට පැතීම ආධුනිකය. නමුත් පොළොන්නරුව රාජධානියේදී මහා පරාක්‍රමබාහු රජුගේ උපායමාර්ගික සැලැස්ම තුළ බෞද්ධයින්ට ඊළඟ භවය වෙනුවෙනුත් මේ භවය වෙනුවෙනුත් පන්සල කටයුතු කරන බව පසක් විය.

රට ස්වයංපෝෂිත කිරීම බෙදුනු ජන කොටස් දෙකක් සමඟ සිදු කළ නොහැකිය. පිරිසක් ඊළඟ භවය ගැන හිතමින්ද තවත් පිරිසක් මේ භවය ගැන හිතමින්ද කටයුතු කරන්නේ නම් එය දුෂ්කරය.

පරාක්‍රමබාහු රජු සිදු කළේ මේ මානසික බෙදීම් එක් ධඡයක් තුළ දිනවීමය. එහි පරාජිතයකු සිටිය නොහැකිය. සියලලන් තුටු සිතින් ජීවත් වී තිබුණි. සියල්ලගේ ජීවන සංකල්පනාවන්ට ඉඩක් වෙනු වී තිබුණි. රට සහලින් ස්වයංපෝෂිත කළේ රජු ඒ අයුරිනි.

අහසින් වැටුණු එකඳු ජල බිඳක් හෝ අපතේ නොයැව්වේද රට මැද සාගරයක් තැනුවේද ඒ සා උපායශීලී වෙමිනි.

 

(නිදහස් ගවේශක ඉන්දික මානවඩු සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලදී)

 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.