එදා අවිගත් දෑතින් අද ජීවනාලියට අත්වැලක් | සිළුමිණ

එදා අවිගත් දෑතින් අද ජීවනාලියට අත්වැලක්

 අශෝක රජ්ජුරුවො චණ්ඩාශෝක වුණේ දික්විජය ප්‍රතිපත්තිය අනුගමනය කරන්න ගිහින්. අන්තිමට ජීවිත ලක්ෂ ගණනක් නැති වුණාට පස්සෙ තමයි රජ්ජුරුවන්ට තේරුණේ මේ යුද්ධයේ තිබෙන නිරර්ථකභාවය ගැන. ඒ වගේම පසුකාලීනව මහා ඇලෙක්සැන්ඩර් රජ්ජුරුවොත් අධිරාජ්‍යයක් ගොඩ නඟාගන්න උත්සාහ කළා. එයත් හිතපු තරම් ඒ වැඩේ සාර්ථක වුණේ නැහැ. අන්තිමට මහා ඇලෙක්සැන්ඩර් රජ්ජුරුවන්ට අකාලයේ අඩු වයසින් මිය යන්නටත් වුණා.

යුද්ධය මොනතරම් බිහිසුණු අත් දැකීම් ඇති කළාද කියන එක අපට මේ කතාවලින් තේරුම් ගන්න පුළුවන්. වඩාත්ම අගය කළ යුතු කාරණය වන්නේ අප විසින් යථාර්ථය තේරුම් ගැනීමයි.

අවබෝධය ඇත්නම් කිසිවකුට කිසි වරදක් කරන්න බැහැ. අපි පුංචි කාලෙ අහපු කතාවක තියෙනවනේ කපටි නරියා සිංහයාටයි කොටියටයි දෙන්නටම කේළාම් කියල දෙන්නවම කොටවන්න හැදුවත් අන්තිමට කොටියාත් සිංහයාත් නොරැවටුණු බව. ඒ අවබෝධය නිසයි. කපටියන් හැම තිස්සේම දෙපැත්තෙන්ම වාසි ගන්න බලාගෙන ඉන්නවා. අපි නුවණක්කාරනම් ඒ කපටියන්ට අහුනොවී ඉන්න හැකියාව තියෙන්න ඕන.

අපේ රටෙත් අවුරුදු 30කට කිට්ටු කාලයක් යුද්ධයක් තිබුණා. යුද්ධය නිසා ඇතිවුණු විනාශයේ තරම තවමත් උතුරු පළාතේ පෙනෙන්නට තියෙනවා. ඒ වුණත් අවබෝධයෙන් ක්‍රියාකරන එක තමයි වඩාත්ම වටින්නේ. යුද්ධයේ පෙරමුණ ගත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවයි. ගුවන් හමුදාවත් නාවික හමුදාවක් පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකායත් ඒ සඳහා සහාය ලබා දුන්නා තමයි. නමුත් පෙරමුණේ හිටපු යුද හමුදාව තමයි මෙ සටනේ ප්‍රධානම නියමුවන් වුණේ.

යුද හමුදාවට ඍජුවම මුහුණට මුහුණ ආපු සතුරු සංවිධානය තමයි රට බෙදන්න කතා කරපු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදී සංවිධානය. යුද්ධයෙන් එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී සංවිධානය සම්පූර්ණයෙන්ම පරාජයට පත් වුණා. එහි නායකයන් විසින් තරුණ කොටස් නොමඟ යවලා තිබුණේ. ඒ තරුණ පිරිසට නිසි අවබෝධය ලබා දීල මේ වන විට සහෝදරත්වයෙන් ජීවත් වෙන්න අවස්ථාව සලසා දීල තියෙනවා. ඒ අවස්ථාව බොහෝ අයට සලසා දීල තියෙන්නෙ තමන් සම්පූර්ණයෙන්ම වෛර කරපු යුද හමුදාවත් එක්ක වැඩ කරන්නයි. මොනවයින් මොනව වෙයිද කියල හිතා ගන්න පුළුවන් වෙයිද? මේ ගැන සොයා බලන්න අපි කන්කසන්තුරයේ යුද හමුදා ගොවිපොළට ගියා. අක්කර 16ක් පුරා මේ ගොවිපොළ පැතිරී පවතිනවා. මේ ගොවිපොළේ එල්.ටි.ටී.ඊ. පුනරුත්ථාපනය වු තරුණ තරුණියන් 43 දෙනකු සේවය කරනවා. ඒ අය සේවය කරන්නේ හමුදා සෙබළුන් සමඟ එක්ව මිත්‍රත්වයෙන් වීමයි මෙහි විශේෂත්වය වන්නේ. එකම දෙනා එකම සේවයක් ලෙසින් මේ කටයුත්ත කරන්නේ. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ අධීත්ෂණය යටතේ මේ සියලු කටයුතු සිදු කෙරෙනවා. අනෙක් එක ඒ සියලු දෙනාම යුද හමුදා සේවක සෙබළුන් විදිහටයි මේ කාර්යය කරන්නේ. පුනරුත්ථාපනය වූ පිරිස් සමඟ අප ගොඩාක් කතා කළා. ඔවුන් බොහෝ දෙනෙක් ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධව ඇත්තේ ළමා වියේදීම බවයි අපට දැන ගැන්මට ලැබුණේ. රට බෙදීමක් කියන්නේ මොකක්ද කියලාවත් මේ අය දැනගෙන නැහැ.

‘අපිට ලැබුණු උපදෙස් අනුවයි අපි වැඩ කෙළේ, ඊළම කියන්නෙ මොකක්ද කියලවත් අපි දැනගෙන හිටියෙ නෑ. යුද්ධය හින්ද අපිට හරියට ඉස්කෝලෙවත් යන්න ලැබුණෙ නෑ. දැන් නිදහස් රටක විශ්‍රාම වැටුප් තියෙන රස්සාවක් අපිට ලැබිල තියෙනවා. හොඳ අනාගතයක් තියෙන බව අපට තේරෙනවා. යාපනේ ආඥාපතිතුමා මේ සියලුම දේ ගැන හොයල බලනවා.‘ ඒ අක්කරායන්කුලම් හි පදිංචිව සිටි ෂර්මිනී අපට කී කතාවයි. ‘අප එකම රටක වැසියන් ලෙස ජීවත්වෙන්න ලැබීම ගැන දැනෙන්නේ කියන්න බැරි සතුටක් මම දැන් දරු සුරතල් බලන්න සූදානමින් ඉන්නෙ. පුසූත නිවාඩු තියෙන හමුදා සේවයකයි මම දැන් ඉන්නෙ. අපිට වැටුපත් රුපියල් 50000කට කිට්ටු ගණනක් ලැබෙනවා. දැන් නම් අපේම රටක් අපට ලැබිල තියෙනවා. ඒ රට ශ්‍රී ලංකාවයි. කාටවත් අත නොපා මැරෙනකල් ජීවත්වෙන්න මේ රස්සාවයි පැන්ෂන් එකයි තියෙනවනේ ‘‘ ඒ රෝචනා පැවසූ කතාවයි.

සෝබනා ගේ අදහස වූයේද රජයේ රැකියා කරන ගුරුවරුන් රජයේ කාර්යාල සේවකයන් මෙන්ම තමන්ටද රජයේ රැකියාවක් තිබෙන බවයි. ‘උදේ 8.00 සිට හවස 4.30ට ගෙදර යන්න ලැබෙන රස්සාවක් අපට ලැබිල තියෙන්නේ. පැරැණි සේවකයන්ට මසකට දින 7ක නිවාඩු තියෙනවා. අලුත් අයට දින 5ක් තියෙනවා. තවත් ඉතින් මොනවද? ‘ යුද හමුදාවේ අභිමානය තමන්ට ලැබී තිබෙන බවත් ඒ ගරුත්වය තමන්ටද හිමිව ඇතැයි යන්න ඉෂෝභිනීගේ මතය වී තිබෙනවා. යුද හමුදාවේ මෙන්ම විනය හා කැපවීමත් අපට ලැබී තිබෙන ලොකුම දායාදයක්. වෙලාවට වැඩ කරන්නත් අපි පුරුදු වෙලා තියෙනවා. ‘ යුද හමුදා ලාංජනය එක්ක ටී ෂර්ට් හැඳ සිටීම මහත් අභිමානයක් කොට සලකන බව ඇයගේ මතයයි.

‘අපට නම් දැන් ජීවත් වෙන්න රස්සාවක් තියෙනවා. ඒත් පුනරුත්ථාපනය වෙච්ච තවත් 12000කට අධික තරුණ තරුණියන් රස්සා නැතිව ඉන්නවා. ඒ අයට අනිවාර්යෙන්ම රස්සා හොයල දෙන්න කියන ඉල්ලීමයි අපට කරන්න තියෙන්නෙ, නැත්නම් ඒ අය කුමක් කරන්නේද යන්න ගැන විශාල ගැටලුවක් මතු වෙන්න පුළුවන් ‘ ඒ රාජ රූපන්ගේ අදහසයි කලච් චෙල්වම් පවසන්නේද එවන් කතාවකි. කන්කසන්තුරයේ මෙන්ම තවත් ගොවිපොළ රැසක් ඉඳි කළ හැකි බවත් ධීවර රැකියාවන් පවා විධිමත්ව සිදු කිරීමට කටයුතු කළ යුතු බවත් ඔහු පෙන්වා දෙනවා. අද අප සතුටින් හිටියාට තවත් විශාල පිරිසක් රස්සාවක් නැතිව ඉන්න හිටින්න තැනක් නැතිව තවමත් කඳවුරුවල ඉන්නවා. ඒ සියලු දෙනා ගැනම අපේ කියන හැඟීම ඇතිවුණොත් හොඳයි.

අවිගත් දෑතින් අද ගොවිබිම සරුවී බඩ කට පුරවන එළවුළු හට ගන්නා බවයි පෙනෙන්නේ. මේ සියලුම එළවුළු වස විස නැතිව වගා කරනු ලබන අතර එම කිසිදු එළවුළුවක් හෝ පලතුරු කිසිවක් යාපනය වෙළෙඳ පොළට නිකුත් කිරීමට කටයුතු කරන්නේ නැහැ. එයට හේතුව වී ඇත්තේ එම ප්‍රදේශයේ ගොවියන්ට තම පළදාව අලෙවි කර ගැන්මේ අපහසුතා ඇති වන්නට ඉඩ ඇති නිසයි.

මේ තරුණ තරුණියන් සියලු දෙනාගේ එකම අරමුණ වී ඇත්තේ ඒකිය රටක සියලු දෙනාම එක්සත්ව දිවි ගෙවිය යුතු බවයි. එසේ වුවත් එම පුනරුත්ථාපනය වු තරුණ තරුණියන් විසින් පවසනු ලබන කරුණු ගැනද දැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. පුනරුත්ථාපනය වූ තරුණ තරුණියන් 12000ක් පමණ මේ වන විට කිසිදු රැකියාවත් නොමැතිව එක් රොක්ව සිටීම එතරම් සුදුසු නොවනවාක් මෙන්ම සුළුකොට තැකිය හැක්කක්ද නොවේ. ඒ ගැන වගකිව යුත්තන් හෙට නොව අදම කල්පනා කළ යුතු වේ.

 

Comments