මඩුවන්වෙල උපන් කාමරයෙන් මතු වන රතු හැට්ටකාරී! | සිළුමිණ

මඩුවන්වෙල උපන් කාමරයෙන් මතු වන රතු හැට්ටකාරී!

 මෙතෙක් කතාව...

මඩුවන්වෙල මහ දිසාවේ යනුවෙන් හැඳින්වුණු මඩුවන්වෙල කෝරළේගේ ඇවෑමෙන් දේපළවල අයිතිය පැවරුණේ මොලමුරේ පරපුරටය. 1521 සිට පැවතෙන බව විශ්වාස කෙරෙන මඩුවන්වෙල පරපුරට සුදු ගෝණකු රජුට දීම නිසා මඩුවන්වෙල නින්දගමද, ‘අතලාවලයා’ නම් දාමරිකයා ඇල්ලීමේ සතුටට පනාමුරේ නින්දගමද පසුව කටුවන සටන ජයගැනීමේ උදාරත්වයට වලකඩ නින්දගමද යන ප්‍රධාන නින්දගම් තුන ඇතුළු විශාල ඉඩකඩම් ප්‍රමාණයක් සහ උළු සෙවිල්ලූ වලව්වක් වෙනුවෙන් තඹ උළු කැටයක්ද හිමි වන්නේ 1700න් පසු කාලයේය. මඩුවන්වෙල පරපුරේ අවසන් පුරුක ලෙස සැලකෙන මඩුවන්වෙල කෝර‍ළේ හොඳින් ඉංග්‍රීසි බස හසුරුවමින් සුද්දන් මට්ටු කළ අයකු ලෙස ප්‍රකටය. මේ පැරැණි කතාව සිදු වූ මඩුවන්වෙල වලව්වට ගිය අපට දැනගන්නට ලැබුණේ ‘කරලිනා හාමි’ නම් වලව්වේ වැඩ කළ කාන්තාවකගේ ආත්මය මඩුවන්වෙල දිසාවේ උපන්කාමරයේදී අදටත් සමහරුන් ඉදිරියේ පෙනී සිටින බවය...

අප කාමර එකින් එක නරඹමින් මඩුවන්වෙල ශ්‍රී විභූතිය පිළිබඳ විස්මයෙන් ගමන් කරන්නට වීමු. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අපට ඒ එකිනෙක පිළිබඳ මනාව විස්තර කරමින් සහාය දුන්හ. මඩුවන්වෙල දිසාවේ සැතපුණු සයනය දැන් නැතත් මැද මිදුලක් අසල වූ ඒ සීමාව වෙනත් වියන් ඇඳකින් සරසා තිබේ. අතීතයේ විවාහක යුවළ අද මෙන් කාමරයක් තුළ නොසිටි අතර, බිරින්දෑවරුන් සිටි කාමරයෙන් එළියේ පිරිමින් නිදාගැනීම සිරිතක්ව තිබුණු බව කවුරුත් දන්නා කරුණකි. එහෙත් මැදමිදුලෙන් හමා එන සිහිල් මඳ පවනින් සැනහෙමින් මඩුවන්වෙල කෝරළේ එළිමහනේ සැතපුණේ ඒ සම්ප්‍රදාය රකින්නටම නොවේ.

එක් අතකින් සොරසතුරන් වලව්වට හානියක් කරත්දැයි කන්දීගෙන සිටින්නට සුදුසු ස්ථානය මෙය විය යුතුය. අනෙක් අතට ‘ගම්පදේ’ ගැසූ දිනක ඒ සඳහා කලවානේ මැණිකෙගෙන් වෙන් වූ ස්ථානයක් අවශ්‍යය. ‘ගම්පදේ’ යනු තමන් කැමැති ගමේ තරුණියක එදින රාත්‍රිය ගත කිරීම සඳහා වලව්වට ගෙන්වාගැනීමේ නියෝගය බව අපට කීවේ උදය ඇමතියගොඩ බස්නායක නිලමේය.

යටත්විජිතවාදීන්ට විරුද්ධ වුවද ඔවුන් ගෙනා මත් වතුරට බොහෝ සෙයින් ඇලුම් කළ මඩුවන්වෙල දිසාවේ නිරන්තර මධු විත තොලගාන්නකු වූ බව කීවේ අපට හමු වූ ‘කලවානේ මැණිකේ’ය!

“අපේ කෝරළේ හරියට බොනවා. ඒ වගේම හරිම සැරයි. එයා එන්න කීවාම අකැමැති වෙන ගමේ ගෑනු අය දඬුකඳේ ගහනවා. ඉතින් මට ඒ අය ගැන දුක හිතුණාම හොරෙන් නිදහස් කරලා දානවා. ඒවා අහු වුණාම කොරළේ දඬුවම් කරන්නේ මට.

මට දිග කොණ්ඩයක් තිබුණා. කෝරළේට කේන්ති ගියාම කෙහෙ වැටිය අල්ලලා ලාච්චුවේ දාලා යතුරු දානවා. මම ඒ හැම එකක්ම ඉවසුවා.”

ඇගේ කතාවෙන් වලව්ව පිළිබඳ තිබූ අපේ විස්මය මේ පුනරුත්පත්ති කතාව වෙත යොමු විය. ඇය අපට හමු වුණේ අහම්බෙන් මෙනි. තමන් කලවානේ මැණිකේ බව දැනගෙන බොහෝ කල් වුවත් කිසිදු අයුරකින් එය හෙළි වනවාට ඇය කැමැති නොවූ නිසා අදටත් එය රහසක්ව පවතී. අප මේ විශ්වයේ සිදු වන දේවලින් අබැටක් තරම්වත් නොදන්නා අය වන නිසාත්, බෞද්ධ දර්ශනයට අනුව පුනර්භවයක් තිබිය හැකි නිසාත් ඇය කියන කතා එසේ නොවේයැයි තර්ක කිරීමට ශක්තියක් අපට තිබුණේ නැත. හදිසියේ මුණගැසුණු ඇයගේ ඇතැම් තොරතුරු අප විමතියට පත් කිරීමට හේතු විය.

“අදටත් එයා එහෙමයි.”

“කවුද?” මම ඇගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා විමසිල්ලෙන් බලමින් ඇසුවෙමි. ආචාර්ය අකිල විජය රාජපක්ෂ, ඇමතියගොඩ බස්නායක නිලමේ, ඡායාරූප ශිල්පී සුදත් මෙන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පිරිසද මුව අයාගෙන බලා සිටියේ ඇගේ මුවින් පිට වන ඊළඟ අසාමාන්‍ය පිළිතරු කුමක්ද කියාය.

“මඩුවන්වෙල කෝරළේ... එයා මේ ආත්මෙත් මට වඩා මිටියි; සැරයි; කීවොත් කීවාමයි. රැවුල, ඇස් දෙක, උස වගේම වැඩත් ඔක්කොම එදා වගේමයි.”

ඇය මේ කියන්නේ ඇත්තක්ද? ඇයට ඇත්තේ ඉතිහාස තොරතුරු දැනගැනීමෙන් පසු ඇති වූ මානසික තත්ත්වයක්ද? නොඑසේ නම් කොරළේගේ පුනරුත්පත්තියයැයි කියන්නා සිතට කැවූ අදහසක්ද? මේ සියල්ල රැළි ගැන්වුණු නලළින් යුතුව අසා සිටියද අදහාගත නොහැකි කතාව නම් ඇය හැරුණු කොට කෝරළේ නමින් පුනරුත්පත්තිය ලැබ සිටින්නා පමණක් නොව, ඔහු වලව්වට නිතර ගෙන්වාගත් ඇත්තියන් දෙදෙනකුද තම තමන්ගේ පුනරුත්පත්ති කතාව සත්‍යයක් බව පිළිගැනීමයි.

“ඒ දෙන්නත් එක්ක කෝරළේ හුඟක් ඇඟෑලුම්කම් තිබ්බා. ඒත් මම ඉවසනවා ඇර වෙන මොනවා කරන්නද? මම එයා‍ගෙ දෙවැනි බිරිඳ. අපි බැඳලා මේ වලව්වට ආව දවසේ මහා වැස්සක් වැස්සා; ලොකූ කුණාටුවකුත් ආවා. ඒ හුළංපාරට වැටිච්ච අත්ත තමයි අර ලොකුවට තියෙන්නේ්.”

මඩුවන්වෙලට ඇතුළු වන විට දකුණු පස මිදුලේ දැකිය හැකි හරස් අතට දිවෙන දැවැන්ත අත්ත පෙන්වමින් ඇය කල්පනා ලෝකයේ නිමග්න වූවාය.

“කරලිනාහාමි නම් දැනුත් ඔතන ඇති” ඇය කීවේ මඩුවන්වෙල දිසාවේ උපන් කාමරය දෙසට හිස හරවමිනි.

ඒ කාමරයට පිටු පා සිටි මගේ පිට සීතල වුණා සේ හැඟී මම වහා හැරී බැලුවේ “කෝ?” කියාගෙනය. අපේ පිරිසද අණක් ලැබුණු විටෙක මෙන් එකවර ඒ දෙස බැලූහ. කිසිවකු සිටියේ නැත.

“කවුරුත් නෑනේ!” අපි නාට්‍යයක මෙන් එකට කීවෙමු.

“බලන්න, රතු හැට්ටෙකුයි රෙද්දකුයි ඇඳගෙන ඔයහරියේ ඉඳගෙන ඉන්නවා සමහර වෙලාවට. එයා මෙහේ වැඩ කරපු කෙනෙක්. සමහර අයට පේනවා. අද කට්ටිය වැඩි නිසා වෙන්න ඇති පේන්නෙ නැත්තේ.” ඇය ස්ථිරසාරව කියයි.

කලවානේ මැණිකේ ජීවත් වූ කාලයේ කුස්සියේ වැඩට සිටි කාන්තාවක ලෙස අපේ අමුත්තිය ස්ථිර වශයෙන්ම කරලිනා හාමි හඳුන්වන්නීය. තමන් වැඩ කළ වලව්වට කොතරම් බැඳීමකින් ඇය සිටියාද කිව හොත් මරණයෙන් මතු පවා ඇගේ සේවය මඩුවන්වෙල වෙනුවෙන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවකි කතාවෙන් පැහැදිලි වන්නේ.

“අදටත් අපේ කෝරළේ ඇවිත් කතා කළාම පේන්න එනවා. කාමරේ දොරකඩ වාඩි වෙලා ඉන්නවා. ‘කරලිනාහාමි නැඟිටපන්!’ කීවාම නැඟිටලා ඉස්සරහට එනවා.” ඇය සපථ කරයි.

“ඔයාටත් පෙනිලා තියෙනවාද?”

“ඔව්. ඒක නේ මම කියන්නේ රතුපාට හැට්ටයක් ඇඳගෙන ඉන්නේ කියලා. සමහරුන්ට ෆොටොවලටත් අහු වෙලා තියෙනවා.”

අප කොතෙකුත් ඡායාරූප ගෙන බැලුවද අපට කරලිනාහාමි හමු වූයේ නැත. එහෙත් මේ තරුණ කාන්තාව පවසන කතාවේ එන කලවානේ මැණිකේගේ පුනර්භවය නම් අප ඉදිරියේ ජීවමානව පෙනී සිටී. ඇයට මතක තව බොහෝ දේ ඇත.

“කලවානේ මැණිකෙගෙ - ඒ කියන්නේ මගේ - තාත්තා තමයි අර ලොකු ගහ හිටෙව්වේ. කෝරළේ නැති වුණේ කකුලේ තුවාලයක් නිසා. මට වත් කෙර මැණිකෙට වත් එයා දේපළ ලීවේ නෑ නේ. ඔක්කොම ලීවේ එයාගේ තාත්තගේ දෙවෙනි විවාහෙන් ලැබුණු මල්ලිගේ පවුලේ අයට නේ... ඒගොල්ලෝ මොලමුරේලා. ඒ ඇරෙන්න එයාට කවුරුත් සහෝදර-සහෝදරියො නෑ නේ.”

වෛද්‍ය ශාන්ත දුනුකාරගේ පොතට අනුව පසුගිය සතියේ ලිපියේ සඳහන් කළ කරුණ පිළිබඳ විවේචන කීපයක්ම අපට ගලා ආවේය. ඒ, ‘කුඩා මඩුවන්වෙල හැදී-වැඩුණේ මහවලතැන්න වලව්වේය. ඒ තම මව වන එක්නැළිගොඩ කුමාරිහාමිගේ වියෝව නිසාය. ඇගේ සොහොයුරා එක්නැළිගොඩ මහීපාල අත්‍රැකුරුප්පු වික්‍රමසිංහ විය. ඔහුට දරුවන් නොසිටි නිසාත් සොයුරියගේ දරුවා බලාගැනීමට සිටින මොලමුරේ කෝරාළට හෙවත් මඩුවන්වෙලගේ පියාට ඔහුගේ කලින් විවාහයෙන් දරුවකු සිටි නිසාත් කුඩා මඩුවන්වෙලට සිය උපන් වලව්ව අත්හැර යන්නට සිදු විය,’යනුවෙන් අප කළ සටහන අරබයාය.

පුරාවිද්‍යා පර්යේෂණ සහකාර අනිල් බණ්ඩාර මහතා එයට දුන් පිළිතුර තහවුරු කළේ කුඩා කතරගම දේවාලයේ 23 වැනි බස්නායක නිලමේවරයා ලෙස කටයුතු කරන උදය ඇමතියගොඩ මහතා මඩුවන්වෙල කොරළේගේ අන්තිම කැමැති පත්‍රය හොඳින් අධ්‍යයනය කර ඇත්තකු ලෙසය. මඩුවන්වෙල වලව්ව පිළිබඳ ලියැවුණු තවත් පොත්පත්වලින්ද එය පැහැදිලි වේ.

“මඩුවන්වෙලගේ පියා වන මොලමුරේ කුඩා කතරගම දේවාලයේ 13 වැනි බස්නායක නිලමේ. ඒ බව රත්නපුර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සඳහන් වෙනවා. දෙවැනි විවාහය සිදු වන්නේ ඇලපාත කුමාරිහාමි එක්ක. ඒ අයට පුතුන් දෙන්නයි, දුවයි ලැබෙනවා. එක පුතෙක් තමයි මාකඳුරේ රටේරාළ කියන්නේ. ඒ කුඩා කතරගම දේවාලයේ 14 වැනි බස්නායක නිලමේ. අනෙක් පුතා ගම් සභා උසාවියේ සභාපති හැටියට ඉඳලා තිබෙනවා කෑගල්ල පැත්තේ. මඩුවන්වෙල කෝරළේට වැඩිමල් සොහොයුරියන් හිටියේ නෑ. හැබැයි කටුවන සටනට ගිය පනානේ වික්‍රම දසනායක නවරත්න මහමුදලිගේ පරපුරේ නවරත්න කියල දුවක් මේ වලව්වේ කටයුතු බලා කියාගෙන මැණිකෙගේ පරිවාර ප්‍රධානී වගේ ඉඳලා තිබෙනවා. ඒ සහෝදරියක් නෙවේ.”

මඩුවන්වෙල මහ දිසාවේ කාමර 121ක් තරමට වලව්ව විශාල කිරීමට එකම හේතුව තමන්ගේ සිහින නිවෙස තැනීම හෝ ප්‍රභූත්වය ඉස්මතු කිරීම පමණක් නොව, නින්දගම්වල රාජකාරී කළ අය තමන්ගේ වලව්වේම නවත්වාගෙන ඒ සේවාවන් ගැනීමද ඔහුගේ අරමුණක් විය. ඒ පවුල්වල බිරින්දෑවන් රූපත් අය නම් ඔවුන්ට කෝරළේගේ රාජකාරි මෙන්ම දඬුවම්ද බහුලය. ඒ පවුල්වල කාන්තාවන්ට මෙන්ම ගමේ ඕනෑම කාන්තාවකට දරුවන් ලැබෙන්නේ වලව්වේ අඩි දෙකේ දෙකේ පමණ තිඹිරිගේ තුළදීය. ප්‍රසූත වේදනාවේදී වැර ගැනීම සඳහා එල්ලීමට පොල්ලක් එහි ඉහළ රඳවා තිබේ. දරුවන් බිහි කළ යුත්තේ හිටගෙනය.

ඉතිරිය මතුවට...
සටහන හා සේයාරූ
අරුණි මුතුමලී
ඡායාරූප - සුදත් නිශාන්ත

Comments