මහා ගින්නේ දැවුණු අනුලා දේවී

 තමන්ට මොන තරම් සැප සම්පත් උරුම හිමිකම් තිබුණත් සසර පුරුද්දට හොරකම් කළ, මං පැහැරූ දාමරිකයන්ගේ කතා අපේ අතීත රාජාවලියේ ද හමු වෙයි. ක්‍රි. පූර්ව 77 සිට 63 දක්වා වසර 14ක් රාජ්‍ය පාලනයේ යෙදුණු මහා චූලික තිස්ස රජුගෙන් පසු මේ රටේ රාජ්‍ය බලය ගන්නේ වළගම්බා රජුගේ පුත්‍රයකු වූ මහානාග කුමාරයාය. මොහු හොරුන්ගෙත් හොරෙකි. මහා චෞරයෙකි. නම ඇසූ පමණකින්ම ගැමියන් බියපත්ව දුවන මහානාග කුමාරයා මං පහරන දාමරිකයෙකු මෙන්ම අග්‍රගණ්‍ය සොරෙකු ලෙස ප්‍රකට ව සිටියේය. මහානාග නමින් මුලින් ආමන්ත්‍රණය කළත් සොර දෙටුවකු බව හඳුනාගනු ලැබීමෙන් පසු ගැමියෝ ඔහුට ‘චෝරනාග’ යැයි කීහ.

ඔහුගේ හිතුවක්කාර ක්‍රියා හා දේහ විලාසය කෙනෙකු භීතියට පත්කරවන තරම් බියමුසු එකක්ම විය. මහානාග සොර කැල සමඟ කඳු, හෙල්, මුකලාන්, පර්වතවලට සැඟැවී සිට ඇතැම් අවස්ථාවල බෞද්ධ සිද්ධස්ථානවල රැකවරණ පැතීය. තම ආරක්ෂාව පතා ඔවුහු එවන් අවස්ථාවල භික්ෂුන් හමුවට ගියහ. එහෙත් භික්ෂුහු ඔවුනට උදවු කිරීම ප්‍රතික්ෂේප කළහ.

එහෙත් මහානාග හෙවත් චෝරනාග ක්‍රිස්තු පූර්ව 63 සිට 51 දක්වා රාජ්‍යත්වයට පත්වූයේ කිසිවකු නොසිතූ පරිද්දෙනි. මේ රජතුමා රටේ පාලකයා වීමත් සමඟම තමා සොරකු ලෙස සිටි කාලයේ තමන් හා පිරිසට නවාතැන් නුදුන් සියලුම භික්ෂුන් වහන්සේලාගෙන් පලිගැනීමට ආරම්භ කළේය. ඔහු මේ භික්ෂුනට නොයෙක් වදහිංසා පමුණුවා නොනැවතී ඒ ඒ විහාරවල නිධාන ද කොල්ල කෑවේය.

එහෙත් දෛවය කරකැවී එන්නේ පුදුමාකාර ලෙසිනි. ඔහු රජවීමෙන් පසු රාජ දේවිය ප්‍රධාන අගබිසව ලෙස පත්කැරගත්තේ අනුලා දේවියයි. අනුලා රූමත්ය. කාමාශක්තය. තමා සිතූ දෙයක් ලබා ගැනීමට ඕනෑම කුදු මහත් කැපවීමක් කරන්නීය. කාම කලාවේ ඉසියුම් තැන් දන්නීය.

චෝරනාග ද සියලු කම් සැපතට ලොල් කළ සොර දෙටුවකු නිසාම අනුලා දේවියට බෙහෙවින් ඇලුම් කළේය.

චෝරනාග සිත් සේ මධු බී අඳුර තුනී සළු එළන්ට අනුලාවන් ද සමඟ සිරි යහන් ගැබට යන්නේය. දින සති මාස ගත වී යන බවක්වත් නොදැනෙයි. එහෙත් චෝරනාගගේ පහසින් ප්‍රබෝධ වීමට අනුලාට බැරිය. එය තවත් විවිධ පැතිකඩ ඔස්සේ රාගාධි කලාවන් උගැනුමට ඈ සිත් පෙලැඹැවිණ. ඇය රහසින් රජ වාසලේ නොයෙක් ඇත්තන් දෙස බලා සිටින වග චෝරනාගට පෙනිණ.

මේ අතර රජ වාසලේ කසළ ශෝධකයකු තම රාජකාරිය නිමවා සැඳෑ යාමයේ රජ මිදුල හරහා ගමන් කරමින් සිටියේය. අනුලා බිසව හිටියේ රජ මාලිගයේ උඩු මහලේය. කසළ ශෝධකයාගේ මනාව වැඩුණු ආරෝහ පරිණාහ දේහය, ජවසම්පන්න මස්පිඬු යදඬු වන් බාහු හා තෙදවත් ගමන් විලාසය ඇගේ සිත ඔහු කෙරෙහි වසඟ කරවන්නට සමත් විය.

...ෂහ්... මේ කසළ ශෝධකයා සමඟ රතිසුව විඳිය හැකිනම් එය මොන තරම් අගනේදැයි අනුලා කල්පනා කළාය. ඇය අතින් සන් කරමින් පහළින් ගමන් කරන තම සේවකයා කැඳවූවාය. එහෙත් මොහොතකින් සියල්ල වැරැදී ගියේය. රජුගේ උකුසු ඇස් ඒ වන විටත් මේ සිදුවීම කෙරෙහි යොමු වී පැවැති බව අනුලා නොදත්තාය. රජු දුටු සේවකයා වහ වහා වාසල් දොරකඩින් නික්ම ගියේය.

එහෙනම්... මට ලැබුණ තොරතුරු හරි... තීට... කසළ ශෝධකයකුගේ පහස පවා අවශ්‍යයි.. කී රජු තී කුමන විදිහේ කාමධේනුවක්දැයි ඇගෙන් ප්‍රශ්න කළාය.

නුඹ තක්කඩි හොරෙක්... නුඹ මේ රාජ්‍යයේ අද රජු වුවත් මා වැනි රූප ශෝභාපන්න යෞවනියකගේ සිත කියවීමට නොදනී.

එසේ හෙයින් මා බලවත් තැවුලට පත්ව සිටිමි... අනුලා ද කීවාය. එහෙත් මේ රජු අනුලාගේ පහසට බෙහෙවින් ලොල් බැඳ සිටි බැවින් ඇය නොමරා බිසව් තනතුරේම තබාගත්තාය.

රජ වාසලේ ගින්න බුර බුරා නැංගේය. ඒ අනුලාගේ කාමාග්නිය සමඟ එක්වෙමිනි. මුලින් කී සේවකයා කෙසේ හෝ කැඳවා රහසේ කම් සැප විඳීමට අනුලා වග බලා ගත්‍තාය. නුඹ මා සමඟ සැමදා මෙසේ සිටීමට කැමැතිදැයි... එවන් අවස්ථාවක අනුලා බිසව ඒ තරුණ සේවකයාගෙන් ඇසුවාය. සේවකයා ද ඇගේ පහසට ලොල් විය. ඇය කියන්නක් ඔහු නොපමාව කැර දෙයි. ඒ අනුව සේවකයා ලවා භයානක වස වර්ගයක් ගෙන්වා ගත් අනුලා බිසව චෝරනාග රජුගේ මධු පානය මොහොතේ ඒ බඳුනට ඒවා ද මුසු කළාය.

චෝරනාග සිහි විසඥව මියගිය බව සඳහන් වුවද ඔහු මිය ගියේ වස ශරීරගත වීමෙන් බව දැන සිටියේ අනුලාවන් පමණකි. නැවතත් රටේ රාජ්‍ය සඳහා මහ කලිකලහයක් ඇතිවිය. කලින් රජකම් කළ මහා චූලික තිස්ස රජුගේ පුත්‍රයකු වන මකලන් තිස්ස මේ වන විට සිටියේ සිවුරු පොරවා භික්ෂුන් වහන්සේ නමක් ලෙස සැඟැවීගෙනය. ඒ චෝරනාගට හා සටකපට අනුලා දේවියට බියෙනි. එහෙත් මහා චූලික තිස්ස රජුගේ තවත් පුත්‍රයකු වන කුඩා චූලික තිස්ස රාජ්‍ය ලබා ගැනීමට අනුලාගේ උදවු පතා කිට්ටු විය. කුඩා තිස්ස මේ ආකාරයට අනුලාගේ උපකාර ලැබ ක්‍රි. පූර්ව (51 - 48) වසර 3ක් පමණ රජකම් කළේ තම අගබිසව ලෙස අනුලාවන් ද තබාගෙනය.

අනුලාවන් ඒ අවසාන අවුරුද්ද වන විට තවත් අලුත් පෙම් හබයක පටලැවුණාය. ඒ ‘ශිව’ නමැත්තකු සමඟිනි. ඇය ශිව සමඟ රතිසුව විඳින අතරතුර කුඩාතිස්ස මරන්නේ කෙලෙසදැයි කල්පනා කළාය. ඇය කුඩාතිස්ස රජු මරණයට පත් කළේ ඔහුගේ රාජකීය භෝජනවලට වස මුසු කරමිනි.

‘ශිව’ ඒ සඳහා ඇයට උදවු කළේය. අනුලාට රාජ්‍ය ලෝබය නැත. ඒ නිසා ඊළඟ රජු වශයෙන් කිරීටය මාරු වී ගියේ ශිවටය. ශිව වසරක් පමණ නාමික රජු වශයෙන් රාජ්‍ය කළත් ක්‍රියාත්මක වූයේ අනුලාගේ නියෝගය. ශිවගේ පහසින් ද ඇයට සෑහීමකට පත්වන්නට බැරි තැන ඇය ශිවට ද මල පුඩුව ගැස්සුවේ පෙර පුරුදු ආකාරයටමය.

ශිව මිය ගොස් දවස් ගණනක් ගතවෙද්දී අනුලා බිසව වඩු කාර්මිකයකු වූ ‘වටුක’ නම් තැනැත්තකුගේ පහසට ළංවූවාය. ඔහු ද රජකමට පත් කළ අනුලා ඒ රජකමට ආයුෂ දුන්නේ ද මාස 14ක් පමණි. වටුක රජුගේ කාම පහස ද ඇයට රුචි වූයේ නැත. ඔහුට ද වස කැවීමෙන් මරණය ළඟා කැරිණ.

මේ රැජන සිංහල රාජාවලියේ එන පළමුවැනි රැජනය. ඇයගේ කාම ලොල් ජීවිතය නිසාම ඇයට කුල, නිල, මල, කිසිත් නොපෙනිණ. ඇය ඊළඟට තම ග්‍රහණයට ගන්නේ මාලිගාවට දර සපයමින් සිටි දරකැටියාය. දරකැටියාතිස්ස නමින් ඔහු ද මේ රටේ රජ විය.

දර පැළීමට වඩා රජකම් කිරීම කෙතරම් වටීදැයි ඔහුට සිතුණත් ඔහුගේ රාජ්‍ය කාලය ද මාස 13ක් විය. වස මිශ්‍ර ආහාරය ගැනීමෙන් ඔහු ද මරුමුව වැටිණ.

දරකැටියාතිස්ස රජුගේ ආභාවයෙන් පසු අනුලා වසඟයට ගන්නේ ‘නිලිය’ නම් වූ බ්‍රාහ්මණයෙකි. ඔහුට ද රජකම ලැබිණ. ඔහු රති කෙළියේ ද දක්ෂයෙකි. එහෙත් නිලියටත් ලැබුණේ සුළු කාලයකි.

ඊළඟට රටේ තත්ත්වය බොහෝ අරාජික විය. වසර 06ක් පමණ (ක්‍රි. පූ. 48 - 42) රටේ පාලනය අවිධිමත් විය. රට කැරවීම පසෙක තබා ඉබාගාතේ යන රටක් නිර්මාණය විය. ‘නිලිය’ නමැති බමුණා මරා දැමීමෙන් පසු අනුලා තවත් පුරුෂයන් ඇසුරු කළද, ඒ කිසිවකු රජ බවට පත්කළේ නැත.

කාම සම්භෝගයට, වශි වූ අනුලා නිසා රටේ රාජ්‍ය භාණ්ඩාගාරය පවා හිස් විය. මේ වසර 06 ඇතුළත ද ඇයගේ කාම පහසට ගොදුරුව මියගිය සමස්ත පුරුෂයන් ගණන 20 කි. ඒ චෝරනාගගේ සිටය.

මහා චූලිකතිස්ස රජුගේ පුත්‍ර සිවුරු පොරවා සැඟැවී සිටි මකලන්තිස්ස සිවුරු හැර බළසේනා කැටුව අනුලා රැජනගේ මාලිගය වට කළේ මේ අතරය. ඇය වසර 6ක් පමණ ඉබාගාතේ රට මෙහෙයවමින් සිට කිරීටය පලදා ගතවූයේ මාස හතරක් පමණකි. නිසි කල එලැඹ සටනට පිවිසි මකලන්තිස්සගේ සේනාව විසින් වාසල හතරවටින් වටලනු ලැබීය. ඔවුන් විසින් වාසලට ගිනි තබනු ලැබිණ.

මේ මහා ගින්න වාසල මුළුමනින්ම ගිනිබත් කළේය. සිංහලයේ පළමුවැනි රැජන අනුලා ඒ ගිනි අතරම දැවුණාය. රාග ගින්නෙන් එතෙක් දැවී ගිය අනුලා තවත් මහා ගින්නකින් ජීවිතයට සමු දුන්නාය.

මකලන්තිස්ස ක්‍රි. පූ. (42 - 20) දක්වා වසර 22ක් මේ රටේ රජකම් කළේය.

මේ කතාවේදී තේරුම් ගත යුතු කාරණා කිහිපයක් ඇත්තේය. අනුලා රැජන කාම ගින්නෙන් දැවුණ රැජනක ලෙස රජකතාවේ නිරූපිතව අැතත් අපේ ජනකතාවල ඇය ගැන සඳහන් වන්නේ වෙනත් ආකාරයට බවය.

ඇය ස්ත්‍රීවාදින­ියකි. දැඩි පුරුෂාධිපත්‍යයට එරෙහිව සූක්ෂ්ම ලෙස රජුන් මැරූ බව ඔවුහු කියති.

අපේ ගැමියන් කෙතරම් නීති තහංචි තිබුණත් රජවරුන් අමතා තිබුණේ ඔවුනගේ ඇවතුම් පැවතුම් ගති සොබා අනුවය. කාවන්තිස්ස යනු “කාකවණ්ණ තිස්ස” යන්නය. “කාක වර්ණ තිස්ස” යන්න එහි තේරුමකි. ගෝඨාභය කීවේ “මිටි අභය” යන්නය. “වංක නාසික තිස්ස” කීවේ වක් නැහැයක් ඇති තිස්ස යන්නය. සොර දෙටුවකු වූ මහානාගට “චෝර නාග” යැයි ඔවුහු බය නැතිව කීහ. එහෙත් ඔවුහුම “අනුලා රැජන” පමණක්ම ඇයට කීහ.

එසේනම් මෙබඳු කාමාගින්නෙන් දැවී අළු වී ගිය රැජනක් ගැන එවන් පටබැඳීමක් ජනකතාවල නොඑන්නේ ඇයි? එය තවත් වරක් හොඳින් සිතා බැලිය යුත්තක් බව සඳහන් කරමි.

තවත් රසවත් කතාවක් ඊළඟ සතියේ... 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.