ලක්දිව තෙවැනි ධර්මසංගායනාවට වසර 150 යි | සිළුමිණ

ලක්දිව තෙවැනි ධර්මසංගායනාවට වසර 150 යි

 ඉතිහාසගත වංශකථා අනුව මෙරට සිදු වූ ප්‍රථම ධර්මසංගායනාව පවත්වන ලද්දේ ක්‍රිපූ 307 වැන්නෙහි රජ පැමිණි දේවානම්පිය තිස්ස මහ රජු සමයෙහි මෙරටට බුදුදහම ගෙනවුත් ප්‍රතිෂ්ඨාපනය කළ මහින්ද මහරහතන් වහන්සේගේ මඟපෙන්වීම අනුවය. එදවස වූ විනය සංගායනාවෙන් පසු වළගම්බා රජ දවස (ක්‍රිපූ 88 - රාජ්‍ය වර්ෂ 12) මාතලේ අලුලෙන්හි කළ සංගායනාව ධර්ම පුස්තකාරූඪ කිරීම් වශයෙන් සිදු කරන ලද්දකි. මේ ධර්ම සංගායනාව රාජ්‍යානුග්‍රහයකින් සිදු නොවුණු බවත්, ප්‍රදේශාධිපතියකුගේ සහායෙන් සිදු වූ බවත් සඳහන්ය.

රාජ්‍ය වර්ෂ 08 සිට ගත වූ සියවස් 19ක් මුළුල්ලේ ත්‍රිපිටකගත ධර්ම කාරණාවන්ට පරිබාහිරව එක්රැස් වූ විවිධාකාර ධර්මකාරණා පරිශුද්ධත්වයට පත් කරනු උදෙසා තෙවැනි වරට අප ලක්දිව්හි පැවැත්වුණු ධර්ම සංගායනාව රාජ්‍ය වර්ෂ 1867දී සබරගමුවේ පැල්මඬුල්ල සුදර්ශන රජමහා විහාරස්ථානයේදී සිදු විය. එවකට සබරගමුවේ ප්‍රදේශාධිපතියකුව සිටි සමන් දේවාලයේ බස්නායක නිලමේතැන් පත් ඉද්දමල්ගොඩ අභයකෝන් අතපත්තු මුදියන්සේ රාලහාමිගේ අනුග්‍රහයෙන් සිදු කෙරුණු මේ සංගායනාවේ මූලිකත්වය දැරූවෝ හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණෝ සහ ලංකාගොඩ ශ්‍රී ධීරානන්ද නාහිමිපාණෝය.

මේ සංගායනාවේදී සිදු වූ අපූරු වෙනසක් නම් මෙතෙක් පැවැති ධර්මසංගායනා සඳහා සහභාගි වූයේ ධර්මධර-විනයධර භික්ෂූන් වහන්සේලා පමණක් වුවද ගිහි පක්ෂයේද සහභාගිත්වයක් මෙයට එක් වීමයි. ඒ කාල වකවානුවේ මෙරට සිටි සුප්‍රකට පඬිවරයකුව සිටි බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත පඬිතුමා මේ ගිහියාය.

‘ලක්රිවිකිරණ’ පුවත්පත මේ සුවිශේෂ සිද්ධිය වාර්තා කර ඇත්තේ මෙපරිද්දෙනි:

“මහා පෙරහරින් වඩන ලද මහා සංඝරත්නය සේදවත්ත, කඩුවෙල, කළුඅග්ගල, කොස්ගම, කැන්දගමුව, කටුතිඹිරියාව, සපරගමු දේවාලය, වෙරළුපේ, රත්නපුර, බටුගෙදර ආදි උඩ-පාත දෙරට ගම්වල වැසි ලොකු-කුඩා බුද්ධ භක්තිය සද්ධා සම්පන්න මහා සෙනගෙන් අපමණ ආදර සත්කාර පුද-සිරිත් ලදෙන් ජූලි මස 20 දින පැල්මඬුල්ලේ සුදර්ශනාරාමය නමින් ප්‍රසිද්ධ අපගේ මහා විහාරයට එකී උත්තම තුනුරුවන් නමැති මාහැඟි ලෙස වඩමවා ගන්නට යෙදුණේය.

අගෝස්තු මාසයේ 4 වැනිදා සරසන ලද ඇතුන් සහිත උඩුවියන්, පියවිලි, කුඩ, කොඩි, සේසත්, චාමර ආදි අනෙක් භාණ්ඩයන් ද පංච තූර්ය නාදය හා සුගන්ධ කුටි පූජා ගත් සෙනඟින්ද නිසි අභරණ ආදියෙන් ද සැරසුණු පෙරහරින් සුදර්ශන ධර්මශාලාවට වැඩමවා ගෙන අවුත් සරසන ලද ධර්ම මණ්ඩපයක සියම්-අමරපුර උභය සමාගමේ මහා සංඝයා වඩාහිඳුවා ගන්ධපුෂ්පාදීන් පුදා, හික්කඩුවේ සමර්ථ ස්ථවිර ශ්‍රීපාදයේ නායක ස්වාමීන් වහන්සේ ලවා ප්‍රථම සංගායනාව කළ පරිදි සහ පටන්ගන්නා ලද ත්‍රිපිටක පුස්තක ශුද්ධි සංඛ්‍යාත සංගායනාව කරවීමේ ආනිශංසයන්ද සං‍ක්ෂේපයෙන් ප්‍රකාශිත මාහැඟි ධර්ම දේශනාව කරවා ඉක්බිතිවම ප්‍රධාන කොට රදළ මහත්වරු ඇතුළු වූ මහජන සමූහයා පංචශීලයෙහි පිහිටුවා වලානේ සමර්ථ ස්ථවිරයන් වහන්සේ එසැණින් අනිභිමුඛ නමුත් මීට සහය වන බැවින් ප්‍රතිඥා ඇති හෙයින් උන්වහන්සේ මුල් කොට ශ්‍රී පාදයේ නායක ධුරන්දර හික්ඩුවේ ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන කොට පුවක්දණ්ඩාවේ ස්වාමින් වහන්සේ ඇතුළු සියම් සමාගමෙන් එතෙන වැඩහුන් තෙරුන් වහන්සේලා ද ගෘහස්ථ ගමධාරී ප්‍රසිද්ධ බටුවන්තුඩාවේ පණ්ඩිතාචාර්යවරයාණෝ ද ප්‍රමුඛ කොට ඇති ඒ උතුම් පණ්ඩිත මහා සභාවට ඇඳිලි බැඳගත් අප විසින් පළමුකොට මෙසේ සැල කරනු ලද්දෙමු. කෙසේ ද යත්:

“පින්වත් ස්වාමීනි, අවුරුදු දහස් ගණනක් පමණ කාලේ පටන් සිට උතුම් බුද්ධදේශිත ත්‍රිපිටකයේ පොත් වහන්සේලා අව්‍යක්ත ලිපිකරුවන් විසින් අහිතකට ලිවීමෙන් පද උගනාදී වූ විපත්ති දෝෂ පැමිණීමෙන් ඇති ත්‍රිපිටකයේ පොත් වහන්සේලා මෙලකට දැන් නුඹ වහන්සේලාගේ වියත්කම් කරමින් බල ඇති ඒ දෝෂ හැර ශුද්ධ කිරීම සංඛ්‍යාත ධර්ම සංගායනාවක් කොට ශුද්ධ ත්‍රිපිටකයක් ලියවා තැබීමෙන් පන් දහසක් පවත්නා අපේ බුද්ධ ශාසනය කෙරෙහිද කරුණාව මෛත්‍රිය සිත් උපදවා අප විසින් භාර දෙන ලද ත්‍රිපිටකයේ පොත් ශුද්ධිය කර මැනවැයි කියා තුන් පිටකයේ පොත් වහන්සේලා යථෝක්ත ස්ථවිර දෙනම ප්‍රමුඛ පණ්ඩිතෝත්තමයන්ට භාර දුනිමි.”

මේ ධර්මසංගායනාව පිළිබඳ ගවේෂණයක යෙදුණු මඬලගම වජිරබුද්ධි නායක හිමිපාණන් මෙසේ සටහනක් තබා ඇත:

“එතෙක් මෙතෙක් විනය සංගායනාවක් පවත්වා ඇත්තේ පැල්මඬුල්ලේ පමණකි. එමතුදු නොවේ, තනි දායකවරයකුගේ සංවිධානයෙන් පැවැත්වූ ප්‍රථම සංගායනාව ධර්මාශෝක රජතුමන්ගේ මූලිකත්වයෙන් මෙහෙයවන ලද තෘතීය සංගීතියයි. ඉන් පසු එබඳු තනි දායකවරයකු විසින් සංවිධානය කර ඇත්තේ මෙම පැල්මඬුල්ල සංගීතියයි.

“මෙම සංගායනාව පැවැත්වීමට මූලික හේතුව වී ඇත්තේ ලක්දිව පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලන කාල තුළ අනුක්‍රමයෙන් පරිහානියට ලක් වූ සම්බුද්ධ ශාසනය යළිත් නඟාසිටුවීමේ පරම අපේක්ෂාවයි. පැල්මඬුල්ල පුරාණ විහාරය පදනම් කරගෙන ලක්දිව පුරා පැතිර ගිය ධර්ම-ශාස්ත්‍රීය ප්‍රබෝධයේ සන්ධිස්ථානයක් ලෙසද මෙම ධර්ම සංගායනාව වැදගත් වෙයි.

“1867-1868 යන වර්ෂවලදී පැල්මඬුල්ලේ ශ්‍රී සුදර්ශන ධර්මශාලාවේදී පවත්වන ලද මෙම සංගායනාවේ ප්‍රධාන දායකයාත්, සංවිධායකවරයාත් වී ඇත්තේ සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක ධුරයත්, නවදුන්කුකුළු කෝරළයේ රටේ මහත්මයා ධුරයත් ඉසිළූ ඉද්දමල්ගොඩ අභයකෝන් අතපත්තු මුදියන්සේ රාලහාමිය. එතුමා එකල සබරගමුවේ විසූ භක්තිමත් බෞද්ධ ප්‍රධානියෙකු බව විවිධ ප්‍රවෘත්තිවලින් ප්‍රකාශ වේ.

“මෙම සංගායනාවට අවශ්‍ය කරන ත්‍රිපිටකධාරී මහ තෙරුන් වහන්සේලා ඈත පළාත්වලින් තෝරාගෙන ඇත්තේ මෙබඳු භාරධුර ශාසන කාර්යයකට පිරිමහින ධර්මධර, විනයධර මහ තෙරුන් වහන්සේලා සබරගමුවේ හිඟ වූ බැවිනි.

එබැවින් කලින් ඉද්දමල්ගොඩ බස්නායක නිලමේ විසින් වැඩමවාගත යුතු මහ තෙරුන් වහන්සේලා කලින්ම තෝරාගෙන, අනතුරුව බස්නායක නිලමේම ගාල්ල ප්‍රදේශයට ගොස් එහි සිට අලි-ඇතුන් සහිත දර්ශනීය පෙරහරකින් එකී සංඝරත්නය වැඩමවාගෙනැවිත් ඇත. එම පෙරහර පිළිබඳව එකල පැවැති පුවත්පත් සඟරාදියෙහි ප්‍රචාරක ලිපි පළ කරවා තිබේ. එම දැන්වීමෙහි පෙරහර විස්තරයට අමතරව, සංගායනාවට වැඩම කරවන තෙරුන් වහන්සේලා වැඩ සිටින ස්ථාන, අතරමඟදී හීල-දාවල දන් පිරිනැමීම හා රාත්‍රී නවාතැන් ගන්නා තැන් ආදියද ඇතුළත්ය.

එසේම විසි දිනක් තිස්සේ ගාල්ලේ සිට පැල්මඬුල්ල දක්වා අතරමඟ සිටින සැදැහැවතුන්ගේ පූජෝපහාරය මැද සංගායනා පෙරහර ගමන් කළ ආකාරයද සඳහන් කර තිබේ.

“සියම් නිකායෙන් වලානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමි, උඩුගම්පොළ ශ්‍රී රතනපාල මාහිමි, හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි, යාත්‍රාමුල්ලේ ශ්‍රී ධර්මාරාම මාහිමි සහ පුවක්දණ්ඩාවේ ශ්‍රී සුමංගල මාහිමියෝද අමරපුර නිකායෙන් බුලත්ගම ධම්මාලංකාර, ලංකාගොඩ ශ්‍රී ධීරානන්ද, රන්දොඹේ ශ්‍රී ධම්මාලංකාර, දොඩන්දූවේ ශ්‍රී පියරතනතිස්ස, වැලිගම ශ්‍රී සුමංගල, වස්කඩුවේ ශ්‍රී සුභූති යන නාහිමිවරුද බටුවන්තුඩාවේ ශ්‍රී දේවරක්ෂිත පඬිතුමාද මෙම සංගායනාවට සහභාගි වූහ.”

සම්බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්ම සඳහා මේ සංගායනාවෙන් අපරිමිත සේවයක් සිදු විය. විදේශීය ආධිපත්‍යය හේතු කොටගෙන විනාශ කරනු ලැබු දේශීය උරුමයන් වූ සියලු දෙය අතර පන්සල, පිරිවෙන මුල් කොටගෙන වසර දහස් ගණනාවක් තිස්සේ මෙරට පමණක් නොව එතෙර ශාස්ත්‍රභිලාශීන්ගේ දැනුම යළි ප්‍රතිෂ්ඨාපනය උදෙසා විද්‍යෝදය-විද්‍යාලංකාර යන පිරිවෙන් දෙක මූලික කොටගෙන නව අධ්‍යාපන රටාවලියක් ඇරැඹුණේද මේ සංගායනාව අවසන්ව ඉතා කෙටි කාලයකදීය. මෙහි දෙවැනි විජයග්‍රහණය මිෂනාරීන් විසින් රජයේ ආධාර ඇතිව ගම් දනව්වල අරඹන ලද පාසල් හා තරග කිරීමට සමත් ස්වභාෂා පාසල් බිහි වීමය.

මෙසේ ආරම්භ වූ පාසල් පසුකාලීනව උසස් විද්‍යාල, මධ්‍ය විද්‍යාල වශයෙන් කීර්තියට පත් විය. එසේම ජාතික මහා සටන හා නව බෞද්ධ පුනර්ජීවයද සලකුණු කළේ එදා පැල්මඬුල්ලේ සුදර්ශන රජමහා විහාරස්ථානයේ සිදු කළ මේ ලක්දිව තෘතීය ධර්මසංගායනාවය.

නන්දසේන සූරියආරච්චි

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.