සිතන්නට නුහුරු දරුවෝ නොසිතාම තීරණ ගනිති | සිළුමිණ

සිතන්නට නුහුරු දරුවෝ නොසිතාම තීරණ ගනිති

 රජයක් අධ්‍යාපනය සඳහා වැය කරන මුදල හඳුන්වන්නේ ආයෝජනයක් වශයෙනි. ආයෝජනයක් වශයෙන් ගත් කල අධ්‍යාපන ආයෝජනයක ප්‍රධාන අරමුණු වන්නේ සමාජ සංචල්‍යතාව හා සාධාරණත්වය වර්ධනය කිරීමත් උසස් සහ ස්ථිර ආර්ථික සංවර්ධනයක් සඳහා දායක වීමත් මිනිස් සංවර්ධනය ඉහළ නැංවීමත් ය. ඊට අමතරව පෞද්ගලික වශයෙන් ගත් කල අධ්‍යාපනික ආයෝජනය ගෘහස්ථමය වශයෙන් රැකී රක්ෂා අපේක්ෂාවත් උපයා ගැනීම් හා සමාජ තත්ත්වය ඉහළ නංවා ගැනීමත් මූලික වේ.

පසුගිය අවුරුදු ගණනාව තුළ රජය වාර්ෂිකව අධ්‍යාපනයට වෙන් කරන ලද මුදල වාර්ෂිකව සලකා බැලුවහොත් එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 40 000ක් වේ. එය ඇමරිකානු ඩොලර් මිලියන 415ක් වේ. පසුගිය වසර වල මෙම ආයෝජනය අය වැය පෙන්වා දුන් පරිදි ආදායමෙන් 3/ක් හා රාජ්‍ය වියදමෙන් 7/-9/ ක් අතර ප්‍රතිශතයක් වේ.

අපේ රටේ අධ්‍යාපනය සඳහා වෙන් කරන මුදලින් වැඩිම කොටසක් එනම් ඉන් හරි අඩක් වෙන් කරන්නේ ද්විතීයික අධ්‍යාපනය සඳහා ය. වැඩිම සිසුන් ප්‍රමාණයක් සිටින්නේ ද ද්විතීයික අධ්‍යාපනය තුළය. ද්විතීයික අධ්‍යාපනය ගත්ත ද වැඩි පිරිස සිටින්නේ අපොස සා. පෙළ කණ්ඩායමේ ය. උසස් පෙළ සිසුන් සඳහා ඒ අනුව වෙන් වන මුදල එයින් අඩකි.

අපොස සා පෙළ සඳහා වාර්ෂිකව සිසුහු 300000කට අධික පිරිසක් මුහුණ දෙති. නමුත් ගැටලුව වන්නේ මෙම දරුවන්ගෙන් හරි අඩකට ආසන්න පිරිසක් සා පෙළ විභාගයත් සමගම අධ්‍යාපනය හැර යාමයි.

නිදසුන් ලෙස 2009 වර්ෂයේ සා පෙළ විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 379280 ක් වූ අතර එයින් උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබුවේ 48.44/ක පිරිසකි. 2010 වර්ෂයේදී 433 673ක් සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් නමුත් උසස් පෙළ සඳහා ලියාපදිංචි වූයේ 57/ක ප්‍රතිශතයක් පමණකි. 2011 වර්ෂයේදී සා පෙළ සඳහා මුහුණ දුන් පිරිස 443 298කි. විෂයන් 5ක් හෝ සමත් වූයේ 56.5/ ක ප්‍රමාණයකි. 2012 දී 451 039ක් සා පෙළ විභාගයට පෙනී සිටි නමුත් සමත් වූයේ 60/ක් පමණි. 2013 වසරේ සා පෙළ විභාගය සඳහා සිසුන් 308 054 දෙනෙක් මුහුණ දුන් අතර සමත් වූයේ 62.42ක් පමණකි. 2016 වර්ෂයේ දී අපොස සා පෙළට 306324ක් මුහුණ දුන් නමුත් උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබුවේ 69.62/ ක ප්‍රතිශතයක් පමණකි. සිසුන් 9145 දෙනෙක් සියලුම විෂයයන් අසමත් වූහ. වසර ගනණාවක් තුළ මෙම සාමාර්ථ ප්‍රතිඵල නිරීක්ෂණය කරන විට එහි යම් කිසි සාධනීය තත්තවයක් පෙන්නුම් කළ ද සිසුන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් උසස් පෙළට සුදුසුකම් නොලැබීම යනු ඇත්තෙන්ම ගැටලුවකි.

දරුවකු තේරෙන වයසේ දී මුහුණ දෙන පළමු අඅධ්‍යාපනික කඩඉම සාමාන්‍ය පෙළ ය. දරුවන් අඩකට ආසන්න පිරිසක් ඉන් අසමර්ථ වන්නේ ඇයි.. රටේ දෙමාපියන් මෙය දරුවන්ගේ නොහැකියාව යැයි උපේක්ෂාවෙන් යුතුව පිළිගෙන නිහඞ වන්නේ ද? නැතිනම් ඊට හේතුව දරිද්‍රතාව යැයි ආත්මානුකම්පාවෙන් නොලැබීම් ගැන සිතමින් සුසුම් හෙළමු ද.. එසේත් නැතිනම් ඉගෙනීමෙන් ඇති ඵලය කිමැයි එකිනෙකාගෙන් ප්‍රශ්න කරගනිමින් විශ්වවිද්‍යාල වල පෙළපාළි යන සිසු සිසුවියන්ට බැන වදිමු ද?

මේ පිළිබඳව සියල්ලන්ගේම අවධානය යොමු විය යුතු බව මාගේ හැඟීමයි. සියල්ලන්ගේම යන්නෙන් මා අදහස් කරන්නේ රටේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකිව යුතු සියල්ලන්ගේත් දෙමාපියන්ගේත් දරුවන්ගේත් යන සියල්ලන්ගේම අවධානය ය.

දරුවන්ගෙන් වැඩි පිරිසක් අධ්‍යාපනය කඩා කප්පල් කර ගන්නේ නොහැකියාව මත හෝ දරිද්‍රතාව මත හෝ නොව උවමනාවක් නැති කම, අලස කම හා නිවැරදි පෙලඹවීමක් නැතිකම මත ය. ඊට හේතුව අනන්ත දුක් කම්කටොලු විඳිමින් දරිද්‍රතාවෙන් පෙළෙමින් පවා හොඳින් ඉගෙන ගන්නා දරුවන් අප අතර දුලභ නොවීමය. ඔබ අප අතර ද දුක් නොවිඳ සියලු සැප සම්පත් මැද ඉගෙනගෙන විභාග සමත් වූවන් ඇත්තේ සුළු පිරිසකි.

වර්තමානයේ අධ්‍යාපනයේ තරඟකාරී ස්වභාවය පිළිබඳව කෙනෙකුට බොහෝ සේ දොස් කිව හැකි ය. නමුත් ලෝකයේ තරඟකාරීත්වයට දොස් පැවරීමෙන් අපට ලැබෙන ලාභය කුමක්දැයි මම අසමි. අප කළ යුත්තේ අපට කළ හැකි දෙයය. අප කළ යුත්තේ අප ව ම බේරා ගැනීම ය. අප සිටින ස්ථානයට ගං වතුර ගැලුවානම් අප ඉන් බේරීමට පිහිනිය යුතු ය. නැතහොත් ගසාගෙන යෑමට නොහැකි වන සේ කුමක් හෝ දෙයක තදින් එල්ලිය යුතු ය. ගංවතුරට බැන වැදීමෙන් ඵලක් නැත. පවතින අධ්‍යාපනික තරඟකාරීත්වයට බැන වැදීම නිෂ්ඵල දෙයකි.

දෙමාපියන් දරුවන්ගේ අධ්‍යාපනයට වියදම් කිරීම වර්තමානයේ බොහෝ විට ගඟට ඉනි කැපීමක් වන අවස්ථා ඇත. බොහෝ දරුවෝ රැල්ලට ගසාගෙන ගොස් නන්නත්තාර වෙති. අධ්‍යාපනය සම්බන්ධයෙන් දෙමාපියන් කළ යුත්තේ ආයෝජනයකි. ඒ ආයෝජනය දරුවා වෙනුවෙන් කරන බරපතළම ආයෝජනයයි. වර්තමාන දරුවෙකුගේ ඉගෙනීම සම්බන්ධයෙන් ගෘහස්ථව දරන පිරිවැය ඉතා විශාල ය. නිදහස් අධ්‍යාපනය තුළ වුව ද දරුවෙකු පාසල් යැවීම සඳහා දෙමාපියන්ට විශාල මුදලක් වැය කිරීමට සිදුවේ.

දරුවාගේ පොත්පත් සඳහා, පෑන් පැන්සල් ලිපි ද්‍රව්‍ය සඳහා ඇඳුම් පැළදුම් ප්‍රවාහන වියදම් නවාතැන් බෝඩින් ගාස්තු, නිල ඇඳුම්, පෞද්ගලික පන්ති, පරිගණක ආදී උපාංග, සඳහා දෙමාපියෝ තර්කයක් නොනගාම වියදම් කරති. කරන වියදමෙන් සියයට පනහක් වියදම් කරන්නේ පෞද්ගලික පන්ති සඳහාය. මේ කරන සියලු වියදම් හුදෙක් වියදම් පමණක්ම වන්නට බොහෝ දෙමව්පියන් ඉඩ හරින බව පැහැදිලිය. ඉගෙන ගන්නා දරුවාට අවශ්‍ය සියලු දේ ලබාදීම යනු යුතුකම සම්පුර්ණයෙන් කිරීම නොවේ.වියදම මෙන් දෙගුණයක් කල යුත්තේ දරුවාව දිරි ගැන්වීමය.

දරුවට අවශ්‍ය මානසික පසුබිම සකස් කර දීමය. කඩා වැටී දරුවාව අතින් අල්ලා නැගිටවීමය.

නමුත් අවාසනාවකට අපේ රටේ බොහෝ දෙමාපියන් දරුවට කැමති දේ කරන්නට හැර බලා හිදී. පෙර කාලයේ නම් වැරදි පෙන්වා දී අවශ්‍ය විට තලා දරුවාව නිරන්තරයෙන් හැසිරවීමට දෙමව්පියෝ නොපසුබට වෙති . දැන් එසේ කල නොහැකි බව ඇත්තය. දරුවා අ යිතිවාසිකම් වෙනුවෙන් උසාවි යන්නට සූදානම් කාලයක එක් අතකින් දරුවා ට බල කළ නොහැකි බව ඇත්තය. එහෙත් දරුවාගේ අනාගතය ඛේදවාචකයක් කර ගැනීමට ඉඩ හැරීම කමක් නැතැයි කිව හැකිද. එහෙයින් දරුවාට නොදැනෙන අයුරින් හෝ දරුවා පොලඹවා ගත යුතු ය.

බොහෝ දරුවෝ ජනමාධ්‍ය විසින් නිවසට ගෙනවිත් දෙන අරුමෝසම් ලෝකයේ සිහින දකිති.

තොර තෝංචියක් නැතිව පෙන්වන සුපිරි තරු තරඟ වල පෙනී සිටින වීරයන්ට ජංගම දුරකථනය අතේ තබාගෙන කෙටි පණිවිඩ යවති. ඔවුන්ව දිනවන්නට මේ දරුවෝ බෙහෙවින් කැප වෙති. තවත් දරුවෝ පාඩම් පසෙක ලා මුහුණු පොතේ සැරිසරති. මුහුණු පොතේ සිටින පෙම්පතුන්, පෙම්වතියන් හා විනෝද වෙති, අවසාන වශයෙන් ගෙල වැල ලාගෙන හෝ කෝච්චියට බෙල්ල තියා හෝ මියයති. ඇතැම් දරුවෝ මත්ද්‍රව්‍ය වලට රහසේම හුරුවෙති. මත් චුයින්ගම් කමින් පාඩම් කරන දරුවන්ට පාඩම් මතක තියේවිද..

දරුවාව පොලඹවා ගැනීම සඳහා දෙමාපියන් සුක්ෂම ක්‍රමෝපායන් සොයාගත යුතු ය.

දරුවා පාඩම් කරන මුවාවෙන් ඔබව රවටනවා විය හැකිය. අපහට කියා ගත නොහැකි තරම් ව්‍යසනයක පැටලී මරණ මංචකයට ඇඟිලි ගනිනවා ද විය හැකිය. එසේත් නැතිනම් දරුවා තවත් කෙනෙකුගේ ශාරීරික හෝ මානසික ගොදුරක් බවට පත්ව සිටිනවා විය හැකිය. ඔවුන් අපහට නොපෙන්වන නිසාවෙන්ම අප සිතන්නේ ඔවුනට කිසිදු ප්‍රශ්නයක් නැතැයි කියාය. නමුත් අප සිතන ආකාරය බොහෝ තැන වලදී වැරදී යා හැකිය. එහෙයින් දරුවා කෙරෙහි අවධානය හොමු කල යුතුය. පෙර දරුවන්ට සිතන්නට හැකියාවත් නිදහසත් අවකාශයත් තිබුණි. නමුත් දැන් දරුවා අඩුවෙන්ම කරන්නේ සිතීමයි. එය දරුවාගේ වරදක් නොවේ, වර්තමාන දරුවාට නිදහසේ සිතන්නට අවකාශයක් නැත. උදව්වක්ද නැත. අසීමිත තොරතුරු ප්‍රමාණයකින් ඔවුන් වැසී සිටී. තරඟකාරීත්වය තුල ඔවුන්ට සිතන්නට වෙලාවක් නොලැබේ. සිතන්නට නුහුරු දරුවෝ නොසිතා ම තීරණ ගනිති. දෙමාපියන් ද එයම හරිහරි හරියට නොකළ යුතුය. දරුවාට පෙර දෙමාපියන් බුද්ධිමත්ව සිතන්නට කාලය සොයාගත යුතුය. ඊළඟට දරුවාද සිතන්නට පෙලඹවිය යුතුය. එසේ නොවුවහොත අපේ දරුවන් අපෙන් ගිලිහී නොසිතාම නොකියාම වැනසී යනු ඇත.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කළමනාකරණ පීඨය හා අධ්‍යක්ෂිකා වෘත්තීය මාර්ගෝපදේශ අංශයේ
ආචාර්ය වාසනා මෛත්‍රී හේරත් 

Comments