ජීවිතයේ සිත්තරා ඇන්ටන් චෙකෝව්

චෙකොව් යනු සැසැඳීමට නොහැකි කලාකරුවකු සහ ජීවිතයේ සිත්තරා බව කීවේ රුසියානු මහගත්ගතුවර ලියෝ තොල්ස්තොයිය.

මෙතෙක් ලොව බිහිව විශිෂ්ටතම කෙටිකතා කරුවකු ලෙස රුසියානු ලේඛක ඇන්ටන් චෙකොව් පිළිගැනේ. වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ ඔහු වෛද්‍ය වෘත්තිය හැඳින්වූයේ සිය නිත්‍යානුකූල භාර්යාව වශයෙනි. සාහිත්‍ය අනියම් බිරියයි. හෙන්රික් ඉබ්සන්, ඔගස්ට් ස්ට්‍රින්බර්ග් වැනි නිර්මාණකරුවන් සමඟ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය නූතනවාදී ප්‍රවාහයට යොමු කිරීමට චෙකොව් ද මුල් විය.

චෙකොව්ගේ මව ඔහු ඇතුළු දරුවන් සිය දෙනාට කුඩා කාලයේදී කතාන්දර කීමට පුරුදු වී සිටියා ය. ඇය අතිදක්ෂ කතාන්දර කියන්නියකි. චෙකොව් ඉගෙනුම ලැබුවේ ග්‍රීක පාසලකිනි. ඔහු පුරාණ ග්‍රීක විභාගය අසමත් විය. ග්‍රීක භාෂාව අසමත් වුව ද 24 හැවිරිදි වියේදී වෛද්‍යවරයකු ලෙස සිය අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීමට ඔහුට හැකි විය. ඔහු වඩාත් ප්‍රකට වූයේ බොහෝ විට නොමිලේ ප්‍රතිකාර කරන වෛද්‍යවරයකු වශයෙනි. දිළිඳු ජනයාගෙන් ඔහු මුදලක් අය කළේ නැත. වෛද්‍ය වෘත්තියේ නියැළීමෙන් මේ හිත හොඳ දොස්තරට උපයාගත හැකි වූයේ සොච්චම් මුදලකි.

මුලදී ඔහු ලිවීමට නැඹුරුවූයේ පවුලට දැනුණු අගහිඟකම් නිසා බව පැහැදිලි වේ. ලිවීමෙන් මුදල් ඉපැයීම ආරම්භයේදී ලේඛකයකු ලෙස ඔහුගේ ප්‍රමුඛ අභිලාෂය විය‍.‍ ක්‍රමයෙන් ඒ තත්ත්වය වෙනස්ව‍ූ අතර මුදල වෙනුවට නිර්මාණකරණයට මුල්තැන දීමට ඔහු පෙලැඹිණි. සිය කලා කුසලාන ඔප් නංවාගැනීම මුදලට වඩා වැදගත් බව ඔහුට පෙනී ගියේ ය.

චෙකොව්ගේ ‘ද ලේඩි විත් ද ඩෝග්’ කෙටිකතාව ලොව විශිෂ්ටම කෙටිකතාව බව ඇතැම් විචාරකයන්ගේ පිළිගැනීම ය. බොහෝ විට ඔහුගේ කෙටිකතා කියවන පාඨකයා විසැඳුම් සපයා ගැනීමට අසීරු ප්‍රශ්න ගණනාවකට මැදි වේ. එම ප්‍රශ්නවලට කතාවෙන් පිළිතුරු ලැබිය යුතුය යන්න පාඨක අභිලාෂය බව පෙනුණත් චෙකොව් ඊට ප්‍රතිචාර දක්වන්නේ ලේඛකයා කතාව නිර්මාණය කළ යුත්තේ පාඨකයාට පිළිතුරු දීමට නොව පාඨකයාගෙන් ප්‍රශ්න කිරීමටය යනුවෙනි.

ඔහුට අන්වර්ථනාම කිහිපයක් ම විය. අන්තෝෂා චෙකොප්ට්, මෑන් විත’වුට් අ ස්පීලිස් ඉන් සමහරකි. බොහෝ විට සමකාලීන රුසියානු සාමාන්‍ය නාගරික ජනජීවිතය වෙළාගත් අසීරුතා ඔහුගේ නිර්මාණවලින් ප්‍රකට වේ.

‘ද සීගල්’ නාට්‍ය වේදිකාගත වීමෙන් පසු ඊට ලද ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන චෙකොව් තුළ තිබුණේ කණස්සල්ලකි. ඔහු නාට්‍ය ප්‍රදර්ශනය කිරීම අත්හැර දැමී ය. ඉන්පසු මොස්කව් ආම් තියෙටර් නම් එකතුව යළි එය වේදිකාගත කිරීමට පටන්ගත්තේ ය. ඊට ලැබුණේ අතිවිශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයකි. චෙකොව්ගේ නාට්‍ය ඔහුගේ අභාවයෙන් වසර සියයකට වැඩි කලක් ගතවී ඇතත් අදට ද ලොව පුරා වේදිකාගත වේ.

චෙකොව් ක්ෂය රෝගයෙන් පීඩා විඳින්නට වූයේ 24 හැවිරිදි වියේදී පමණ පටන් ය. එම රෝගී තත්ත්වය පවුලේ අයගෙන් මෙන් ම සමීපතමයන්ගෙන් ද වසන් කිරීමට ඔහු වෑයම් කළ බව පෙනී යයි. රෝගී තත්ත්වයෙන් වරින් වර පීඩා වින්දද ඔහු වෛද්‍ය වෘත්තියට සමු දුන්නේ වත් ලිවීම නතර කළේ වත් නැත. 1886 වසරේදී රුසියාවේ ජනප්‍රියතම පුවත්පතක් වූ Novoye vremya (New Times) පුවත්පතට ලියන ලෙසට ඔහුට ඇරියුමක් ලැබිණි. එය දානපතියකු වූ ඇලෙක්සි සුවෝරින්ට අයත් වූවක් වන අතර චෙකොව්ට හොඳින් ගෙවීමට ද සුවෝරින් නොපැකිළිණි. චෙකොව් මිය යන තුරුම සුවෝරින් ඔහුගේ සමීපතමයෙක් විය.

චෙකොව්ගේ සොහොයුරකු වන නිකොලායි ජීවිතයෙන් සමුගත්තේ ද ක්ෂය‍ රෝගය හේතුවෙනි. ඔහුගේ අභාවය විසින් චෙනොව් තුළ ඇති කළ කම්පනය A Dreary Story කෘතිය මඟින් ප්‍රකාශයට පත්විය. මිය යන විට නිකොලායි නීති ශිෂ්‍යයකුට සිටි අතර බන්ධනාගාර පිළිබඳ අධ්‍යයනයක නියැළී සිටියේ ය. මේ වකවානුවේ චෙකොව් සිටියේ තමාගේ ම ජීවිතයේ අරමුණ කුමක්දැයි සොයා බලමිනි. ඉතාමත් ඉක්මනින් ම ඔහු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳ අදහස් දක්වන්නට වූයේ සොහොයුරාගේ පර්යේෂණ ගැන ද සංවේදී වෙමින් විය යුතු ය. සක්හලීන් දුපතේ රඳවා සිටි සිරකරුවන් දහස් ගණනක් සමඟ චෙකොව් සම්මුඛ සාකච්ඡා පවත්වා තිබේ. මාස 3 කට ආසන්න කාලයක් එහි ගත කිරීමෙන් ඔහු අත්දැකීම් සම්භාරයක් ලැබීය. කෙසේ වුව ද සක්හලීන් හි කටුක බව ඔහුට සිහිගැන්වූයේ අපායකි. පසුකලෙක ශ්‍රී ලංකාවේ ද සංචාරය කළ චෙකොව් එම අත්දැකීම් ගැන සටහන් කළේ “මම අපායක් දුටිමි ඒ සහලීන් දිවයිනයි. මම සුරපුරක් දුටිමි ඒ ශ්‍රී ලංකාවයි...” යනුවෙනි.

1897 මාර්තු මාසය වන විට චෙකොව්ගේ ‍‍‍රෝගී තත්ත්වය උත්සන්න වූ අතර ඔහුගේ ජීවන රටාව වෙනස් කරන ලෙස වෛද්‍යවරුන්ගෙන් දැඩිව උපදෙස් ලැබිණි. 1898 දී පියාගේ අභාවය සිදුවීමත් සමඟ ඉඩම් කොටසක් මිලදී ගත් ඔහු එහි විසල් නිවසක් ඉදිකළේ ය. ඊළඟ වස‍ෙර්දී සිය මව සහ සොයුරියන් එහි කැඳවාගෙන ආවේ ය. මේ ගෙවත්තේ ඔහු විවිධ ගස් වර්ග රෝපණය කළේ ය. අලංකාර මල්වර්ග සිටුුවී ය. බල්ලන් මෙන් ම හීලෑ කරනු ලැබූ කොකුන් ද එහිදී දැකගත හැකි විය. ලියෝ තොල්ස්තෝයි, මක්සිම් ගෝර්කි වැනි ලේඛකයන් වරින්වර මේ නි‍ෙවසේ අමුත්තෝ වූහ.

චෙකොව්ට ප්‍රේම සම්බන්ධතා ගණනාවක් ම තිබී ඇතත් 1901 මැයි මාසයේදී ඔහු විවාහ කරගත්තේ ඔල්ගා නිපර්ය. ඇය මොස්කව් නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවකි.

චෙකොව් පිළිබඳ චරිතාපදාන රාශියක් ම ලියැවී තිබේ. ඉන් බොහොමයක ඔහු පිළිබිඹු කෙරෙනුයේ උදාර මිනිසෙකු විලසිනි. ඩොනල්ඩ් රේෆීල්ඩ් ලියූ චරිතාපදානයේදී අපට හමුවන චෙකොව් ඊට වෙනස් මිනිසෙකි. රේෆීල්ඩ් අන් සියල්ලෙහි සැඟව ඇති පාර්ශ්වය මතු කරන අතර ඔහු පෙන්වා දෙන්නේ චෙකොව් අහිංසක දුගී මිනිසුන් වෙනුවෙන් දැක්වූ කාරුණික බව සහ අනුකම්පාව ආදරවන්තයකු ලෙස හා ස්වකීය පවුලේ සාමාජිකයන්ට ද එලෙසම නොදැක්වූ බව ය.

ක්ෂය රෝගය මේ විශිෂ්ට සාහිත්‍යකරුවා ඉක්මනින් ම මරණය කරා රැගෙන ගියේ ය. ජීවිතයෙන් නික්ම යනවිට ඔහු 44 වෙනි වියේ පසුවිණි. චෙකොව්ගේ අවසන් මොහොත සාහිත්‍ය ඉතිහාසයේ සටහන්ව ඇත්තේ අලංකරණවලින් යුතුව මෙන් ම ප්‍රබන්ධමය ස්වරූපයකින් බව පෙනෙන්නට තිබේ. ඔහු මිය ගියේ ජර්මනියේ බ්ලැක් ‍ෆොරස්ට් පෙදෙසේ දී ය. ඔහු අසල ඔල්ගා ද සිටියා ය. සිය සැමියාගේ අවසන් මොහොත කෙසේ වී දැයි ඔල්ගා ද ලියා ඇත. ඒ මොහොතේ තමා මිය යන බව වෛද්‍යවරයකු වූ චෙකොව්ට වැටහුණු බව ඇය පවසයි. වෛද්‍යවරයකු ඔහුට එන්නතක් ලබාදී ඇති අතර ඔහුගේ ඉල්ලීම පරිදි ෂැම්පේන් වීදුරුවක් ද ලබාදී ඇත. එය පානය කළ චෙකොව් වොල්ගා දෙස බලා “මං ෂැම්පේන් බිව්වේ හුඟාක් කාලෙකින්...” යනුවෙන් පවසා තිබිණි. විදුරුව හිස් කළ ඔහු එය ප්‍රවේශමෙන් පසෙකින් තැබීය. මඳක් පසෙකින් සිටි වොල්ගා ඔහු සමීපයට පැමිණියා ය. ඔහුගේ හුස්ම නතර වී තැබිණි. ඔහු අවසන් නින්දට වැටී සිටියේ කුඩා දරුවකු පරිද්දෙනි.

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.