පැණි තොපටයි - මල අපටයි... | සිළුමිණ

පැණි තොපටයි - මල අපටයි...

“වන බමරෝ මෙහෙම මලක්
පැණි තොපටයි - මල අපටයි”

ආනන්ද රාජකරුණා නම් අප සුප්‍රකට කවියාගේ නෙක අරුත් දෙන මේ කවි දෙපදය ඇසෙන වාරයක් පාසා සාංකාවකින් හදවත පිරී යයි. ගස් මල් බිහි කරයි; සුළඟ විත් ඒ මල් සුවඳ පතුරුවා හැර බමරුන්ට පැණි තිබෙන ඉසව් ගැන ඉඟි කරයි. මල උපද්දවන්නට අනේකවිධ වෙහෙස දැරූ ගස ගැනවත්, ඒ ගසට වැටෙන්නට ඉඩ හසර සලසා දුන් මහපොළොව ගැනවත් හාංකවිසියක හෝ වගක් නොමැතිව බමරා මල් පැණි රිසි සේ බොයි. මලේ සාරය උරාගත් විගස බමරා නික්ම යන්නේ මලට ද නොකියා ය. එහෙත් බමරා මල් පැණි බොන්නේ නම් මල නොතළා ය. ඒ සොබාදහමේ විදිය ය. ජීවන චක්‍රයත් එසේ ම ය; බිහි කරන්නට වෙර දැරූවෝ පසක සිටියදී වෙනත් අය ඵල ප්‍රයෝජන ලබති. ලෝකයේ හැටි එහෙ ම ය.

ආනන්ද රාජකරුණා කවි පද දෙකකින් කියූ දේ විස්තර කරන්නට අපට වචන සියයක් පමණ අවශ්‍ය වන්නේ ය. කවියා කියන්නේ සූක්ෂ්මතාව ආත්මය කොට ගත්තා ය යන්න නිවැරදි වන්නේ ඒ නිසා ය. එහෙත් කවිය නමැති මලෙහි නම් මලත්, පැණිත් දෙක ම ලැබෙන්නේ සහෘදයාට ම ය.

රෝස මලේ නටුවෙ කටූ
වන බමරෝ ඔහොම හිටූ
නටුව නොවේ මල සිඹිමී
මම ළමයෝ පැණි උරමී

කවියා මේ කියන්නේ මලත්, පැණිත් දෙක ම සහෘදයාට හිමි වූ කල කවියාට ඉතිරි වන්නේ නටුවේ ඇති කටු පමණක් බව ය. කටු ඇනගෙන හෝ මලක් බිහිකරන්නට හැකිනම් කවියාගේ සතුට එයයි. කවියාට අවැසි වන්නේ අපමණ මිනිස් ගුණයෙන් මුදු මොලොක් වුණු තමාගේ ම හදවත ය.

තවත් කරුණක් වෙයි. කවිය ද මලක් වැනි මැ යි. මලෙහි සුවඳ කිසිවකුටත් අයිතිකර ගත නොහැකි ය. කෙතරම් උරා ගත්ත ද මලෙහි සුවඳ තව තවත් ඉතිරි වෙයි. අනුන්ට සුවඳ කෙතරම් දුන්නද, ඒ සුවඳ තමා ළඟ ද රඳවා ගන්නා අයුරු මල දනියි. කවිය ද එසේ ම ය; සුවඳ වන් එහි අරුත එහි ම ඉතිරි වෙයි. මලෙහි සුවඳ පරිද්දෙන් ම කවියෙහි අරුත ද එහි ඉතිරි වෙයි. එබැවින් කවුරු කෙසේ විවිරණ කළත් කවියේ අරුත දන්නේ කටු ඇනගෙන කවිය බිහි කළ කවියා ම පමණී.

කවියා මතු නොව මේ ලොව නිර්මාණකරණයේ යෙදෙන සියලු ම නිර්මාණකරුවෝ සිය නිර්මාණ පාඨක සහෘදයා වෙත ප්‍රධානය කරන්නට අපමණ දුක් විඳිති. මනාසේ ලියන ලද ගද්‍ය රචනයක හැම විට ම ස්වයංජාත රිද්මයක් තිබේ. වාක්‍යයෙන් පවසන දේ ආයාසයකින් තොරව පාඨකයාට වැටහී යෑමට නම් ගද්‍ය රචනයේ වුව ද කවියක සේ ම රිද්මයක් තිබිය යුතු වෙයි. පාඨකයා කිසියම් ගද්‍ය කාණ්ඩයක් නැවත නැවත කියවමින් තේරුම් ගැනිමට උත්සාහ කරන්නේ නම් එය සාර්ථක රචනයක ස්වභාවය නොවේ. කවියේ ද ගද්‍යයේ ද ව්‍යංග්‍යාර්ථය වෙයි. ඒ ව්‍යංග්‍යාර්ථය පද අතර සැඟවී තිබෙන්නකි. එය කෘත්‍රිම ව ඔබ්බවන්නට නොහැකිය. රිද්මය රැකෙන්නේ ලේඛකයා භාෂාව පරිහරණය කරන ආකාරය අනුව ය. එබැවින් පද්‍ය පිළිබඳ ව වන මනා නෛපුණ්‍යය නැවුම් පිවිතුරු බවක් ගද්‍යයට එක් කරයි. නිරන්තර භාවිතය නිසා හංවඩු ගැසුණු වචනවලට පවා නව ප්‍රාණයක් දීමේ හැකියාව පද්‍යවලට ඇත්තේ එබැවිනි. රෝස මලත්, රෝස මලේ නටුවේ කටුත් අපි හැමදාම දන්න කියන ඒවා ය. එහෙත් ඒවා වෙනස් අරුතකින් අප වෙත රැගෙන එන්නට කවියා සමත් වෙයි. ඒ නිසා එවැනි සුලබ භාවිත පද පවා දිලිසෙන, සරුසාර වදන් සේ නව සුවඳක් විහිදුවමින් අප වෙත එයි.

උසස් ගද්‍ය රචනයක් අන් කිසිවක් ම නොව නිර්ව්‍යාජ කාව්‍යයක් යැයි මා පැවසුවහොත් ඔබ එකඟ වනු නොඅනුමාන යැයි මා පවසන්නේ එබැවිනි. එවැනි රිද්මයකින් ලියැවුණු ගද්‍ය කාව්‍ය මේ ධරණීතලයට නව මානයක් එක්කළ බැව් අපි දනිමු.

ෙටාල්ස්ටෝයි වරක් තම ‘යෞවනය’ නම් ග්‍රන්ථයේ සඳහන් කළේ ගද්‍ය හා පද්‍ය අතර ඇති දේශසීමාව තමන් නොදන්නා බවයි. අෂ්ට ලෝක ධර්ම සේ ම ගද්‍ය හා පද්‍යත් එකට ම බැඳී පවතී. සාහිත්‍යයට උත්තම තලයට ළඟාවිය හැක්කේ ගද්‍ය පද්‍ය මනා සංයෝගයකින් යුතුව ලියැවුණොත් ය. නැත්නම් පද්‍යයේ සාරය ගෙන ගද්‍ය තෙමාලීමෙනි.

ගද්‍ය හෝ පද්‍ය වේවා, මේ සියලු දේට ඉවහල් වන්නේ අප විඳින, දකින, ඇසුරු කරන දෑය. අප දකින කියන දෑ සරල, සුන්දර හා සූක්ෂ්ම කරන්නේ අප ඒවා හා ගනුදෙනු කරන ආකාරය අනුව ය. ඔබට බොහෝ මිනිසුන් හමුවී ඇති බවට මට සැකයක් නැත. ඔබ ඒ ඒ අය සමඟ විවිධ ලෙසින් ඇසුරු කරන්නට ද ඇත. ඒ ඒ අයට ආවේණික වූ විවිධ පුරුදු ඔබට දැනෙන්නට ද ඇත. ඒ දැනීම ඔස්සේ ඔබ ඒ අය ඇසුරු කරන්නට ඇත්තේ ඒ අයගේ හුරුපුරුදු වලට, විධික්‍රම වලට අනුව ය. ඒ සඳහා ඔබගේ අවබෝධය, වින්දනය, ඉවසීම ඈ මේ සියලු දේම බලපෑම් කරන්නේ ය.

ගද්‍ය පද්‍ය ආදී මේ සියල්ලත් එසේ ම ය. ඒ සියල්ල නිර්මාණය වන්නේත්, ඔබ ඒවා නිර්මාණය කරන්නේත් ඔබට ම ආවේණික වූ වින්දනයක් පාදක කරගනිමිනි. ඒ වින්දනය සුන්දර කර ගැන්මට මම ඔබට මෙවැනි ආරාධනාවක් කරන්නට සිතුවෙමි. ඔබ, ඔබේ හැඟීම් අවට පරිසරය හා මුසු කර ගැන්මට හුරුවන්නේ නම් ඔබට එයින් අපූර්ව වින්දනයක් ලැබෙනු ඇත. මේ සඳහා පහසු ම වන්නේ සොබා සෞන්දර්යයට අනුගත වීම ය. අපගේ ප්‍රේමාන්විත හැඟීම්, ප්‍රීතිය, ශෝකය ආදී භාව ස්වභාව සෞන්දර්යය හා මුසු කර ගතහොත්... එවිට ඔබට උදෑසන නැවුම් බව ඔබේ ම ආදරයේ කොටසක් සේ දැනෙනු ඇත. ස්වභාව ධර්මයට පෙම් කළහොත් අන් හැම ප්‍රේමණීය බැඳීමකට ම වඩා එය ඔබ ව නිවා සනහාලනු ඇත.

ආනන්ද රාජකරුණා, විමලරත්න කුමාරගම ඇතුළු කවීහු අප හදවත තෙමා සනහාලූයේ ස්වභාව ධර්මයෙන් ම ජීවන විවිරණ ඉදිරිපත් කරමින් නොවේද? රෝස මලත් නටුවේ කටුත් ඔබ හා මා වැනි ම නොවේද...

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.